මීළග ජනාධිපතිවරණය පැවැත්විය යුතුව තිබෙන්නේ කවදාටද? රනිල් වික්රමසිංහ කියන ආකාරයට මේ වසර අවසානයේ ද? නැතිනම් චන්ද්රිකා කුමාරතුංග කියන ආකාරයට ලබන වසර අවසානයේදිද?
දිනය පිළිබඳ ඇතිවී තිබෙන අර්බුදයට හේතුවී ඇත්තේ ජනාධිපතිනිය දෙවැනි වර ජයගැනීමෙන් පසු 1999 වසර අවසානයේදි ප්රසිද්ධියේ ද නැවත 2000 වසර අවසානයේදි අප්රසිද්ධියේ ද යනාදි වශයෙන් දෙවරක් දිවුරුම් දී ඇති බව ප්රකාශ වී තිබීමය.
ඇය ප්රසිද්ධියේ දිවුරුම් දී ඇත්තේ 1999 දෙසැම්බර් 22 වැනිදාය. එම නිල දිවුරුම් දිමේ උත්සවයට ත්රිවිධ හමුදාපතිවරුන් ද, සහභාගි වූ අතර, දිවුරුම් දිමෙන් පසුව ඇය ජාතිය අමතා කතාවක් ද කළාය. ඒ අනුව බැලු බැල්මට ඇගේ දෙවැනි ධුර කාලය ආරම්භ වන්නේ එදින සිටය. ඒ අනුව ඇගේ දෙවැනි ධුර කාලය 2005 දෙසැම්බර් 22 වැනිදායින් අවසන් විය යුතුය.
ඇය එම පළමු දිවුරුම් දිම කළේ අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ඉදිරියේය. ඇය ඉන්පසු 2000 නොවැම්බර් වලදි නැවත එම අගවිනිසුරු සරත් නන්ද සිල්වා ඉදිරියේ අප්රසිද්ධියේ ද දිවුරුම් දී ඇති බව රටට දැනගන්නට ලැබුණේ ඉන් තවත් බොහෝ කලකට පසුව එනම් 2003 වසරේදි ඉරිදා ලංකාදිප පුවත්පතේ පළවූ වාර්තාවකිනි. එම වාර්තාවෙන් කියා තිබුණේ ජනාධිපතිනිය 2000 නොවැම්බර් වලදි දෙවැනි වරටත් අගවිනිසුරු ඉදිරියේ සිය පදවි ප්රාප්තිය සඳහා දිවුරුම් දී තිබුණු බවය. දිවුරුම් දිම සිදුවූයේ 2000 නොවැම්බර්වලදි බව වාර්තාවේ සඳහන් වී තිබුණත්, එය නොවැම්බර් කවදාද යන්න සඳහන් වී තිබුණේ නැත. විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර් මහතා හා ජනාධිපති ලේකම් ඇතුළු පිරිසක් සහභාගි වූ බව සඳහන් වුවත්, ඒ දෙදෙනාට අතිරේකව සහභාගි වූ අනෙක් පිරිස කව්ද යන්න සඳහන් වූයේ ද නැත.
මෙම දිවුරුම්දිම රහසේ සිදුකරන ලද්දේ ඇයිද යන්න තේරුම් ගැනීම අමාරුය. සාමාන්යයෙන් ජනාධිපතිවරයකුගේ පදවිප්රාප්තිය වෙනුවෙන් කරන දිවුරුම්දිමක් සිදුවන්නේ ප්රසිද්ධියේ හා උත්සවාකාරයෙනි. සිරිතක් වශයෙන් ඊට ත්රිවිධ හමුදාපතිවරු හා තානාපතිවරු ද කැබිනට් ඇමතිවරු ද සහභාගි වෙති. එහෙත් මේ දිවුරුම්දිම සිදුවී ඇත්තේ හොර රහසේය. එය එසේ කරන්නට සිදුවූයේ ඇයිද යන ප්රශ්නයට ජනාධිපතිනිය හෝ ආණ්ඩුව තවමත් සාධාරණ පිළිතුරක් දී නැත.
