මහා භාරකාර ධුරය උසුලන සරත් සෙනෙවිරත්න අංක එකේ තක්කඩියෙක් බව රාවය කීවේ වසර හයකටත් වැඩි කාලයක් තිස්සේය. එසේ කීවේ ද නිකම්ම නොව, ඒ සඳහා අවශ්ය ඉතා වැදගත් තොරතුරු ද ඉදිරිපත් කරමිනි. එහෙත් පුදුමයකට මෙන් අප එසේ කියන විට ශ්රේෂ්ඨ බෞද්ධ නායකයන්ට පහර දෙන සංවිධානාත්මක වැඩපිළිවෙළක් ඇති බව කියමින් ඔහු ආරක්ෂා කිරීම සඳහා නාමධාරි පුද්ගලයන් රැසක් ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් බෙරිහන් දුන්නේය. ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි පුවත්පත් කිහිපයක් ද රටේ තිබුණේය.
ඔහුගේ ආරක්ෂාව සඳහා මොරදෙන නාමධාරින්ගෙන් බොහෝ දෙනෙකු බුද්ධාගම පළිහක් කරගනිමින් ඔහු ආරක්ෂා කරගැනීමට උත්සාහ කළේ ඇත්තටම ඔහු හොඳ බෞද්ධයකු ලෙස සලකා නොව, මහා භාරකාරවරයා හරහා මහා භාරකාර දෙපාර්තමේන්තුවෙන් ලැබෙන වාසි සලකා බව අපි දැන සිටියෙමු.
ඔහු කලක් පොදු පෙරමුණේ ගෞරවයට හේතුවූ පුද්ගලයෙකු වී සිටියේය. ඒ ගෞරවය කෙරෙහි ද බලපෑවේ තෝරාගත් ඇමතිවරුන් ගණනාවකට මහා භාරකාරයා වශයෙන් එම දෙපාර්තමේන්තුවෙන් ලබාදුන් දොළ පිදේනිය. ඉන්පසු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු ආණ්ඩුවක් බලයට පත්වූ පසු ඔහු එක්සත් ජාතික පක්ෂයට “සෙට්” විය. එසේ වීමට හැකිවූයේ ද තෝරාගත් ඇමතිවරුන් කිහිප දෙනෙකුට මහා භාරකාර දෙපාර්තමේන්තුවෙන් දෙන ලද දොළ පිදේනිය. එහෙත් ජනාධිපතිනිය අමාත්යාංශ තුනක් පවරා ගැනීම සඳහා ක්රියාකරමින් ලේක්හවුසිය පවරා ගැනීම පිණිස ක්රියාකළ අවස්ථාවේදි එජාපයට සහාය පිණිස ඔහු ටික කලක් අතුරුදහන්ව සිටියේය. ඒ අවස්ථාවේදි ඔහු පොදු පෙරමුණු දේශපාලකයන්ගේ කෝපයට හේතුවූ පුද්ගලයෙකු බවට පත්විය. ජනතා විමුක්ති පෙරමුණේ ලංකා පුවත්පත ද ඒ අවස්ථාවේදි ඔහුට දිගට හරහට පහර දෙන ප්රතිපත්තියක් අනුගමනය කළේය.
එහෙත් සන්ධාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ඔහු සන්ධාන ආණ්ඩුව සමග නැවත සෙට් විය. මහා භාරකාර දෙපාර්තමේන්තුවේ දොළ පිදේනි කෑ පුද්ගලයන් ගණනාවක් නව ආණ්ඩුවේ බලවත් තැන්වල සිටියහ. ඒ සමග ජනතා විමුක්ති පෙරමුණේ පුවත්පත ඔහුට එරෙහිව කරන කෑගැහිල්ල ද අත්හැරියේය.
දැන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඔහු දෙපාර්තමේන්තුවේ මුදල්, ප්රමුඛ බැංකුවේ තැන්පත් කොට ඒ සඳහා එම බැංකුවෙන් කොමිස් මුදල් වශයෙන් අල්ලස් ලබාගෙන ඇති බව තීන්දු කොට ඔහුට එරෙහිව කොළඹ මහාධිකරණ හතක් ඉදිරියේ නඩු නවයක් පවරා තිබේ.
