ස්වාධීන කොමිෂන් සභා මරා දැමීමට ඉඩ දෙමු ද?

July 24, 2005
Publication:
Months after the first Constitutional Council's term ended, no new members have been appointed, and vacancies in the Court of Appeal cannot be filled. Whatever its flaws, the 17th Amendment was an important step towards good governance; the editorial says the commissions matter to the public, not the politicians, and it is for the public to save them.

පළමු ව්‍යවස්ථා සභාවට පත් කළ සාමාජිකයන්ගේ කාලය ඉකුත් වී මාස ගණනාවක් ගතවී ඇතත්, තවමත් ඊට අලුත් සාමාජිකයින් පත්කර නැත. ඒ නිසා අභියාචනාධිකරණයේ පුරප්පාඩු පිරවිය නො හැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බවත්, පොලිස්පතිවරයා ද විශ්‍රාම යෑමට නියමිත වන බැවින් ඒ වන විටත් ව්‍යවස්ථා සභාවට සාමාජිකයින් පත්කිරීමට අසමත් වෙතොත්, නව පොලිස්පතිවරයෙකු පත් කළ නො හැකි තත්ත්වයක් ඇති වන බවත් පොලිස් කොමිසමේ සභාපති ජනාධිපති නීතිඥ රංජිත් අබේසූරිය මහතා ප්‍රකාශ කර තිබුණි.

මෙම විෂය පිළිබඳව කතානායක විජමු ලොකු බණ්ඩාර මහතා ද 19 වැනිදා පාර්ලිමේන්තුවේ දී සිය අදහස් පළකර තිබුණි. 17 වැනි ව්‍යවස්ථා සභාව යටතේ පිහිටුවා ඇති ව්‍යවස්ථා සභාවට හා ඒ යටතේ ඇති මැතිවරණ කොමිසමට සාමාජිකයන් පත් කිරීම සඳහා අවශ්‍ය බලපෑම් කිරීමට නීති ප්‍රතිපාදන ඇති කළ යුතුව තිබෙන බව ප්‍රකාශ කර ඇති ඒ මහතා, අවශ්‍ය නීති සකස් කිරීමට පාර්ලිමේන්තුවේ අවධානය යොමුවිය යුතු බව ද වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණි.

පැරණි සාමාජිකයන් අවලංගුවීමට පෙර ව්‍යවස්ථා සභාවට නව සාමාජිකයන් පත් කළ යුතුව තිබුණි. එසේ සිදුවී නැතිවා පමණක් නො ව, පැරණි සාමාජිකයන්ගේ කාලය අවලංගු වී මාස ගණනාවක් ගතවී ඇතත්, ව්‍යවස්ථා සභාවට නව සාමාජිකයන් පත්කිරීමට අසමත් වී තිබේ. රාජ්‍ය පාලනයට අදාළ තීරණ ගැනීමේ ක්‍රියාවලිය රටේ සිදුවන්නේ කෙතරම් අලස ස්වරූපයකින් ද යන්න ඉන් මනා ලෙස පෙන්නුම් කරයි.

මැතිවරණ කොමිසම ගැන කිවයුත්තේ ද එය ම ය. ඉදිරියේ ඇත්තේ මැතිවරණ කාලපරිච්ඡේදයක් වුවත්, මැතිවරණ කොමිසම පිහිටුවීමට තවමත් සමත් වී නැත. ව්‍යවස්ථා සභාව නිර්දේශ කළ සාමාජිකයන් අතර සිටි සභාපතිවරයාට චෝදනා කරමින් ජනාධිපතිනිය එම නම් ලැයිස්තුව අනුමත කිරීම ප්‍රතික්ෂේප කළා ය. ජනාධිපතිනියගේ එම චෝදනාවෙන් පසුව එම චෝදනාවේ සත්‍යයක් තිබේ ද යන්න ගැන ව්‍යවස්ථා සභාව පරීක්ෂණයක් පැවැත්වී ය. පරීක්ෂණයෙන් චෝදනාලාභී පුද්ගලයාගේ නිර්දෝෂීභාවය තහවුරු වීමෙන් පසුව ව්‍යවස්ථා සභාව නැවත සිය නම් ලැයිස්තුව ජනාධිපතිනිය වෙත යවනු ලැබූවත්, ජනාධිපතිනිය එය අනුමත කළේ නැත. එයින් පෙන්නුම් කෙරෙන්නේ ව්‍යවස්ථාව කුමක් වුවත්, තමන් කැමති අයට මිස අකමැති අයට ඉඩ දෙන්නට ජනාධිපතිනිය සූදානම් නැති බවයි.

