සුනාමිය සමාජය කෙරෙහි ඇති කර තිබෙන විනාශය නිසි ලෙස කළමනාකරණය කිරීමට අසමත් වීම හේතු කොටගෙන දේශපාලන සුනාමි තත්ත්වයක් සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කෙරෙමින් පවතී.
දේශපාලන සුනාමි තත්ත්වයක් යන්නෙන් මෙහිදි අදහස් වන්නේ පුරවැසියන් රාජ්යයට හා දේශපාලන පක්ෂවලට අවනත නොවන තත්ත්වයක් තුළ ඇතිවිය හැකි අරාජිකත්වයට සමාන තත්ත්වයකි. එය විපතට පත්ව සිටින්නන්ගේ අවශ්යතාවන්ගේ විශාලත්වයත්, රාජ්යයට හා දේශපාලන පක්ෂවලට තිබෙන හැකියාවන්ගේ සීමාවත් අතර පවත්නා පරස්පරය විසින් ඇති කළ හැකිව තිබෙන ප්රතිඵලයක් ලෙස ද සැලකිය හැකිය.
සුනාමියක් කඩා වැදුණේ යුද්ධයක් විසින් විශාල විනාශයක් ඇති කර තිබූ රටක් මතය. අවුරුදු 20ක් තිස්සේ යුද්ධය විසින් ඇති කර තිබුණු විනාශයට සමාන විනාශයක් සුනාමිය විසින් එක් දිනක පැයකට අඩු කාලයක් තුළදි සිදු කරන ලදි. යුද්ධය විසින් ද විශාල පිරිසකගේ ජීවිත බිලිගෙන තිබුණේය. දශ ලක්ෂයකට ආසන්න පිරීසක් අනාථභාවයට පත් කර තිබුණේය. ඒ නිසා විශාල දේපළ විනාශයක් ද ඇති කර තිබුණේය. සුනාමිය විසින් ද එක් දිනක් තුළ පනස් දහසකට ආසන්න පිරිසකගේ ජීවිත විනාශ කරන ලද අතර, දශ ලක්ෂයකට ආසන්න පිරිසක් අවතැන්වූවන් බවට පත් කළේය. පළමු විනාශය මිනිසා විසින් නිෂ්පාදිත විනාශයක් වන විට පසුව ඇතිවූ විනාශය ස්වභාව ධර්මයේ නිෂ්පාදනයක් විය. ඒ දෙක විසින්ම ඇති කරන ලද විනාශයේ ස්වභාවය බොහෝ දුරට එක සමාන විය. ශ්රී ලංකාවේ වාර්ගික අර්බුදය පිළිබඳ ගැටලුව සුනාමිය ඇති කළ විනාශය විසින් තාවකාලික ලෙස යටපත් කර ඇතත්, සුනාමියේ සුන්බුන් යට වාර්ගික අර්බුදයේ ගිනි පුපුරු ද සැගවී පවතී.
සුනාමි විපත සිදුවන අවස්ථාව වනවිට රාජ්යය තිබුණේ එවැනි දැවැන්ත විනාශයකට සාර්ථක ලෙස මුහුණ දෙනවා තබා එදිනෙදා සාමාන්ය කටයුතු පවා සාර්ථක ලෙස ඉටුකළ නොහැකි ගරා වැටුණු තත්ත්වයකය. එය අදූරදර්ශී, අකාර්යක්ෂම හා දූෂිත රාජ්යයක් වී යැයි කිව හැකිය.
රාජ්යයේ ආණ්ඩු පක්ෂය හා විපක්ෂය ලෙස ක්රියාකළ දේශපාලන ප්රභූ තන්ත්රය ද රාජ්යයේ විකාරරූපී ස්වරූපයට තකට තක මෙන් ගැළපෙන ප්රභූතන්ත්රයක් විය. එය අදක්ෂ, අලස, දූෂිත හා අදූරදර්ශී දේශපාලන ප්රභූතන්ත්රයක් වී යැයි කිව හැකිය.
සිදුවී තිබෙන විපතේ ප්රමාණය ඉතා විශාල වුවත්, එය මෙම දේශපාලන ප්රභූතන්ත්රයේ ආකල්පවල හෝ චර්යාවන්ගේ මූලික වෙනසක් ඇති කිරීමට හේතුවූයේ නැත. ඇතිවී තිබෙන මෙම මහා විනාශය නිමිත්තක් කොටගෙන රට නැවත නගා සිටුවීමේ අවශ්යතාව ගැන කෙකරගෑමේ හැකියාවක් තිබුණ ද, ඒ සඳහා වන දර්ශනයක්, අධිෂ්ඨානයක් හෝ සංයමයක් ඔවුනට තිබුණේ නැත.
