නැති අවුල් ඇති කිරීම

July 17, 2005
Publication:
Rulers who ignore the basic law are a lasting source of Sri Lanka's political confusion, from the United Front's new constitution of 1972 to the UNP's in 1978. Ivan shows that everyone, the Chief Justice included, once accepted that the President's second term began on 22 December 1999, as the transitional provisions of the 2000 draft constitution confirm, and argues that the election should be held this year.

දීර්ඝකාලීන වශයෙන් රටේ පවත්නා දේශපාලන අවුල් සහගත බව කෙරෙහි පාලකයින් රටේ පවත්නා මූලික නීතිය නොසලකා ක්‍රියාකිරීමේ හිතුවක්කාරි බව ද බලපා තිබෙනවා යැයි කිව හැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ මූලික නීතිය වන අතර, එය පිළිපැදිමේ හා ඊට ගරු කිරීමේ වගකීමක් පාලකයින්ට ඇත්තේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි හෝ අඩුපාඩුකම් ඇතොත් ඒවා නිවැරදි කරගත යුත්තේද ව්‍යවස්ථානුකූලවය. එතෙක් පාලකයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අකුරටම පිළිපැදිය යුතුය. ශිෂ්ට සම්පන්න රටවල නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සැලකෙන්නේ බිහිසුනු (දෝෂාභියෝගාත්මක) වරදක් ලෙසය. එහෙත් අපේ රටේ පවත්නා තත්ත්වය ඊට වෙනස්ය. පාලකයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම අපේ රටේ සාමාන්‍ය දෙයක් වන අතර, එවැනි අවස්ථාවලදි එසේ කරන පාලකයින්ට එරෙහිව මහජනතාව ප්‍රතික්‍රියා කරන්නේ ද නැත. රටේ අකුරු උගත්කම කොතරම් ඉහළ මට්ටමක පැවතියත් ශ්‍රී ලංකාව සිටින්නේ දේශපාලන වශයෙන් අශීලාචාර තැනක බව ඉන් පෙන්නුම් කරයි.

70 බලයට පැමිණි සමගි පෙරමුණු ආණ්ඩුව තමන්ට තිබුණු තුනෙන් දෙකේ බලය යොදා ගනිමින් තමන්ට අහිමත නව ව්‍යවස්ථාවක් ඇති කරගත්තේය. ඉන්පසු 77දි පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් ලබාගනිමින් බලයට පැමිණි ජේ.ආර්. ජයවර්ධන තමන්ට අභිමත නව ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීමෙන් නොනැවතී හයෙන් පහේ බලය උපයෝගී කරගනිමින් විටින් විට තමන්ගේ ආත්මාර්ථකාමී අභිලාෂයන්ට ගැළපෙන ලෙස ව්‍යවස්ථාව සංශෝධනය කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. 94 බලයට පැමිණි ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද ව්‍යවස්ථාව වෙනස් කිරීමට අවශ්‍ය බහුතර පාර්ලිමේන්තු බලයක් නැතිවත් ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට තිබෙන බලය අයථා ලෙස යොදා ගනිමින් ව්‍යවස්ථාවේ පිළිගත් මූලධර්ම උල්ලංඝනය කරන පිළිවෙතක් අනුගමනය කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධුරයට පත්වන සෑම පුද්ගලයෙකුටම ජනාධිපති ධුරයේ සිටිය හැක්කේ ධුර කාල දෙකක් පමණය. ඉන්පසු එම ධුරය දැරූ පුද්ගලයා විශ්‍රාම යා යුතුය. එහෙත් මෙම පිළිගත් ප්‍රතිපත්තිය පිළිගැනීමට ජනාධිපතිනිය සූදානම් නැත. තමාගේ අවලංගුවීම වළකා ගැනීමට ඇයට අවශ්‍ය වී තිබෙන අතර, ඒ අරමුණට ගැළපෙන අලුත් ව්‍යවස්ථාවක් ද ඇය නිර්මාණය කළාය. ඊට ඇතුළත්ව තිබුණු සංක්‍රමණීය විධිවිධාන අනුව ඇගේ ධුර කාල දෙක සම්පූර්ණ වීමෙන් පසුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වී ඇය රටේ විධායක අගමැතිවරයා බවට පත්වන්නේය. එම ව්‍යවස්ථා සිහිනය සැබෑ කරගැනීමට ඇය අසමත් වුවත්, ඉන්පසු තමන්ගේ අවලංගුවීම වළකා ගැනීමේ අරමුණින් විටින් විට ක්‍රියාවට නගන ලද දේශපාලන දහන් ගැට රටේ නැති අර්බුද ඇති කිරීමට හේතුවිය.