දැන් ඔහු වෙනුවෙන් කෑගැසූ නාමධාරින් කිසිවෙක් ඔහු වෙනුවෙන් කෑගසන්නේ නැත. ඔහු වෙනුවෙන් කෙකරගෑ පුවත්පත් කිහිපයද නිහඬය. මෙම තක්කඩි මිනිසා රටේ රගපාමින් තිබූ භූමිකාව ඉතාමත් සුවිශේෂය. ඔහු තම වාහනය වශයෙන් පාවිච්චි කළේ හිටපු අගවිනිසුරු ජී.පී.එස්. සිල්වා මහතා නිල උත්සව අවස්ථා සඳහා පාවිච්චි කළ බෙන්ස් රථයයි. ඔහුගේ සමීපතම මිතුරා වූයේ අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාය. සරත් නන්ද සිල්වා මහතාගේ ආරක්ෂාව සඳහා රට පුරා බෝධිපූජා උත්සව පැවැත්වීමේ වගකීම පැවරි තිබුණේ මේ පුද්ගලයාටය.
සරත් නන්ද සිල්වා මහතා නීතිපති ධුරයේ සිටින කාලයේදි මහා භාරකාරවරයාට සිත් සේ එම දෙපාර්තමේන්තුව උලාකෑමේ නිදහස සහතික කරදිම පිණිස එම දෙපාර්තමේන්තුව යටතේ තිබෙන පුද්ගල භාර, විගණකාධිපතිවරයාට විගණනය කළ නොහැකි ආකාරයේ තහංචියක් පනවා තිබුණි. බැලු බැල්මට ඉතාමත් අහිංසක හා ධාර්මික පෙනුමකින් යුත් මෙම මහා භාරකාරවරයා රට උලාකෑ බලවත් හා නම්බුකාර මාෆියා කල්ලියක ප්රමුඛ සාමාජිකයකු වී සිටියේය. මහේස්ත්රාත් ලෙනින් රත්නායකගේ රංගනය අවසන් වූ හාස්යජනක ආකාරයටම දැන් මහා භාරකාරවරයාගේ රංගනය ද අවසන් වෙමින් තිබේ. අගවිනිසුරුවරයාට නියමිත පෝලිම ද එයමය. එම රංගනය වඩාත් හාස්යජනක ආකාරයකින් අවසන් වනු ඇතැයි සිතිය හැකිය.
බඩුත් හාමුදුරුවන්ගෙ නඩුත් හාමුදුරුවන්ගෙ
“පුහුල් හොරා කරෙන් දැනේ” යැයි කියමනක් තිබේ. ඊට සමාන අර්ථයක් ඇති, ශ්රී ලංකාවේ උසස් අධිකරණය සඳහා යොදාගත හැකි ආප්තයක් විශ්රාම ලත් ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු සී. විග්නේෂ්වරන් මහතා විසින් ප්රකාශ කර තිබුණි. නඩුවේ ස්වභාවය හා ඒ නඩුව අසන විනිශ්චය මණ්ඩලය අනුව ලැබෙන තීන්දුව කල්තියා කීමේ හැකියාවක් අලුත්කඩේ සමහර නීතිඥ මහතුන්ට තිබෙන බව ඒ මහතා ප්රකාශ කර තිබුණි.
දේශපාලන වැදගත්කමක් ඇති නඩු සමහර විනිශ්චය මණ්ඩල අතට යන්නට ඉඩ නොතබා විශේෂයෙන් තෝරාගත් විනිශ්චයකරුවන් ඇතුළත් විනිශ්චය මණ්ඩල අතට පත් කරන විශේෂ ක්රමයක් ද ඉහළ අධිකරණයේ ක්රියාත්මක වන බව ද ඔහු ප්රකාශ කර තිබුණි.
