සොබාදහම විසින් රටට ඇති කර තිබෙන විනාශය හිතාගන්නටවත් බැරි තරම් අතිවිශාලය. එය මේ පුංචි රටේ විසිපන් දහසක් පමණ වන ජනයාගේ ජීවිත බිලිගත්තේය. ලක්ෂ ගණනක් ජනයාට උන්හිටි තැන් අහිමි කරමින් ඔවුන් අනාථභාවයට පත් කළේය. පැයකටත් අඩු තරම් කාලයක් තුළ සිදුවූ මෙම විනාශය අවුරුදු 20ක් තරම් කාලයක් තුළ යුද්ධය විසින් ඇති කර තිබෙන විනාශයටත් වඩා විශාලය. එය අවුරුදු 20ක යුද්ධය නිසා ඇතිවූ විනාශය විනාඩි 30කටත් අඩු කාලයක් තුළ එකට කැටිකළා හා සමානය.
හැම අඳුරු වළාවක් තුළම රිදි රේඛාවක් තිබෙන්නා සේ මෙම විශාල විපත විසින් කිසියම් කලකට හෝ භේදවලින් තොරව දේවල් බැලීමේ හැකියාව රටට ලබාදි ඇතැයි ද කිව හැකිය. හිත් පිත් නැති සුනාමි රළ පහර ජීවිත බිලිගැනීමේදි හෝ දේපළ විනාශ කිරීමේදි ජාතිය, ආගම, භාෂාව හා කුලය වැනි සාධක සැලකිල්ලට ගත්තේ නැත. මිනිසුන් දරන දේශපාලන අදහස් සැලකිල්ලට ගත්තේ ද නැත. සිදුවී ඇති විපත්තියට ඇති විශාලත්වය හා ඛේදනීය බව විසින් මිනිසුන් ජාතිය, ආගම, භාෂාව, කුලය හෝ පක්ෂ අනුව වර්ග කොට ඔවුන් දෙස බලන ආකල්පයේ ද වෙනසක් ඇති කොට තිබෙන බව දැකිය හැකිය. මිනිසුන් වර්ග කොට දැකීමේ ක්රමයෙන් සමාජය ඉවත් කොට ඒ සියලු දෙනා දෙස පොදුවේ මිනිසුන් ලෙස දකින තැනකට අපි තල්ලු කර තිබෙන බවද පෙනේ. කොටින්ම ඇතිවී තිබෙන එම මහා විපත අශීලාචාර තත්ත්වයක ජීවත් වූ අප සියලු දෙනා ශීලාචාර තත්ත්වයකට පත්කර තිබෙන බව ද කිව හැකිය. ඇතිවී තිබෙන මෙම අතිවිශාල විපත, තිබෙන භේද විසඳ ගනිමින් භේදවලින් තොර එක්සත් ජාතියක් ලෙස නැගී සිටීමට අවශ්ය දැනුම හා හික්මීම අපට ලබාදෙන්නේ නම් සිදුවී තිබෙන මහා විපත සැපතක් බවට හරවා ගැනීමේ හැකියාව අපට ලැබෙනු ඇත්තේය.
සිදුවී තිබෙන මෙම විපත කෙරෙහි සමහර විට රටේ සමාජ දේශපාලන ක්රමයෙහි පැවති අසික්කිතභාවය ද බලපෑවා විය හැකිය. යහපත් සමාජයකට ස්වභාව ධර්මයෙන් පවා රැකවරණය ලැබෙන බවටත්, සමාජයක් යහපත් නොවන විට ස්වභාව ධර්මය පවා සමාජයට එරෙහිව යන බවටත් සමහර අය තුළ විශ්වාසයක් පවතී. එය රසායනාගාරයක් තුළ කරන පරික්ෂණයකින් ඔප්පු කළ හැකි දෙයක් නොවූවත්, එම විශ්වාසයේ ද යම් සත්යයක් තිබිය හැකිය. මහාවංශයේ එන තොරතුරුවලට අනුව කැලණිතිස්ස රජ යුගයේ ද මුහුද ගොඩ ගැලුවේය. සැදැහැවත් භික්ෂූන් වහන්සේලා දෙනමක් තෙල් කටාරමක බහා ඝාතනය කිරීමේ සිද්ධියක් ඊට බලපා ඇති බව ප්රකාශ කරමින් රජුගේ පුරෝහිත බමුණා රජුට කියා සිටියේ ඒ නිසා ඇතිවී තිබෙන දේව කෝපය සමනය කිරීමට අවශ්ය නම් සිය දියණිය වන විහාරමහාදේවිය වහා මුහුදට බිලිදිය යුතු බවය. අවසානයේදි මුහුද ගොඩගැලීම වළකා ගැනීම සඳහා රජුට සිය දියණිය මහ මුහුදට බිලිදිමට සිදුවිය.
