විශ්රාමලත් ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු සී. විග්නේෂ්වරම් මහතා අධිකරණය පිළිබඳ කර තිබෙන විග්රහය අගවිනිසුරුගේ පාලනය යටතේ ශ්රේෂ්ඨාධිකරණයේ කටයුතු සිදුවෙමින් තිබෙන ආකාරය පිළිබඳව රාවය එල්ල කළ සියලු මූලික චෝදනා සනාථ කරන විග්රහයක් ලෙස සැලකිය හැකිය.
ඔහු කියන්නේ ලැබෙන තීන්දුව නඩුවේ ස්වභාවය හා පත්කර තිබෙන විනිශ්චය මණ්ඩලයේ මුහුණු අනුව කල්තියා ප්රකාශ කිරීමේ හැකියාවක් අලුත්කඩේ නීතිඥයන්ට තිබෙන බවය.
අගවිනිසුරුවරයා විනිශ්චය මණ්ඩල පත් කරන හිතුවක්කාරි ක්රමය පිළිබඳව එල්ල වී තිබෙන චෝදනාව ද විග්නේශ්වරන් විනිසුරුවරයා ඒ ගැන කර තිබෙන විග්රහයෙන් මනා ලෙස සනාථ වේ. දේශපාලන හා සමාජීය වැදගත්කමක් ඇති නඩු තෝරාගත් විශේෂ පිරිස් අතර බෙදාහරින ක්රමයක් ක්රියාත්මක වන බවත්, එවැනි නඩුවලින් මාක් ප්රනාන්දු මහතා හා විග්නේශ්වරන් මහතා පිටමං කොට තබන ලද බවත්, ඒ මහතා ප්රකාශ කරයි. සමහර නඩු ඇසෙමින් තිබෙන අවස්ථාවලදි ඒවා ඇසෙන ආකාරය ශ්රේෂ්ඨාධිකරණයේ දැන් රජයන පිළිගත් මතයට පටහැනි වන අවස්ථාවලදි එවැනි නඩු තවදුරටත් ඇසීමේ අවස්ථාව අහිමි කරන ලද බව ද ඔහු ප්රකාශ කරයි. ශ්රේෂ්ඨාධිකරණයේ කටයුතු සිදුවන ආකාරය පිළිබඳව විග්නේශ්වරන් මහතා කර තිබෙන විග්රහය පමණක් වුවත්, ශිෂ්ටසම්පන්න රටක නම්, අගවිනිසුරුවරයා ගෙදර යැවීමට ප්රමාණවත්ය.
ඔහු අවසාන වශයෙන් කියන්නේ පක්ෂපාතකම්, පූර්ව නිගමන හා කල්ලි ගැසීම් අත්නොහැරියහොත් ගෞරවය හා අභිමානය නියත වශයෙන්ම නැතිවනු ඇති බවය. ශ්රේෂ්ඨාධිකරණයට ගෞරවය හා අභිමානය කියා දෙයක් තවත් ඉතිරි වී ඇත්ද යන්න සැක සහිතය. ඉංග්රීසි කතා කරන සමාජය අගවිනිසුරු හඳුන්වන්නේ Chief Justice කියා නොව Chief Injustice කියාය. සාමාන්ය ජනතාව අතර දැන් අගවිනිසුරු වඩා ප්රසිද්ධ “මිස්ටර් කාගිල්ස්” කියාය. අගවිනිසුරුට තිබෙන බලයට මහජනයා තුළ බියක් තිබිය හැකිවූවා විය හැකි වුවත්, ඔහු පිළිබඳව මහජනයා තුළ ඇත්තේ ගෞරවයක් නොව පිළිකුලකි.