සාධාරණව කරුණු විග්රහ කරන්නකුට පෙනී යන්නේ පළමු දිවුරුම් දිමෙන් සිදුවන්නට නියමිත අවාසියක් වළක්වා ගැනීම සඳහා දෙවැනි දිවුරුම්දිම නිර්මාණය කළ කතාවක් බවය.
ප්රථම ජනාධිපතිවරණය පැවති දිනය අනුව ජනාධිපතිනියට අවශ්ය නම් පළමු ධුර කාලයට අයත් වසර 6 සම්පූර්ණ වීමෙන් පසුව එනම් 2000 නොවැම්බර් 11 වැනිදා ද දිවුරුම් දිමේ හැකියාව තිබුණි. එසේ වී නම් ඇගේ ධුර කාලය අවසන් වන්නේ 2006 නොවැම්බර් 11 වැනිදාය.
එහෙත් ජනාධිපතිවරණයේදි ඇයට අනපේක්ෂිත ලෙස බෝම්බ ප්රහාරයකට මුහුණදිමට සිදුවිය. ඒ නිසා ඇය ජීවිතක්ෂයට පත්වේද යන ප්රශ්නයක් ඒ මොහොතේ මතුවී තිබුණි. එවැනි අවස්ථාවකදි ක්රියාකළ යුතු ආකාරය පිළිබඳව ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පැවති නොපැහැදිලි තත්ත්වය හේතු කොටගෙන දිවුරුම් දිමට ප්රථම ඇය ජීවිතක්ෂයට පත්වී නම් නිකුත් කර තිබුණු ජනාධිපතිවරණ ප්රතිඵලය අවලංගු වී නැවත ජනාධිපතිවරණයක් අලුතෙන් පැවැත්විය යුතු තත්ත්වයක් ඇතිවන්නට ඉඩ තිබුණි. දිවුරුම් දිමෙන් පසුව ඇය ජීවිතක්ෂයට පත්වී නම්, අගමැතිවරයා එම තනතුරට පත් කොට නැවත මාසයක කාලයක් ගතවීමෙන් පසුව එම ජනාධිපති වරයාට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමෙන් පසු එම තනතුරට පත්වූ පුද්ගලයාට සම්පූර්ණ නිල කාලය දැරීමේ අයිතිය හිමිවේ. ජනාධිපතිනිය ලවා වහා දිවුරුම් දෙන තත්ත්වයක් ඇති කළේ එම මොහොතේ මතුවී තිබුණු එම අභියෝගය ජයගැනීම සඳහාය.
එහෙත් ජනාධිපතිනිය බෝම්බ ප්රහාරය නිසා මියගියේ නැත. ඇය සුව වූවාය. ඉන්පසු 1999 දෙසැම්බර් 22 වැනිදා කරන ලද එම දිවුරුම්දිම නිසා ඇගේ පදවි කාලය අවුරුද්දකින් අඩුවී තිබෙන බව අගවිනිසුරු ඇතුළු ඇගේ සමීප හිතවත්හු තේරුම් ගත්හ. එසේ තේරුම් ගත්තේ ද වසර ගණනාවක් ගතවීමෙන් පසුවය. ඒ සිදුවූ වැරැද්ද නිවැරදි කරගැනීමට ඔවුන්ට අවශ්ය වු අතර, ඒ සඳහා අගවිනිසුරුවරයා දෙවැනි දිවුරුම්දිමක් පිළිබඳ කතාවක් නිර්මාණය කොට ලංකාදිපයේ තමන්ට හිතවත් ජනමාධ්යවේදියෙකු ලවා එය මුල් පුවතක් ලෙස පළකරවා ගත් බව පෙනෙන්නට තිබේ. අවසානයේ අගවිනිසුරුවරයා නිර්මාණය කළ එම පුවත වෙනුවෙන් එය ලියා පළකළ ජනමාධ්යවේදියාට සම්මානයක් ද හිමිවිය.
