ජනාධිපතිනිය මැයි 16 වැනිදා රාත්රී කළ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව මගින් ජනතා විමුක්ති පෙරමුණට එල්ල කරන ලද ප්රහාරය කොතරම් විසකුරු වුවත්, ජනතා විමුක්ති පෙරමුණ ප්රති ප්රහාරයකට නොගොස් එය ඉවසා දරාගෙන සිටින ප්රතිපත්තියක් අනුගමනය කළේය. එවැනි ප්රතිපත්තියක් ජනතා විමුක්ති පෙරමුණේ ගෞරවයට හා අභිමානයට හේතු නොවෙතත්, සිය පැවැත්ම රැකගැනීම සඳහා එසේ කරනවා හැර වෙන කරන්නට දෙයක් ද ජනතා විමුක්ති පෙරමුණට නැත.
ජනාධිපතිනියට ජනතා විමුක්ති පෙරමුණේ මාරාන්තික නිල දෙකක් අසුවී තිබෙන බව පෙනේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ බලය ඇය සතුය. එසේම ජවිපෙ නායකයින්ගේ වත්කම් හා බැරකම් සොයා බැලීමේ බලය ද ඇය සතුය.
ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් කියන්නේ තමන්ට ආණ්ඩුවෙන් ලැබෙන වැටුප් පක්ෂ අරමුදලට පරිත්යාග කොට තමන් නොමිලේ ජනතාවට සේවය කරන බවය. ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් වැඩි දෙනෙක් මීට පෙර රක්ෂාවක් කර නැත. ඔවුන්ගේ පළමු රස්සාව ලෙස සැලකිය හැක්කේ ඔවුන්ට ලැබී තිබෙන මන්ත්රීකම් හා ඇමතිකම්ය. පඩි නැතිව වුවත් සුව පහසු ජීවිත ගෙවීමේ හැකියාව ඔවුන්ට ලැබී තිබේ. ඔවුන් එසේ ජීවත් වන අතර, ඉඩකඩම් හා ගෙවල් දොරවල් වැනි දේපළ ද මිලදි ගෙන ඇත්නම් ඒ මිලදි ගැනීම් සඳහා අවශ්ය ධනය ලැබුණේ කෙසේද යන ප්රශ්නයට පිළිතුරු දිම එතරම්ම සරල හා පහසු දෙයක් වන්නේ නැත. වත්කම් බැරකම් නීතිය අනුව පාර්ලිමේන්තුව, පළාත් සභා වැනි ආයතනවලට තේරි පත්වන නියෝජිතයන් පමණක් නොව, පක්ෂයේ නිලධාරී මණ්ඩල සාමාජිකයන් ද ඔවුන්ගේ පෞද්ගලික වත්කම් සේ ම ඔවුන් භාරයේ තිබෙන පක්ෂයේ වත්කම් හා බැරකම් ද හෙළිදරව් කළ යුතුය. ඒ අනුව පක්ෂ ලේකම් වශයෙන් ටිල්වින් සිල්වා පමණක් නොව, පක්ෂ නායකයා වශයෙන් සෝමවංශ අමරසිංහ ද, වත්කම් බැරකම් හෙළිදරව් කළ යුතුය. රටේ තිබෙන දේපළ හා බැංකු ගිණුම් පමණක් නො ව, විදේශ රටවල තිබෙන දේපළ හා ගිණුම් ද හෙළිදරව් කළ යුතුය.
සෝමවංශ අමරසිංහ රට අතහැර ගියේ සිය ජීවිත ආරක්ෂාව සඳහා හිස් අතිනි. විදේශගතව සිටි දිර්ඝ කාලය තුළ ඔහු රැකියාවක් කළේ නැත. ඒ වෙනුවෙන් කළේ ද පක්ෂ නායකයා වශයෙන් පක්ෂය වෙනුවෙන් වැඩ කිරීමය. එවැනි පුද්ගලයෙකුට විදේශ රටවල නිවාස ඉඩකඩම් හෝ දේපළ තිබිය නොහැකිය.
