ජනා ධි ප ති නී ච න් ද්රි කා කු මා ර තු ංග මහත්මියට රජකම අහිමි වන්නට පෙර ඇය පිළිබඳව මගේ අත්දැකීම් අළලා පොතක් ලිවිය යුතුයැයි මට කල්පනා වූයේ 1999 ජනාධිපතිවරණය අවසන්වීමත් සමගය. ඒ සමග ඒ කෘතිය ලිවීම වෙනුවෙන් විශාල කාලයක් ගත කරන ලද අතර, මා අදහස් කළ පොතෙන් 90%ක් පමණ නිමා කිරීමට ද හැකිවිය. නිමා කළ කොටසේ ප්රමාණය ටයිප් පිටු 500කට අඩු නොවූවත්, කවර හේතුවක් නිසා හෝ ඉතිරි 10% අද දක්වා සම්පූර්ණ කිරීමට මා අසමත් විය. අගවිනිසුරු පිළිබඳ පොත ලීවේ චන්ද්රිකා පිළිබඳ පොත 90%කින් නිමා කර තිබියදිය. අගවිනිසුරු පිළිබඳ පොත නිමා කොට ප්රකාශ කිරීමට හැකිවුවත් චන්ද්රිකා පිළිබඳ පොතේ ඉතිරි 10% නිමා කිරීමට අද දක්වාම මට හැකිවූයේ නැත. එහෙත් දැන් ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මිය සිටින්නේ ඇගේ නිල කාලය අවසන් වීමට ඔන්න මෙන්න කියන තත්ත්වයකය. එම දින කිහිපය තුළ මගේ පොත නිමා කොට ප්රකාශ කිරීමේ හැකියාවක් නැත. මේ ලිපිය ලියන්නේ ඒ අඩුව සපුරාලීම සඳහාය. ඇයගේ ධුර කාලය අවසන් වන්නට පෙර ඇය ඇමතීමේ යුතුකමක් හා වගකීමක් මට ඇතැයි මම විශ්වාස කරමි.
චන්ද්රිකාගේ බලයට පත්වීමේ ක්රියාවලිය විග්රහ කරන අවස්ථාවලදි සමහර විචාරකයෝ මාගේ දායකත්වය ගැන ද කතා කරති. චන්ද්රිකා කුමාරතුංග මහත්මියට බලයට පත්වීමට අවශ්ය වටපිටාවක් තනාදිම ගැන මට චෝදනා මුඛයෙන් කතා කරන අය අදත් මගේ මිතුරන් අතර සිටිති. ඇයට බලයට පත්වීමේ ක්රියාවලියේදි ඒ සඳහා අවශ්ය වටපිටාවක් ගොඩනැගීමේ ක්රියාවලියේදි කැපී පෙනෙන දායකත්වයක් මගෙන් ලැබුණේ යැයි මම ද විශ්වාස කරමි. එහෙත් මා එසේ කළේ මා දන්නා හඳුනන කෙනෙකු බලයට පත්කිරිමෙන් අයුතු වාසි ලබාගැනීමේ පටු අරමුණින් නොව ඒ නිසා පොදුවේ රටට යහපතක් වනු ඇතැයි විශ්වාස කළ නිසාය.
මා ඇය කෙරෙහි බලාපොරොත්තුවකින් ද, විශ්වාසයකින් ද, සිටි බව සත්යයකි. එහෙත් මා ඇය පිළිබඳ ඇති කරගෙන තිබුණු සිහින මාලිගා දැඩි ප්රශ්න කිරීමකට ලක් වූයේ ඇය බලයට පත්වූ පසුව නොව, ඇය බලයට පත්වීමට පෙර දිනය.
