පළමු වටයේ ජය ජනාධිපතිනියට

June 26, 2005
Publication:
The President has cleared a hard hurdle. Allying with the JVP let her defeat the UNP 'army' that had surrounded her, but left her a prisoner of the JVP; with the JVP gone she now has two paths, and the editorial argues that a parliamentary election would hurt the JVP and the Hela Urumaya most.

ජනාධිපතිනිය තමන් ඉදිරියේ තිබෙන දුෂ්කර කඩුල්ලක් ජයගැනීමට සමත් වී තිබෙන බව කිව යුතුය. එජාපයට පාර්ලිමේන්තු බලය තිබියදි විධායක ජනාධිපති වශයෙන් වුවත්, ඇයට ජීවත් වන්නට සිදුවී තිබුණේ සතුරු හමුදාවක් විසින් වට කරනු ලැබ සිටින අසරණ සිරකරුවකුගේ තත්ත්වයකය. ජවිපෙ කෙරෙහි පැවති පිළිකුල නොසලකා ඇය ඔවුන් සමග එකතු වූයේ තමන් ඇද වැටී සිටි එම අසරණ තත්ත්වයෙන් ගොඩ එන අතර, ඒ මගින් තමන්ගේ අවලංගුවීම ද වළක්වා ගැනීමේ අරමුණෙනි.

ජවිපෙ සමග එකතුවීම නිසා තමන් වට කොටගෙන සිටි එජාප නමැති සතුරු හමුදාව පරාජය කිරීමට ඇය සමත් වුවද, ඒ සමග ජවිපෙ විසින් වට කරනු ලැබූ අසරණ සිරකරුවකුගේ තත්ත්වයකට නැවත ඇය ඇද වැටුණි.

ජවිපෙ සමග ඇති කරගන්නා ප්‍රතිපත්ති විරහිත සම්මුතියෙන් තම පක්ෂයට විශාල අලාභයක් විය හැකි බව ඇය දැන සිටියාය. එහෙත් ඒ මගින් හෝ එජාප පරාජය කොට තමන්ගේ අවලංගුවීම වළකා ගැනීමට හැකිවේ නම්, ඒ වෙනුවෙන් ජවිපෙට ගෙවන ලද වන්දිය ආපසු පියවා ගැනීමට හැකිවනු ඇතැයි ඇය විශ්වාස කළාය.

ජවිපෙ බාහිර වශයෙන් පෙනී සිටියේ ජනාධිපතිනියගේ ආරක්ෂාව සඳහා වුවත්, ඇති කරගත් සන්ධානයේ සැගවුණු අරමුණ වූයේ සිය ආසන පදනම දෙගුණ කරගන්නා අතර, සන්ධාන ආණ්ඩුව සිය අත්අඩංගුවට ගනිමින් ජනාධිපතිනියට අවලංගු වන්නට ඉඩදි ශ්‍රීලනිප ගිල ගැනීමය.

ජවිපෙ සිය උපාය මාර්ගික වැඩපිළිවෙළේ පළමු අදියර සඳහා ඇති කරගෙන තිබුණු තක්සේරුව නිවැරදි වේ යැයි කිව හැකිය. එම පක්ෂය එජාප ආණ්ඩුව පරාජය කරමින් සිය ආසන පදනම දෙගුණ කරගැනීමට සමත් විය. එහෙත් දෙවැනි අදියරය සඳහා ඇති කරගෙන තිබූ තක්සේරුව ළද බොළඳ විය.

තමන්ට ආසන 39ක් තිබෙන තත්ත්වයක් යටතේ ජනාධිපතිනියට සිය දේශපාලන අත්අඩංගුවේ සිටිනවා හැර තමන්ට එරෙහිව ඵලදායී කිසිවක් කළ නොහැකි වනු ඇති බව ඔවුන්ගේ තක්සේරුව විය. ජනාධිපතිනිය තමන්ට එරෙහිව හිතුවක්කාරි ලෙස ක්‍රියාකරන්නට ගියහොත් තමන්ගේ ආරක්ෂාව සඳහා ශ්‍රීලනිපයේ මන්ත්‍රීන් විශාල පිරිසක් නැගී සිටිනු ඇති බව ද ඔවුන්ගේ විශ්වාසය වී තිබුණි.

එහෙත් බරපතළ අභ්‍යන්තර ප්‍රශ්නයක් ඇති නොවන ලෙස ජවිපෙ ආණ්ඩුව අතහැර යන තත්ත්වයක් නිර්මාණය කිරීමට ඇය සමත් වූවාය. ජවිපෙ ආරක්ෂාව සඳහා කිසිවෙක් බලවත් ලෙස නැගී නොසිටියහ.

