ජවිපෙ කොෆි අන්නන්ගේ පිහිට පැතීම

July 10, 2005
Publication:
People:
Out of government, the JVP has not raised its voice; it says it will go to court against the tsunami mechanism and complain to the UN. The editorial asks why, if that was the best way, it staged a fast unto death, and argues that if a parliamentary election comes first its plans will collapse, though a new SLFP pact on SLFP terms remains possible.

ජවිපෙ ආණ්ඩුවෙන් ඉවත් වුවත් ආණ්ඩුවට එරෙහිව බලවත් ලෙස හඬනගන තැනකට තල්ලු වී නැත. දැන් ඔවුන් කියන්නේ සුනාමි සහන මණ්ඩල වැඩපිළිවෙළට එරෙහිව නඩු කියන බවය. ඊට අතිරේකව ඒ ගැන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ද පැමිණිලි කරන බවය.

නඩු කීම හෝ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට පැමිණිලි කිරීම මේ ප්‍රශ්නය විසඳ ගැනීමට තිබෙන හොඳම මාර්ගය වී නම් ජවිපෙ සුනාමි සහන මණ්ඩලයට එරෙහිව මාරාන්තික සත්‍යග්‍රහ කරන තැනකට ගියේ ඇයිද යන්න නොපැහැදිලිය.

සෝමවංශ අමරසිංහ, පරිවාස ආණ්ඩුවට සහයෝගය පළකිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ, කළුතර පැවති රැස්වීමේදි එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන මහත් ප්‍රශංසාවෙන් කතා කළේය. මින්පසු ආයුධ අතට නොගන්නා බවත්, ආයුධ අතට ගැනීමට සිදුවේ නම් එසේ කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ද දැනුම් දී ඔවුන්ගෙන් ලබාගන්නා අවසරය මත පමණක් බවත් ඔහු ප්‍රකාශ කළේය. සුනාමි සහන මණ්ඩල වැඩපිළිවෙළට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට පැමිණිලි කරනවායි කීම ද එදා ඔහු විසින් කරන ලද කතාවට අනුකූලය.

උසාවියට ගොස් නඩු කීමෙන් හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයට පැමිණිලි කිරිමෙන් මේ ප්‍රශ්නය විසඳගත් හැකිවේ යැයි ඔවුහු විශ්වාස කරත් ද? නැතිනම් ඒ සියල්ල එසේ කරන්නට සිදුවී ඇත්තේ සටන අතහැර නැති බව හා වඩා බලවත් ලෙස සටන් කරන බව ජනතාවට මවාපෑම සඳහාද?

ජවිපෙට ආණ්ඩුවෙන් ඉවත් වීමට සිදුවී ඇතත්, ඊට ආණ්ඩුවට එරෙහිව බලවත් ලෙස නැගී සිටීමේ හැකියාවක් නැත. ආණ්ඩුව අර්බුදයකට තල්ලු කළහොත් ලැබෙන ප්‍රතිඵලය පාර්ලිමේන්තු මැතිවරණයක් වන බව ජවිපෙ දනී. තනිව තරග කරන පාර්ලිමේන්තු මැතිවරණයකින් තමන්ට තිබෙන ආසන ප්‍රමාණය අඩකින් පමණ අඩුවිය හැකි බව ද ජවිපෙ දනී.