ඇය බලයට පත්වන දිනට පෙර දින ඇය ගැන කතා කළ පුද්ගලයා ඇගේ ආධාරකරුවෙකි. ඊට අතිරේකව ඔහු බණ්ඩාරනායක පවුලේ සමීප මිතුරකු ද වූයේය. 94 මැතිවරණයට පෙර දින රාත්රියේ ඔහු මා සමග දිර්ඝ සාකච්ඡාවක යෙදෙමින් කියා සිටියේ එක දිගට අවුරුදු 17ක් බලයේ සිටි එජාප ආණ්ඩුව පරාජය කිරීම නිවැරදි බවත්, ඒ අරමුණ ජයගැනීම සඳහා චන්ද්රිකා කරළියට ගැනීම ද නිවැරදි බවත්, එහෙත් ඇය කෙරෙහි අනවශ්ය තරමින් විශ්වාසයක් ඇති කරගැනීම ඥාණාන්විත නොවන බවත් ය. තමාට එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ගැන අවබෝධයක් නැතත්, එම පවුලේ අන් සියලු දෙනා තමන් දන්නා බවත්, බාහිර පෙනුමෙන් ඉතාමත් නම්බුකාර වුවත්, එම පවුල අභ්යන්තර වශයෙන් කිසිම හරයක් නැති උද්ධච්ච කෙලෙහිගුණ නොදත් පවුලක් බවත් කියා සිටියේය. ඔහු එම රාත්රියේ තමන්ට අත් දකින්නට ලැබුණු රස කතා රාශියක් මට කියා දුන්නේය. එම තොරතුරු මා අන්ද මන්ද කිරීමට හේතුවූ බව කිව යුතුය.
ඉන්පසු චන්ද්රිකා කුමාරතුංග මහත්මිය බලයට පත්වී වසරක පමණ කාලයක් ගතවීමෙන් පසුව මා දන්නා හඳුනන තවත් පුද්ගලයෙකු ද මා ඔහුගේ නිවසට කැඳවා චන්ද්රිකා පිළිබඳව කිසිදාක අමතක නොවන අපූරු පාඩමක් මට කියා දුන්නේය. පෙර සඳහන් කළ පුද්ගලයා සේ ම මෙම පුද්ගලයා ද චන්ද්රිකාගේ ආධාරකරුවෙකි. පළමු පුද්ගලයා කෙටි කලක් තුළ චන්ද්රිකා සමග පවත්වාගෙන ගිය මිත්රත්වය අත්හළ ලද අතර, දෙවැනි පුද්ගලයා දිගටම ඇගේ ආධාරකරුවකු ලෙස ක්රියා කළේය. දෙවැනි පුද්ගලයා මා සමග පළමුවෙන් කතා කළේ චන්ද්රිකා ගැන නොව රත්තරන් ගැනය.
ඔහු කීවේ මෝඩ මිනිසුන් දිලිසෙන නිසා රත්තරන් වලට කැමති බවත්, ඒවා ප්රදර්ශනය කරන්නට කැමති බවත්ය. සමහර ගමේ මුදලාලිලා පොහොසත් බව ප්රදර්ශනය කරන්නට දත්වලට පවා රත්තරන් කොපු දමන බව ද ඔහු කීවේය. ඔහු ප්රේමදාස ආර්යාව ගැන ද කතා කළේය.