දැන් ඇය සිටින්නේ නිදහස් තත්ත්වයකය. එහෙත් ස්ථාවර තත්ත්වයක නොවේ.

දැන් ඇයට තෝරාගැනීමට ඉතිරි වී ඇත්තේ මාර්ග දෙකකි.

1. සිය ධුර කාලය අවසන් වන තෙක් ධුරයේ රැඳී සිට විශ්‍රාම යෑම.

2. ධුර කාලය අවසන්වීමට ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයකට යමින් ධුරයෙන් ඉවත් වී අගමැති අපේක්ෂකයා ලෙස තරග කොට සිය දේශපාලන පැවැත්ම ආරක්ෂා කරගැනීම.

ජනාධිපතිනිය සිය දෙවැනි ධුර කාලය සම්පූර්ණ වීමෙන් පසු විශ්‍රාම යෑමට කැමති නැත. ඇය පක්ෂ නායකත්වයේ තවදුරටත් රැඳී සිටීමට බලාපොරොත්තු වේ. පක්ෂ නායකත්වය හොබවමින් දේශපාලනයේ රැඳී සිටීමට අවශ්‍ය නම්, ධුර කාලය අවසන් වීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැර සිය ධුරයෙන් ද ඉවත් වී අගමැති අපේක්ෂකයා ලෙස තරග කිරීම ඒ සඳහා තිබෙන ආකර්ෂණීයම මාර්ගයයි.

ව්‍යවස්ථාව අනුව ජනාධිපතිනියට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුත් ජනාධිපති ධුරයෙන් ඉවත්විය හැකිය. එවිට ඊළග පාර්ලිමේන්තුව රැස්වන පළමු දින තෙක් අගමැති ස්වයංක්‍රීය ලෙස ජනාධිපති බවට පත්වේ.

දැන් පවතින තත්ත්වය යටතේ අගමැති ධුරය වෙනස් කිරීමේ හැකියාවක් ජනාධිපතිනියට නැත. කෙටි කාල සීමාවක් සඳහා වුවත්, ජනාධිපති ධුරය හෙබවීමට අවස්ථාවක් ලැබේ නම් එය මහින්ද රාජපක්ෂ මහතාගේ නොමඳ සතුටට හේතු වනු නොඅනුමානය. තාවකාලික ලෙස ජනාධිපති ධුරයට පත්වන මහින්ද රාජපක්ෂ මහතාගේ වාසියට හේතුවනු ඇත්තේ ද ජයග්‍රාහී පාර්ලිමේන්තු මැතිවරණයක් මිස, පරාජිත පාර්ලිමේන්තු මැතිවරණයක් නොවන නිසා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අගමැති අපේක්ෂකයා ලෙස තරග කරන පාර්ලිමේන්තු මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැපවී ක්‍රියාකරන්නට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සිදුවනු ඇත්තේය.

එම පාර්ලිමේන්තු මැතිවරණය ජයගැනීමට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමත් වෙතොත්, (එය අසීරු ඉලක්කයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.) තේරි පත්වන එජාප මන්ත්‍රී පිරිසක් ද තමන්ට එකතු කරගනිමින් තමන්ගේ ප්‍රමුඛතාව ආරක්ෂා කරගැනීම සඳහා වන වෙනස්කම් ඇතිකර ගැනීමේ උත්සාහයක නිරතවීමේ හැකියාව ඇයට ලැබෙනු ඇත්තේය.

එම පාර්ලිමේන්තු මැතිවරණයෙන් එජාපයට වැඩි බලයක් ලැබතොත් ජනාධිපති ධුරය හොබවන මහින්ද රාජපක්ෂ මහතාට ඒ තැන අහිමිවී දෙවැනි ධුර කාලයේ ඉතිරිය හෙබවීමේ වාසනාව හිමිවනු ඇත්තේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාටය. එය එසේ වෙතොත්, ජනාධිපති ධුරය හොබවමින්ම ඊළග ජනාධිපතිවරණයට තරග කිරීමේ හැකියාව ඒ මහතාට ලැබෙනු ඇත්තේය. මේ ක්‍රීඩාව මෙසේ සිදුවේ නම්, චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ජනාධිපති ධුරය අහිමි වනු ඇතත්, විරුද්ධ පක්ෂ නායකත්වය හිමිවී තවදුරටත් පක්ෂ නායිකාව ලෙස ක්‍රියාකිරීමේ හැකියාව ලැබෙනු ඇත්තේය.

පාර්ලිමේන්තු මැතිවරණයක් ඉතාමත් නරක ලෙස බලපානු ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි හා ජාතික හෙළ උරුමය කෙරෙහිය.