1978 සිට අද දක්වාම මේ රටේ දේශපාලන ක්රමය ස්ථාපිත වී ගමන් ගනිමින් තිබුණේ රට හා එහි වෙසෙන වැසියා සමගි කොට ඔවුන් ජීවත් කරවන ආයතන ක්රමයක් ලෙස නොව, ඔවුන් භේද කොට ඔවුන්ගේ ජීවිත කාලකණ්ණි කරන ආයතන ක්රමයක් ලෙසය. බලයට පත් හැම පාලක කණ්ඩායමක්ම බලය ලැබීම, රට කොල්ලකෑමට ලැබෙන නිල වරමක් ලෙස සලකා රටේ සාරය තරගයට කොල්ලකෑවේය. රටේ ජනතාව ජාතිය, ආගම, භාෂාව, කුලය හා පක්ෂය යන සාධක මත භේද කළේය. ජනතාව ද පක්ෂ අනුව කල්ලි ගැසී එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් මෙම කොල්ලකරුවන්ගේ හෘද සාක්ෂියක් නැති යාන්ත්රික සෙබළ මුලක් ලෙස ක්රියා කළේය. තමන් සම්බන්ධ පක්ෂයේ විරුද්ධ පක්ෂය බලයේ සිටින විට කරන වැරදි වැරදි, ලෙස දැකීමේ හැකියාවක් තිබුණද තමන් සම්බන්ධ පක්ෂය බලයේ සිටින අවස්ථාවලදි කරන වැරදි වැරදි, ලෙස නොදැක්කේය.
පාලකයන් බලයට පත්වන්නේ මහජන ඡන්දයෙන් වුවත්, බලයට පත්වීමෙන් පසුව ඒ හැම කෙනෙක්ම රට පාලනය කර ඇත්තේ උරුමය අනුව තේරි පත්වූ ඒකාධිපති රජවරුන් සේය. සමහර පාලකයෝ රටට සේවය කරන අතර, රටේ සාරය කොල්ලකෑහ. තවත් සමහර පාලකයෝ කිසිම සේවයකින් තොරවම රටේ සාරය උරා බිව්වෝය. මේ දුෂ්ට දේශපාලන ක්රමය තුළ ජීවත්වීමට නම් පක්ෂ අනුව කල්ලි ගැසීම ද අත්යාවශ්ය කොන්දේසියක් වී තිබෙන අතර, ඒ අනුව තමන්ගේ පක්ෂය බලයට පත්වූ විට එම පක්ෂයේ පාක්ෂිකයන්ට විශේෂ සහන ලබාගැනීමේ හැකියාව ලැබී තිබේ. ඒත් විරුද්ධ පක්ෂය බලයට පත්වූ විට සිරිතක් වශයෙන් ඔවුන් පීඩාවට පත් කිරීමක් සිදුවේ. එහෙත් එසේ පීඩාවට ලක්වන අයට සිය පක්ෂය බලයට පත්වීමෙන් පසු වන්දි ලබාගත හැකිය.
බහුපක්ෂ ක්රමයක් තිබුණ ද එම පක්ෂ ක්රමය තුළ අභ්යන්තර ප්රජාතන්ත්රවාදයක් නොතිබුණි. සියල්ල තීරණය කිරීමේ අයිතිය ලැබී තිබුණේ පක්ෂ නායකයාටය. පාක්ෂිකයන්ගේ තත්ත්වය ප්රවේණිදාසයන්ගේ තත්ත්වයට වෙනස් නොවීය. පක්ෂ ක්රමය ගොඩ නැගී තිබුණේම ඒකාධිපති නායකයින් පුරුදු පුහුණු කරන ආයතන ක්රමයක් ලෙසය.
මේ දුෂ්ට ක්රමයේ යහපත් වෙනසක් ඇති කරගැනීමේ වුවමනාව සාමාන්ය ජනතාවට තබා බුද්ධිමතුන්ට හෝ ආගමික නායකයන්ට පවා නොතිබුණේය. ඔවුන් ද මේ දුෂ්ට ක්රමය මත යැපෙන පරපුටුවන් පිරිසක් බවට පත්ව තිබුණේය. එහි ඊළග නොවැළැක්විය හැකි ප්රතිඵලය වූයේ රාජ්යය ක්රමානුකූලව ගරා වැටෙන තත්ත්වයකට පත්වීමයි.