ජවිපෙට වැදගත් වන්නේ ජනාධිපතිවරණයක් මිස, පාර්ලිමේන්තු මැතිවරණයක් නොවේ. ජනාධිපතිවරණයකදි ආණ්ඩුව ඉදිරිපත් කරන අපේක්ෂකයා කව්රු වුවත් ඔහුට තම පක්ෂයේ සහාය අත්‍යවශ්‍ය බව ජවිපෙ දනී. එය යළි ශ්‍රීලනිප සමග සන්ධාන ගතවීමට අවස්ථාවක් කරගැනීම ජවිපෙ උපාය මාර්ගික අරමුණ වී තිබේ. නැවත එවැනි සන්ධානයක් ඇති කරගැනීමට හැකි වෙතොත්, රට පාවාදුන් බවට චන්ද්‍රිකාට චෝදනා කරමින් දැන් තමන් ඇති කරගනිමින් තිබෙන්නේ චන්ද්‍රිකා පිටමං කළ නව ප්‍රගතිශීලී සන්ධානයක් බවට පාරම්බෑමේ හැකියාවක් ජවිපෙට ලැබෙනු ඇත්තේය. ඔවුන්ගේ ප්‍රාර්ථනය වී ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණයකට ඉඩ නොතබා ජනාධිපතිවරණය ඉදිරීයට ගනිමින් ශ්‍රීලනිප ඉදිරීපත් කරන ජනාධිපති අපේක්ෂකයා කව්රු වුවත් ඔහුගේ ඇගේ එල්ලී බිඳ වැටුණු සන්ධානය යළි ඇති කරගනිමින් ඊළග පාර්ලිමේන්තු මැතිවරණයට තනිව වෙනුවට එක්සත්ව තරග කිරීමය. ඒ මගින් සිය පාර්ලිමේන්තු නියෝජනයේ දරුණු සෝදා පාළුවක් ඇතිවීම වළකා ගැනීමය.

එහෙත් ජනාධිපතිවරණය වෙනුවට පාර්ලිමේන්තු මැතිවරණය ඉස්සර වුවහොත් ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂා කරන වැඩපිළිවෙළ ද මුළුමනින් බිඳ වැටෙනු ඇත්තේය. සන්ධාන වැඩපිළිවෙළ නිසා ශ්‍රීලනිපයේ පාර්ලිමේන්තු නියෝජනය 67 දක්වා පහත වැටී ජවිපෙ නියෝජනය 39 දක්වා ඉහළ ගියේය. තනිව තරග කරන ප්‍රතිපත්තියක් මගින් මේ තත්ත්වයේ තමන්ට වාසිදායක වෙනසක් ඇති කරගැනීමට හැකිවනු ඇතැයි ශ්‍රීලනිප විශ්වාස කරයි. ශ්‍රීලනිපයට ජයගත නොහැකි පාර්ලිමේන්තු මැතිවරණයකදි වුවද පවතින අනුපාත ක්‍රමය තුළ තනිව තරග කොට දැන් තිබෙන ආසන සංඛ්‍යාවට වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගැනීමේ හැකියාව ශ්‍රීලනිපයට ඇත්තේය. ශ්‍රීලනිප පාර්ලිමේන්තු නියෝජනයේදි අගුටුමිටි තත්ත්වයකට ඇද වැටුණේ ජවිපෙ සමග ඇති කරගත් සන්ධානය නිසාය. මින් මතු ශ්‍රීලනිප ජවිපෙ සමග පාර්ලිමේන්තු මැතිවරණයකදි එක්ව තරග කරන්නේ නම් තමන්ට එවැනි අවාසියක් ඇතිවීමට ඉඩක් නැති කොන්දේසි ඇති කරගන්නා තත්ත්වයකට එම පක්ෂය යොමුවනු නොවැළැක්විය හැකිය. එවැනි කොන්දේසි මත ඇතිකර ගන්නා සන්ධානයක් ශ්‍රීලනිපයේ වාසියට හේතුවී ජවිපෙ අවාසියට හේතුවනු නොවැළැක්විය හැකිය. දැන් ජවිපෙ වැටී සිටින අසරණ තත්ත්වය තුළ තමන්ගේ වාසියට හේතු නොවන එවැනි සන්ධානයකට වුවද කැමති වනවා හැර අකමැතිවීමේ හැකියාවක් ජවිපෙට නැත.

