චන්ද්‍රිකාගේ ජනාධිපති සමය

January 22, 2006
Publication:
A critical assessment of Chandrika Kumaratunga's presidency: her half-hearted support for Mahinda Rajapaksa, the Cabinet decision to give her land beside Parliament, property dealings in Britain and France, her failure ever to declare her assets, her habits in office, her handling of the peace process and the 'war for peace', tenders and procurement favouring friends, and the argument that a president can have no immunity for crimes against humanity.

හිටපු ජනාධිපතිවරිය වටා ඇති මතභේද බොහෝ ය. ජනාධිපතිනිය මහින්ද රාජපක්ෂට දුන්නේ ඇල් මැරුණු සහයෝගයක් ය යන්න රහසක් නොවේ. බණ්ඩාරනායක පවුල නොමැතිව කිසිවක් කිරීමට ශ්‍රීලනිපයට නොහැකියි යනුවෙන් පුවත්පත් ප්‍රකාශ හා ප්‍රසිද්ධ විවේචන ඇගේ සොහොයුරු අනුර බණ්ඩාරනායක කළේ ය. මහින්දට කිසිදාක ජය ගත නොහැකි යයි චන්ද්‍රිකා රාජ්‍යාතාන්ත්‍රික ප්‍රජාවට දැන්වූවා ය. රනිල් වික්‍රමසිංහගේ සටන් විරාම ගිවිසුමට ප්‍රශංසා කිරීමටත් ජවිපෙ ට හා ජාතික හෙළ උරුමයට පහර දිමටත් ඈ මහජන වේදිකාවල දී සෑම ඉඩප්‍රස්තාවක් ම ගත්තා ය. මහින්ද දිනන්න බොහෝ ඉඩ ඇතැයි ඇයට දන්වන ලද්දේ ඇන්තිම දවස් කිහිපයේදි ය. ඒ වන විට ඈට ගියරය වෙනස් කිරීමට ඒ් වින විට ප්‍රමාදය වැඩි වී තිබුණි.

මතභේදයට ලක් වී ඇති කරුණක් නම් පාර්ලිමේන්තු සංකීර්ණය අසල ඉතාම වටිනා භූමියෙන් අක්කර එකහමාරක් සැපයීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණයයි. මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කෙරුණු හදිසි ආකාරයත් ඉන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාපටිපාටි උල්ලංඝනය වන බවත් සැලකිල්ලට නොගන්නා ලදි. කැබිනට් පත්‍රිකාවකින් නීතිය උල්ලංඝනය වේදැයි දැන ගැනීම සඳහා කැබිනට් ලේකම්වරයා, නිසැකයෙන් ම නීතිපතිගෙන් හා වෙනත් අයගෙන් උපදෙස් ඉල්විය යුතු බව කියමින් ය. සිදු වී ඇති දෙය නිසා හිටපු ජනාධිපතිවරයකුගේ වරප්‍රසාදවලට අදාළ චාරිත්‍ර හා නීතිය නිසැකයෙන් ම උල්ලංඝනය වෙයි.

ඉඩම පිළිබඳ කරුණ සම්බන්ධ මේ කූට ක්‍රියා සමග ම ඇගමැති විසින් අලුත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලද අතර, අතීතයේ දී අන් කිසිදු ජනාධිපතිවරයකු නොලැබූ අතිරේක ලාභ හා වරප්‍රසාද හිටපු ජනාධිපතිවරියට ඉන් සපයන ලදි. ඇයට දෙන ලද වරප්‍රසාද ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලු විනිශ්චයකාරවරුන්ට ලැබෙන වරප්‍රසාද සමස්තයට වඩා බෙහෙවින් වැඩි බව අග්‍රවිනිශ්චයකාරවරයා විසර්ජන පනත පිළිබඳ තම ප්‍රකාශයෙන් කීය. මේ කරුණ සම්බන්ධයෙන් එය නවත්වන මෙන් ඉල්ලා උසාවියට පෙත්සම් ඉදිරිපත් කෙරෙනු ඇතැයි සිතිය හැකි ය. ඇයට සපයන ලද වරප්‍රසාද වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වේ යැයි මේ පෙත්සම් වලින් තර්ක කෙරෙනු ඇත.

පුවත්පත් ශීර්ෂපාඨ වලට ලක් වූ තවත් කරුණක් නම්, එක්සත් රාජධානියේ හා ප්‍රංශයේ වාස්තව දේපළ ගනුදෙනුව පිළිබඳ කරුණයි. ඇන්ඩෘ කුමරුට අයත් පවුම් කෝටියකට කත්සේරු කරන ලද මන්දිරයක් ජනාධිපතිනිය විසින් අත්කර ගන්නා ලද බව “ඊව්නිං ස්ටෑන්ඩර්ස්” පුවත්පතෙහි වාර්තා විය. ඇය පැරීසියේ බද්ධ නිවාස දෙකක් අත් කරගත් බව ද එහි සඳහන් විය. හිටපු ජනාධිපතිවරිය මේ කතාව ප්‍රතික්ෂේප කර ඇත. එහෙත් “ඊව්නිං ස්ටෑන්ඩර්ස්” පත්‍රයේ කතුවරයා එම කතාව තහවුරු කර තිබේ.

