ජනතා විමුක්ති පෙරමුණට දික්කසාදවීමේ හැකියාවක් නැත

February 6, 2005
Publication:
The JVP is caught both ways: it perishes if it stays in the alliance and perishes if it leaves. Sidelined in the tsunami effort and critical of the power given to Tara de Mel and Harry Jayawardena, it cannot break with a President who is equally unhappy with it.

දැන් ජනතා විමුක්ති පෙරමුණ පත්ව සිටින්නේ ද ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී කියන තත්ත්වයකටය. සන්ධාන ආණ්ඩුවේ සිටියත් නසින්නේය. එයින් ඉවත්ව ගියත් නසින්නේය.

ඇතිවී තිබෙන විපත ජයගැනීම සඳහා දරන උත්සාහයේදි සන්ධාන ආණ්ඩුවේ ප්‍රධාන කොටස්කරුවකු වන තමන් නොසලකා ක්‍රියාකරමින් තිබීම ජනතා විමුක්ති පෙරමුණේ අතෘප්තියට හේතුවී තිබෙන බව පැහැදිලිව පෙනේ. එහෙත් අතෘප්තියක් ඇතිවී තිබෙන්නේ පොදුවේ නායකයන් සියලු දෙනා තුළ නොව එක්තරා පිරිසක් අතර පමණය.

ජනාධිපතිනිය අනුගමනය කරමින් තිබෙන හිතුවක්කාරි ක්‍රියාකලාපයට එරෙහිව පළමු වෙඩි මුරය පත්තු කළ පුද්ගලයා ලෙස සැලකිය හැක්කේ ඇමති ලාල්කාන්තය.

ඇතිවී තිබෙන විපතේ විශාලත්වය ඉදිරියේ සන්ධාන ආණ්ඩුවේ පුංචි බව ඔහු තේරුම් ගෙන තිබුණේය. ජනවාරි 19 වැනිදා ඔහු ප්‍රකාශ කළේ “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ එකතුවී සිටියත්, අප දෙගොල්ලන්ට පමණක් රට හදන්න බැරි” බවය. ආණ්ඩුවට රට ගොඩනගන්න සැලැස්මක් නැති බවද ඔහු කීවේය. ඒ සමග තම පක්ෂය හා ජනාධිපතිනිය අතර කෙරෙමින් පවතින ගනුදෙනු ගැනද ඔහු උපහාසාත්මක ස්වරයකින් මෙසේ ප්‍රකාශ කළේය. “රට ගොඩ නගන්න බලාපොරොත්තුවෙන් අපිත් ජනාධිපතිනිය මුණ ගැහෙනවා. ලියුම් ලියනවා. ඒත් රට ගොඩනගන්න සැලසුමක් තිබෙන බවක් නම් පෙනෙන්නෙ නැහැ”

ජනවාරි 2 වැනිදා ඔහු නැවත වඩා බරපතළ විවේචනයක යෙදුණේය. ඔහු මෙසේ කීවේය.

“සුනාමි විපතත් සමග රට හමුවේ පැවති ගැටලු තවත් සංකීර්ණ තත්ත්වයකට පත්වුණා. එම තත්ත්වයෙන් රට ගොඩගැනීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වුවත්, රට යථා තත්ත්වයට පත්කිරීමේ හැකියාවක් එම වැඩසටහන්වලට නැහැ”.දැන් මාසයක් විතර ගතවෙලා. තාමත් කතා විතරයි. කමිටු පත්කරලා ගෙවල් ටිකක් හැදුවාට මේ විපතින් රට ගොඩගන්න බැහැ.

මේ රට ගොඩ ගැනීම සඳහා විධිමත් ජාතික වැඩපිළිවෙළක් තවමත් පිළියෙළ වී නැහැ. ප්‍රතිසංස්කරණ හා නැවත රට ගොඩනැගීමේ ක්‍රියාවලියේදි රටේ වර්තමාන නායකත්වයෙන් කිසිවක් බලාපොරොත්තු නොවිය යුතුයි. ලාල්කාන්ත මේ කතාවේදි කියා තිබෙන වැදගත්ම දෙයක් වනුයේ සුනාමියෙන් පසු රැස්වූ පළමු කැබිනට් රැස්වීමේදි සුනාමි විපත එම කැබිනට් රැස්වීමේ න්‍යාය පත්‍රයටවත් ඇතුළත් වී නොතිබුණු බවය.