ජනාධිපතිනිය සමග හැප්පෙන්නට ගියහොත් ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ට වත්කම් හා බැරකම් වලට අදාළ එම දුෂ්කර ප්රශ්නවලට මුහුණ දෙන්නට සිදුවනු ඇත්තේය. එසේම රාජ්ය පාලනයට සම්බන්ධ වීමෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ යටතේ පැවති අමාත්යාංශවල ක්රියාකාරිත්වය ගැන ද සොයා බලනු ඇත. නීති විරෝධී නියෝග හෝ ගනුදෙනු ගණයට වැටෙන මොනයම් දෙයක් හෝ සිදුවී ඇත්නම් දූෂණ චෝදනා යටතේ ඒ අයට එරෙහිව නඩු පැවරීමේ හැකියාව ජනාධිපතිනියට ලැබෙනු ඇත්තේය.
ඒ අර්ථයෙන් දැන් ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන වශයෙන් සිටින්නේ ශක්තිමත් හොඳ විකට්ටුවක නොව දුර්වල විකට්ටුවකය. ජනාධිපතිනිය සිය දේශපාලන සිරකරුවකු බවට පත්කර ගැනීම ජනතා විමුක්ති පෙරමුණේ උපක්රමික අභිලාෂය වී තිබුණ ද, ඒ වෙනුවට දැන් සිදුවී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිනියගේ දේශපාලන සිරකරුවකු බවට පත්වීමය. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණට දැන් සිදුවී තිබෙන්නේ විප්ලවය වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට වලව්වේ දංකුඩ කන තත්ත්වයට පත්වීමටය.
දැන් තිබෙන තත්ත්වය යටතේ තමන්ට නැගී සිටීමට නැවත අවස්ථාවක් ලැබෙන තෙක් නිහඬව බලා සිටිනවා හැර ජවිපෙට කරන්නට තවත් දෙයක් ඉතිරි වී නැත. එහෙත් ඔවුන් ඇද වැටී සිටින එම නියාලු තත්ත්වය ඔවුන් ජනතාව අතර හාස්යයට ලක් කරන තත්ත්වයක් ඇති කිරීමට හේතුවනු නොවැළැක්විය හැකිය.
ජනාධිපතිනියගේ ඉදිරි තුරුම්පු
ශ්රී ලංකාවේ දේශපාලනය සූදුපිටියක් ලෙස සලකතොත් ජනාධිපතිනිය වර්තමානයේ ඒ සූදුපිටියේ සිටින දක්ෂ සූදුකරුවා ලෙස සැලකිය හැකිය. ඇය දක්ෂ ලෙස එජාප පරාජය කොට රටේ පාලන බලය අල්ලා ගත්තාය. ඉන්පසු එම පාලන බලය දිර්ඝ කාලයක් පවත්වාගෙන යෑමට ද සමත් වූවාය. එජාප පාර්ලිමේන්තු බලය අල්ලා ගැනීමෙන් පසුත් නැවත ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධානයක් ඇති කරගනිමින් තමන්ට අහිමි වී තිබූ පාර්ලිමේන්තු බලය අල්ලා ගැනීමට සමත් වූවාය. ඉන්පසු සන්ධාන ආණ්ඩුවේ ප්රධාන කොටස්කරුවකු වශයෙන් ජවිපෙන් එල්ලවෙමින් තිබූ අභියෝගය ද ජයගැනීමට සමත් වූවාය. තමාගේ අවලංගුවීම වළකා ගැනීමේ අභියෝගය දැන් ඇය ඉදිරියේ ඉතිරි වී තිබෙන ලොකුම අභියෝගය ලෙස සැලකිය හැකිය. ඇය එය ජයගන්නට යන්නේ කෙසේද?
තුන්වැනි වරටත් ජනාධිපතිවරණයකට තරග කිරීමට ඉඩ ලැබෙන ව්යවස්ථා සංශෝධනයකට උත්සාහ කිරීමේ හැකියාවක් ඇතත්, එවැනි ව්යවස්ථා සංශෝධනයක් ජයගැනීමේ හැකියාවක් ඇයට නැත. ඒ වෙනුවට ජනාධිපතිවරණයකට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් ඉදිරියට ගැනීමේ හැකියාව ඇය සතුය.