මේ මොහොතේ වැඩි ඉඩක් ඇත්තේ ජනාධිපතිවරණයකට නොව පාර්ලිමේන්තු මැතිවරණයකටය. ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්වෙන්නේ ද නැද්ද යන්න අවසාන වශයෙන් තීරණය කරනවා ඇත්තේ ජනාධිපතිනිය විසින් නොව මැතිවරණ කොමසාරිස්වරයා විසිනි.

ජනාධිපතිනිය නියෝජ්‍ය මුදල් ඇමති ලෙස 2000 අගෝස්තු 3 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් සංක්‍රමණීය විධිවිධානවල පැහැදිලිව සඳහන් වන්නේ 1999 දෙසැම්බර් 22 වැනිදා සිට ගණන් බලනු ලබන අවුරුදු හයක කාලපරිච්ඡේදයක් සඳහා” ජනාධිපතිවරණ ධුරය දැරිය යුතු බවය. (XXVII පරිච්ඡේදය අන්තර්කාලීන විධිවිධාන)

එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට ද ඉදිරිපත් විය. එම කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේදි සලකා බලන ලද්දේ ද අගවිනිසුරු සරත් නන්ද සිල්වා, ප්‍රියන්ත පෙරේරා හා එල්.එච්. වීරසේකර යන විනිසුරුවරුන් ඇතුළත් ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේය.

එයින් පෙන්නුම් කෙරෙන්නේ තමන්ගේ වාසියට දැන් මොනවා කීවද ජනාධිපතිනියගේ දෙවැනි ධුර කාලය 1999 දෙසැම්බර් 22 වැනිදායින් ආරම්භ වී 2005 වසර අවසානයේදි අවසන් වන බව ජනාධිපතිනිය සේම ශ්‍රේෂ්ඨාධිකරණය ද පිළිගත් තත්ත්වයක් පැවති බවය. මේ තත්ත්වය යටතේ ඊළග ජනාධිපතිවරණය පැවැත්විය යුත්තේ මොන වසරේද යන ප්‍රශ්නය පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා තුළ ව්‍යාකුලභාවයක් තිබිය නොහැකිය. ඒ අනුව මේ වසර අවසානයේ ඊළග ජනාධිපතිවරණය පැවැත්වීම නොවැළැක්විය හැකි තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. ඒ අනුව ජනාධිපතිනියට තවදුරටත් දේශපාලනයේ රැඳී සිටීමට අවශ්‍ය නම් ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමේ වැඩි හැකියාවක් පවතී. ජනාධිපතිනියට එය තම බලය උරගා බලන අවස්ථාවක් බවට පත් කරගත හැකිය. පාර්ලිමේන්තුවේ මැතිවරණයක් ජයගැනීමේ පහසු ඉඩක් ශ්‍රීලනිපයට නැතත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපති වී පවත්වනු ලබන පාර්ලිමේන්තු මැතිවරණයකට වඩා දැන් පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයක් ශ්‍රීලනිපයට වාසිදායකය. අඩුම වශයෙන් එවැනි පාර්ලිමේන්තු මැතිවරණයකින් ශක්තිමත් විපක්ෂයක් ලෙස සිය පැවැත්ම රැකගැනීමට ශ්‍රීලනිපයට හැකිවනු ඇත්තේය.

එවැනි පාර්ලිමේන්තු මැතිවරණයකදි වුවද ජවිපෙ හා ශ්‍රීලනිප අතර නැවත සන්ධානයක් ඇතිවීමේ හැකියාවක් පවතී. එවැනි සන්ධානයක් ඇතිවන්නේ නම් ඒ සඳහා ඇති කරගන්නා කොන්දේසි වාසිදායක වනු ඇත්තේ ශ්‍රීලනිපයට මිස, ජවිපෙට නොවේ. ඒ නිසා සන්ධානගතවී තරග කරන තත්ත්වයක් යටතේ පවා ජවිපෙ නැවත පුංචි පක්ෂයක් බවට පත්වීම වැළකිය නොහැකිය.