ජනාධිපතිනිය තම වත්කම් ප්‍රකාශ කිරීම අනිවාර්ය වුව ද ඇය එය කිසිදාක නොකළා ය. එහෙයින් වගකිව යුතු බව හා විනිවිද පෙනෙන සුලු බව යන ප්‍රතිපත්ති වෙනුවෙන් ඇගේ වත්කම් ප්‍රකාශ කිරීමට ඇයට බල කිරීම අවශ්‍ය ය. වැරදිවලට දඬුවම් නොලබා සිටීමේ සංස්කෘතියට ශ්‍රී ලංකාව අනුබල දී ඇත. සියලු ආණ්ඩු අල්ලස් හා දූෂණය පිළිබඳ බොහෝ වූ අවස්ථා ගැන ක්‍රියා කර නැත. අල්ලස් කොමිසම දේශපාලනීකරණය වී ඇති අතර, පරික්ෂණ පැවැත්වීමට එහි හැකියාව තදින්ම සීමා වී තිබේ.

ජනාධිපති වශයෙන් තම චර්යාවේ දී චන්ද්‍රිකා ඇතැම් අති විශේෂ සිරිත් හා ලක්ෂණ ගෙන ආවා ය. අවපාලනයට හා අකාර්යක්ෂමතාවට හේතු වූ මේ ලක්ෂණ වලින් සමහරක් පහත දැක්වේ.

වේලාවට වැඩ කිරීමට ඇගේ නොහැකියාව සුප්‍රසිද්ධ ය. ඇය පිළිබඳ මැසිවිලි ද බලාපොරොත්තු කඩවීම පිළිබඳ කතා ද අනන්ත විය. ඇතැම් අවස්ථාවල දී ඇය හමුවීමට සිටි ජනයා පැය 4 කට වැඩි කාලයක් රස්තියාදු කරවූවා ය. කිසිවකුත් ඇගේ පිළිවෙතින් නොබේරුණේ ය. විශ්ව විද්‍යාල උප කුලපතිවරු ද ඇමතිවරු ද නිලධාරිහු ද විදේශීය ආගන්තුකයෝ ද තානාපතිවරු ද බ්‍රිතාන්‍ය රජ පවුල පවා ද මේ නින්දාව වින්දෝ ය. කාලය පිළිබඳ යහපත් කළමනාකරණයක් ඇයට නොතිබුණු හෙයින් කැබිනට් රැස්වීම් හැමවිටම ප්‍රමාද විය. ඒවාට පැහැදිලි න්‍යායපත්‍රයක් නොතිබුණි. ජනාධිපතිනියගේ වැල්වටාරම් කතා එම රැස්වීම්වල ප්‍රධාන අංගය විය. ඒවා කිසිසේත් ම රටේ ප්‍රධාන විධායිකාව විසින් දැක්විය යුතු වූ විනයගරුක චර්යා නොවී ය. එය පෞද්ගලික සමාගමක සිදුවිණි නම් විනයක් නැතිකම නිසා ඇය සේවයෙන් පහ කෙරෙනු ඇත.

ඕනෑම විෂයයක් ගැන දිර්ඝ ලෙස තමාම කතා කිරීමට ජනාධිපතිනියගේ තිබුණු ප්‍රවණතාව ගැන බොහෝ දෙනා කීහ. ඈ එක් කරුණක් ගැන කතාව පටන්ගෙන ඉන් පසු වෙනත් ප්‍රශ්න කරා ඉබාගාතේ ගොස් අවසානයේ දී මුල් තැනට ආපසු ආවා ය. මේ චර්යාව විදේශීය හා දේශීය අමුත්තන්ට කඳුළු එන තරමට ඈ නීරස කතා කීවාය.

