දහතුනේ අවුල

February 5, 2012
Publication:
To win India's support against the LTTE, President Rajapaksa promised a '13-plus' political solution, and Tamil leaders, the UNP and the old Left now demand he keep it, while the JHU, JVP and NFF oppose it. Ivan argues that the President's doubts are not unreasonable, because the ethnic question is one expression of a larger failure of the political system. He traces how Tamil demands grew from modest regional councils in the Bandaranaike–Chelvanayakam and Senanayake–Chelvanayakam pacts to the 1976 separate-state resolution, the 1977 mandate, Black July, the Thimpu principles and the Indo-Lanka Accord, and says the provincial council system was hastily designed under LTTE pressure. He proposes instead village councils like India's panchayats, district councils (with a provincial council for the North if needed), a smaller Parliament and a Senate.

එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කළ පමණකින් ශ්‍රී ලංකාවේ ජනවර්ග ප්‍රශ්නය දේශපාලන විසඳුමකින් තොරව ඉබේ විසඳෙන්නේ නැත. එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කරන අවස්ථාව වන විට ජනවර්ග ප්‍රශ්නය වශයෙන් හැඳින්වෙන ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නයකට සීමා නොවූ අන්තර්ජාතික ප්‍රශ්නයක් බවට වර්ධනය වූ ප්‍රශ්නයක් බවට පත්ව තිබුණේය. ලංකාවේ දෙමළ ජනයා හා දකුණු ඉන්දියානු දෙමළ ජනයා අතර පැවති අන්තර් සම්බන්ධතා හේතු කොටගෙන ලංකාවේ දෙමළ ප්‍රශ්නය, දකුණු ඉන්දියාවේ දෙමළ ජනතාව කෙරෙහි බලපාන සංවේදී ප්‍රශ්නයක් බවටත්, ඒ නිසා එය නැවත ඉන්දියාව කෙරෙහි බලපාන සංවේදී ප්‍රශ්නයක් බවටත් පත්ව තිබුණා සේ ම යුරෝපා රටවල ජීවත් වන ලංකාවේ දෙමළ ඩයස්පෝරාවේ විශාලත්වය හේතු කොටගෙන එය බටහිර රටවල් කෙරෙහිද බලපාන සංවේදී ප්‍රශ්නයක් බවට පත්ව තිබුණේය. එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීම සඳහා ඉන්දියාවේ සහාය ලබාගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබූ තත්ත්වය ඉදිරියේ ඉන්දියාවේ සහාය ලබාගැනීම සඳහා එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසු එම ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදෙන බවට ඉන්දියාවට සහතිකවීමට ලංකාවට සිදුවිය. දෙනු ලබන දේශපාලන විසඳුම ලෙස ඉන්දියාවට විස්තර කරනු ලැබුවේ 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාවට නගන අතර ඊට අතිරේකව තවත් දේවල්ද දෙන බවය. එහි කෙටි අර්ථකථනයද හැඳින්වූයේ දහතුන ප්ලස් වශයෙනි.

පොරොන්දු කඩ කිරීම

එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කර ඇතත්, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තවමත් තර්ටීන් ප්ලස් විසඳුම දෙමළ ජනතාවට ලබාදී නැත. එම අවුල විස්තර කැරෙමින් තිබෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඉන්දියානු ආණ්ඩුවට සේ ම ලංකාවේ දෙමළ ජනතාවටද ලබාදෙන ලද පැහැදිලි පොරොන්දුක් කඩ කර තිබෙන අවස්ථාවක් ලෙසය. ඒ මගින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඔහුගේ ආණ්ඩුව ලංකාවේ දෙමළ ජනතාව පමණක් නොව ඉන්දියානු ආණ්ඩුවද රවටා ඇති බවය. ලංකාවේ දෙමළ නායකයන්ද 13 වන සංශෝධනයට ඇතුළත් පොලිස් හා ඉඩම් බලතල සමග 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාවට නගන ලෙස තරයේ ඉල්ලා සිටිති. ඊට අඩු කිසිම විසඳුමක් ලබාගැනීමට ඔවුන් කැමති නැත. එජාපය හා සාම්ප්‍රදායික වාම පක්ෂ කියන්නේද ඔවුන්ට දී තිබෙන පොරොන්දුව ඉටුකිරීම ආණ්ඩුවේ යුතුකමක් හා වගකීමක් බවය. එල්ටීටීඊයට එරෙහිව යුද්ධය පැවති අවස්ථාවේදී තර්ටීන් ප්ලස් විසඳුමට කැමති නොවූ එහෙත් ප්‍රසිද්ධියේ විරුද්ධ නොවූ හෙළ උරුමය, ජවිපෙ හා ජාතික නිදහස් පෙරමුණ වැනි ව්‍යාපාර තර්ටීන් ප්ලස් විසඳුමට තරයේ විරුද්ධය.