මෙම දැවැන්ත විපත සිදුවුයේ රටේ සමස්ත රාජ්ය ක්රමයම (යුක්තිය පසිඳලන ආයතන ක්රමය ඇතුළුව) හාස්යජනක විගඩමක තත්ත්වයට පත්වෙමින් රාජ්යයේ ගරා වැටීම පරිපූර්ණ තත්ත්වයකට යමින් තිබෙන අවස්ථාවකය.
මහා විපතක් සිදුවන්නට යන බව කල්තියා දැකීමේ හැකියාව එම ගරා වැටෙන රාජ්යයට නොතිබුණා සේ ම විපත ඇතිවූ පසුත්, එය නිසි ලෙස කළමනාකරණය කිරීමේ හැකියාවක් ද එයට නොතිබුණි. ස්වභාව ධර්මය විසින් ඇති කරන ලද එම මහා අර්බුදය හමුවේ රාජ්යය හරසුන් නාට්යයක විකාර රූපී රංගනයක යෙදෙන විහිළුකාරයකුගේ තත්ත්වයකට පත්විය.
වෙන්න යන දේ කල්තියා දැකීමේ හැකියාවක් රාජ්යයට නොතිබුණා විය හැකි වුවත්, විපත ඇතිවීමෙන් පසුවවත් කාර්යක්ෂමව ක්රියාකිරීමේ හැකියාවක් වී නම් ඒ නිසා සිදුවන විනාශය අවම කරගැනීමේ හැකියාව තිබුණි. එහෙත් ගරාවැටෙමින් තිබෙන රාජ්යයේ අකාර්යක්ෂමතාව, විනාශය අවම කරනු වෙනුවට කර ඇත්තේ උපරිම කිරීමය.
හැම දේශපාලන නායකයකුම ඒ මොහොතේ ජීවත්වන්නට ඇත්තේ තම තමන්ගේ සුන්දර දේශපාලන සිහින මාලිගාවලය. ජනාධිපතිනියගේ අවධානය තිබෙන්නට ඇත්තේ ආණ්ඩුක්රම ව්යවස්ථාව වෙනස් කොට තමන්ගේ දේශපාලන අවලංගුවීම වළකා ගැනීමේ වැඩසටහන ගැන විය හැකිය. අගමැතිගේ අවධානය යොමුවී තිබෙන්නට ඇත්තේ ජනාධිපතිනිය දියත් කරන්නට යන වැඩසටහන මැද තමාගේ පැවැත්ම තහවුරු කරගැනීම සඳහා දියත් කළ යුතු වැඩපිළිවෙළ ගැන විය හැකිය. විමල් වීරවංශලාගේ අවධානය යොමුවී තිබෙන්නට ඇත්තේ ජනාධිපතිනියගේ වැඩසටහනට ආධාර කරන අතර, ඇය තම පක්ෂය මත යැපෙන තත්ත්වයකට ගනිමින් සිය පක්ෂයේ ආධිපත්යය මතුකර ගන්නේ කෙසේද යන ප්රශ්නය ගැන විය හැකිය. විපක්ෂ නායකයාගේ අවධානය යොමුවී තිබෙන්නට ඇත්තේ ජනාධිපතිනියගේ වැඩසටහන ව්යර්ථ කොට ඊළගට තමා ජනාධිපතිවන්නේ කෙසේද යන ප්රශ්නය ගැන විය හැකිය. සියලු දෙනා එකිනෙකාට ආවේණික දේශපාලන සිහින මාලිගාවල ජීවත්වෙමින් සිටි නිසාම මහා විපතක් ඇතිවූ පසුත් වහාම ප්රකෘති සිහිය ලබාගැනීමේ හැකියාව නොතිබුණා විය හැකිය. රාජ්යය කාර්යක්ෂම වී නම් විපත ඇතිවූ වහාම හානි අවම කිරීම සඳහා වහාම ක්රියාත්මක විය යුතුව තිබුණි. ජනතාවට විධිමත් ලෙස උපදෙස් දිමට එය අසමත් විය. විපතට පත්වූවන් ආරක්ෂා කිරීම හා කාර්යක්ෂම සේවාවක් ලබාදිමට ද එය අසමත් විය.
