ගාලු නගරයේ බස් නැවතුම්පොළ ඉදිකිරීමේ අයිතිය මුල් කොටගෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්රාදේශීය නායකයන් හා ශ්රීලනිප ප්රාදේශීය නායකයන් අතර ගැටුමක් හටගෙන තිබේ.
ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ශ්රීලනිප මහ ඇමතිට ලක්ෂ 41ක වියදමින් බස් නැවතුම්පොළ ඉදිකිරීමට අවශ්ය වී ඇතත්, තමන්ට එය ලක්ෂ 5කින් ඉදි කළහැකි නිසා තමන් එය ඉදිකරන බව ය.
මෙය රාජ්යය ඇද වැටී තිබෙන ඛේදජනක තත්ත්වය කියාපාන එක් නිදර්ශනයක් පමණ ය.
සාමාන්යයෙන් සිදුවිය යුත්තේ එම බස්නැවතුම්පොළ සඳහා සුදුසු ආකෘතියක් තෝරාගෙන ඒ සඳහා මිල ගණන් කැඳවා අඩුම ඉල්ලුම්කරුට ඒ වැඩේ බාරදිම ය. එහෙත් දැන් කටයුතු සිදුවෙමින් තිබෙන්නේ ඊට වෙනස් ආකාරයකට ය. රුපියල් ලක්ෂ 41ක වියදමින් මහ ඇමති හදන්නට බලාපොරොත්තු වන බස් නැවතුම්පොළ කුමක්ද? ලක්ෂ 5ක වියදමින් ජනතා විමුක්ති පෙරමුණ හදන්න යන බස්නැවතුම්පොළ කුමක්ද යන්න මහජනතාව දන්නේ නැත. ප්රධාන බස්නැවතුම්පොළක තිබිය යුතු ප්රමිති තත්ත්වය, ඊට ඇතුළත්විය යුතු පහසුකම් යනාදි සියල්ල මහජනයාට රහසකි.
මෙවැනි දේ ගාල්ලේ පමණක් නො ව, වෙනත් තැන්වල ද සිදුවිය හැකි ය. මෙතෙක් ආණ්ඩුව කීවේ සියලු සහන කටයුතු ඉතා හොඳින් සිදුවන බව ය. එහෙත් දැන් අත්යාවශ්ය සේවා කොමසාරිස්වරයා ප්රකාශ කර ඇත්තේ විපතට පත් ජනයාගෙන් 30%කටවත් සහනාධාර ලබාදිමට තවම හැකිවී නැති බව ය.
දේශපාලන සමගියක් ගැන කතා කරමින් එකට එකතු වී පහන් දැල්වුවත්, ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය අතර පමණක් නො ව, ආණ්ඩු පක්ෂය තුළ පවා සමගියක් නො පවතී.
ජනාධිපතිනියට විරුද්ධ පක්ෂ ගැන තබා සිය කැබිනට් මණ්ඩලය ගැනවත් විශ්වාසයක් ඇති බවක් පෙනෙන්නට නැති අතර, ජනාධිපතිනිය ගෙන යන වැඩපිළිවෙළ ගැන ඇමතිවරුන් අතර ද විශ්වාසයක් පවත්නා බවක් පෙනෙන්නට නැත.
එක්සත් ජාතික පක්ෂයේ නායකයා රටට ගලා එන විදේශ ආධාර නැවැත්වීමට ක්රියාකරමින් සිටින බවට ආණ්ඩුව ප්රසිද්ධියේ චෝදනා කරයි. අනෙක් අතට ආණ්ඩුවේ ප්රධාන කොටස්කරුවකු ලෙස ක්රියාකරන ජනතා විමුක්ති පෙරමුණේ ලාල්කාන්ත ඇමතිවරයා කියන්නේ ජනාධිපතිනියගේ රට ගොඩනගන වැඩපිළිවෙළ අමු බොරුවක් බව ය. ආණ්ඩුව හා රාජ්ය නොවන සංවිධාන අතර ද අන්යනෝය අවබෝධයෙන් ක්රියාකරන තත්ත්වයක් නො පවතී.
ආණ්ඩුව විවේචකයින් සලකන්නේ ද්රෝහීන් ලෙස ය. ලැබෙන ආධාරවල පාරදෘශ්යභාවය සහතික කිරීමේ අවශ්යතාව ගැන කතා කළ ප්රසිද්ධ පුද්ගලයන් දෙදෙනෙකු ජනාධිපතිනිය සිය රූපවාහිනී කතාවේදි ද්රෝහීන් ලෙස නම් කළාය.
විපතට පත් ජනයා තුළ ද කිසිවකු කෙරෙහි විශ්වාසයක් නැත. මින්පසු බල්ලන්ට මිස කිසිවකුට ඡන්දය නොදෙන බව කියන තරමට අසහනය දුරදිග යමින් පවතී.
සියලු ආයතන ක්රම වැඩි වැඩියෙන් අවුලට යනවා මිස, නිරවුල් තැනකට යන බවක් පෙනෙන්නට නැත. රටේ මුදල් පාලනය හා ප්රතිපත්ති සම්පාදනය තිබිය යුත්තේ පාර්ලිමේන්තුව අතේ වුවත්, ඒ සියලු කටයුතු පාර්ලිමේන්තුව වෙනුවට විධායකය විසින් හසුරුවන තත්ත්වයක් ගොඩනැගෙමින් පවතී. ඇතිවී තිබෙන විනාශයේ විශාලත්වය තේරුම් ගෙන එකට එකතු වී වැඩ කරන තැනකට යොමුවීමට දේශපාලන පක්ෂ සමත් වී නැත. දැන් කටයුතු සිදුවෙමින් තිබෙන ආකාරය අනුව රාජ්යයට හා දේශපාලන පක්ෂවලට තිබෙන මහජන අවනතභාවය බිඳ වැටී පූර්ණ අරාජිකත්වයක් පවා ඇතිවීමේ අවදානමක් පවතී. අවාසනාවකට එවැනි අවදානමක් ඇති බව තේරුම් ගැනීමට රජය හෝ විපක්ෂය සමත්ව තිබෙන බවක් ද පෙනෙන්නට නැත.