විග්නේශ්වරම් විනිසුරුතුමා කියන ආකාරයේ විශේෂ ක්රමයක් ශ්රේෂ්ඨාධිකරණයේ ක්රියාත්මක වන බව අපිදු බොහෝ කලක සිට දැන සිටියෙමු. දැන් විවාදයට හේතුවී තිබෙන ජාතික හෙළ උරුමය නඩුව ඇසුණේ ද ඒ ක්රමයටය. ඊට පෙර මුස්ලිම් කොංග්රස් නඩුව ඇසුණේ ද ඒ ක්රමයටය. මුස්ලිම් කොංග්රසය කලක් අගවිනිසුරුවරයාගේ ආරක්ෂාව සඳහා බලවත් ලෙස පෙනී සිටියේය. ඒ වෙනුවෙන් එම පක්ෂයට විශාල වන්දියක් ගෙවන්නට සිදුවිය. ඉන්පසු ජාතික හෙළ උරුමයේ භික්ෂූන් වහන්සේලා ද අගවිනිසුරුවරයා සැදැහැවත් බෞද්ධයකු ලෙස සලකා ඔහු කොන්දේසි විරහිතව ආරක්ෂා කරන පිළිවෙතක පිහිටා ක්රියා කළහ. දැන් එම පක්ෂයට ද ඒ වෙනුවෙන් අතිවිශාල වන්දියක් ගෙවන්නට සිදුවී තිබේ.
ජාතික හෙළ උරුමය විසින් විනය විරෝධීව ක්රියාකළ බවට තීන්දු කොට පක්ෂයෙන් නෙරපා හරින ලද හිමිනමකගේ මන්ත්රීකම ආරක්ෂා වන ආකාරයට ශ්රේෂ්ඨාධිකරණය දී තිබෙන තීන්දුව සමස්ත පක්ෂ ක්රමය කෙරෙහිම අනාගත පාරාවළල්ලක් ලෙස බලපානු නොවැළැක්විය හැකිය. බහු පක්ෂ ක්රමයක පැවැත්ම ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්රමයක් සඳහා අත්යාවශ්ය කොන්දේසියක් ලෙස ක්රියා කරයි. ජනතාව තමන් වෙත ලැබී ඇති පරමාධිපත්යය බලය අභ්යාස කරන්නේ දේශපාලන පක්ෂ හරහාය. පක්ෂයකට අසාධාරණ ලෙස පක්ෂ සාමාජිකයකු ඉවත් කිරීමේ ඉඩක් තිබිය යුතු නැතත්, පක්ෂ ප්රතිපත්තිවලට හා ක්රියාමාර්ගවලට එරෙහිව යන පක්ෂ සාමාජිකයන් සාධාරණ පරික්ෂණයකින් වරදකරු වූ පසු පක්ෂයෙන් නෙරපා හැරිමේ බලයක් පක්ෂවලට නැතොත්, දේශපාලන පක්ෂවලට පැවතීමේ හැකියාවක් නැත.
අපරැක්කේ පඤ්ඤානන්ද හිමියන්ගේ මන්ත්රීකම ආරක්ෂා කරගනිමින් ශ්රේෂ්ඨාධිකරණය දී තිබෙන තීන්දුව සියලු පිළිගත් නෛතික හා ප්රජාතන්ත්රවාදි මූලධර්මවලට එරෙහිව දෙන ලද තීන්දුවක් ලෙස සැලකිය හැකිය.
ඒ හිමියන් හා පක්ෂය අතර මතභේද ඇතිවීමෙන් පසුව පරණ දේවල් අමතක කොට නැවත පක්ෂය සමග එකතු වී වැඩ කරන ලෙසට ඒ හිමියන් හමුවී ප්රකට පුද්ගලයන් ගණනාවක් සාකච්ඡා කර තිබේ. සියනෑකෝරළයේ ප්රධාන සංඝනායක තලගුණේ බුද්ධරක්ඛිත හිමි එසේ ඒ හිමි සමග සාකච්ඡා කළ ප්රධාන හිමිනමකි.