17 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළ බරපතළ වැරදි හා අඩුපාඩුකම් තිබිය හැකි වුවත්, එම ව්‍යවස්ථා සංශෝධනය මනා පාලනයක් සඳහා තබන ලද ඉතාමත් වැදගත් ඉදිරි පියවරක් ලෙස සැලකිය හැකි ය. වැදගත් තනතුරුවලට හිතුවක්කාරි ලෙස පුද්ගලයන් පත්කිරීමට රාජ්‍ය පාලකයාට තිබූ බලය ඒ නිසා සීමා වී තිබේ. එහෙත් කඩිමුඩියේ සම්මත කරගන්නා ලද එම ව්‍යවස්ථා සංශෝධනය තුළ බරපතළ වැරදි හා අඩුපාඩුකම් පවතී. ඒ ගැන කදිම විග්‍රහයක් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුලතුංග මහතා ඉදිරිපත් කර තිබුණි.

ව්‍යවස්ථා සභාව ඉදිරිපත් කරන නිර්දේශ ජනාධිපති අනුමත නො කරන අවස්ථාවල දී කුමක් විය යුතු ද යන්න පැහැදිලි නොවීම එම ව්‍යවස්ථා සංශෝධනයට ආවේණික ප්‍රධාන දෝෂයක් ලෙස සැලකිය හැකි ය. ඇමරිකාවේ නම් සෙනෙට් මණ්ඩලය නිර්දේශ කොට යවන නීති කෙටුම්පත් ජනාධිපතිවරයා අනුමත නො කරන අවස්ථාවලදි එක්තරා දින ගණනක් ගතවීමෙන් පසුව ජනපතිගේ අත්සන රහිතව නීතිගත වන ක්‍රමයක් පවතී. එවැනි ක්‍රමයක් ශ්‍රී ලංකාවට ද තිබිය යුතු ය.

ව්‍යවස්ථා සභාවට සේ ම ස්වාධීන කොමිෂන් සභාවලට ද පුද්ගලයන් පත්කිරීමේ ක්‍රමයේ ද බරපතළ දෝෂ පවතී. ව්‍යවස්ථා සභාවට සුදුසු පුද්ගලයන් කව්ද යන්න අගමැති හා විපක්ෂ නායකයා එකට එකතු වී තීරණය කළ පමණින් ඔවුන් ගෞරවයට හේතුවන විශිෂ්ට පුද්ගලයන් ලෙස සැලකිය නො හැකි ය. එසේ තෝරා ගන්නා පුද්ගලයන් තවදුරටත් මහජන පරික්ෂාවට ලක් කෙරෙන ක්‍රමයක් ද තිබිය යුතු ය. එම සිද්ධාන්තය ස්වාධීන කොමිෂන් සභාවලට පත් කරන අය කෙරෙහි ද බලපෑ යුතු ය.

ස්වාධීන කොමිෂන් සභා අතරින් තමන්ගේ ස්වාධීන බව සනාථ කිරීමට සමත් වී තිබෙන්නේ පොලිස් කොමිසමත් රාජ්‍ය සේවා කොමිසමත් පමණ ය. වඩා වැදගත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම තමන්ගේ ස්වාධීනතාව තවමත් ප්‍රදර්ශනය කිරීමට සමත් ව නැත.

ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය වැදගත් වන්නේ දේශපාලකයන්ට නො ව, මහජනයාට ය. ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය අක්‍රීය කොට මරා දැමීමට දරන උත්සාහයන් පරාජය කිරීමේ වගකීම පැවරෙන්නේ ද මහජනයාට ය.