දැන් ඇත්තටම වියයුතුව තිබෙන්නේ කුමක්ද? මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පොරොන්දු වී තිබෙන තර්ටීන් ප්ලස් විසඳුම අකුරටම ක්‍රියාත්මක කිරීමද? එවැනි ක්‍රියාමාර්ගයක් මෙම ප්‍රශ්නය විසඳා ගැනීමට ඉවහල්වේද? එය දෙමළ ජනයා පිළිගැනීමට හේතුවනු ඇතත් සිංහල හා මුස්ලිම් ජනයාගේ පිළිගැනීමට හේතුවේද? දැන් අපට අවශ්‍ය වී තිබෙන්නේ සියලුදෙනාගේ පිළිගැනීමට හේතුවන තිරසාර විසඳුමක්ද? නැතිනම් සමහර දෙනකුගේ පමණක් විශ්වාසයට හේතුවන විසඳුමක්ද? දෙමළ ජනයාගේ පිළිගැනීමට හේතුවීමෙන් නොනැවතී සියලුදෙනාගේ පොදු පිළිගැනීමට හේතුවන විසඳුමක් සොයාගැනීමේ හැකියාවක් ඇත්තේම නැත්ද? නැත්නම් තර්ටීන් ප්ලස් විසඳුම සියලුදෙනාගේ පොදු පිළිගැනීමකට හේතුවන විසඳුමක් බවට පත්කිරීමේ හැකියාවක් තිබේද?

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුද්ධය අවසන් කිරීමෙන් පසු මෙම ප්‍රශ්නය කළමනාකරණය කරමින් තිබෙන ආකාරයේ වැරදි හා දුර්වලතා තිබෙනවා වුවත් තර්ටීන් ප්ලස් විසඳුම ගැන එහු ඇති කරගෙන තිබෙන සැකසංකා අසාධාරණ නැත. දෙමළ ජනයාගේ තෘප්තියට හේතුවන විසඳුමක් අන් ජනයාගේ අතෘප්තියට හේතුවිය හැකි බව ඔහු දන්නෙහිය. ප්‍රශ්නය විසඳාගත යුතු ආකාරය පිළිබඳව දර්ශනය පැහැදිලි නැතත් එල්ල වී තිබෙන බලපෑම් මත පිහිටා දෙන දඩිබඩි විසඳුමක් නැවත ගින්නක් ඇති කළ හැකි බව ඔහු දන්නෙහිය. ඔහු යුද්ධය කැරෙන අවස්ථාවේදී ඉන්දියාව සතුටු කිරීම සඳහා ඉන්දියාවට සතුටුවිය හැකි විසඳුමක් දුන්නේය. එහෙත් පොරොන්දුවූ එම විසඳුම ගැන ඔහු තුළ පූර්ණ විශ්වාසයක් තිබුණේයැ”යි කිව නොහැකිය. විසඳුමක් දීමෙන් වැළකී සිටින ප්‍රතිපත්තියක් අවුල් ඇති කිරීමට හේතුවිය හැකිවා සේ ම දෙනු ලබන විසඳුමක්ද පොදුවේ පිළිගැනීමට හේතු නොවොතොත් එයද විශාල අවුලක් ඇති කිරීමට හේතුවිය හැකිය.

