අපි ප්රජාතන්ත්රවාදය ගැන කතා කරමු. එහෙත් ශ්රී ලංකාවේ පවතින්නේ ධනේශ්වර ප්රජාතන්ත්රවාදයකට වඩා වැඩවසම් ප්රජාතන්ත්රවාදි ක්රමයක් වේ යැයි කිව හැකිය.
මහජනතාව දේශපාලන පක්ෂ අනුව පිල් බෙදි සිටින අතර මහජනයා දේශපාලන පක්ෂ තෝරාගෙන ඇත්තේ ද ප්රතිපත්ති හේතු මත නො ව, තමන්ගේ දේශපාලන පක්ෂය තමන් ගැන බලාගත යුතුයි කියන පදනමේ පිහිටා ය. මේ නිසා කැපුවත් කොළ, කැපුවත් නිල්, නැතිනම් කැපුවත් රතුයි කියන පාක්ෂික සමාජයක් අපේ රටේ ගොඩනැගී තිබේ.
හැම පක්ෂයක් ම මධ්යකාලීන වැඩවසම් හමුදාවක් බඳු ය. හමුදාවට නිල නායකයෙක් සිටී. නායකයා පක්ෂයේ සර්ව බලධාරියා ය. නායකයා කියන හැම දෙයක් ම හරි වරද නො බලා පාක්ෂිකයන් පිළිගත යුතු ය. පක්ෂ නායකයාට හා පක්ෂයට තිබෙන අවිවේචනාත්මක පක්ෂභාවය හොඳ පාක්ෂිකයෙකුගෙන් බලාපොරොත්තු වන හොඳම යහගුණය ලෙස සැලකේ. තම පක්ෂය විරුද්ධ පක්ෂයේ සිටිය දී බලයේ සිටින ආණ්ඩුවට එරෙහිව පක්ෂය වෙනුවෙන් උපරිම ලෙස අරගල කළ යුතු ය. බලයේ සිටින ආණ්ඩුව විසින් කරනු ලබන කුමන හොඳකදි වුවත්, එය රට පාවාදිමක් ලෙස සලකා එම හොඳට එරෙහිව හොඳ පරාජය කිරීම සඳහා උපරිම ලෙස ක්රියාකළ යුතු ය. අනෙක් අතට තමන්ගේ පක්ෂ ආණ්ඩු බලයේ සිටින විට එම ආණ්ඩුවේ ආරක්ෂාව සඳහා උපරිම ශක්තිය යොදා ක්රියාකළ යුතු ය. බලයේ සිටින තමන්ගේ ආණ්ඩුව කරන බරපතළ වැරදිවල දී වුවත් ආණ්ඩුව කරන වැරදි හොඳ ලෙස සලකා ආණ්ඩුවට ආධාර කළ යුතු ය.
පාක්ෂිකයකු පක්ෂයකට කරන මෙම වැඩවසම් සේවාව වෙනුවෙන් තම පක්ෂය බලයට පත්වූ පසු විශේෂ වරප්රසාද ලබාගැනීමේ හිමිකම ලැබේ. විරුද්ධ පක්ෂයේ සිටියදි ආණ්ඩු බලයේ සිටි ප්රතිපක්ෂයේ පීඩාවට ලක්වී නම් තම පක්ෂය බලයට පත්වූ විට ඒ වෙනුවෙන් වන්දි ලබාගැනීමේ අයිතිය ඔවුන්ට හිමිවේ. ඊට අතිරේකව පළමු වසරට පාසලක් තෝරා ගැනීමේ සිට රස්සාවක් ලබාගැනීම දක්වා වන සමාජ ජීවිතයේ හැම වැදගත් අවස්ථාවකදි ම පක්ෂයේ අනුග්රහය ලබාගැනීමේ හැකියාව පාක්ෂිකයාට ලැබෙන්නේ ය.
මේ අර්ථයෙන් පක්ෂ අතර බලය සඳහා කෙරෙන අරගලය බලය සඳහා හමුදා දෙකක් හෝ කිහිපයක් අතර කෙරෙන යුද්ධයකට සමාන ය. සිය හමුදාව ජයග්රාහී වන අවස්ථාවක දී එම නායකයින් සමග එකතු වී අල්ලා ගත් රාජ්ය කොල්ලකෑමේ නිදහස ඔවුන්ට හිමිවන්නේ ය.
ජනාධිපති චන්ද්රිකා කුමාරතුංග මහත්මිය එජාප පාලන යුගයේ දී එජාප අතින් පීඩාවට හෝ හිංසාවට ලක්වූ පාක්ෂිකයන් 400 කට ජනාධිපති අරමුදලෙන් වන්දි ගෙව්වා ය. එජාප තමන් බලයේ සිටිය දී මේ හා සමාන පිළිවෙතක් අනුගමනය කළ බව අපි දනිමු. මෙම වන්දි ගෙවීම වෙනත් ආකාරවලින් ද සිදුවිය. එජාප පාලන කාලයේ පළිගැනීම් වලට ලක්වූ ගුරුවරුන්ට උසස්වීම් සමග වන්දි ගෙවන ක්රමයක් ක්රියාත්මක වූ බව අපි දනිමු. ඒ මගින් සමහර විට කිසිම පළිගැනීමකට ලක් නොවූ පාක්ෂිකයිටන් ද උසස්වීම් සමග විශාල වන්දි ලබාගැනීමේ වරප්රසාදය හිමිවිය.
මෙරට කාලකණ්ණි කිරීමට හේතුවී තිබෙන්නේ ද මෙම දුෂ්ට ක්රමය බව ද අපි අමතක නො කළ යුතු ය. දේශපාලන බලපෑමෙන් තොරව කිසිවක් සිදු නොවන පරිසරයක් ඇති කර තිබෙන්නේ දේශපාලකයින් ය. සිවිල් සමාජයක් වෙනුවට රටේ පවතින හිත් පිත් නැති පාක්ෂික සමාජයේ මූලික වෙනසක් ඇති කරගැනීමෙන් තොරව මෙරටට එක අඩියක්වත් ඉදිරියට යා නො හැකි ය. පක්ෂ ක්රමයක් රටට අවශ්ය වුවත් අපට අවශ්ය වන්නේ ප්රජාතන්ත්රවාදි පක්ෂ ක්රමයක් මිස ඒකාධිපති පක්ෂ ක්රමයක් නො වේ. පාක්ෂිකයින්ට තීන්දු ගැනීමේ ක්රියාවලියට මැදිහත්වීමේ අයිතියක් ඇති අභ්යන්තර ප්රජාතන්ත්රවාදි නිදහසකින් යුතු පක්ෂ ක්රමයකි. දැන් පවතින ක්රමය තුළ පක්ෂ ක්රියා කරන්නේ රටට අවශ්ය අනාගත ඒකාධිපති නායකයින් පුහුණු කරන ආයතන ක්රමයක් වශයෙනි. අවාසනාවකට ශ්රී ලංකාවේ පක්ෂ වටා පෙළ ගැසී සිටින උගත්, බුද්ධිමත් ජනතාව පවා පක්ෂවල තිබිය යුතු අභ්යන්තර ප්රජාතන්ත්රවාදය ගැන උනන්දුවක් ඇති බවක් පෙනෙන්නට නැත.