රටේ රාජ්ය නායිකාව කියන්නේ පොලිසිය හා අධිකරණය දූෂණයෙන් පිරි ඇති බව ය. ආසියානු කලාපයේ දූෂිත ම පොලිසිය හා අධිකරණය තිබෙන්නේ ශ්රී ලංකාවේ බව ට්රාන්ස්පේරන්සි ඉන්ටර් නැෂනල් සංවිධානය ප්රකාශ කරන බව ද ඇය කියයි. එහෙත් ඒ තත්ත්වයට වගකිව යුත්තේ කව්දැයි ඇය රටට කියන්නේ නැත.
අධිකරණයේ සිරසට එය දූෂණයෙන් කුණුවීමට බලපෑ විෂබීජ එන්නත් කළේ නිල්පාට ජනාධිපතිනියයි. ඉන්පසු ඒ විෂබීජ මුළු අධිකරණයේ මුළු ශරිරය පුරා පැතිරෙන්නට ඉඩහැර බලා සිටීමේ පාපකර්මයට කොළපාට රනිල් වික්රමසිංහ ද රතුපාට විමල් වීරවංශ ද වගකිව යුතු ය.
තමන්ගේ පටු දේශපාලන වුවමනාවන් සඳහා ජනාධිපතිනිය ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියේ දූෂණ චෝදනා එල්ල වී තිබූ පුද්ගලයෙකු රටේ අධිකරණ නායකයා බවට පත් කළේ ය. අධිකරණය දූෂණයෙන් කුණුවී ගඳ ගහන තැනක් බවට පත්වූයේ ඒ ක්රියාවේ ප්රතිඵලයක් වශයෙනි.
ඒ තත්ත්වය අවශ්ය නම් වෙනස් කිරීමේ හැකියාවක් රනිල් වික්රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයට සේ ම, විමල් වීරවංශලාගේ ජනතා විමුක්ති පෙරමුණට ද තිබුණේ ය. දූෂිතයන්ට එරෙහිව යන ප්රතිපත්තියක් වෙනුවට දූෂිතයන් සමග පස්සා දොරෙන් ගනුදෙනු කරන ප්රතිපත්තියකට රනිල් වික්රමසිංහ සිය පක්ෂය යොමු කළේ ය. ඒ ප්රතිපත්තිය අධිකරණයේ පරිහානිය දෙගුණ තෙගුණ කළේ ය.
තමන් අනෙක් පක්ෂ දෙකට වෙනස් යැයි පාරම්බාන විමල් වීරවංශලාගේ ජනතා විමුක්ති පෙරමුණ ආරම්භක වටයේදි අගවිනිසුරුට එරෙහිව නැගී සිටියේ ය. එම දූෂිත පුද්ගලයා අධිකරණයෙන් පළවා හැරිය යුතු බවට ගෝරනාඩු දුන්නේ ය. එහෙත් එම පක්ෂය ද ටික කලකදි ඒ ප්රතිපත්තිය අතහැර එම දූෂිත පුද්ගලයා ආරක්ෂා කරන ප්රධාන පෙළේ රැකවලකු බවට පත්වූයේ ය. දැන් අවසානයේ විමල් වීරවංශලා රටට කියන්නේ ව්යවස්ථා සංශෝධනය ගැන හෝ දිවුරුම පිළිබඳ ප්රශ්න ඇතොත්, ඒවා අගවිනිසුරු වෙත ඉදිරිපත් කරන ලෙසය.
මේ තුන් පූට්ටුවේ අවස්ථාවාදයට ධර්ම රාජ්යයක් වෙනුවෙන් පෙනී සිටින ජාතික හෙළ උරුමයේ සිට මුස්ලිම් කොංග්රසය දක්වා වන අනෙක් පක්ෂ ද එකතු කළ හැකි ය. ඒ සියලු දෙනා අධිකරණයේ පැවති දූෂිත බව එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් ශක්තිමත් කළහ. මුළු අධිකරණය ම ගඳ ගසන්නට සැලැස්වූ පුද්ගලයෙකුගේ පැවැත්ම ශක්තිමත් කළහ.
එයින් පෙනීයන්නේ පොලිසිය හා අධිකරණය දූෂණයෙන් කුණුවී තිබෙන තරමටම මේ රටේ දේශපාලන පක්ෂ ක්රමය ද කුණුවී තිබෙන බව ය. මුළු අධිකරණය ම ගඳ ගස්සමින් සිටින අධිකරණ නායකයා හා මෙම පක්ෂවල නායකයන් අතර බරපතළ වෙනසක් නැති බව ය. ඔවුන් බාහිර පෙනුමෙන් දක්ෂිණාංශික, මැදුම්, වාමාංශික හෝ ධාර්මික විය හැකි ය. ඒ සියලු දෙනා දූෂණයෙන් කුණුවූ ආධ්යාත්මයක් නියෝජනය කරති. ඔවුහු දූෂණයේ ආරක්ෂකයෝ ලෙස ක්රියා කරති.
රටේ පවත්නා දූෂණය දෝර ගලන තත්ත්වයකට පත්ව ඇත්තේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මේ සියලු දේශපාලන පක්ෂවල නායකයන් කිසිම දර්ශනයක් නැති, හරයක් නැති අඩු වැඩි වශයෙන් දූෂණයෙන් කුණුවූ පුස්සන් පිරිසක් වන නිසා ය. රටට නව ආරම්භයකට යා හැකි වනු ඇත්තේ මේ පුස්සන් සියලු දෙනාට ආයුබෝවන් කියන තැනකට යන සමාජ මනසක් වගාකර ගත හැක්කේ නම් පමණ ය. එහෙත් එවැනි පෙරළියක් වහාම ඇතිවිය නො හැකි ය