ඇයට තවදුරටත් ජනාධිපති ධුරයේ ඉඳිමින්ම එවැනි මැතිවරණයක් පැවැත්වීමේ හැකියාව තිබෙන අතර, අවශ්ය නම් ජනාධිපති ධුරයෙන් ඉවත් වී එම තනතුරට වෙන කෙනෙකු පත් කොට සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස තරග කරමින් ද, එවැනි මැතිවරණයකට යා හැකිය. ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්වී හෝ වෙන් නොවී ද එවැනි මැතිවරණයකට යා හැකිය.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයකට ජනාධිපතිනිය සිය තනතුර අතහැර අගමැති අපේක්ෂකයා ලෙස තරග කරයි නම්, අගමැති මහින්ද රාජපක්ෂට තිබෙන ප්රමුඛතාව බිඳ වැටි ජනාධිපතිනියගේ ප්රමුඛතාව නැවත තහවුරු වේ. අනෙක් අතට එක්සත් ජාතික පක්ෂයට ද ජනාධිපතිවරණයක් තරම් පාර්ලිමේන්තු මැතිවරණයක් වාසිදායක වන්නේ නැත.
කොතරම් මතභේද තිබුණ ද ජනාධිපතිනිය වඩා කැමති වනු ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ සමග එක්ව තරග කරන මැතිවරණයකට මිස වෙන්ව තරග කරන මැතිවරණයකට නොවේ. එක්ව තරග කරන මැතිවරණයකින් පරාජය වුවත්, විශාල විරුද්ධ පක්ෂයක නායකයා ලෙස ක්රියාකිරීමේ හැකියාව ඇයට ලැබෙනු ඇත්තේය.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් සන්ධානය පරාජය වී එක්සත් ජාතික පක්ෂය ජයගතහොත් ඉක්මන් ජනාධිපතිවරණයක් පැවැත්වීමට සිදුවනු ඇතැයි උපකල්පනය කළ හැකිය. එක්සත් ජාතික පක්ෂයේ වාසියට හේතුවන එවැනි ජනාධිපතිවරණයකදි මහින්ද රාජපක්ෂ මහතා සන්ධානයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කොට ඔහු දේශපාලන භූමියෙන් අතුගා දැමීමේ හැකියාව ද එවිට ජනාධිපතිනියට ලැබෙනු ඇත්තේය.
ඉන්පසු සුදුසු කුමාරයෙක් හෝ කුමාරිකාවක් කරළියට එන තෙක් පක්ෂ නායිකාව හා නිල විරුද්ධ පක්ෂ නායිකාව ලෙස ක්රියාකිරීමේ හැකියාව ද ඇයට ලැබෙනු ඇත්තේය.
අගවිනිසුරු හා ආගම
විනිසුරුවරයෙකුට තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිය ඇතත්, තමන් අදහන ආගම වෙනුවෙන් ප්රසිද්ධියේ පෙනී සිටිම පිළිගත් විනිසුරු ආචාර ධර්මවලට පටහැනිය. රටේ අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාගේ ජීවිතය යුක්තියට පටහැනි, පාපයට බර ජීවිතයක් වුවත්, ඔහු ජනතාව ඉදිරියේ ප්රසිද්ධියේ පෙනී සිටින්නේ සැදැහැවත් බෞද්ධයකු ලෙසය.