තමන්ගේ අවලංගුවීම වළකා ගන්නේ කෙසේද යන ප්‍රශ්නය 2 වැනි පදවි ප්‍රාප්තියෙන් පසුව ජනාධිපතිනියගේ ද ඒ නිසා ආණ්ඩුවේ ද උපාය මාර්ගික වැඩපිළිවෙළ අධිනිශ්චය කරන ප්‍රධාන සාධකය ලෙස ක්‍රියා කළේය. එක්සත් ජාතික පක්ෂයෙන් පිරිසක් මිලදි ගෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීමට දරන ලද උත්සාහය අසාර්ථක වී තමාගේ පිරිසක් මිලදි ගැනීමට එජාපයට මනා අවස්ථාවක් ලබාදෙමින් තමන්ගේ දෙවැනි පාර්ලිමේන්තුවේ පැවැත්ම අහිමි කර ගැනීමට ජනාධිපතිනියට සිදුවිය. ඉන්පසු බලයට පත් එජා පෙරමුණු ආණ්ඩුව ජවිපෙ සමග එකතු වී විසුරුවා හැරිමට ජනාධිපතිනියට අවශ්‍ය වූයේ ද තමාගේ අවලංගුවීම වළකා ගැනීමේ අරමුණ ජයගැනීම සඳහා තමන්ට පක්ෂපාත පාර්ලිමේන්තුවක් ඇති කරගැනීම අවශ්‍ය වේ යැයි විශ්වාස කළ නිසාය. ඉන්පසු ජවිපෙ සමග ඇති කරගත් සන්ධාන ආණ්ඩුව කඩා දැමීමට අවශ්‍ය වන්නට ඇත්තේ ද තම අරමුණු ජවිපෙ සමග එකතු වී ඉටු කරගත නොහැකි බව පෙනුණු නිසා විය හැකිය.

දැන් ජනාධිපතිනිය කියන්නේ ඊළග ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ මේ වසර අවසානයේදි නොව, 2006 වසර අවසානයේදි බවය. දෙවැනි පදවිප්‍රාප්තියේ කාලය වසරකින් දිර්ඝ කරගැනීමට දරන මෙම ප්‍රයත්නය ඊට වඩා විශාල දේශපාලන අර්බුදයකට තල්ලු කිරීමට හේතුවනු නොවැළැක්විය හැකිය.

ජනාධිපතිවරණය පැවැත්විය යුතුව තිබෙන්නේ මේ වසර අග නොව, ලබන වසර අග බව කියන්නට ඉදිරිපත් කරන සමහර තර්ක සටකපට වන අතර, තවත් සමහර තර්ක ඉතාමත් ළඳ බොළඳ වේ.

ඉදිරිපත් කරන එක් තර්කයක් වනුයේ දෙවරක් තේරි පත්වන ජනාධිපතිවරයෙකුට අවුරුදු 12ක් හිමි බැවින් ජනාධිපතිනියගේ ධුර කාලය ආරම්භ වන්නේ 1994 දෙසැම්බර්වලින් නිසා එය අවසන් විය යුත්තේ 2006 දෙසැම්බර් වලින් බවය.

පළමු ධුර කාලයට අවසන් වසර 6 අවසන් වන්නට ඉඩ හැර ඊළග ජනාධිපතිවරණයට ගියේ නම්, ධුර කාල දෙකට හිමි වසර 12 අඩුවීමක් ඇතිවන්නේ නැත.

ජනාධිති ජේ.ආර්. ජයවර්ධන පළමු පදවිප්‍රාප්තිය සඳහා දිවුරුම් දුන්නේ 1978 පෙබරවාරි 04 වැනිදාය. ඔහුට අවුරුදු 12ක් හිමි නම් ඔහුගේ කාලය අවසන් විය යුතුව තිබුණේ 1988 නොව 1990 පෙබරවාරි 04 වැනිදාය. එහෙත් ඔහුට ධුර කාල දෙකක් සඳහා ලැබුණු කාලය අවුරුදු 12ක් නොව, අවුරුදු 10 මාස 10 දින 29කි. එය එසේ වූයේ ඔහු තමන්ගේ පළමු ධුර කාලයේ අවුරුදු 6 සම්පූර්ණ වීමට පෙර දෙවැනි ජනාධිපතිවරණයක් කැඳවීම නිසාය.

ජනාධිපතිනිය තමන්ගේ දෙවැනි ධුර කාලය වෙනුවෙන් 1999 දෙසැම්බර් 22 වැනිදා ප්‍රසිද්ධියේ දිවුරුම් දුන්නේ ත්‍රිවිධ හමුදා නායකයන්ගේ ද සහභාගිත්වය ඇතිව අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ඉදිරියේ මුළු රටට ද ලෝකයාට ද පෙනෙන පරිදිය. දෙවැනි ධුර කාලය ගණන් බලනුයේ එම දිවුරුම් දිමේ දින සිට නම් දෙවැනි ධුර කාලයේ අවුරුදු හය 2005 දෙසැම්බර් 22 වැනිදායින් අවසන් විය යුතුය.