සාම ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇයට වෘත්තිකත්වයක් නොතිබුණි. එල්ලයක් හා අත්දැකීමක් නැතිකම සක්සුදක් සේ පැහැදිලි විය. එල්ටීටීඊ සංවිධානය සමග සාකච්ඡා නැවත ඇරඹීම සඳහා ඇගේ ප්‍රධාන පහසුකම් සපයන්නන් වශයෙන් ඈ තම ගජ මිතුරන්ගෙන් කිහිප දෙනකු තෝරා ගත්තා ය. ඒ හතර දෙනාගෙන් යම් වෘත්තිකත්වයක් දැක්වූයේ යාපනයේ හිටපු දිසාපති ප්‍රනාන්දු පමණි. ගෘහ නිර්මාණ ශිල්පියකු ද බැංකු නිලධාරියකු ද ඇගේ ලේකම් ද යන අනිත් තිදෙනා සාම ක්‍රියාවලියේ ඉතිහාසය පිළිබඳව කිසිවක් නොදන්නෝ වූහ. සාකච්ඡාවල දී ඔවුන්ගේ චර්යාව එල්ටීටීඊ පාර්ශ්වයෙන් සහභාගි වූවන්ගේ හාස්‍යයට කරුණක් විය. මේ කරුණ පිළිබඳ වැඩි පැහැදිලි කිරීමක් සඳහා මම ඇන්ටන් බාලසිංහම් යෙදූ “වංචාකාර දේශපාලනය” යන පදය ගැන සඳහන් කරනු කැමැත්තෙමි.

සන්නද්ධ හමුදාවල ප්‍රධාන අණ දෙන නිලධාරි වශයෙන් ඇගේ ඊනියා “සාමය සඳහා වූ යුද්ධය” ව්‍යසනයක් වූ අතර එය බංකොලොත්භාවයේ ආසන්නයට රට ගෙන ආවේය. විශ්‍රාමලත් ජනරාල්වරුන්ගෙන් ඕනෑම අයෙකුට කතා කරන්න. ඈ ගැන ඔවුන්ගේ මැසිවිලිවලට කන් දෙන්න. තමා යුධෝපාය දක්ෂයෙකැයි ඈ තුළ අහංකාරයක් තිබුණ මුත් යුධ දර්ශනය හා උපාය මාර්ග පිළිබඳ වැටහීමක් ඇයට නොතිබුණි. ආරක්ෂක නියෝජ්‍ය ඇමති වශයෙන් තම මාමා කෙරෙහි ඈ බෙහෙවින් රඳ පැවතුණා ය. ඔහුගේ දේශපාන අරමුණු ජනරාල්වරුන් විසින් දෙන ලද උපදෙස් වලට පටහැණි විය. ජයසිකුරු යුධ මෙහෙයුමේ යුධමය උපාය මාර්ගයක් නොතිබුණු අතර, පටන් ගන්නා ලද්දේ දේශපාලන අරමුණු ඇතිව ය. එල්ටීටීඊ සංවිධානයට සිටියේ සටන්කරුවන් 3000 ක් පමණකැයි යනුවෙන් ඔහු දුන් සහතිකය එකල තිබුණු සියලු දත්තයන්ට පටහැනි විය. එල්ටීටීඊ සංවිධානය සමග සාකච්ඡා යළි අරඹනු පිණිස එල්ටීටීඊ සංවිධානය දුර්වල කෙරෙනු ඇති නියමිත දිනයන් දිගින් දිගට ම කල් දමන ලදි. තම ජනරාල්වරුන්ගේ දූෂණය ගැන ප්‍රසිද්ධියේ මැසිවිලි කී මුත්, අවි මිලට ගැනීම පිළිබඳ ඇගේ ප්‍රතිපත්තිය ව්‍යසනයක් විය. මිලට ගන්නා ලද උපකරණ බොහෝ විට අනවශ්‍ය විය.

ඇගේ මාමාගේ බැංකු ගිණුම වික්‍රමසිංහ රජය විසින් වටලනු ලැබූ අවස්ථාවේ බැංකු තැන්පත් චෙක් තුළ රු. මිලියන 50 කට වැඩි පිළින පත් ප්‍රමාණයක් අඩුක්කු කර තිබෙනු හමු වීම සිත් ගන්නාසුලු කරුණකි. තම මාමාගේ වැරදි විමර්ශනය කිරීමට ඈ කිසිවක් නොකළා ය. ඇගේ අවංකභාවය හා පාරද්‍රශ්‍යතාව එසේ ය. වෘත්තියට කිසිසේත් නොගැළපෙන මේ චර්යාව ද දූෂණය ද අපේ සොල්දාදුවන් බොහෝ දෙනකුගේ මරණයට ද යුධ පරාජයන් බොහොමයකට ද හේතු විය. බැංකු තැන්පත් ගබඩා තුළ අති විශාල මුදල් ප්‍රමාණයක් තබා ගැනීම ගැන පුද්ගලයින් 12 දෙනකු බලධාරින් විසින් නම් කරන ලද බව සැලකිය යුත්තකි. වික්‍රමසිංහ ඉඩ දුන්නේ පුද්ගලයින් දෙදෙනකු ගැන, එනම් අනුරුද්ධ රත්වත්තේ හා හිටපු ගුවන් හමුදාපති ගැන විමර්ශන කිරීමට පමණි. චන්ද්‍රිකාගේ බැංකු තැන්පත් ගබඩා ද ඇතුළුව අන් බැංකු තැන්පත් ගබඩා පරික්ෂා කිරීමට වික්‍රමසිංහ ට ඕනෑ වූයේ නැත.