ඉන්පසු එම පක්ෂය අප්රේල් 17 වැනිදා පැවැත්වෙන වැඩමුළුවකට සහභාගි වන ලෙස ඒ හිමි නමට නිල වශයෙන් දැනුම් දී තිබේ. එහෙත් හිමි නම ඊට සහභාගී වී නැත. ඉන්පසු කතානායක ඡන්දයේදි පක්ෂය සම්මත කරගන්නා ලද ස්ථාවරය දැනුම් දෙමින් ඊට අනුකූලව ක්රියාකරන ලෙස ලිඛිතව දැනුම් දී තිබේ. හිමිනම ඊට ද අනුකුලව ක්රියාකර නැත. හිමිනමට එරෙහිව විනය ක්රියාමාර්ගයක් ගැනීමට මධ්යම කාරක සභාව තීරණය කර ඇත්තේ ඉන්පසුවය. විනය කාරක සභාව හිමිනමට එරෙහිව චෝදනා ගොනු කොට එම චෝදනා පත්රය ඒ හිමිනම වෙත යවමින් එම විනය පරික්ෂණයට සහභාගි වී නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබේ. එහෙත් ඊට කිසිම ප්රතිචාරයක් නොලැබීම හේතු කොටගෙන ඒකපාක්ෂික විනය පරික්ෂණයක් මගින් හිමිනම සියලු චෝදනාවලට වරදකරු ලෙස තීන්දු කර තිබේ.
එහෙත් හෙළ උරුමය විනය කාරක සභාවේ තීන්දුව මත හිමිනමගේ පක්ෂය තහනම් කර නැත. ඒ වෙනුවට වැඩිදුර පරික්ෂණයක් සඳහා ස්වාධීන මණ්ඩලයක් පත් කර තිබේ. එම මණ්ඩලයේ සභාපති ලෙස ක්රියා කොට ඇත්තේ විද්යෝදය පිරිවෙනේ අධ්යක්ෂ හා සිංහල ශබ්ද කෝෂයේ කර්තෘ අකුරටියේ නන්ද හිමියන්ය. එම මණ්ඩලයේ අනෙක් සාමාජිකයන් දෙදෙනා ලෙස ක්රියා කොට ඇත්තේ මාෂල් දූපත් හි හිටපු අගවිනිසුරු ඒ.ඩී.එම්.පී. තෙන්නකෝන් මහතා හා හිටපු සොලිසිටර් ජනරාල්වරයෙකු වන ඩග්ලස් ප්රේමරත්න මහතාය.
මෙම ස්වාධීන පරික්ෂණ මණ්ඩලය ඉදිරියේ පෙනී සිටින ලෙස කරන ලද දැනුම්දිමට ඒ හිමි නම පිළිතුරු එවා තිබෙන අතර, 2 වැනි පිළිතුරේදි තමන් වහන්සේ අසනීපයෙන් සිටින බවට වෛද්ය සහතිකයක් එවමින් පරික්ෂණය ජූලි 30 වැනිදායින් පසු දිනක පවත්වන ලෙස ලිඛිත ඉල්ලීමක් කර තිබේ. ස්වාධීන පරික්ෂණ මණ්ඩලය ඒ සියලු ඉල්ලීම් වලට ද ඉඩදි ඉන්පසුත්, හිමිනම පරික්ෂණයට සහභාගී නොවීම නිසා පරික්ෂණය ඒකපාක්ෂිකව පවත්වා හිමිනම පක්ෂයෙන් ඉවත් කිරීම සුදුසු බවට දිර්ඝ වාර්තාවක් සමග නිර්දේශ කර තිබේ. ජාතික හෙළ උරුමය එම හිමිනම පක්ෂයෙන් නෙරපා හැර ඇත්තේ ඉන්පසුවය.
එහෙත් අවසානයේදි ශ්රේෂ්ඨාධිකරණය ප්රකාශ කළේ එම හිමිනම පක්ෂ සාමාජිකයකු නොවන නිසා මන්ත්රීකම අහිමි කිරීමේ බලයක් පක්ෂයට නැති බවය. එය ශ්රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තවත් කැකිල්ලේ නඩු තීන්දුවක් ලෙස ඉතිහාසයට එකතු වනු ඇත.