එහෙත් ලෝකයේ නුවණැති නවීන සල්ලිකාරයින් රත්තරං නොපළඳින බවත්, ඔවුන් රත්තරන්වලට වඩා වටිනා ආභරණ පළඳින මුත් ඒවා රත්තරන් මෙන් දිලිසෙන්නේ නැති බැවින් ඒවායේ වටිනාකම නොතේරෙන මිනිසුන්ට ඒවා වටිනා ආභරණ ලෙස නොපෙනෙන බවත් ප්රකාශ කරමින් කිසිම වටිනාකමක් නැති අයට ඇට මාල මෙන් පෙනෙන මුතුමාල ගැන අපූරු විග්රහයක් කළේය. ඉන්පසු ඔහු කීවේ ඔබ බලයට ගෙනා ජනාධිපතිනිය, හේමා ප්රේමදාස ආර්යාව මෙන් රත්තරන් මාල නොපළඳින නමුත්, රටේ මෝඩ මහජනයාට කිසිම වටිනාකමක් නැති ඇට මාල ලෙස පෙනෙන, එහෙත් ලෝකයේ ඉතාමත් නවීන දියුණු සල්ලිකාරයන් පමණක් පළඳින මුතු මාල පළඳින බවත් ය. මීට පෙර එවැනි මුතුමාල ඇගේ අම්මා හෝ එම පවුලේ වෙනත් කෙනෙකු පළඳිනවා තමන් දැක නැති බවත්, චන්ද්රිකා කුමාරතුංග ජනාධිපතිනිය ද බලයට ඒමට පෙර එම මාල පළඳිනවා දැක නැති බවත් කියා ඔහු මුතුමාල ගැන වන “කැටලොග්” එකක් මට දෙමින් කියා සිටියේ ඔබේ ජනාධිපතිනිය බලයට පත්වීමෙන් පසු ඒවා ලැබුණේ කෙසේදැයි සොයා බැලීමේ යුතුකමක් ඔබට තිබෙන බවය.
මෙම කතාවෙන් වසර ගණනාවකට පසුව එනම් 2002 හෝ 2003 වසරේදි බණ්ඩාරනායක ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේදි මුතු ආභරණ සඳහා වන ජාත්යන්තර වෙළෙඳ ප්රදර්ශනයක් පවත්වන ලදි. එහි ප්රදර්ශනයට තබා තිබූ ලා නිල් පැහැ මුතු මාලයක ඡායාරූපයක් එහි මිල සමග “ඩේලි මිරර්” පුවත්පතේ වානිජ අතිරේකයේ පළකර තිබෙනවා දක්නට ලැබුණි. එහි දක්වා තිබූ මුතු මාලයේ මිල ඩොලර් 90,000කි. රුපියල් වටිනාකම රුපියල් ලක්ෂ 90කි.
ජනාධිපතිනියට තිබෙන මුතුමාල ගණන කොපමණ ද යන්න මම නොදනිමි. එහෙත් එය අඩුම වශයෙන් තුනක් විය යුතුය.
ජනාධිපතිනිය 1999 ජනාධිපතිවරණය සඳහා ලබාදි තිබූ වත්කම් බැරකම් ප්රකාශයේ ඇය පරිහරණය කරන ආභරණ ගැන නිල වශයෙන් සඳහන් වෙතත්, මුතුමාල ගැන නම් කිසිවක්ම සඳහන් වන්නේ නැත.
අපේ මිතුරා සිය කතාව මුතු මාලවලින් නතර කළේ නැත. ඉන්පසු ඔහු අතේ පළඳින ඔරලෝසු ගැන කතා කරන්නට පටන් ගත්තේය. ජේ.ආර්. පැළඳි ගෝල්ඩ් රොලෙක්ස් ඔරලෝසුව ගැන කතා කළේය. එය ද රටේ සමහර අය අතර කතාබහට හේතුවූ මාතෘකාවක් වූ බවත්, ගෝල්ඩ් රොලෙක්ස් ඔරලෝසුවක වටිනාකම රුපියල් ලක්ෂ තුනකට වැඩි නොවන බවත් කියමින් ඔහු කියා සිටියේ ජනාධිපතිනිය පළඳින අත් ඔරලෝසුව සාමාන්ය මිනිසුන්ට පෙනෙනු ඇත්තේ කිසිම වටිනාකමක් නැති බාල අත්ඔරලෝසුවක් ලෙස වුවත්, එහි වර්ගය “පතේ පිලිප්ස්” බවය. “පතේ පිලිප්ස්” ඔරලෝසු පළඳින්නේ ලෝකයේ ලොකුම සල්ලිකාරයින් පමණක් බවත්, “පතේ පිලිප්ස්” ඔරලෝසුවක වටිනාකම රුපියල් මිලියන 2කට වැඩි බවත් කියමින් “පතේ පිලිප්ස්” ඔරලෝසු කැට්ලොග් එකක් ද මා අත තැබීය. ඇය ජනාධිපති ධුරයට එන්නට පෙර “පතේ පිලිප්ස්” පැළඳුවේ නැතිනම් ජනාධිපතිකමට ඒමෙන් පසු ඒවා පළඳින්නේ කෙසේද යන ප්රශ්නය මතු කරමින් ජනාධිපතිනිය හමුවන්නට ගිය අවස්ථාවක ඇය අත බැඳ තිබෙන ඔරලෝසුවේ වර්ගය කුමක්දැයි ඇගෙන්ම ප්රශ්න කරන ලෙස ඔහු මගෙන් ඉල්ලා සිටියේය.