ලංකාදිප කර්තෘ සිරි රණසිංහ අගවිනිසුරුගේ මිත්රයෙකි. අගවිනිසුරු තමන්ගේ පැවැත්ම ශක්තිමත් කරගැනීම සඳහා ලියන ආගමික ලිපි පුවත්පත්වල පළකිරීමේ සදාචාරය ප්රශ්න කරමින් රාවයේ පළවූ සටහනක් නිසා මීට පෙර පොහොය දිනයක් වෙනුවෙන් ලංකාදිපයේ පළකරවා ගැනීම පිණිස අගවිනිසුරු විසින් එවන ලද ලිපියක් ලංකාදිප කතුවරයා පළකිරිමෙන් වැළකී සිටියේය. ලංකාදිප කතුවරයාගේ ඒ ක්රියාව අගවිනිසුරුගේ කෝපයට හේතුවූවා පමණක් නොව, පසුව ඔහුට එරෙහිව උසාවි අපහාස නීතිය යටතේ නඩු පැවරෙන තත්ත්වයක් ද උදාවිය. දැන් එක අතකින් ලංකාදිප කර්තෘ සිරි රණසිංහට එරෙහිව පවරන ලද එම නඩුව අගවිනිසුරු ප්රමුඛ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ ඇසෙමින් පවතී. අනෙක් අතට එම නඩුව ඇසෙමින් තිබියදි අගවිනිසුරුවරයා වෙසක් පෝය දිනය වෙනුවෙන් ලියන ලද ලිපියක් “තෘෂ්ණාව දුරු කරන සතර සතිපට්ඨාන මග” යන මාතෘකාව යටතේ 23 වැනිදා ලංකාදිප පුවත්පතේ පළවිය.
සිරී රණසිංහ අගවිනිසුරු ඉදිරියේ ඇසෙන නඩුවක වගඋත්තරකාරයෙකි. එම වග උත්තරකාරයා ලංකාදිප පුවත්පතේ කර්තෘවරයා පමණක් නොව, ශ්රී ලංකා කර්තෘ සංසදයේ සභාපති ද වේ. අගවිනිසුරුවරයා තමන් ඉදිරියේ ඇසෙන නඩුවක වගඋත්තරකරුවකු වී සිටින පුවත්පත් කතුවරයකුගේ පුවත්පතකට ලියයි. කර්තෘ ද තමන්ගේ නඩුව අසන විනිසුරුවරයාගේ ලිපියක් සිය පුවත්පතේ පළ කරයි. ශ්රී ලංකාවේ අධිකරණය පමණක් නොව, ජනමාධ්ය ද ඇද වැටී තිබෙන ඛේදජනක තත්ත්වයේ තරම එය සංකේතාත්මකව කියාපායි. අගවිනිසුරුගේ එම ලිපිය පළකිරිමෙන් ලැබෙන පින් බලයෙන් හෝ සිරි රණසිංහ මහතාට තමන් පැටලී සිටින නඩුවෙන් නිදහස ලැබීමට අවශ්ය හේතු වාසනාව ලැබිය යුතුය.
දේශපාලන පක්ෂවල වත්කම් බැරකම්
1988 අංක 74 දරන පනතින් සංශෝධිත 1975 අංක 01 දරන වත්කම් බැරකම් ප්රකාශ කිරීමේ නීතිය අනුව පාර්ලිමේන්තු මන්ත්රීවරුන් පමණක් නොව, සියලු දේශපාලන පක්ෂවල නිලධාරී මණ්ඩල සාමාජිකයින් ද වත්කම් බැරකම් ප්රකාශ කළ යුතුය. දේශපාලන පක්ෂවල නිලධාරීන් සඳහා එවැනි නීතියක් පනවා ඇත්තේ දේශපාලන පක්ෂවල වත්කම් හා බැරකම් ප්රකාශ කරවන මාර්ගයක් වශයෙනි.
එම නීතිය අනුව වත්කම් බැරකම් ප්රකාශ කිරිමෙන් වැළකී සිටීම හෝ තොරතුරු සැගවීම හෝ බොරු තොරතුරු ලබාදිම 1979 අංක 15 දරන අපරාධ නීති සංග්රහයේ 139 වැනි වගන්තිය යටතේ හත් අවුරුද්දක් දක්වා වන සිරදඬුවමක් නියම කළ හැකි වරදකි.
රටේ සිටින සංවේදි පුරවැසියන් කණ්ඩායමක් මෙම ප්රශ්නය පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ලිඛිත විමසීමක් කර තිබෙන අතර, ඊට ලැබෙන පිළිතුර අනුව වත්කම් බැරකම් ප්රකාශ කිරිමෙන් වැළකී සිටින සියලු දේශපාලන පක්ෂවලට එරෙහිව නඩු පැවරිමක් සිදුවිය හැකිය.
