සන්ධාන පක්ෂ දෙකේ ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා තරගයට මෙන් පොරොන්දු දෙමින් තිබෙන අතර, ඒ දෙන ලද පොරොන්දුවලින් ජනතාවගේ නිවෙස්වල අටු කොටු පිරී ඉතිරි යමින් පවතී. සමෘද්ධි දිමනාව රු. 4000 දක්වා වැඩි කරන බව රනිල් වික්රමසිංහ මහතා කීවේ ය. ඉන්පසු මහින්ද රාජපක්ෂ මහතා කියන්නේ තමන් එය රුපියල් 5000 දක්වා වැඩි කරන බව ය. සියලුම වර්ගවල කිලෝ 50 පොහොර බෑගයක් රුපියල් 500කට ලබා දෙන බවට රනිල් වික්රමසිංහ මහතා පොරොන්දු වූයේය. ඉන්පසු මහින්ද රාජපක්ෂ මහතා කියන්නේ තමන් කිලෝ 50 පොහොර බෑගයක් රුපියල් 350 කට දෙන බව ය. මෙම අපේක්ෂකයින් විසින් රටට දෙමින් තිබෙන කෙළවරක් නැති පොරොන්දුවල යථාර්ථය පිළිබඳ රටේ සාකච්ඡාවක් ඇත්තේ ම නැති තරම් ය.
රට තිබෙන්නේ දූෂණයෙන් කුණුවී මජර ගලන තැනක ය. දූෂණය රටේ දුප්පත්කම වර්ධනය කොට සංවර්ධනය අඩාළ කිරීමට හේතුවී තිබේ. රටේ දූෂණය රජ කරන තරම පෙන්නුම් කෙරෙන නිදර්ශන දෙකක් මෙ සේ ය.
විගණකාධිපතිවරයා අධ්යාපන දෙපාර්තමේන්තුවට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විගණන වාර්තාවක් අනුව පාසල් නිල ඇඳුම් බෙදාදිමේ දී ප්රාදේශීය ලේකම් කාර්යාල මට්ටමේ දී අතුරුදහන්වී තිබෙන නිල ඇඳුම් පැකට් සංඛ්යාව 48,000 කි. නිල ඇඳුම් බෙදාදිමේ දී ප්රාදේශීය ලේකම් කාර්යාලයකින් පැකට් 240 කට ආසන්න සංඛ්යාවක් හොර පාරේ ගොස් තිබෙන බව ඉන් පෙනී යයි. අමාත්යාංශ මට්ටමේ දී අතුරුදහන්වී තිබෙන රෙදිවල ප්රමාණය පැකට් 575,862 කි. ඊටත් වඩා පුදුම දේ වනුයේ 1989 සිට 2002 දක්වා චීනයෙන් නිල ඇඳුම් සඳහා රෙදි මිලදි ගැනීමේ දී චීනය හැම වසරකම මීටර් 500,000ක් තරම් ප්රමාණයක් රටට නොමිලේ ලබාදි ඇතත්, 2002 වසර දක්වා ම ඒ මීටර් 500,000 අතුරුදහන් වී තිබීම ය.
විගණකාධිපතිවරයා මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට දැන් මාස 3 කට වැඩි කාලයක් ගෙවී ඇතත්, මෙම දැවැන්ත වංචාව ගැන කිසිම පරික්ෂණයක් සිදු කොට නැත. අධ්යාපනය භාරව ක්රියා කළේ ජනාධිපතිනියයි. ලේකම් ලෙස ක්රියා කළේ ඇගේ සමීපතම හිතවතියක වන ටාරා ද මැල් මහත්මියයි. ඔවුන් මෙම දැවැන්ත වංචාව ගැන කියන්නේ කුමක් ද? ඉන් පෙනෙන්නේ දූෂණය හැම මට්ටමකින් ම සිදුවන පොදු දෙයක් බවට පත්ව තිබෙන බව ය. එම තත්ත්වයෙහි වෙනසක් ඇති කරන්නේ කෙසේ ද කියා කිසිම ජනාධිපති අපේක්ෂකයකු රටට කියන්නේ නැත.
ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්රමයක් තුළ පරමාධිපත්යය බලය ඇත්තේ ජනතාවට ය. ඡන්දයක දී මහජනයා පාවිච්චි කරන්නේ එම බලයයි. රාජ්ය පාලකයා තෝරා ගැනීම සඳහා පැවැත්වෙන මැතිවරණ නිදහස් හා සාධාරණ විය යුතු ය. එහෙත් මෙම ජනාධිපතිවරණයේ දී සිරිතක් වශයෙන් වෙනත් හැම ජනාධිපතිවරණයකදි ම සිදුවූ ආකාරයට උපරිම මට්ටමකින් මැතිවරණ නීති උල්ලංඝනය කෙරෙමින් පවතී. පවතින මැතිවරණ නීති අනුව පොදු දේපළ, අපේක්ෂකයකු ගේ යහපත පිණිස පාවිච්චි කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. එහෙත් ජනාධිපතිවරණය ප්රකාශ කිරිමෙන් පසුත්, රාජ්ය ජනමාධ්ය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ යහපත පිණිස යොදා ගනිමින් තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. ප්රතිපත්ති ප්රකාශනය එළිදක්වන උත්සවය සජීවී වැඩසටහනක් ලෙස රජයට අයත් රූපවාහිනී ආයතනවලින් හා ගුවන් විදුලි ආයතනවලින් විසුරුවා හරින ලදි. පෞද්ගලික මාධ්යවලට තමන් කැමති අපේක්ෂකයකුට ආධාර කිරීමේ හැකියාවක් ඇතත්, රාජ්ය මාධ්යවලට එසේ ක්රියාකිරීමේ හැකියාවක් නැත. රාජ්ය මාධ්යවලට බලධාරියෙකු පත්කිරීමේ බලය මැතිවරණ කොමසාරිස්වරයාට ඇතත්, මැතිවරණ කොමසාරිස්වරයා ඒ බලය පාවිච්චි කරන බවක් පෙනෙන්නට ද නැත.
රාජ්ය නායකයා තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වෙන මැතිවරණයක් පවා නිදහස් හා සාධාරණ තත්ත්වයක තබාගැනීමට රටට හැකියාවක් නැති නම් එයින් පෙන්නුම් කෙරෙන්නේ ශ්රී ලංකාව දේශපාලන අර්ථයෙන් අශීලාචාර රටක් වන බව ය.