සුපුරුදු පරිදි ආණ්ඩු පක්ෂය එය තමන්ට පමණක් අයිති කාර්යභාරයක් බවට පත්කර ගත්තේය. තමන්ගේ අවලංගුවීම වළකා ගැනීමට ක්රියාවට නගන්නට සැලසුම් කර තිබූ වැඩපිළිවෙළ නොකඩවා ඉදිරියට ගෙනයෑමට ද ජනාධිපතිනිය අමතක නොකළාය. විරුද්ධ පක්ෂය ද තමන්ට හුරු පුරුදු භේදකාරි දේශපාලන වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙනයෑමට එම තත්ත්වය අවස්ථාවක් කරගත්තේය.
දූරදර්ශී දේශපාලන ප්රභූතන්ත්රයක් රටේ සිටියේ නම්, විය යුතුව තිබුණේ අභියෝගයේ විශාලත්වය තේරුම් ගනිමින් එය ජයගැනීම සඳහා ඉදිරියට ගන්නා වැඩපිළිවෙළකට පක්ෂ භේද හෝ වර්ග භේදවලින් හානිකර බලපෑමක් ඇති නොවන ආකාරයට හා සියලු දෙනාගේ ක්රියාකාරි ශක්තිය යොදාගත හැකි ආකාරයට සියලු දේශපාලන පක්ෂවලට පොදු එකගතාවකින් ක්රියාකළ හැකි යාන්ත්රණයක් ඇති කරගැනීමය.
රාජ්යය ගරා වැටී තිබෙන තරම අනුව, රට ගොඩනගන දැවැන්ත වැඩපිළිවෙළක් ඉදිරියට ගැනීමේ හැකියාවක් එවැනි ගරා වැටුණු රාජ්යයකට නැති බව තේරුම් ගනිමින් සියලු දෙනාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන පරිදි රාජ්යය ප්රති නිර්මාණය කෙරෙන වැඩපිළිවෙළක් සඳහා පොදු එකගතාවක් ඇති කරගැනීමය.
සුනාමිය හා යුද්ධය යන විපත් දෙක ඇති කර තිබෙන විනාශයන් එකට ගෙන අවතැන්වී සිටින සියලු දෙනාට නිවාස ලබාදෙමින් විනාශ වී තිබෙන රට නැවත ප්රති නිර්මාණය කෙරෙන මහා වැඩපිළිවෙළක් සඳහා පොදු එකගතාවක් ඇතිකර ගැනීමය.
එවැනි පොදු වැඩපිළිවෙළක් පොදු එකගතාවකින් ක්රියාවට නගනවා වෙනුවට දැන් ක්රියාවට නැගෙමින් තිබෙන්නේ හිතුවක්කාරි ඒක පුද්ගල වැඩපිළිවෙළකි. එම වැඩපිළිවෙළට විරුද්ධ පක්ෂවල තබා ආණ්ඩු පක්ෂය තුළවත් පොදු එකගතාවක් නොපවතී.
විපතට පත්වූවන් සඳහා ආණ්ඩුව ක්රියාවට නගා තිබෙන වැඩපිළිවෙළ විපතට පත්වූවන්ගේ විශ්වාසයට හා පිළිගැනීමට හේතුවී නැති අතර, එය තිබෙන අවුල්සහගත තත්ත්වය තව තවත් අවුල් කිරීමට හේතුවී තිබෙන බව ද පෙනේ.
සිදුවී තිබෙන විපතේ විශාලත්වය හා දේශපාලන පක්ෂවල තිබෙන හැකියාවන්ගේ සීමිත බව අතර පවත්නා අතිවිශාල පරතරය, විපතට පත්වූවන් අතර දේශපාලන පක්ෂ කෙරෙහි ඇති බැඳීම් යම් තරමකට ලිහිල් කිරීමට හේතුවී තිබේ. වෙනදා මෙන් තමන්ට පක්ෂපාතී මහජනයා ගව රැලක් මෙන් දැක්කීමේ හැකියාවක් කිසිම දේශපාලන පක්ෂයකට අද නැත.
ඉදිරියේ රටේ අරාජික තත්ත්වයක් ඇතිවීම වළකාගත හැකිවනු ඇත්තේ, දේශපාලන පක්ෂවල ද, රාජ්යයේ ද අසමත්භාවය තේරුම් ගනිමින්, නව රාජ්යයක් හා සමගි සම්පන්න අලුත් රටක් ගොඩනගා ගැනීමේ අභිලාෂය ඉදිරියේ තබාගෙන ඒ සඳහා නව සදාචාර දේශපාලනයක් මතුකර ගැනීම සඳහා ක්රියාකරන සිවිල් සමාජ ව්යාපාරයක් මතුකර ගැනීමට මෙම විශේෂ අවස්ථාව සාර්ථක ලෙස යොදාගත හැකි නම් පමණය.