සුනාමි විපත සන්ධාන ආණ්ඩුව තුළ සේම, ජනතා විමුක්ති පෙරමුණ තුළ ද ඉරිතැලීම් ඇති කිරීමට හේතුවී තිබෙන බව පෙනේ.

නන්දන ගුණතිලක, ලාල්කාන්ත වැනි නායකයන් තුළ අතෘප්ති සහගත හැගීමක් ඇතිවී තිබුණත්, සෝමවංශ අමරසිංහ, විමල් වීරවංශ වැනි නායකයන් තුළ එවැනි හැගීමක් ඇතිවී තිබෙන බවක් පෙනෙන්නට නැත.

තාරා ද මැල්, හැරී ජයවර්ධන වැනි අයට ලැබී තිබෙන ආධිපත්‍යය ජනතා විමුක්ති පෙරමුණේ විවේචනයට හේතුවී තිබුණත්, ඔවුන්ට තිබුණු බලවත්කම ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේ සිටම තේරුම්ගත යුතුව තිබුණේය.

ජනතා විමුක්ති පෙරමුණ රක්ෂණ සේවකයන් සංතෝෂ කරනු පිණිස හැරී ජයවර්ධන මිලදි ගෙන තිබුණු රක්ෂණ සංස්ථාව සන්ධාන ආණ්ඩුව ගොඩනැගීමෙන් පසු නැවත රජයට පවරා ගන්නා බවට සහතික විය. ඡන්දයට පෙර රක්ෂණ සේවකයන් තෘප්තිමත් කරනු පිණිස ඔවුන්ට ඒ ගැන ලිඛිතව පොරොන්දුවක් ද දුන්නේය. තමන්ට ලැබුණු එම ලිඛිත පොරොන්දුව නිසා රක්ෂණ සේවකයෝ ද එක පොදියට මැතිවරණයේදි ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දුන්හ. ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු කිසිදු වෙනසක් සිදුනොවීම ගැන කෝපයට පත් රක්ෂණ සේවකයෝ ජනතා විමුක්ති පෙරමුණට තිත්ත කුණුහරුපයෙන් බනින තත්ත්වයකට ද පත්වූහ.

ජනතා විමුක්ති පෙරමුණ රක්ෂණ සේවකයින්ට එවැනි පොරොන්දුවක් දුන්නේ ඔවුන්ගේ ඡන්ද ලබාගැනීමට අවශ්‍ය වූ නිසා මිස, ජනාධිපතිනිය හා හැරී ජයවර්ධන අතර ඇති කිට්ටු සම්බන්ධය නොදැන නොවේ. තම පක්ෂය වෙනුවෙන් ජනාධිපතිනිය හැරි ජයවර්ධන බිලි නොදෙන බව නොදන්නා තරමට ඔවුන් දේශපාලන තොත්ත බබාලා විය නොහැකිය.

ජනතා විමුක්ති පෙරමුණේ කෝපයට හේතුවී තිබෙන ප්‍රධානතම කරුණක් වී තිබෙන්නේ සුනාමි විපතත් සමග රාජ්‍ය මාධ්‍යවලින් ඔවුන්ට ලැබී තිබෙන කුඩම්මාගේ සැලකිලිය. අවාසනාවකට මෙන් මාධ්‍ය ඇමති ධුරය දරන්නේ ද ශ්‍රීලනිපය හා ජනතා විමුක්ති පෙරමුණ අතර ඇතිවූ මගුලේදි කපුවාගේ භූමිකාව රගපෑ මංගල සමරවීරය. සන්ධාන ආණ්ඩුව තුළ ජනතා විමුක්ති පෙරමුණේ වැඩිම විශ්වාසයට හේතුවී සිටි පුද්ගලයා වූයේද ඔහුය.

ටිල්වින් සිල්වා ජනවාරි 23 වැනිදා රාජ්‍ය මාධ්‍ය තම පක්ෂය සම්බන්ධයෙන් අනුගමනය කරමින් තිබෙන කුහක පිළිවෙතට විරෝධය පළ කරන ලිපියක් මාධ්‍ය ඇමතිවරයාට දුන්නේය.