තමාගේ දෙවැනි ධුර කාලය 1999 දෙසැම්බර් 22 වැනිදායින් ආරම්භ වී අවුරුදු 06කින් අවසන් වන බව ජනාධිපතිනිය හා ආණ්ඩු පක්ෂය පමණක් නොව, සරත් නන්ද සිල්වා මහතා ද විධිමත් ලෙස පිළිගෙන තිබුණු බව සත්‍යයක් විය. ජනාධිපතිනිය 2000 අගෝස්තු 3 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ එන අන්තර්කාලීන විධි විධානවලට අදාළ XXVII පරිච්ඡෙදයට ඇතුළත් 239 වැනි වගන්තියේ ඒ ගැන පැහැදිලිව සඳහන් වේ. මෙම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමට නීතිපති ධුරයේ සිටියදි සරත් නන්ද සිල්වා මහතා ද දායක වූයේය. ඉන්පසු ඔහු අගවිනිසුරු ධුරයට පත්වීමෙන් පසුව එම ව්‍යවස්ථා කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අවස්ථාවේදි එය විමර්ශනයට ලක් කොට එයට අනුමැතිය දුන් විනිශ්චය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළේ ද සරත් නන්ද සිල්වා මහතාය. එය සාමාන්‍ය ලියවිල්ලකට ඇතුළත්ව තිබූ කරුණක් නොව, ආණ්ඩුව සකස් කළ නව ව්‍යවස්ථාවේ අන්තර් කාලීන විධි විධානවලට ඇතුළත්ව තිබූ කරුණක් විය. ජනාධිපතිනිය හා ඇගේ නීති උපදේශකයන්ගේ සිට අගවිනිසුරු දක්වා වන සියලු දෙනා ජනාධිපතිනියගේ දෙවැනි ධුර කාලය ආරම්භ වී අවසන් වන දිනය පිළිබඳව ඒකමතික මතයක් දරන ලද බව ඉන් පෙනී යයි.

එහෙත් දැන් අගවිනිසුරු කියන්නේ දෙවැනි පදවි ප්‍රාප්තිය සඳහා 1999 නොවැ. 22 වැනිදාට අතිරේක වශයෙන් 2000 නොවැම්බර් වලදිද රහසේ දිවුරුම් දෙන ලද බවය. රහසේ දිවුරුම් දුන් නිශ්චිත දිනයක් නොකියන අතර, එම දිවුරුම් දිමට සහභාගි වූයේ කව්ද යන්න ද පැහැදිලිව කියන්නේ නැත. රහසේ දිවුරුම් දිමක් කිරීමට අවශ්‍ය වූයේ ඇයිද යන්න ගැන ද කිසිවක් කතා කරන්නේ නැත.

එයින් පැහැදිලිව පෙනෙන්නේ එම තමන්ගේ අවලංගුවීම වළකා ගැනීම සඳහා එතෙක් ක්‍රියාවට නගන ලද විවිධ ව්‍යාපෘතීන් අසාර්ථක වීමෙන් පසුව තවත් අත්හදා බැලීම් සඳහා අවශ්‍ය කාලය ලබාගැනීමේ අරමුණින් ගොතන ලද ටොන් පචයක් බවය. එම පචය ප්‍රකාශ වී ඇත්තේ ද එසේ මෙසේ මුඛයකින් නොව යුක්තියේ දේවාලයේ මහා කපුවාගේ ශ්‍රී මුඛයෙනි. මැතිවරණ කොමසාරිස්වරයා කුමන තීන්දුවක් දුන්න ද එය තමන්ගේ අභිලාෂයන්ට පටහැනි වේ නම්, අගවිනිසුරුගේ සහාය ඇතිව තමන්ට වාසිදායක තීන්දුවක් ශ්‍රේෂ්ඨාධි කරණයෙන් ලබාගත හැකිවනු ඇතැයි ජනාධිපතිනිය කල්පනා කරනවා විය හැකිය.

එක් පුද්ගලයෙකුගේ බලලෝභී අභිලාෂයන් වෙනුවෙන් රටේ අවුල් ඇතිකිරීමට ඉඩදිය යුතු නැත. ජනාධිපතිනිය දෙවැනි ධුර කාලයෙන් පසුව ඇය කුමක් කරන්නේ ද යන්න රටට වැදගත් නැත. මේ වසර අවසානයේදි ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුය. ජනාධිපතිනිය ඊට බාධා කරන්නේ නම් ජනතාව ඇයට එරෙහිව නැගී සිටිය යුතුය.