දෙවැනිවර රහසේ දිවුරුම්දිම ගැන පුවත්පතක් කදිරගාමර් මහතාගෙන් කළ කරුණු විමසීමකදි ඒ මහතා ප්රකාශ කර තිබුණේ එවැන්නක් සිදුවූ බවට තමන්ට යාන්තමට මෙන් මතක බවත්, එවැන්නක් සිදුවූ බව අගවිනිසුරුවරයා කියන්නේ නම් එය අවිශ්වාස කිරීමට හේතුවක් නැති බවත්ය.
දිවුරුම් දිමේ ඇත්ත නැත්ත කුමක් වුවත්, ධුර කාල දෙකක් සඳහා ලැබෙන කාලය අවුරුදු 12ක් බැවින්, ජනාධිපතිනියට 2006 නොවැම්බර් 11 වැනිදා දක්වා ධුරය දැරීමේ අයිතියක් තිබෙන බවට තර්ක කරන අය ද සිටිති. එහෙත් ආණ්ඩුක්රම ව්යවස්ථාව අනුව ධුර කාලයන්ගේ කාල නියමයන් කෙරෙහි දෙවැනි ධුර කාලය සඳහා තරග කරන දිනය හා දිවුරුම බලපායි. ඒ සඳහා දැක්විය හැකි හොඳම නිදර්ශනය ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාය. ඔහු ජනාධිපති ධුරයේ වැඩ භාරගත්තේ 1978 වසරේය. අන් සියල්ල නොසලකා ධුර කාල දෙකක් සඳහා අවුරුදු 12ක කාලයක් ලැබෙන්නේ නම් ඔහුගේ දෙවැනි ධුර කාලය අවසන් විය යුතුව තිබුණේ 1988 නොව 2000දිය. ඔහුගේ ධුර කාලයට අයත් වසර 12න් වසර දෙකකට ආසන්න කාලයක් අඩුවීම කෙරෙහි බලපෑවේ දෙවැනි ධුර කාලය සඳහා ජනාධිපතිවරණය පැවති දිනය හා දිවුරුම් දුන් දිනය යන සාධකය.
අගවිනිසුරුවරයා විසින් නිර්මාණය කර තිබෙන බව පෙනෙන මෙම අවුල ලිහීමේ වගකීම බාරවී තිබෙන්නේ මැතිවරණ කොමසාරිස්වරයාටය. ඔහු හෘද රෝගියෙකි. විශ්රාම යායුතු වයස සම්පූර්ණ කර තිබෙන පුද්ගලයෙකි. ඔහුට විශ්රාම යෑමට අවශ්ය වී ඇතත්, ව්යවස්ථානුකූලව මැතිවරණ කොමිසම පිහිටුවන තෙක් විශ්රාම යෑමේ හැකියාවක් ඔහුට නැත. ඔහු සිය දුක්ගැනවිල්ල රැගෙන ශ්රේෂ්ඨාධිකරණය වෙත ගියත්, ශ්රේෂ්ඨාධිකරණයෙන් ඔහුට පිහිටක් ලැබුණේ නැත. මේ සියලු අමාරුකම් තිබියදිත් ව්යාකූලතාවකට ඉඩ නොතබා ඊළග ජනාධිපතිවරණය පැවැත්විය යුතු දිනය කල්තියා ප්රාකශ කිරීම ඔහුගේ වගකීමකි. එහෙත් ඒ ගැන කතා කිරීමට ඔහු කැමති නැත. එය සිය ජීවිතය කෙරෙහි බලපානු ඇතැයි කියන බියක් ඔහු තුළ තිබෙනවා විය හැකිය. එහෙත් අවුලක් ඇතිවන්නට ඉඩ නොතබා ඊළග ජනාධිපතිවරණය පැවැත්විය යුතු දිනය කල්තබා ඔහු ප්රකාශ කළ යුතුය. එවිට ඔහුගේ මතය නොපිළිගන්නා පාර්ශ්වයක් වේ නම් අධිකරණය ඉදිරීයට යෑමේ හැකියාව ඔවුන්ට ලැබෙනු ඇත්තේය.