චන්ද්‍රිකා හා රනිල් ගැන වැඩිදුරටත්

December 25, 2005
Publication:
Ivan is glad his articles on Ranil Wickremesinghe and Chandrika Kumaratunga have stirred debate. One reader told him why Wickremesinghe protected her: she published the Batalanda Commission report without a chapter concerning him, and videos of abuses ordered from the President's House are said to exist.

රනිල් වික්‍රමසිංහ මහතා ගැන ලියන ලද ලිපියත් විශ්‍රාම ගිය ජනාධිපතිනි චන්ද්‍රි්කා කුමාරතුංග මහත්මිය ගැන ලියන ලද ලිපි පෙළත් උණුසුම් කතාබහට හේතුවී තිබීම ගැන මම සතුටු වෙමි. විවිධ පුද්ගලයින් ගණනාවක් මට දුරකතනයෙන් කතා කොට ඔවුන්ගේ අදහස් පළ කළහ.

එසේ අදහස් පළ කළ එක් පුද්ගලයෙක්, රනිල් වික්‍රමසිංහ මහතා විසින් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ආරක්ෂා කිරීමට බලපා තිබෙන හේතු පිළිබඳව තමා දන්නා රහසක් මට කියා සිටියේය.

ඔහු බටලන්ද කොමිසමේ සභාපති ලෙස ක්‍රියා කළ විශ්‍රාමලත් විනිසුරු ඩී. ජයවික්‍රම මහතා දන්නා හඳුනන පුද්ගලයෙකි. ජයවික්‍රම මහතා එම කතාව ඔහුට කියා තිබෙන්නේ මීට කලකට ඉහතදිය.

ඔහුට අනුව ජනාධිපතිනිය බටලන්ද කොමිෂන් සභා වාර්තාව සැසි වාර්තාවක් ලෙස පළකොට තිබෙන්නේ ඊට ඇතුළත් විය යුතු එක් වැදගත් පරිච්ඡේදයක් නැතිවය. එය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවාසියට හේතුවන ලෙස ලියැවී තිබූ පරිච්ඡේදයකි. ජයවික්‍රම මහතා ජනාධිපතිනිය හමුවූ අවස්ථාවකදි ඒ බව ඇයට දැනුම් දී තිබෙන අතර, එවැන්නක් සිදුවී ඇත්නම් එසේ කරන්නට ඇත්තේ බාලපටබැඳි මහතා බව ජනාධිපතිනිය ප්‍රකාශ කර තිබේ. එහෙත් ජයවික්‍රම මහතා එම පුද්ගලයාට ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිනිය ඇග බේරාගැනීම සඳහා එසේ කිව්වත්, ඇගේ අනුදැනුම නැතිව එවැන්නක් කළ නොහැකි බවය.

මට කතා කළ තවත් පුද්ගලයෙක් ජනාධිපතිනිය විසින් පරිහරණය කරන ලද අතිවිශේෂ වීඩියෝ කැමරාව ගැන තමන් දන්නා තොරතුරු කිහිපයක් මට දැනුම් දුන්නේය. මේ පුද්ගලයා සේවය කර තිබෙන්නේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේය. එකල එහි සිටින අපේ තානාපතිවරයා ලෙස ක්‍රියාකර ඇත්තේ එස්.කේ. වික්‍රමසිංහ මහතාය. එස්.කේ. වික්‍රමසිංහ මහතා විසින් කරන ලද ඉල්ලීමක් අනුව මෙම විශේෂ වර්ගයේ වීඩියෝ කැමරාව මිලදි ගත හැකි ස්ථාන හා මිල ගණන් සොයා බලා දැනුම් දී ඇත්තේ එම පුද්ගලයාය. එහෙත් එය ජනාධිපතිනියගේ පරිහරණය පිණිස මිලදි ගන්නා ලද දෙයක් බව තානාපති කාර්යාලයේ කිසිවකුත් දැන සිට නැත. ඔවුන්ගේ විශ්වාසය වී තිබී ඇත්තේ එය ජාතික ඔත්තු සේවාව වැනි ආයතනයක් සඳහා මිලදි ගන්නට යන කැමරාවක් ලෙසය. එහෙත් මිලදි ගත හැකි ස්ථාන හා මිල ගණන් දැනුම් දෙනවා හැරුණු විට මිලදි ගන්නා ක්‍රියාවලියට එම පුද්ගලයා සම්බන්ධ වී නැත.

ඔහුගෙන් අසන්නට ලැබුණු ඊළග කරුණ ඉතා වැදගත්ය. රජගෙදර අණින් සිදුවන සැහැසිකම් වීඩියෝ ගත කර ඇති බව ඔහු ද පිළිගත්තේය. ඔහුට එය අසන්නට ලැබී ඇත්තේ ලන්ඩන් හි වෙම්බ්ලි ප්‍රදේශයේ ජීවත් වන ප්‍රසිද්ධ කුමරියකගේ නම ඇති කාන්තාවකගෙනි. ඇය ශ්‍රී ලංකාවේ කාන්තාවකි. ඇයට ඒ බව දැනගන්නට ලැබී ඇත්තේ සනත් ගුණතිලකගෙනි.