“සන්ඩේ ටයිම්ස්” පුවත්පතේ දේශපාලන වාර්තාකරු වාර්තා කර තිබෙන ආකාරයට 25 වැනි අගහරුවාදා ජනතා විමුක්ති පෙරමුණට අදාළ අපූරු දේශපාලන සංසිද්ධියක් සිදුවිය. ජනතා විමුක්ති පෙරමුණේ පැය දහයේ මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වූයේ එදිනය. එම උණුසුම් රැස්වීමේදි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභිකයෝ ජනාධිපතිනියගේ ක්‍රියාකලාපයද, තාරා ද මැල්, මනෝ තිත්තවැල්ල, හැරී ජයවර්ධන වැනි අය ද දැඩි ලෙස විවේචනය කළහ. තීන්දු ගැනීමකින් තොරව සභාවේ කටයුතු උණුසුම් මුහුණුවරකින් ඉදිරියට යමින් තිබෙන අවස්ථාවක සෝමවංශ අමරසිංහගේ දුරකතන සාකච්ඡාවක් අසන්නට ලැබී සභාවේ උණුසුම් කතාබහ මොහොතකට නතර වී තිබේ. සෝමවංශ අමරසිංහ කතා කර ඇත්තේ විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර්ටය. තමන්ට වහාම ඔහු හමුවීමට අවශ්‍ය බව ඒ මහ රෑ ඔහු ඇමතිවරයාට දැනුම් දී තිබේ. පසුදිනම උදේම ඔහු හමුවීමට ඇමතිවරයා එකග වී තිබේ.

ඒ හමුව පැවැත්වුණු දිනයේ (26 වැනි දින) උදේ 9.00ට ජනතා විමුක්ති පෙරමුණ පුවත්පත් සාකච්ඡාවක් ද කැඳවා තිබුණු අතර, ජනතා විමුක්ති පෙරමුණට හිතවත් ජනමාධ්‍යවේදින් අතර පැතිර තිබුණේ ජනතා විමුක්ති පෙරමුණ සන්ධාන ආණ්ඩුවෙන් ඉවත් වන බව ප්‍රකාශ කිරීම පිණිස ඒ පුවත්පත් සාකච්ඡාව කැඳවා තිබෙන බවය.

එහෙත් කදිරගාමර් හමුවීමෙන් පසුව පුවත්පත් සාකච්ඡාව පැවත්වුණේ නැත. සෝමවංශ අමරසිංහ හා ටිල්වින්ද සිල්වා ලක්ෂ්මන් කදිරගාමර් හමුවන්නට ගිය පසුව ජනතා විමුක්ති පෙරමුණට ඒ වනවිට වැළඳී තිබුණු ලේ කෝපවීමේ රෝගයට කදිරගාමර් මහතා සුළු එන්නතක් ලබාදුන්නේය.

ජනාධිපතිනියගේ ක්‍රියාකලාපය ගැන ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් තුළ විශාල අතෘප්තියක් තිබෙනවා විය හැකිය. අනෙක් අතට ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකලාපය ගැන ජනාධිපතිනිය තුළ ද විශාල අතෘප්තියක් ගොඩනැගී තිබෙනවාද විය හැකිය. එහෙත් මොනම තත්ත්වයක් යටතේ වුවත්, ජනතා විමුක්ති පෙරමුණට ජනාධිපතිනියගෙන් වෙන්වීමට නොහැකිවා සේ ම ජනාධිපතිනියට ද ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්විය නොහැකිය. මේ දෙපක්ෂයේම පැවැත්ම දැන් රැඳී ඇත්තේ එකිනෙකා මතය. වෙන්වීමක් නිසා විය හැක්කේ දෙපක්ෂයම විනාශවීමය. ජනාධිපතිනිය ජලය පමණක් නොව, මුළු මහ මුහුදම විකුණුවත් ඔවුන්ට ජනාධිපතිනිය අතහැර යා නොහැකිය. ජනතා විමුක්ති පෙරමුණ මොනතරම් විශාල වැරදි කළ ද ජනාධිපතිනියට ද ඔවුන් අත්හැරිය නොහැකිය. ඇති කරගෙන තිබෙන දීගය මොනතරම් නොගැළපෙනවා විය හැකි වුවත්, එකට දීග කනවා හැර වෙන්වීමට ඉඩක් නැත.