රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂය

December 25, 2005
Publication:
Ranil Wickremesinghe's handling of the revolt against his leadership is remarkable: twice before he saw off rebellions by handing out sweets. Ivan explains how party leaders reap hundreds of millions in black money at elections, and applies Mick Moore's analysis to both Wickremesinghe and his challengers.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය පක්ෂ නායකත්වයට එරෙහිව පක්ෂ අභ්‍යන්තරයෙන් මතුවී තිබෙන කැරැල්ලට මුහුණ දෙමින් සිටින ආකාරය ඉතාමත් අපූරුය. එක්සත් ජාතික පක්ෂයේ ඕනෑම සාමාජිකයකුට පක්ෂයේ සභාපති සහ මහලේකම් යන තනතුරු දැරිය හැකි ආකාරයටත් පක්ෂයේ ඉහළම තනතුරු දරන හා පක්ෂයේ බිම් මට්ටමේ ක්‍රියාකාරින් දක්වා වගකීම් පැවරෙන ආකාරයටත් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට තමන් සූදානම් බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. එහි තේරුම තමන් නායකත්වය දරන පක්ෂ නායකත්වය හැර අන් ඕනෑම දෙයක් වෙනස් කරන්නට තමන් සූදානම් බවය.

මෙවැනි රස කතා පක්ෂ නායකත්වයට එරෙහිව කැරලි මතුවූ විට පෙර අවස්ථා දෙකකදි ද රනිල් වික්‍රමසිංහ මහතා කීවේය. ඒ හැම අවස්ථාවකදිම කැරැල්ලේ නායකයින්ට සීනිබෝල දී ඔහු තම පක්ෂ නායකත්වය රැක ගත්තේය. මෙවර මතුවී තිබෙන අර්බුදය ප්‍රමාණයෙන් වඩා විශාල වුවත්, පැරණි ප්‍රතිපත්තිය මත පිහිටා තවදුරටත් පක්ෂ නායකත්වයේ එල්ලී සිටීම ඔහුගේ අරමුණ වී තිබෙන බව පෙනේ.

කැරලිකරුවන් කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ බහුතර පිරිසක් නායකත්වයේ වෙනසක් ඇති කරනවාට පක්ෂ බවය. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා නිල නොවන ලෙස කියන්නේ කැරලිකරුවන්ගේ ප්‍රමාණය සුළු බවත්, තමන්ට බහුතර බලයක් තිබෙන බවත්ය. බහුතර බලයක් ඇතිනම් කෘත්‍යාධිකාරි මණ්ඩලය හෝ පාර්ලිමේන්තු කණ්ඩායම රැස් කරවා බැලීමේ හැකියාවක් ඇතත්, එවැනි උරගා බැලීමකට යන්නට ද රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් නැත.

පක්ෂ නායකත්වය පිළිබඳ අර්බුදයේදි රනිල් වික්‍රමසිංහ මහතාගේ හැසිරිම චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ හැසිරිමට සමානය. තවදුරටත් රටේ ජනාධිපතිවරිය නොවන තත්ත්වයක් ඉදිරියේ පවා ඇය පක්ෂ නායකත්වය අත්හැරීමට කැමති නැත. පක්ෂ නායකත්වයෙන් ඉවත් වනවා වෙනුවට ඉවත් කරන තෙක්ම ඇය බලා සිටී.

රටට රජුන් තනන පක්ෂ දෙක ලෙස සැලකිය හැකි මෙම පක්ෂ දෙකේ නායකත්වය දෙවැනි වනුයේ රටේ ජනාධිපතිකමට පමණය. රටේ ජනාධිපති මුළු රටටම ජනාධිපති වන විට පක්ෂවලට ජනාධිපතිවරුන් වන්නේ පක්ෂ නායකයින්මය.

පක්ෂ නායකත්වයට තේරි පත්වූ මොහොතේ සිට සියලු රජ සම්පත් හා රජ සැලකිලි සමග පක්ෂ නායකයා රජකු ලෙස බලාගැනීමේ ක්‍රමයක් රටේ ක්‍රියාත්මක වේ. සිරිමා බණ්ඩාරනායක මැතිනිය පක්ෂ නායකත්වයේ සිටියදි ඇය බලාගැනීමේ වගකීම පැවරි තිබුණේ රටේ ලොකුම ධනපතියන්ගෙන් කෙනෙකු ලෙස සැලකිය හැකි හැරී ජයවර්ධනටය. එහිදි ඒ බලාගන්නා එසේ කළ යුත්තේ රජවන්නට නියමිත පුද්ගලයෙකු බලාගන්නා ආකාරයටය. අනාගත රජුගේ හෝ රැජිණගේ සියලුම ද්‍රව්‍යමය අවශ්‍යතාවන් එම බලාගන්නා බලා ගත යුතුය. රට අභ්‍යන්තරයේ ගමන් ගන්නා විට හෝටල් ගාස්තු ඇතුළු සියලු වියදම් ද නැවත විදේශීය සංචාරවලදි කෙරෙන සියලු වියදම් ද දරනු ලබන්නේ ඔහු විසිනි. බලයෙන් පිටස්තරව සිටියදි මෙැවනි ක්‍රමයක් තුළ ලැබෙන සැප සම්පත් භුක්ති විඳීමේ හැකියාවක් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට නොතිබුණේ ඇය බල තරගයට හදිසියේම කඩා පහත් වූ පුද්ගල චරිතයක් වීම නිසාය. අනෙක් අතට අවසාන මොහොතේ මිස ඇය අනාගත රැජිණ බව පෙනෙන තත්ත්වයක් නොතිබුණු නිසාය. සිරිමා බණ්ඩාරනායක මැතිනිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ මේ පිළිවෙත වඩා ඉහළ මට්ටමකින් රනිල් වික්‍රමසිංහ මහතා සඳහා ද ක්‍රියාත්මක වී යැයි කිව හැකිය.

ප්‍රධාන පක්ෂ දෙකේ නායකයන්ට අස්වැන්න ලැබෙන්නේ ප්‍රධාන මැතිවරණවලදිය. මැතිවරණයකදි ආධාර වශයෙන් ලැබෙන කළු සල්ලි ප්‍රමාණය කෝටි සිය ගණනක් විය හැකිය. පක්ෂ නායකයාට ලැබෙන එම ආධාර පරීක්ෂාවට ලක් කෙරෙන හෝ පක්ෂයට වාර්තා කෙරෙන ක්‍රමයක් නැත. කැමති නම් ලැබෙන දේවලින් කැමති කොටසක් සිය පෞද්ගලික පරිහරණය සඳහා වුවද යොදාගත හැකිය. පසුගිය ජනාධිපතිවරණයේදි ප්‍රධාන අපේක්ෂකයින්ට ලැබුණු ආධාර ප්‍රමාණය එක් පුද්ගලයෙකුට රුපියල් කෝටි 200ක් පමණ විය හැකිය. ජනාධිපතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ ප්‍රචාරක වියදම රුපියල් මිලියන 800කි. මීට අතිරේකව එජාප සිය සංවිධායකයින් වැඩ කරන තත්ත්වයක තබාගැනීම සඳහා ජනාධිපතිවරණයේදි හැම සංවිධායකයකුටම රුපියල් මිලියනයක බැගින් වන මුදලක් ගෙවීය. එම පක්ෂයට සිටින සංවිධායකයින් ගණන 146ක් ලෙස සැලකුවහොත් සංවිධායකයන්ගේ ගෙවීම් සඳහා පමණක් වැයවී තිබෙන වියදම මිලියන 146කි.