ඇය හා මා අතර ඇතිවූ විරසකය කෙරෙහි මෙම “පතේ පිලිප්ස්” ඔරලෝසුව බලපෑ ආකාරය ගැන මීට පෙර ලියා ඇති බැවින් ඒ ගැන නැවත වරක් ලිවීම අවශ්ය නොවේ යැයි සිතමි. එහෙත් ඊට අදාළව මා අතින් නොලියවුණු එක් කරුණක් ගැන පමණක් මෙහි සඳහන් කරමි.
මෙම මුතුමාල හා ඔරලෝසු ප්රශ්නය නිසා රාජ්ය නායකයන්ට ලැබෙන ත්යාග පිළිබඳව මා තුළ උනන්දුවක් ඇතිවී රාජ්ය නායකයන්ට ලැබෙන ත්යාග පිළිබඳව මා අතින් සටහනක් ලියැවුණි. එම සටහනින් මා තර්ක කළේ අනුන්ට දෙනු ලබන ත්යාග වෙනුවෙන් පමණක් රටේ රාජ්ය නායකයාට අතිවිශාල මුදලක් වෙන් කරන බැවින් රාජ්ය නායකයාට ලැබෙන රාජ්ය ත්යාග රාජ්ය නායකයා මහා භාණ්ඩාගාරයට භාරදිය යුතු බවය. එය ලෝකයේ හැම රටකම ක්රියාත්මක වන ධර්මතාවකි. මාගේ එම සටහන ජනාධිපතිනිය තුළ ලැජ්ජාවක් ඇති කිරීමට හේතුවූවා විය හැකිය. ඇය “පතේ පිලිප්ස්” ඔරලෝසුව ඇතුළු තමන්ට ලැබී තිබුණු ත්යාග ආයිත්තම් හය හතක් උත්සවශ්රීයෙන් මහා භාණ්ඩාගාරයට පරිත්යාග කළාය. පරිත්යාග කළ භාණ්ඩ ලේඛනයක් හා ඒවාහි වෙළෙඳපොළ වටිනාකම ඇතුළත් ප්රවෘත්ති නිවේදනයක් ද ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ප්රසිද්ධ කරන ලදි “පතේ පිලිප්ස්” ඔරලෝසුවේ වටිනාකම ලෙස එහි දක්වා තිබුණු මිල රුපියල් මිලියන 02කටත් වැඩිය. ජනාධිපතිනිය විශ්රාම යන්නට පෙර පසුගිය වසර 11 තුළ තමන්ට ලැබුණු ත්යාග මහා භාණ්ඩාගාරයට භාර දුන්නේ ද? එම භාණ්ඩ හා ඒවාහි වටිනාකම් මොනවාදැයි මහජනතාවට දැනගන්නට සලස්වන්නේද?
චන්ද්රිකා කුමාරතුංග මහත්මියගේ අවංකභාවය සැකයට ලක් කෙරෙන ඊළග කතාව මට අසන්නට ලැබුණේ ප්රංශයේ “ලමොන්ඩ්” පුවත්පතේ දිල්ලි වාර්තාකරුගෙනි. එම සාකච්ඡාව සිදුවූයේ ද 1994 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුවය.