සුනාමි ආධාරවල පාරදෘශ්‍යභාවය

July 10, 2005
Publication:
A Sunday Leader report that Prime Minister Mahinda Rajapaksa transferred part of the tsunami aid in his account to a Hambantota development fund raises a wider problem. The editorial calls on every party and politician who collected foreign aid to disclose what they received and how they spent it, and notes the banners thanking politicians for houses and boats.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා තමන් ආරම්භයේ දී ඇති කරන ලද පොදු ගිණුමට ලැබුණු සුනාමි ආධාරවලින් කොටසක් නීතියට පටහැනිව හම්බන්තොට සංවර්ධන අරමුදලකට මාරුකර ඇති බවට ලීඩර් පුවත් පතේ පළවූ ලිපියක් හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඇති කිරීමට හේතුවිය. එහිදි ජෝන් අමරතුංග මහතා නගන ලද චෝදනාවලට පිළිතුරු දෙමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, පොදු අරමුදලට එවන ලද සියලු මුදල් ඉන්පසු ආරම්භ කරන ලද ආණ්ඩුවේ පොදු අරමුදලට බැර කරන ලද බවත්, හම්බන්තොට අරමුදලට බැර කරන ලද්දේ හම්බන්තොටට ලැබුණු මුදල් පමණක් බවත්, ඒ සියල්ල එසේ කරන ලද්දේ ද සියලු විස්තර ඇමති මණ්ඩලයට දැනුම් දෙමින් ඇමති මණ්ඩල අනුමැතිය ඇතිව බවත් ය.

සුනාමියෙන් විපතට පත් ජනතාවට ලැබුණු විදේශ ආධාර පිළිබඳව නොවිසඳුණු පොදු ගැටලුවක් ඇති බව පිළිගත යුතු ය. විදේශ ආධාර විවිධ පුද්ගලයන් විසින් සේ ම විවිධ සංවිධාන විසින් ද එකතු කර තිබේ. එහෙත් ඒ පිළිබඳ පූර්ණ චිත්‍රයක් මහජනතාවට ලබාදි නැත.

ආරම්භයේ දී විදේශ ආධාර ලැබුණේ අගමැති ආරම්භ කරන ලද පොදු ගිණුමට ය. ජනාධිපති අරමුදලට ද මුදල් ලැබුණු බව කියනු ලැබේ. ඉන්පසු ජනාධිපතිනිය මැදිහත් වී ආරම්භ කරන ලද ආණ්ඩුවේ පොදු ගිණුමට ආධාර ලැබුණේ ය. ඊට අතිරේකව දේශපාලන පක්ෂ හා දේශපාලනඥයින් ද ආධාර එකතු කළේ ය. ඊටත් අතිරේකව විවිධ පුද්ගලයින් හා සංවිධාන ද ආධාර එකතු කළේය. ඒ සියලු දෙනා තමන්ට ලැබුණු ආධාර කොපමණද, ඒ ආධාරවලට කුමක් කළේ ද නැතහොත් කරන්නට යන්නේ මොනවාදැයි මහජනතාවට දැනගන්නට සැලැස්විය යුතු ය.

විශේෂයෙන්ම දේශපාලන පක්ෂ හා දේශපාලනඥයන් තමන්ට ලැබුණු ආධාර මොනවාද ඒවා වියදම් කළේ කෙසේ ද යන්න රටට හෙළිදරව් කළ යුතු ය. සමහර දේශපාලන පක්ෂ ප්‍රසිද්ධියේ විදේශ ආධාර එකතු කළේය. සමහර දේශපාලනඥයෝද විවිධ රටවලට යමින් ආධාර එකතු කළහ.

දේශපාලන පක්ෂ හෝ දේශපාලනඥයන් සුනාමියෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් එකතු කරගන්නා ලද ආධාර ඔවුන්ගේ දේශපාලන කටයුතු සඳහා හෝ ඉදිරි මැතිවරණ කටයුතු සඳහා යොදාගන්නේ නම් එය ඉතාමත් නරක හා අවාසනාවන්ත තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත.

මෙම අවාසනාවන්ත සිද්ධිය සිදුවී මාස 06 කට වැඩි කාලයක් ගත වී ඇතත්, ආධාර එකතු කළ පුද්ගලයන් හා ආයතන විධිමත් ලෙස තමන්ට ලැබුණු ආධාර පිළිබඳ විස්තර මහජනතාවට ඉදිරිපත් කර නැත. මෙම චෝදනාව රජයට, දේශපාලන පක්ෂවලට, දේශපාලනඥයන්ට හා ස්වේච්ඡා සංවිධානවලට අදාළ ය.

විපතට පත් ප්‍රදේශවල, තමන්ට ගෙවල් දුන්නාට හෝ බෝට්ටු දුන්නාට දේශපාලනඥයන්ට ස්තුතිය පළ කරන බැනර් ප්‍රදර්ශනය කර තිබෙනු දැකිය හැකි ය. එම බැනර් එම දේශපාලනඥයන් විසින් ම ප්‍රසිද්ධ කරවාගෙන තිබෙන ඒවා ද විය හැකි ය. එහෙත් ඒ බැනර් වලින් ද පෙන්නුම් කෙරෙන්නේ රජය හා ස්වේච්ඡා සංවිධානවලට අතිරේකව දේශපාලනඥයින් ද ආධාර එකතු කර තිබෙන බව ය. එසේ ම විවිධ දේශපාලන පක්ෂ තාවකාලික හා ස්ථිර නිවාස ඉදිකරන ව්‍යාපෘතිවල නිරත වී සිටින අතර, එයින් ද පෙන්නුම් කෙරෙන්නේ එම දේශපාලන පක්ෂ විපතට පත්වූවන් සඳහා දේශීය වශයෙන් හා විදේශීය වශයෙන් ආධාර එකතු කර තිබෙන බව ය. ඒ සියලු දේශපාලනඥයන්, දේශපාලන පක්ෂ හා ස්වේච්ඡා සංවිධාන ද තමන්ට ලැබුණු ආධාර හා ඒවාට කර තිබෙන හා කරමින් තිබෙන දේ විපතට පත් ජනතාවට විස්තරාත්මක ව දැනුම් දිය යුතුය. ඒ සියලු දෙනාගේ වගකීමකි.