රටේ පවතින ආදායම් බදු නීතිය අනුව ආදායම් බදු ගෙවිය යුතු තරම් තත්ත්වයක සිටින හැම පුරවැසියකුම ආදායම් බදු ගෙවිය යුතුය. සමාගම් පමණක් නොව, මරණාධාර සමිති පවා සිය සාමාජිකයන් සඳහා වාර්ෂිකව අය වැය ලේඛනයක් ඉදිරිපත් කළ යුතුය.
එහෙත් රට ආණ්ඩු කිරීමට පෙනී සිටින දේශපාලන පක්ෂ තමන්ට ලැබෙන ආදායම් වෙනුවෙන් ආණ්ඩුවට බදු නොගෙවනවා පමණක් නොව, අඩුම වශයෙන් සිය සාමාජිකයින් සඳහා අයවැය වාර්තාවක්වත් ඉදිරිපත් කරන්නේ නැත.
දේශපාලන පක්ෂවලට මුදල් ලැබෙන මාර්ග දැනගැනීමේ අයිතිය මහජනයාට තිබිය යුතුය. එහෙත් ජරා ජීර්ණ වී ඇතැයි කියන පරණ පක්ෂ පමණක් නොව, තමන් ඉතා අවංක යැයි කියා ගන්නා විකල්ප පක්ෂ ලෙස පෙනී සිටින පක්ෂවත් ඒ විෂයයේදි පාරදෘශ්යභාවය සහතික කිරීමට සමත් වී නැත. දේශපාලන පක්ෂ මැතිවරණවලදි තමන්ට මුදල් ලැබෙන ඕනෑම මාර්ගයකින් මුදල් ලබාගනී.
ඉන්පසු බලයට පත්වන ආණ්ඩු අනියම් වශයන් පාලනය කරන පුද්ගලයින් බවට පත්වන්නේ ද බලයට පත්වන පක්ෂයට විශාල වශයෙන් මුදල් පරිත්යාග කළ ධානපතීන්ය. ශිෂ්ටසම්පන්න රටවල මැතිවරණවලදි දේශපාලන පක්ෂයකට වැය කළ හැකි මුදල් වලට නීතියෙන් සීමා පනවා තිබෙන අතර, ලබාගත හැකි ආධාරවල ප්රමාණය පිළිබඳව ද පනවන ලද සීමාවන් පවතී. එහෙත් අපේ රටේ ඒ කිසිවක් නැත.
එම තත්ත්වය පක්ෂ නායකයින් දූෂණයට පොළඹවන ප්රධාන සාධකයක් ලෙස ක්රියාකරයි. ලැබෙන ආධාරවලින් වැඩි කොටසක් ලැබෙන්නේ පක්ෂ නායකයා අතටය. එය බොහෝ විට රහසේ ලැබෙන පරිත්යාගයන් වන නිසා අවශ්ය නම් ඉන් කොටසක් පුද්ගලිකව පරිහරණය කිරීමේ හැකියාව ද ඔවුන්ට ලැබී ඇත්තේය. කිසිම පක්ෂයක් ආදායම් වියදම් ලේඛනයක් සිය පාක්ෂිකයින් අතට පත්කරන්නේ නැත. හැමවිටම මුදල් ගනුදෙනු සිදුවන්නේ රහසිගත ස්වරූපයකිනි.
පක්ෂවල වත්කම් බැරකම් ප්රකාශ කිරිමෙන් වැළකී සිටීම එම පක්ෂවල නිලධාරින්ට සිරදඬුවම් ලබාදිය හැකි තරම් බරපතළ වරදක් වුවද, ඒ කිසිවකුට එරෙහිව නීතිය ක්රියාත්මක වන තත්ත්වයක් ද රටේ නොපවතී. දේශපාලන තලයේ පවත්නා අශීලාචාර බව පක්ෂ දේශපාලන ක්රමය තුළ රජ කරන අශීලාචාරභාවයේම තර්කානුකූල ප්රතිඵලයක් ලෙස සැලකිය හැකිය.