රට මුහුණ දී තිබෙන අභියෝගයන් ජයගැනීමේ හැකියාවක් දේශපාලන ප්රභූතන්ත්රය ඇතුළු පවතින රාජ්යයට නැති බව අප තේරුම් ගත යුතුය. සුනාමිය නිසා හා යුද්ධය නිසා අවතැන්වී සිටින ජනගහනය විසි ලක්ෂයකට ආසන්නය. අවුරුදු විස්සක් තිස්සේ පැවති යුද්ධයට තාමත් සාර්ථක විසඳුමක් සොයා ගැනීමට හැකිවී නැත. ඉක්මනින් හෝ ප්රමාද වී, යටපත් වී තිබෙන යුද්ධය නැවත මතුවීමේ හැකියාවක් පවතී. රාජ්ය සේවය කඩා වැටෙන තත්ත්වයකට පත්ව තිබෙන අතර, නීතියේ ආධිපත්යය සිඳී යන තත්ත්වයකට පත්ව තිබේ. සෞඛ්යය, අධ්යාපනය, මගී ප්රවාහනය වැනි පොදු සේවා තිබෙන්නේ ද කොයි මොහොතක හෝ කඩා බිඳ වැටෙන තත්ත්වයකය. සෑම ආයතන ක්රමයක්මත් අධි දේශපාලනීකරණයකට නතුවී තිබෙන අතර, දූෂණ හා අපරාධ මහා ප්රවාහයක් බවට පත්වී තිබේ.
දැන් පවතින තත්ත්වය මෙසේ පිඬු කළ හැකිය.
(අ) විපතට පත්වූවන්ගේ අවශ්යතාවන්ගේ විශාලත්වය හා දේශපාලන පක්ෂවලට තිබෙන හැකියාවන්ගේ සීමිතකම අතර තිබෙන පරතරය විසින්, විපතට පත්වූවන් දේශපාලන පක්ෂ කෙරෙහි ඇති කරගෙන තිබුණු බැඳීම් ලිහිල් කොට ඔවුන් අතර දේශපාලන පක්ෂ කෙරෙහි ඇති නොසතුට වර්ධනය කිරීමට හේතුවී තිබේ.
(ආ) ආණ්ඩුවේ සැලසුම් හා විපතට පත්වූවන්ගේ අවශ්යතාවන් අතර පවත්නා පරතරය, ආණ්ඩුව හා විපතට පත්වූවන් අතර ගැටුම් ඇති කරන තත්ත්වයක් නිර්මාණය කිරීමට හේතුවී තිබේ.
(ඇ) විරුද්ධ පක්ෂය වඩා හොඳ විකල්ප වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට අසමත් වන තත්ත්වයක් තුළ විරුද්ධ පක්ෂය ද විපතට පත්වූවන්ගේ අප්රසාදයට හේතුවී තිබේ.
(ඈ) විපතට පත්ව සිටින ජනයා බලාපොරොත්තුසහගත තත්ත්වයකට ගෙන ඒමට අසමත් වෙතොත්, ඔවුන්ගෙන් එල්ල විය හැකි ප්රතික්රියා ආවේගශීලී විය හැකිවා සේ ම, ඒ නිසා ඇතිවී වර්ධනය විය හැකි ගැටුම් රට අරාජික තත්ත්වයකට තල්ලු කිරීමට පවා හේතුවිය හැකිය.
(ඉ) සුනාමි විපත විසින් දේශපාලන තලය තුළ ඇති කරමින් තිබෙන මෙම විශේෂ තත්ත්වය තුළ විනාශකාරි බවක් තිබෙනවා සේ ම, ඒ තුළ සාධනීය විභවයක් ද පවතී. දේශපාලන තලයේ විවර වී තිබෙන මෙම විශේෂ අවස්ථාව මහා පරිවර්තනයකට මුල පිරිමට ලැබී තිබෙන ඓතිහාසික අවස්ථාවක් ලෙස සලකා ශක්තිමත් සිවිල් සමාජ ව්යාපාරයක් මතුකර ගැනීමට ක්රියාකළ හැකි නම්, විනාශකාරි නැමියාවකට තිබෙන ඉඩ වළකා රටේ ඉදිරි දේශපාලනයේ හැඩතල තීන්දු කරන බලවේගයක් බවට පත්වීමේ හැකියාව එවැනි සිවිල් සමාජ ව්යාපාරයට අත්පත් කරගත හැකිය.
(ඊ) එම සිවිල් සමාජ ව්යාපාරයක් ඇතිවිය යුත්තේ දැනටත් විවිධ තලවල මහජන යහපත සඳහා ක්රියාකරන ජනතා සංවිධාන එකට එකතුවීමෙනි. එවැනි සංවිධාන රාශියක් එකට එකතුවී දූරදර්ශී වැඩපිළිවෙළක් ඇති කරගනිමින් සමාජ පරිවර්තනයක් සඳහා ක්රියාකරන තත්ත්වයකට යොමුවිය යුතුය. සමාජ දේශපාලන ගමන් මගේ යහපත් වෙනසක් ඇති කිරීම හා ඒ සඳහා සමාජ චින්තන පරිමණ්ඩලයේ ෙ