නැගෙනහිර කොටි නායක ඝාතනය

February 13, 2005
Publication:
People:
The assassination of Kaushalyan, the LTTE's eastern political leader, amid the wreckage of the tsunami is a bad omen. The government condemned it as an attempt to wreck its efforts to reach agreement with the LTTE, but the editorial warns that it has changed the course of events and feeds the LTTE's belief that the state is plotting to destroy it.

අතිවිශාල විපතක් සිදුවී, එම විපත විසින් සිදුකර තිබෙන විනාශයේ සුන්බුන් මැද ජීවත් වන අවස්ථාවක කොටි සංවිධානයේ නැගෙනහිර නායකයා ඝාතනය කිරීමේ සිද්ධියෙන් රටට ලබාදෙන ඇගවීම යහපත් එකක් ලෙස සැලකිය නො හැකි ය.

එය කොටි සංවිධානය සමග එකගත්වයක් ඇතිකර ගැනීමට ආණ්ඩුව දරමින් තිබෙන උත්සාහය කඩාකප්පල් කිරීමේ අරමුණින් කරන ලද්දක් බව ප්‍රකාශ කරමින් ආණ්ඩුව එම ඝාතන සිද්ධිය හෙළා දැක ඇතත්, එවැනි ප්‍රකාශයක් නිසා පමණක් ප්‍රතිපක්ෂය තුළ ඇති වී තිබෙන සැකය දුරු කිරීමට හේතුවේ යැයි සිතිය නො හැකි ය.

ඝාතනය සිදුවී ඇත්තේ හමුදාවේ දැඩි සෝදිසියට යටත් ආණ්ඩුවේ පාලනයට සම්බන්ධ කලාපයක ය. අඩුම වශයෙන් ඝාතන සිද්ධියෙන් පසුව පලා යන පිරිස් අත්අඩංගුවට ගැනීමටවත් ආරක්ෂෂක අංශ සමත් වී නැත. මේ ඝාතනය හමුදාවේ අනුග්‍රහය ඇතිව සිදු කරන ලද්දක් බවට චෝදනා එල්ල කිරීමට හැකිවී තිබෙන්නේ එම තත්ත්වයන් යටතේ ය.

සුනාමි ඛේදවාචකය වාර්ගික වශයෙන් බෙදි සිටි උතුරටත්, දකුණටත් එක ලෙස විනාශකාරි ලෙස බලපෑවේ ය. ඒ මහා විනාශයෙන් පසුත් අපේ සතුරන් විනාශ වී දැයි දැනගැනීමට අපට අවශ්‍ය විය. ප්‍රභාකරන් මරණයට පත්වී ඇතැයි කියන කතාවක් ද ජනමාධ්‍යවලින් ප්‍රකාශ විය. සුනාමිය විසින් ඇති කරන ලද මහා විනාශයටවත් ජාතික වශයෙන් ඇති පටු ආකල්පවල ගැඹුරු වෙනසක් ඇති කිරීමට හැකිවූයේ නැත.

අප ප්‍රඥාවන්ත ජාතියක් වී නම් සිදුවිය යුතුව තිබුණේ දෙකඩ වෙමින් තිබූ ජාතිය නැවත එකට එකතු කිරීමට. සිදුවී තිබුණු මහා විපත අවස්ථාවක් කරගැනීම ය. අනාථභාවය එතෙක් පොදු ධර්මතාවක් වී තිබුණේ, උතුරු නැගෙනහිරට පමණ ය. එහෙත් සුනාමි විපත එම ධර්මතාව දකුණට ද පොදු දෙයක් බවට පත් කළේ ය. අනාථභාවය පිළිබඳ ප්‍රශ්නය පොදු ජාතික වැදගත්කමක් ඇති ප්‍රශ්නයක් ලෙස අපට පෙනෙන්නට වූයේ ද ඉන් පසුව ය. අඩුම වශයෙන් මේ විපත සිදුවීමෙන් පසුවවත් රට එකතු කිරීමට අවශ්‍ය කරන දේශපාලන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගැනීමට අප සමත් වී නැත.

සටන් විරාම ගිවිසුමේ මොන මොන අඩුපාඩුකම් තිබුණා විය හැකි වුවත්, එම ගිවිසුම නිසා යුද්ධයෙන් තොර තත්ත්වයක් රටේ ඇතිවිය. සාම කතා ඇණහිටීමෙන් පසුත්, දෙපක්ෂය ම එකිනෙකාට එරෙහිව වාචිකව චෝදනා කරගන්නා තැනකට ගියා විනා, යුද්ධ කරගන්නා තැනකට ගියේ නැත. සුනාමි විපත දෙපක්ෂයට ම යුද්ධයකට යොමුවීමට තිබුණු හැකියාව තවදුරටත් සීමා කර තිබුණේ ය. සාම සාකච්ඡා වෙනුවට ආපදා කළමනාකරණ කටයුතු සඳහා පොදු එකගතාවකින් ක්‍රියාකිරීම සඳහා යාන්ත්‍රණයක් ඇති කරගන්නේ කෙසේ ද යන ප්‍රශ්නය විසඳ ගත යුතු මූලික ප්‍රශ්නයක් බවට පත්ව තිබුණේ ය.

එහෙත් කෞෂල්‍යන් ඝාතනය එතෙක් පැවති සාමාන්‍ය ගමන් මගේ වෙනසක් ඇති කිරීමට හේතු වී තිබේ. තමන් විනාශ කිරීම සඳහා ආණ්ඩුව කුමන්ත්‍රණකාරි වැඩසටහනක් දියත් කර ඇතැයි කියන හැගවීමක් කොටි සංවිධානය තුළ ඇතිවී තිබෙන බව පැහැදිලි ව පෙනෙන්නට තිබේ. ඒ සැකය දුරු කිරීම ආණ්ඩුවේ වගකීමකි. තිබෙන අවුල් මදිවාට නැවත යුද්ධ කරන තැනකට රට යා යුතු නැත. ඥානාන්විත රටක් නම් දැන් සිදුවිය යුතුව තිබෙන්නේ පොදුවේ සිදුවී තිබෙන විපත, තිබෙන බෙදිම් අහෝසි කරගැනීමට අවස්ථාවක් කරගැනීම ය. රටට පවතින අර්බුද ජයගනිමින් සාර්ථක ලෙස ඉදිරියට යා හැකිවනු ඇත්තේ ද එවැනි ආකල්පයක පිහිටා ක්‍රියාකරන්නේ නම් පමණ ය.