එස්.බී. දිසානායක මහතාට එරෙහිව පවරා තිබුණු අල්ලස් නඩුවේදි ඒ මහතා සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරමින් මහාධිකරණ විනිසුරුවරිය විසින් දෙන ලද තීන්දුව පොදුවේ අල්ලස් කොමිසමට එරෙහිවත්, විශේෂ වශයෙන් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයාට එරෙහිවත් එල්ල කරන ලද නෛතික දෝෂාභියෝගයක් ලෙස සැලකිය හැකිය. අධ්යක්ෂ ජනරාල්වරයා ආත්ම ගෞරවයක් ඇති පුද්ගලයෙකු නම් ඔහු වහා තමන් දරන තනතුරෙන් ඉල්ලා අස්විය යුතුව තිබේ. මෙම තීන්දුව මත එස්.බී. දිසානායක මහතා කොමිසමට එරෙහිව නඩු පවරන පිළිවෙතක් අනුගමනය කළහොත් කොමිසමට ඒ මහතා වෙනුවෙන් අතිවිශාල වන්දියක් ගෙවන්නට සිදුවනු නොඅනුමානය.
දේශපාලන වැදගත්කමක් ඇති පැමිණිලි වලදි තමන්ගේ ස්වාධීනතාව හා අපක්ෂපාතීභාවය තහවුරු කිරීමට අල්ලස් කොමිසම සමත් වී නැත. පෙර වසරක් සඳහා පළවී ඇති කොමිසමේ පාලන වාර්තාවක රාජ්ය සේවක ගණයට වැටෙන සියලු දෙනා අල්ලස් කොමිසමේ අධිකාරී බලයට වැටෙන මුත් ජනාධිපති පමණක් ඊට අයත් නොවන බව සඳහන් වී තිබුණි.
වත්කම් බැරකම් නීතිය ජනාධිපතිට ද අදාළය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට අයත් එක් ප්රධාන වගකීමක් වනුයේ වත්කම් බැරකම් නීතිය යටතට වැටෙන වැරදි ගැන ක්රියා කිරීමය. ජනාධිපති වත්කම් බැරකම් නීතියෙන් පරිබාහිර නොවේ නම් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධිකාරී බලයෙන් පරිබාහිර වේ යැයි කියන්නේ කෙසේද? එය ජනාධිපති සතුටු කිරීම පිණිස කොමිසම විසින් දෙන ලද මානසික අල්ලසක් ලෙස සැලකිය හැකිය.
ජනාධිපතිට තිබෙන මුක්තිය නිසා මුක්තිය තිබෙන තෙක් ජනාධිපතිවරයෙකුට එරෙහිව නඩු පැවරිමේ හැකියාවක් කොමිසමට නැතැයි කීවේ නම් එය වෙනම කාරණයකි. එහෙත් එය ද විවාදයට ලක් කළ හැකිය. වත්කම් බැරකම් නීතිය ජනාධිපතිට ද බලපාන ආකාරයට සංශෝධනය කර ඇත්තේ විධායක ජනාධිපති ක්රමය ඇති කිරිමෙන් පසුවය. නීතියෙන් වත්කම් බැරකම් ප්රකාශ කළ යුතු අයගේ ලේඛනයට ජනාධිපති තනතුර ද ඇතුළත්ය. මුක්තිය තිබියදිත් තේරි පත්වූ ජනාධිපතිවරයෙකුට එරෙහිව ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කිරීමට හැකි ආකාරයට මුක්තිය නොසලකා වත්කම් බැරකම් නීතිය ද ජනාධිපති කෙරෙහි බලපාන බව ඉන් පෙනී යයි.
මුක්තිය තිබීම දූෂණ චෝදනාවක් එල්ල වූ විට ජනාධිපතිවරයෙකුට එරෙහිව පරික්ෂණයක් නොකර සිටීමට හේතුවක් වන්නේ නැත. මුක්තිය තිබියදිත් ප්රංශ ජනාධිපතිවරයාට එරෙහිව එරට දූෂණ විමර්ශන බියුරෝව පරීක්ෂණයක් ආරම්භ කළේය. මුක්තිය අවසන් වූ පසු ජනාධිපතිවරයාට එරෙහිව නඩු පවරන බව ද පරික්ෂණය අවසානයේදි දූෂණ විමර්ශන බියුරෝව ප්රකාශ කළේය.
අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාට එරෙහිව කොමිසමට ඉදිරිපත්වූ පැමිණිල්ලකදි ද අගවිනිසුරුවරයාට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කිරීමට කොමිසම නීතිමය ප්රතිපාදන නැති බව තීන්දු කරමින් කොමිසම ඒ බව පැමිණිලිකරුට දැනුම් දුන්නේය. කොමිසමේ අපක්ෂපාතී බවේ තරම ඉන් මනා ලෙස පෙන්නුම් කරයි. අල්ලස් හෝ දූෂණ විමර්ශන නීතියට අදාළ රාජ්ය සේවකයා යන අර්ථකථනයට අගවිනිසුරු ඇතුළු විනිසුරුවරුන්ද ඇතුළත්ය. වත්කම් බැරකම් නීතිය ඔවුන් කෙරෙහි ද බලපායි. කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා අගවිනිසුරුගේ සමීප ආධාරකරුවෙකි. කොමිසමට පත්වන උසස් අධිකරණයේ හිටපු විනිසුරුවරුන් දෙදෙනා ද අගවිනිසුරුට සම්බන්ධය. තමන්ගේ ලොක්කාට අල්ලස් හෝ දූෂණ නීතිය බලනොපාන තත්ත්වයක් පවත්වාගෙන යෑම මේ සියලු දෙනා සිය දර්ශනය කරගෙන සිටින බව පෙනේ.
කොමිසමේ පක්ෂපාතීබව හොඳින්ම තහවුරු කළ අවස්ථාව වනුයේ 2001 මැතිවරණයේදි දේශපාලන පක්ෂ රාජ්ය සම්පත් පරිහරණය කිරීම පිළිබඳව ඒ ගැන සොයා බැලු ආයතනයක් මැතිවරණයෙන් පසු අල්ලස් කොමිසමට ඉදිරිපත් කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් කොමිසම අනුගමනය කළ පටු ප්රතිපත්තියයි. එම වාර්තාව අනුව පොදු පෙරමුණේ ඇමතිවරුන් විශාල සංඛ්යාවකට එරෙහිව චෝදනා එල්ල කළ හැකි තත්ත්වයක් තිබුණි. පැමිණිල්ල විභාග කිරිමෙන් වැළකී සිටීමට කොමිසම දක්වන ලද හේතු හාස්යජනක බව කිවයුතුය. මංගල සමරවීර මහතාට එරෙහිව කේරඩිට් කාඩ් ප්රශ්නයක් මුල් කොටගෙන ඉදිරිපත්වූ පැමිණිල්ල සම්බන්ධයෙන් කොමිසම අනුගමනය කළ ප්රතිපත්තිය ද වැරදි සහගතය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඇද වැටී තිබෙන මෙම ජුගුප්සාජනක තත්ත්වයට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ එක සේ වගකිව යුතුය. මෙම ආයතනය ඇති කර තිබෙන්නේ අල්ලසට හෝ දූෂණයට එරෙහිව ක්රියාකරන ආයතනයක් රටේ ඇති බව බොරුවට මවා පෙන්වන්නට මිස, අල්ලස් හෝ දූෂණය මර්දනය කිරීමේ අවංක අරමුණින් විය නොහැකිය. සියලු දේශපාලන පක්ෂ ජීවත් වන්නේ කළු සල්ලිවලිනි. එවැනි පක්ෂ ක්රමයකට අල්ලසට හෝ දූෂණය අවංක ලෙස එරෙහිවීමේ හැකියාවක් නැත.
කොමිසමට පත්වන කොමසාරිස්වරුන් තිදෙනාම විශ්රාමිකයෝය. ඉනුත් දෙදෙනෙක් ඉහළ අධිකරණයේ විනිසුරුවරුන් වන විට හැම විටම කොමසාරිස්වරුන් දෙදෙනෙක් වයස අවුරුදු 65 ඉක්මවූ අය ලෙස සැලකිය හැකිය. එවැනි වයස්ගත තත්ත්වයක සිටින අයට මෙවැනි බැරෑරුම් රාජකාරියක් සාර්ථක ලෙස ඉටුකළ හැක්කේ කෙසේද?