ප්‍රශ්නයේ ස්වභාවය

මගේ මතය අනුව ලංකාවේ ජනවර්ග ප්‍රශ්නය ලෙස හැඳින්වෙන ප්‍රශ්නය, වඩා ලොකු හා සංකීර්ණ ප්‍රශ්නයක ඇති අතුරු ප්‍රශ්නයක ප්‍රබල ප්‍රකාශනයක් පමණය. ලොකු ප්‍රශ්නය ලෙස සැලකිය හැක්කේ දේශපාලන ක්‍රමය ඒ ආශ්‍රයෙන් ඇතිවී තිබෙන ආණ්ඩු කරන හා කළමනාකරණ ක්‍රමයන්ය. පවතින දේශපාලන ක්‍රමය තුළ වර්ග, ආගම් හෝ කුල ආවේගයන් සාර්ථක කළමනාකරණයකට අවශ්‍ය දර්ශනයක් හා සංවිධාන ක්‍රමයක් නොතිබුණි. ඒ නිසා එම ක්ෂේත්‍රය ලේ වැගිරෙන අවුල් ජාලයක් බවට පත්ව තිබේ. එම අවුල එම විෂය පථයට පමණක් සීමාවී නැත. මේ තත්ත්වය අඩු වැඩි වශයෙන් අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය වැනි මහජන සේවාවන් තුළද අන් අංශවලද හොඳින් දැකිය හැකිය. සමස්ත අධ්‍යාපන ක්‍රමය තිබෙන්නේ අවුල් ජාලයකය. මහජන සෞඛ්‍යය, ගමනාගමනය වැනි අංශ තිබෙන්නේද අවුලකය. නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන ක්‍රම හා නීතිය පසිඳලීමේ ආයතන ක්‍රම තිබෙන්නේද විශාල අවුලකය. මේ සියල්ලට අතිරේකව අල්ලස, දූෂණය, අපරාධකරණය වැනි සමාජ විරෝධී ක්‍රියාකාරකම් කළමනාකරණය සඳහා වන ප්‍රශස්ත දර්ශනයක් හෝ සංවිධාන ක්‍රමයක් දේශපාලන ක්‍රමය සතු නොවීම නිසා ඒ අංශ තිබෙන්නේද අවුල් ජාලයකය. ජාතික රාජ්‍යයක් හා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් ලැබීමෙන් පසු ඒ දෙක ප්‍රශස්තව පවත්වාගෙන යෑමට අවශ්‍ය එක්සත් ජාතියක් හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇතිකර ගැනීමට අසමත්වීම දේශපාලන ක්‍රමයේ ඇති අක්‍රමික හා අවුල්සහගත බව කෙරෙහි බලපා තිබෙන ඓතිහාසික සාධක ලෙස සැලකිය හැකිය. එම තත්ත්වය කෙරෙහි රටට පොදු ජාතික දෘෂ්ටියක් නැතිකම පිළිබඳ ප්‍රශ්නයද බලපෑවේය. සිංහල දෙමළ තරුණ කැරලි එම අවුලෙහි ප්‍රබල ප්‍රකාශන දෙකක් වනවා සේ ම ඒ නිසා රටේ ඇතිවූ ත්‍රස්තවාදී වටාපිටාව දේශපාලන ක්‍රමයේ ගරාහැලීම තවදුරටත් වේගවත් කරන අතර දේශපාලන ක්‍රමයේ තිබෙන අවුල මහජනයාට හොඳින් නොපෙනෙන තත්ත්වයක් ඇති කිරීමට හේතුවී තිබුණි. ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු දේශපාලන ක්‍රමය නිරුවත් වී තිබෙන අතර එම තත්ත්වය දේශපාලන ක්‍රමයේ ඇති කරන මූලික ප්‍රතිසංවිධානයකින් තොරව රටට ශක්තිමත් ඉදිරි ගමනක් යා නොහැකි තත්ත්වයක් ඇති කර තිබේ. ඒ මගින් දේශපාලන ක්‍රමයේ ප්‍රතිසංවිධානයක් ජාතික දේශපාලන න්‍යාය ඇතුළත්විය යුතු ප්‍රමුඛම කාරණයක් බවට පත්කර තිබෙන්නේයැ”යි කිව හැකිය.

දේශපාලන ක්‍රමයේ ඇති කරන ප්‍රතිසංවිධානයකදී රටට සුදුසු ආණ්ඩු ක්‍රමයක් තෝරාගැනීමට සිදුවනු ඇති අතර එහිදී දෙමළ ජනයාගේ අභිලාෂයන්ද සැලකිල්ලට ගැනීමට සිදුවන්නේය.

