කෙළවර කුමක් ද?

September 4, 2005
Publication:
The Cabinet has decided to give the retiring President an acre and a half facing the Diyawanna Oya opposite Parliament, in lieu of the pension and official residence she says she will forgo. The note recalls her plan for a Rs 1,700 million presidential palace in the same area.

විශ්‍රාම යන ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරියේ දියවන්නා ඔයට මුහුණලා අක්කර එකහමාරක ඉඩමක් පරිත්‍යාග කිරීමට කැබිනට් මණඩලය තීරණය කරන ලද බව ජනමාධ්‍ය වාර්තා කොට තිබුණි. මේ සඳහා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කොට ඇත්තේ විප්ලවකාරි පිලිප් ගුණවර්ධනගේ පුත් නාගරික සංවර්ධන ඇමති දිනේෂ් ගුණවර්ධන මහතාය. පර්චසයක මිල රුපියල් ලක්ෂ 5ක් ලෙස සැලකුවත් ලැබෙන ප්‍රදානයේ වටිනාකම රුපියල් ලක්ෂ 1200කි.

ජනාධිපති ලේකම් කාර්යාලය කියන්නේ ඇය තමන්ට හිමි විශ්‍රාම වැටුප හෝ ඇයට ලැබිය යුතු නිල නිවස හෝ එම නිවසේ නඩත්තු වියදම් ලබා නොගන්නට තීරණය කර ඇති බැවින් ඒ වෙනුවට ඇය මේ ඉඩම ලබාගනු ඇති බවය.

ඇය ජනාධිපතිධුරයේ සිටියදි ද මෙම කලාපයේ ගොඩ නගන ජනාධිපති මන්දිරයක් ගැන සිහින දැක්කාය. රුපියල් දශ ලක්ෂ 1700ක වියදමින් මහා මන්දිරයක් ඉදිකිරීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ද ලබා ගත්තාය. එම මන්දිරය ඉදිකිරීම සඳහා අවශ්‍ය අධෝව්‍යුහ පහසුකම් ඇති කිරීම සඳහා පමණක් නාගරික සංවර්ධන අධිකාරිය රුපියල් දස ලක්ෂ 700ක් වියදම් කර තිබියදි එම මන්දිරයට එරෙහිව මතුවන මහජන විරෝධය නිසා මන්දිරය තැනීමේ සිහිනය අත්හැරිමට ඇයට සිදුවිය.

දැන් ඇගේ ලේකම් කාර්යාලය කියන්නේ නාගරික සංවර්ධන අධිකාරිය පරිත්‍යාග කරන ලද ඉඩමේ සියලු ඉදිකිරිම් කටයුතු ජනාධිපතිනිය සිය පෞද්ගලික වියදමින් ඉදිකරනු ඇති බවය. එහෙත් ජනාධිපතිනියගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ එන තොරතුරු අනුව ඇය මහා මන්දිර තනන්නට තරම් පොහොසත් ජනාධිපතිනියක ලෙස සැලකිය නොහැකිය. ඇය දුප්පත්ය. ඇගේ දුප්පත්කම සලකා ඇගේ චරිතාපදානය පළකිරීමට වරාය අධිකාරියෙන් මුදල් වියදම් කළ ආකාරයට රජයේ වියදමින් ඇයට මහා මන්දිරයක් තනාදිම සුදුසුය.