මෙවැනි දූෂිත ක්‍රමයක් තුළ ජීවත් වන කිසිම නායකයකු පක්ෂ නායකත්වය සිය කැමැත්තෙන් අත්හරිනු ඇතැයි සිතිය නොහැකිය. අනෙක් අතට රනිල් වික්‍රමසිංහ මහතා හෝ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට පක්ෂ නායකත්වය අතහැර වෙන කරන්නට දෙයක් ඇත්තේද නැත. ඔවුන් දන්නා එකම රක්ෂාව පක්ෂ නායකකම පමණය. ශ්‍රී ලංකාවේ සංවර්ධනය හා දේශපාලනය පිළිබඳ විශේෂඥයකු වන සසෙක්ස් විශ්වවිද්‍යාලයේ මික්මූවර් (Mick Moore) ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමයේ ඇති ගරා වැටීම විවෘත ආර්ථික ක්‍රමයේ ඵලයක් ද යන්න සොයා බලන අධ්‍යයනයක් 1990දි පළ කළේය. Economic Liberalisation Versus political Pluralism in Sri Lanka යන්න එහි මාතෘකාව විය. එම නිබන්ධනයේදි ඔහු ජේ.ආර්. ජයවර්ධන පාලන යුගයේ සිදුවූ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකාරකම් ඉදිරියේ ශ්‍රීලනිපයේ හා එහි නායිකාවගේ හැසිරිම් විග්‍රහයට ලක් කරයි. ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමයේ පවත්නා ගරා වැටීම විවෘත ආර්ථික ක්‍රමයේ ඵලයක් බව ඔහු පිළිගන්නේ නැත. එහෙත් ජේ.ආර්.ජයවර්ධනගේ අත්තනෝමතික ක්‍රියාකාරකම් දේශපාලන ක්‍රමයේ ගරා වැටීම වේගවත් කිරීමට හේතුවූ බව ඔහු පිළි ගනී. ඒ සමග ඔහු අනෙක් අතට කියන්නේ ජේ.ආර්. ජයවර්ධනගේ අත්තනෝමතික ක්‍රියාකාරම්වලට එරෙහිව ශක්තිමත්ව සටන් කරන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ප්‍රධාන විරුද්ධ පක්ෂයේ නායිකාව වශයෙන් බණ්ඩාරනායක මැතිනිය සමත් වී නම් චිත්‍රය වඩා වෙනස් එකක් වන්නට ඉඩ තිබුණු බවය. ඔහුට අනුව ශ්‍රීලනිපයේ දුර්වල ක්‍රියාකාරිත්වය කෙරෙහි බණ්ඩාරනායක මැතිනියගේ පෞරුෂය ද බලපෑවේය. “පුද්ගල ඇදහීමට බර එහෙන් මෙහෙන් සංවිධානය කළ පක්ෂයක් සිය ස්වාමි පුරුෂයාගේ ඇවෑමෙන් උරුම වූ පසු ඇය සිය පක්ෂය නවීකරණය කිරීමට හෝ ස්ථිර පක්ෂ සංවිධානයක් හෝ නිලධාරී පාලනයක් ඇති කිරීමට අසමත් වූවාය. ප්‍රජා අයිතිය අහෝසි වීමෙන් පසුත්, ඇය පක්ෂ නායකත්වය අත්නොහැරියා පමණක් නොව, පක්ෂ නායකත්වය පවුල තුළම රඳවා තබා ගැනීම සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ග එම පක්ෂය බෙලහීන කිරීමට හේතුවූ බවත්, ශ්‍රීලනිපයේ ස්වරූපය වෙනස් වී නම්, එම පක්ෂය දුර්වල කිරීමේ ජේ.ආර්. ජයවර්ධනගේ උපක්‍රම නිෂ්ක්‍රීය වී රජයට පිළිගත හැකි විකල්ප ආණ්ඩුවක් ඇතිවීමට ඉඩ තිබුණු බවත්, මික් මූවර් පෙන්වා දේ.

එකල විපක්ෂ නායිකා සිරිමා බණ්ඩාරනායක මැතිනිය ගැන මූවර් සිය නිබන්ධනයෙන් ඉදිරිපත් කර තිබෙන නිරීක්ෂණ 1994න් පසුව විපක්ෂ නායකයාගේ භූමිකාව රගපෑ රනිල් වික්‍රමසිංහ මහතාට ද හොඳින් ගැළපෙන්නේය. ජේ.ආර්.ජයවර්ධනගේ අත්තනෝමතික ක්‍රියාකාරකම් වලට එරෙහිව ශක්තිමත්ව නැගී සිටීමට සිරිමා බණ්ඩාරනායක මැතිනිය අසමත් වූවා සේ ම ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ අත්තනෝමතික ක්‍රියාකාරකම් වලට එරෙහිව ශක්තිමත් ලෙස නැගී සිටීමට රනිල් වික්‍රමසිංහ මහතා ද අසමත් විය. ජේ.ආර්.ජයවර්ධනගේ අත්තනෝමතික ක්‍රියාකාරකම් ඉදිරියේ සිරිමා බණ්ඩාරනායක මැතිනිය නිවට ලෙස බකන් නිලාගෙන සිටියා සේ රනිල් වික්‍රමසිංහ මහතා ද චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ අත්තනෝමතික ක්‍රියාකාරකම් ඉදිරියේ නිවට ලෙස බකන් නිලාගෙන සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. වයඹ පළාත් සභා මැතිවරණය රනිල් වික්‍රමසිංහ මහතා උරගා බැලීමකට ලක් කෙරුණු වැදගත්ම අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. ඔහු එහිදි විරෝධය පළ කළා මිස, ඉන් ඔබ්බට කරන්නේ කුමක්ද යන්න දැන නොසිටියේය. බණ්ඩාරනායක මැතිනිය සිය පක්ෂය පාලනය කළේ ද වැඩවසම් නින්දගමක් ලෙසය. රනිල් වික්‍රමසිංහ මහතා සිය පක්ෂය පාලනය කළේ ද ඊට සමාන ආකාරයකටය. ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන විසින් ද ඉන්පසු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා විසින් ද නවීකරණය කර තිබූ පක්ෂ යන්ත්‍රය ඔහු බෙලහීන කළේය. එම නායකයන් පක්ෂයට ලබාදි තිබුණු පොදු ජන පෙනුම ඉවත් කොට එය කුරුඳුවත්තේ පක්ෂයක් බවට පත් කළේය. රෝහණ කුමාර ඝාතනය කරන ලද්දේ ද, රූකාන්ත-චන්ද්‍රලේඛා හිංසාවට ලක් කළේ ද, අනෝජා වීරසිංහගේ සිනමා කෞතුකාගාරය අළු දූලි බවට පත් කරන ලද්දේ ද ඒ සියලු දෙනා රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීප ආධාරකරුවන් වීම නිසාය. එහෙත් ඒ කිසිවකු වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටීමට රනිල් වික්‍රමසිංහ මහතා අසමත් විය. අඩුම වශයෙන් හගුරන්කෙත එස්.බී. දිසානායක මහතාගේ ආධාරකරුවන් විසින් කට කැපීම නිසා අදත් හරිහැටි කතා කළ නොහැකි තත්ත්වයක සිටින මන්දාරම්නුවර තිලකරත්න වෙනුවෙන් වත් යුක්තිය ඉටු කරවා දිමට රනිල් වික්‍රමසිංහ මහතා සමත් නොවීය.

ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ක්‍රමයක පැවැත්ම කෙරෙහි ආණ්ඩු පක්ෂය පමණක් නොව විපක්ෂය ද බලපායි. ආණ්ඩු පක්ෂයක් අත්තනෝමතිකව ක්‍රියා කරන විට ඊට එරෙහිව බලවත් ලෙස නැගී සිටීමේ වගකීම යන්නේ විපක්ෂයටය. ආණ්ඩු පක්ෂයක් අත්තනෝමතිකව ක්‍රියාකිරීම නිසා පමණක් දේශපාලන ක්‍රමය ගරා වැටෙන්නේ නැත. දේශපාලන ක්‍රමයක් ගරා වැටෙන තත්ත්වයට පත්වන්නේ ආණ්ඩු පක්ෂයක් අත්තනෝමතිකව ක්‍රියා කරන විට විපක්ෂය ඊට එරෙහිව ශක්තිමත් ලෙස නැගී නොසිටින්නේ නම් හා එම ද්විත්ව ක්‍රියාවලිය ඒ ආකාරයට නොකඩවා සිදුවන්නේ නම් පමණය.

අනෙක් අතට පවතින දේශපාලන ක්‍රමයේ ගරා වැටීම කෙරෙහි රටේ පවතින බහුපක්ෂ ක්‍රමයට ආවේණික ප්‍රජාතන්ත්‍රවාදි නොවන ගති ලක්ෂණ ද බලපා තිබේ. කිසිම දේශපාලන පක්ෂයක අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් ඇත්තේම නැති තරම්ය. හැම පක්ෂයකම නායකයා ඒකාධිපතියෙකි. කෘත්‍යාධිකාරි මණ්ඩලය හෝ මධ්‍යම කාරක සභාව වැනි බලවත් ආයතනවලට තමන් කැමති නියෝජිතයන් වැඩි පිරිසක් නම් කිරීමේ බලය පක්ෂ නායකයා සතුය. කිසිම පක්ෂයක් මැතිවරණ අයවැය සිය පක්ෂයට ඉදිරිපත් කරන්නේ නැත. අවසානයේ ශ්‍රී ලංකාවේ බහු පක්ෂ ක්‍රමය ඒකාධිපති නායකයන් පුරුදු පුහුණු කරන ආයතන ක්‍රමයක් ලෙස ක්‍රියා කරයි. එසේ ඒකාධිපති නායකයන් ලෙස ක්‍රියාකිරීමට අවශ්‍ය පුහුණුවක් ලබා බලයට පත්වන නායකයන්ගෙන් රට ප්‍රජාතන්ත්‍රවාදය බලාපොරොත්තු වෙයි නම් ඊට වැඩි දේශපාලන විහිළුවක් තවත් තිබිය නොහැකිය.

මික් මූවර්ගේ මෙම විශ්ලේෂණය රනිල්ට පමණක් නොව රනිල්ට එරෙහිව කැරලි ගසන අයට ද අදාළය. රනිල් එම පක්ෂයේ බහුතර මතයට අවනත නොවී බලහක්තාරයෙන් පක්ෂ නායකත්වයේ එල්ලී සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නම් රනිල් වික්‍රමසිංහ මහතා පලවා හැර සුදුසු නායකයකු පත්කර ගැනීමේ ශක්තිය එම කැරලිකරුවන්ට තිබිය යුතුය. ඔවුන්ට ඒ ශක්තිය නැති නම් ඔවුන් රගපාන්නේ ද ජේ.ආර්. ජයවර්ධන ඉදිරියේ සිරිමා බණ්ඩාරනායක හෝ චන්ද්‍රිකා කුමාරතුංග ඉදිරියේ රනිල් වික්‍රමසිංහ රගපෑ නියාලු දේශපාලන භූමිකාවමය. එවැනි භූමිකාවක් ඇතිවිට ඕනෑම පක්ෂයක් සෝදාපාලු තත්ත්වයකට පත්වනු නොවැළැක්විය හැකිය.