මීට වෙනස්ව ජනවාර්ගික ප්‍රශ්නය ලෙස හැඳින්වෙන ප්‍රශ්නය තනි ප්‍රශ්නයක් වශයෙන් ගෙන 13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට එම ප්‍රශ්නයටම තිබෙන හොඳම විසඳුමවේයැ”යි මම විශ්වාස නොකරමි. 13 වන සංශෝධනය කෙරෙහි බලපෑ විශේෂ ඓතිහාසික වටාපිටාවක් තිබුණේය. දෙමළ ජනයාගේ ප්‍රශ්නය උග්‍රවන්නට වූ විට කිසියම් ආකාරයක ස්වයං පාලනයක් පිළිබඳ අදහස වෙත දෙමළ නායකයන් යොමුවිය. එහෙත් ආරම්භක කාලවකවානුවේදී ඒ සඳහා වන විධිමත් අදහසක් ඔවුන් අතර පවා නොතිබුණේයැ”යි කිව හැකිය. චෙල්වනායගම් 1957දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක සමගත්, නැවත 1965 ඩඩ්ලි සේනානායක සමගත් ඇති කරගත් ගිවිසුම්වල ස්වභාවය එක සමාන නොවීය. 1958දී චෙල්වනායගම් බණ්ඩාරනායකගෙන් ඉල්ලා සිටියේ පළාත පදනම් කරගත් රට සභා ක්‍රමයකි. එහෙත් ඩඩ්ලි සමග ඇති කරගත් ගිවිසුමේදී ඉල්ලා සිටියේ දිස්ත්‍රික්කය පදනම් කරගත් රට සභා ක්‍රමයකි. මේ අවස්ථා දෙකේදීම ඉල්ලා සිටි බලතලවල ස්වභාවයද අවම මට්ටමක පැවතුණි.

නිජබිමක් අවශ්‍ය වීම

ඒ අවස්ථා දෙකේදී ඉල්ලා සිටි බලතල මේවාය.

1. ගොවිජනපද ව්‍යාපාරවලදී එම ජනපදවලට ජනපදිකයන් තෝරාගැනීමේ බලතල.

2. උතුරු නැගෙනහිර පළාත් දෙකේ පරිපාලන (අධිකරණයද ඇතුළුව) කටයුතුවලදී දෙමළ භාෂාව පාවිච්චි කිරීමේ බලතල.

එහිදී චෙල්වනායගම් ඉල්ලා සිටි පළාත් හෝ දිස්ත්‍රික්ක සභා ක්‍රමයට ඉඩම් බලතල හෝ පොලිස් බලතල ඇතුළත් වූයේ නැත. ඔවුන්ගේ ඉල්ලීම්වල පූර්ණ වෙනසක් ඇතිවන්නේ 1976දීය. ඒ තත්ත්වය කෙරෙහි විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සමගි පෙරමුණු ආණ්ඩුව යොදාගත් විශ්වවිද්‍යාල ප්‍රමිතිකරණ නීතිද බලපෑවේය. විශ්වවිද්‍යාල ප්‍රමිතිකරණ නීති, විශ්වවිද්‍යාලවල විද්‍යා අංශවල දෙමළ සහභාගිත්වයේ තියුණු පහත වැටීමක් ඇති කිරීමට හේතුවූ අතර එම තත්ත්වය දෙමළ තරුණ පරපුරේ බලවත් කෝපයට හේතුවී තිබුණි. එම තත්තවය ආයුධ සන්නද්ධ අරගලයක් මගින් වෙනම දෙමළ රාජ්‍යයක් විකාශය ඇති කරගත යුතුයි කියන අදහස වෙනුවෙන් පෙනී සිටින තරුණ සංවිධාන කිහිපයක් උතුරේ ඇති කිරීමට හේතුවී තිබුණි. දෙමළ දේශපාලන පක්ෂ දෙමළ එක්සත් පෙරමුණ නමින් එකතුවත් ඇතිකර ගත්තේ 1972දීය. එම එකතුව වෙනම දෙමළ රාජ්‍යයක් දිනාගත යුතුයි කියන අදහස වෙත තල්ලුවූයේ වෙනම දෙමළ රාජ්‍යයක් දිනාගැනීම සඳහා ආයුධ සන්නද්ධ අරගල මාවත තෝරාගත් සටන්කාමී දෙමළ තරුණ පරපුරෙන් දෙමළ එක්සත් පෙරමුණට එල්ල වී තිබුණු පීඩනය නිසාය. දෙමළ එක්සත් පෙරමුණ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ බවට පත්වෙමින් වෙනම දෙමළ රාජ්‍යයක් පිහිටුවා ගත යුතුයි කියන අදහස පළමුවරට නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන්නේ 1976දීය. මෙය බැරෑරුම් ලෙස කරුණු සලකා බැලීමෙන් පසු ගනු ලැබූ තීරණයක් ලෙස සැලකිය නොහැකිය. වෙනම රාජ්‍යයක් සඳහා නිශ්චිත භූමි ප්‍රදේශයකට අයිතිවාසිකම් කීම අවශ්‍ය වූ අතර උතුරු නැගෙනහිර යන පළාත් දෙක ඉතිහාසයේ සියවස් ගණනක් මුළුල්ලේ දෙමළ ජනතාව ජීවත් වු ඓතිහාසික නිජබිම් ප්‍රදේශ ලෙස විස්තර කරමින් එම පළාත් දෙක ගොඩනගන දෙමළ රාජ්‍යයේ භූමි ප්‍රදේශය වනු ඇති බවද ප්‍රකාශ කළේය.

මෙම පළාත් දෙකට ඇතුළත් මුළු භූමි ප්‍රදේශය සියවස් ගණනක් තිස්සේ දෙමළ ජනතාව ජීවත් වූ දෙමළ නිජබිම් ප්‍රදේශ ලෙස විස්තර කිරීම ඓතිහාසික වශයෙන් සත්‍ය කරුණක් නොවීය. වෙනම රාජ්‍යයක් පිළිබඳ අදහස උඩරට දෙමළ වතු කම්කරුවන් නියෝජනය තුළ තොණ්ඩමන්ගේ පිළිගැනීමට හේතු නොවීම නිසා 1972 සිට මෙම එකතුවේ කොටස්කරුවකු ලෙස ක්‍රියා කළ තොණ්ඩමන් 1976දී ඉන් කැඩී වෙන්විය.

1977 මැතිවරණයේදී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ වෙනම රාජ්‍යයක් සඳහා උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාවගෙන් ජනවරමක් ඉල්ලා සිටියද ඔවුන්ට එහිදී ඒ සඳහා වන ජනවරමක් ලබාගත හැකිවූයේ උතුරෙන් පමණය. උතුරු පළාතෙන් ඒ සඳහා 76%ක ජනවරමක් ලැබෙන විට නැගෙනහිර පළාතෙන් ලබාගත හැකිවූයේ 26%ක ජනවරමක් පමණය. එම මැතිවරණයෙන් බලයට පත්වන ජේ.ආර්. ජයවර්ධන දෙමළ තරුණ පරපුරේ බලවත් විරෝධයට හේතුවී තිබුණු විශ්වවිද්‍යාල ප්‍රතිසංස්කරණ නීති අත්හිටුවීමෙන් නොනැවතී භාෂාව ආශ්‍රයෙන් දෙමළ ජනතාවට මුහුණදෙන්නට සිදුවී තිබුණු සියලු ගැටලුවලට ඔහුගේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විසඳුම් ලබාදුන්නද දෙමළ නායකයන් වෙනම රාජ්‍යයක් පිළිබඳ අදහස් ඉන්පසුව හෝ අත්හැරියේ නැත. එහෙත් වැඩි කල් නොගොස් වෙනම දෙමළ රාජ්‍යයක් සඳහා කැරෙන අරගලයේ නායකත්වය සාම්ප්‍රදායික නායකයන් අතින් ගිලිහී එය එම අරමුණ වෙනුවෙන් ආයුධ අතට ගෙන සටන් කරන තරුණ නායකයන් අතට පත්විය.

පළාත් සභා ක්‍රමය

ඉන්පසු 1983 ඇතිවන කළු ජූලිය වෙනම රාජ්‍යයක් සඳහා කැරෙන ආයුධ සන්නද්ධ අරගලයකට යුක්තිසහගතභාවයක්ද ඊට දෙමළ ජනතාව අතර පිළිගැනීමක්ද ලබා දුන්නේය. ඒ වන විට ශ්‍රී ලංකා ආණ්ඩුව පවත්වාගෙන ගිය ඉන්දියානු විරෝධී ප්‍රතිපත්තිය ඉන්දියානු ආණ්ඩුවේ විරෝධයට හේතුවී ඔවුන් ලංකාවේ වෙනම රාජ්‍යයක් සඳහා සටන් කරන තරුණ සංවිධානවලට ආධාර කරන ප්‍රතිපත්තියක් පවත්වාගෙන ගියේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ආයුධ පුහුණුවක් ලබාගන්නවාට අතිරේකව වෙනම රාජ්‍යයක් සඳහා කැරෙන අරගලයේ මූලකඳවුරක් ලෙස දකුණු ඉන්දියාව පාවිච්චි කිරීමේ අවස්ථාව සටන්කාමී දෙමළ තරුණ සංවිධානවලට ලැබී තිබුණි.

1984 තිම්පු සාකච්ඡාවල සිට දෙමළ ප්‍රශ්නයට විසඳුමක් සොයාගැනීම සඳහා ලංකාණ්ඩුවට සාකච්ඡා කරන්නට සිදුවූයේ සාම්ප්‍රදායික දෙමළ නායකයන් සමග නොව ආයුධ අතට ගෙන සටන් කරන තරුණ නායකයන් සමගය. තිම්පු සාකච්ඡා සඳහා ඊට සහභාගි වූ සටන්කාමී කණ්ඩායම් විසින් ගොඩනගන ලද තිම්පු මූලධර්ම උතුරු හා නැගෙනහිර යන පළාත් දෙක දෙමළ ජනතාවගේ ඓතිහාසික භූමි ප්‍රදේශයැ”යි කියන අදහස ලංකාණ්ඩුවට පිළිගැන්වීම සඳහා ගොඩනගන ලද මූලධර්මවීයැ”යි කිව හැකිය. ඊට ඇතුළත් ප්‍රධාන මූලධර්ම තුන අනුව ලංකා ආණ්ඩුව දෙමළ ජනයා වෙනම ජාතියක් ලෙස පිළිගත යුතුය. උතුරු නැගෙනහිර දෙපළාත දෙමළ ජනයාගේ ඓතිහාසික නිජබිම් ප්‍රදේශ ලෙස පිළිගත යුතු අතර එහි භෞමික අඛණ්භාවයද පිළිගත යුතුය. දෙමළ ජාතියේ ස්වයං නිර්ණ අයිතිය පිළිගත යුතුය.

එහෙත් ඔවුන්ගේ මෙම මූලධර්ම කිසිවක් ඉන්දු ලංකා ගිවිසුම තෙක්ම ලංකාණ්ඩුව පිළිගත්තේ නැත. එම මූලධර්ම ගැන ඉන්දියාවටද පූර්ණ විශ්වාසයක් නොතිබුණි. අවසානයේ ඉන්දියාවද උතුරු නැගෙනහිර පළාත් දෙක දෙමළ ජනයාගේ ඓතිහාසික නිජබිම් ප්‍රදේශ ලෙස පිළිගත්තේ ප්‍රභාකරන් සමග එකඟත්වයක් ඇති කරගැනීම සඳහා ඒ මතය පිළිගැනීම අවශ්‍යවේයැ”යි කල්පනා කළ නිසාය. එහෙත් ඉන්දු ලංකා ගිවිසුමෙන් පවා උතුරු නැගෙනහිර පළාත් දෙක එකතු කරන ලද්දේ තාවකාලික පදනමක් මතය. ස්ථිර එකතු කිරීමක් සඳහා ඒ වෙනුවෙන් නැගෙනහිර පැවැත්වෙන ජනමතවිචාරණයකින් අනුමත විය යුතුය කියන කොන්දේසියට යටත්වය.

පළාත මුල්කරගත් පාලන ඒකකයක් ගැන කල්පනා කරන තැනකට අපට යන්නට සිදුවූයේ වෙනම රාජ්‍යයක් දිනාගැනීම සඳහා උතුරේ පැවති ප්‍රචණ්ඩ අරගලයේ ප්‍රතිඵලයක් වශයෙනි. ඉන්දියාව පවා ලංකාව සඳහා පළාත් සභා ක්‍රමයක් ගැන කල්පනා කරන තැනකට ගියේ ඒ නිසාය. පළාත් සභාවලට ඉඩම් හා පොලිස් බලතල ලබාදීමේ අවශ්‍යතාව ගැන හිතනතැනකට යන්නට සිදුවූයේද වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටින තත්ත්වය ඉදිරියේ ඒ වෙනුවට පිළිගත හැකි විකල්පයක් ලබාදීම අවශ්‍ය වූ නිසාය. පළාත් සභා ක්‍රමය පවා එල්ටීටීඊයෙන් එල්ල වී තිබුණු යුදමය අභියෝගය සැලකිල්ලට ගෙන කඩිමුඩියේ සකස් කරන ලද ක්‍රමයක් වූවා මිස රටේ ඇත්ත අවශ්‍යතා සැලකිල්ලට ගෙන සකස් කරන ලද්දක් නොවීය.

ආණ්ඩු ක්‍රමයම වෙනස් වියයුතුය.

මගේ මතය අනුව පළාත් සභා ක්‍රමය පමණක් නොව මුළු මහත් ආණ්ඩු ක්‍රමයම නැවත ගැඹුරින් සලකා බලන තැනකට රට යා යුතුය. ඉන්දියාවේ ඇති කරගෙන තිබෙන පංචායත් ක්‍රමයට සමාන හැම ගමකටම ස්වයං පාලන බලයක් ලබාදෙන ගම්සභා ක්‍රමයකට යා හැකිය. ගම් සභාව ගමේ මහජනයා සිය ඡන්දයෙන් තෝරාපත් කරගන්නා නියෝජනයන්ගෙන් සමන්විත ආයතනය වන අතර ඉන්දියාවේ මෙන් ගමේ සංවර්ධන කටයුතු පවත්වාගෙන යෑමේ බලතල සේ ම බැහැරින් ගමට එන සියලු සංවර්ධන වැඩසටහන් පරීක්ෂාවට ලක්කිරීමේ බලතලද ගම් සභාවලට ලබාදිය යුතුය. ගමේ ප්‍රාථමික පාසලේ භාරකාරත්වය පැවරිය යුත්තේද ගම් සභාවටය. හැම ගම්සභා 10කටම හෝ 15කටම ගම් සභාවල සභාපතිවරුන්ගෙන් සමන්විත ප්‍රාදේශීය සභාවක් ඇති කළ හැකිය. ඒ මගින් දැන් පවතින ප්‍රාදේශීය සභා ක්‍රමය නැති කළ හැකිය.

ඊළඟ තලය සඳහා වඩා සුදුසුවන්නේ පළාත් සභා ක්‍රමයක් නොව දිස්ත්‍රික් සභා ක්‍රමයකි. පළාත් සභා ක්‍රමය ඕනෑවට වඩා විශාලය. උතුරේ කැරුණු අරගලය සැලකිල්ලට ගෙන අවශ්‍ය නම් උතුරු පළාතට පමණක් පළාත් සභා ක්‍රමයක් දිය හැකිය. අනෙකුත් සියලු දිස්ත්‍රික් සඳහා දිස්ත්‍රික් සභා ක්‍රමයක් ඇති කළ හැකිය. දිස්ත්‍රික්කයේ තිබෙන පාසල් හා රෝහල් දිස්ත්‍රික්ක සභා හා මධ්‍යම ආණ්ඩුව විසින් හවුලේ පාලනය කරන තත්ත්වයකට ගෙනා හැකිය. ඒ මගින් වඩා ක්‍රමවත් ලෙස ගුරුවරුන්, වෛද්‍යවරුන් හා හෙදියන් රටේ අවශ්‍යතා සලකා බෙදාහැරෙන තත්ත්වයක් ඇති කළ හැකිය. පාර්ලිමේන්තුවේ ප්‍රමාණයද (150කට පමණ සීමාවන ලෙස) කුඩා කළ හැකිය. සෙනට් මණ්ඩලයක්ද ඇති කරගත හැකිය. විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යෑමට අවශ්‍ය නම් එය විධිමත් හා ක්‍රමවත් කරන තැනකට ගෙනයා හැකිය. නැත්නම් එය අහෝසි කොට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකට යා හැකිය. ඇමති මණ්ඩලයේ ප්‍රමාණය කුඩා කැරෙන ජාතික ප්‍රතිපත්තියක් ඇති කරගත හැකිය. දේශපාලන පක්ෂ ක්‍රමයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය සහතික කරන ප්‍රතිසංස්කරණ ඇති කරගත හැකිය. ඒ සමග මැතිවරණ නීතිද ප්‍රතිසංස්කරණ තැනකට යාහැකිය.

සමස්ත ක්‍රමය ප්‍රතිසංවිධානය කැරෙන වැඩසටහනක් සරල හෝ පහසු නොවෙතත් පොදු එකඟතාව ඇතිව එවැනි ප්‍රතිසංවිධානයක් සඳහා මාර්ග සැලැස්මක් ඇති කරගත හැකි නම් එය බෙදී සිටින ජාතිය එකට එකතු කරන හා රටට නව ජීවයක් ලබාදෙන ප්‍රවර්තක බලයක් ලෙස ක්‍රියාකරනු නොවැළැක්විය හැකිය.

උගත් පාඩම් පිළිබඳ කොමිෂන් සභාවේ නිර්දේශ පවා ක්‍රියාත්මක කළ හැකිවනු ඇත්තේ දේශපාලන ක්‍රමය මුළු එකක් වශයෙන් ගෙන කැරෙන ප්‍රතිසංවිධානයකින් පමණය. සිංහල ජන නායකයන් පමණක් නොව දෙමළ, මුස්ලිම් ජන නායකයන්ද පැරණි ආකල්පවලින් අත්මිදී අලුතෙන් සිතන තැනකට ආ යුතුය.

අපි නිදහසින් පසු බ්‍රිතාන්‍යයන්ගෙන් ලැබුණු ජාතික රාජ්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමය ඉදිරියට ගෙනයන්නට උත්සාහ කළේ එක්සත් ජාතියක් හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කරගැනීමෙන් තොරවය. මුළු රටම කෙළවරක් නැති තරමට ලේ වැගිරෙන අවුල් ජාලාවක් බවට පත්වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. නිදහසේදී සම්පූර්ණ නොකළ එම කොන්දේසිය සම්පූර්ණ කරගැනීමට දැන් අපට අවස්ථාව ලැබී තිබෙන අතර එම ඓතිහාසික අවස්ථාව පැහැර නොහැර ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගැනීමට සියලු දේශපාලන නායකයන්ගේ වගකීම විය යුතුය. රටට ශක්තිමත් ඉදිරි ගමනක් ආරම්භ කළ හැකිවනු ඇත්තේ එවිටය. වර්ණභේදය, කුලභේදය හා ආගම්භේදය නිසා පෑරුණු සිත් සුවකළ හැකිවනු ඇත්තේද එවිටය. මුළු දේශපාලන ක්‍රමය පුරා ඔඩු දුවගිය පිළිකාවක් බවට පත්ව ඇති බලය අයුතු ලෙස පාවිච්චි කිරීම, අල්ලස, දූෂණය, නාස්තිය වැනි නපුරු ලක්ෂණ ජයගත හැකිවනු ඇත්තේද එවිටය. වර්ණ, ආගම් හා පක්ෂ භේදයන්ගෙන් තොරව එම ජාතික අවශ්‍යතාව බැරෑරුම් ලෙස සලකා බලන තැනකට රට යොමුවිය යුතු නැද්ද?

නිවැරදි කිරීමයි

පී.ආර්. ඇන්තනීස්, මයිකල් ඔන්ඩච්චි හා ජෙෆ්රි බාවා යන ප්‍රකට පුද්ගලයන් තිදෙනා මාගේ පසුගිය ලිපියේ බර්ගර්වරුන් ලෙස හඳුන්වා තිබීම වැරදිය. ඒ ගැන වඩා හොඳින් තොරතුරු දන්නා පුද්ගලයන් සිව්දෙනකු වෙන් වෙන්ව මා අමතා කතා කළේය. ඒ සිව්දෙනාටම මගේ ස්තුතිය හිමිවිය. මෙම සඳහනේදී මා මූලාශ්‍ර කොට ගත්තේ බර්ගර්වරුන් ගැන ලංකාවේ ප්‍රකට උගතුන් දෙදෙනකු ලියා තිබෙන පොත් දෙකකි. ඒවා මෙහි සඳහන් නොකරන්නේ එම කතුවරුන් දෙදෙනාට කිසියම් අගතියක් සිදුවිය හැකියැ”යි සලකාය. එහෙත් ඔවුන්ගේ පොත් දෙකේ එන මෙම වරද නිවැරදි කරන ලෙස එම කතුවරුන් දෙදෙනාට මට දැනුම්දිය හැකිය. ඒ මගින් කිසියම් අපහසුතාවක් සිදුවී නම් කනගාටුව පළකරමි.