ටෙන්ඩර් පටිපාටිය ද භාණ්ඩ සපයා ගැනීම සම්බන්ධ අපගේ ගනුදෙනු ගැන ද තවත් චෝදනා බහුලය. බොහෝ විට අපගේ ගජ මිතුරන්ට, උදාහරණ වශයෙන් රොනී පීරීස්ට, හැරි ජයවර්ධනට හා තවත් කිහිප දෙනෙකුට ඉතා ලාභදායක කොන්ත්‍රාත්තු දෙන ලදි. මහජනයා හොඳින් දන්නා ඉන් සමහරක් නම් එමිරේට්ස් ගනුදෙනුව, ජීඑස්ටී (PNO) ගනුදෙනුව හා දුම්රිය සම්බන්ධ ගනුදෙනු ය. ටෙන්ඩර් පටිපාටි පිළිබඳ නිසි පටිපාටි නිෂ්ප්‍රභා කරන ලද හෙයින් විමර්ශනයක් අතිශයින්ම අවශ්‍යය. මේ ගජ මිතුරන්ට ලැබුණු ධනසම්භාරයන් පිළිබඳ උදාහරණයක් නම් ජනාධිපතිනිගේ සමීප විශ්වාසියෙකු හා ලේකම් වූ බාලපටබැඳිගේ පුත්‍රයාගේ වත්මන් ධනයයි. ක්‍රිකට් පිටි හා පිහිනුම් තටාක සහිත ගෙවල් හයක් ඕස්ට්‍රේලියාවේ ඔහුට අයත්ව තිබෙන බව වාර්තා වේ. එබඳු උදාරණ තවත් බොහෝ ඇත. විමර්ෂණයට ලක් කළ යුතු තවත් කරුණක් නම් විරුද්ධවාදින් පිළිබඳ දේශපාලන ඝාතනයන් ය. විවේචන කරන මාධ්‍යවේදින් ඝාතනය කරවීමට ජනාධිපතිනියට ඕනෑ වූ බව එස්.බී. දිසානායක ප්‍රසිද්ධියේ කියා ඇත. පුවත්පතක කතුවරයෙකු මැරිම ගැන තවමත් විමර්ෂණයක් කර නැත. ඉතාලියේ වෙසෙන ඔහුගේ බිරිඳ තොරතුරු සැපයීමට සූදානම්ව සිටින අතර එම තොරතුරු වලින් ජනාධිපතිනියට කෙළින්ම චෝදනා කෙරේ. කුමාර් පොන්නම්බලම්ගේ ඝාතනය සිත් සසල කරවයි. මන්ද යත් ඒ පිළිබඳ විමර්ශනය යටපත් කරන ලද හෙයින් හා ඊට ජනාධිපති ආරක්ෂක අංශය සම්බන්ධ බව සාක්ෂිවලින් පෙන්නුම් කෙරෙන බැවිනි. ඇගේ ප්‍රකට හා අපකීර්තිමත් ආරක්ෂක අංශය (පී.එස්.ඩී – ජනාධිපති ආරක්ෂක අංශය) මේ ඝාතන වලින් බොහෝමයකට වගකිව යුතු බව කියනු ලැබේ.

මිනිස් වර්ගයාට එරෙහිව කෙරෙන අපරාධ සම්බන්ධයෙන් රටේ ජනාධිපතිට බුක්තියක් තිබිය නොහැකිය. ඈට නීතිය යටතේ වගකීමට සැලැස්විය යුතුය. ඇගේ වත්කම් ප්‍රකාශ කරන තුරු හා අයුතු ලෙස ලබාගත් මුදල් විශාල ප්‍රමාණයක් හා දේපළ ඇය සතුව තිබීම ගැන උත්තර දිමට ඈට හැකි වන තුරු ඇගේ ගමන් වළක්වන නියෝගයක් පනවන මෙන් අල්ලස් කොමසාරිස්ගෙන් ඉල්ලිය යුතුය. අපේ උගත් නීතිවේදින් ද නීතිවේදි සංගමය ද ප්‍රතිපත්ති විකල්ප සඳහා වූ කේන්ද්‍රය ද සාධාරණ හා නිදහස් සමාජයක් පතන අන්‍යයන්ද මේ කරුණු ගැන උනන්දු වනු ඇතැයි මම අවංකවම බලාපොරොත්තු වෙමි.

සිංහලානුවාදය

ඩී.එස්.එස්. මායාදුන්නේ