තෙල්වත්තේ අනතුරට පත්වූ දුම්රියේ දහසකට වැඩි මගී පිරීසක් හිරවී සිටියේය. එහෙත් ඔවුන් වෙත ප්රවේශ වූයේ දින 3කට පසුවය. ඒ වන විට එහි ඉතිරි වී සිටි සියලු දෙනා මියගොස් තිබුණි. පළමු දිනයේම එම අනතුරට ලක්වූ දුම්රිය වෙත ප්රවේශවීමට සමත් වී නම් විශාල පිරිසකගේ ජීවිත ගලවා ගැනීමට හැකිවන්නට ඉඩ තිබුණි. ප්රමාද වී මළ සිරුරු දහස් ගණනක් එළියට ගැනීමෙන් පසුත්, බටපොළ රෝහල වෙත ගෙන ගිය එම කුණුවෙමින් තිබූ මළ සිරුරු මිහිදන් කිරීමට අවශ්ය විශාල වළක් කැපීමට යොදාගත යුතුව තිබූ බැකෝ යන්ත්රයට අවශ්ය ඉන්ධන නොවීම නිසා අතිරේක පැය 24ක් තවදුරටත් එම කුණුවෙමින් තිබූ මළ සිරුරු ගොඩ ගසාගෙන සිටීමට සිදුවිය.
සිව්වන දිනය තෙක් ගාලු බස්නැවතුම්පොළේ තිබුණු සමහර රථ තුළ ද බිඳ වැටුණු කඩ සාප්පු තුළ ද ඉවත් නොකළ මළ සිරුරු තිබුණි. සමහර මිනිසුන් ස්වේච්ඡාවෙන් කණ්ඩායම් ගැසී මළ සිරුරු ඉවත් කරනු ලැබූවත් රජයට ඊට මැදිහත් වී ක්රියාකිරීමට සංවිධාන ක්රමයක් තිබෙන බවක් පෙනෙන්නට නොතිබුණි.
විපතට පත් නරගවල කඩ සාප්පු විනාශ වී තිබේ. ඉන්ධන පිරවුම්හල් ද විනාශ වී තිබේ. අභ්යන්තරයේ ඇති කුඩා වෙළෙඳ සැල්වලට අවශ්ය භාණ්ඩ මිලදි ගැනීමට තොග වෙළෙඳ සැල් ක්රමයක් නැති නිසා අත්යවශ්ය භාණ්ඩ හිගයක් නිර්මාණය වී තිබේ. ඊට විකල්ප විසඳුම් ලබාදෙන ක්රමයක් තවමත් ක්රියාත්මක වී නැත. ඉන්ධන නැතිකම නිසා පෞද්ගලික ප්රවාහන සේවා ද මුළුමනින් අඩපණ වී තිබේ. ඉතාමත් ආරක්ෂා සහිත නොවිය හැකි වුවත්, ප්ලාස්ටික් බැරල්වලට පෙට්රල් හා ඩීසල් පුරවා භූමිතෙල් මෙන් කඩවල විකුණන ක්රමයක් ඇති කිරිමෙන් මේ අභියෝගය යම් පමණකට හෝ ජය ගැනීමේ හැකියාවක් ඇතත්, එවැනි ක්රමයක් ගැනවත් ආණ්ඩුවේ කිසිම අවධානයක් යොමුවී ඇති බවක් පෙනෙන්නට නැත.
හදිසි ආපදා සහන වෙනුවෙන් රුපියල් මිලියන 100ක් වෙන් කර ඇති බව ආණ්ඩුව ප්රකාශ කර තිබේ. එය වැව් ප්රතිසංස්කරණ වැඩපිළිවෙළට වෙන් කරන ලද මුදලටත් වඩා අඩු මුදලකි. රුපියල් මිලියන 100ක් යනු දේශපාලකයන් ගමන් ගන්නා මොන්ටෙරෝ වර්ගයේ රථ 25ක මිලට සමානය. සිදුවී තිබෙන ඛේදවාචකයේ තරම මොන්ටෙරෝ වාහන 25ක් කුඩු පට්ටම් වීමකට සමාන බවක් ඉන් ගම්ය වේ. රාජ්යයට සිය පුරවැසියන් පිළිබඳ නිසි තක්සේරුවක් නැතිකමේ තරම ඉන් පෙන්නුම් කරයි.