හැඳුනුම්පත අනිවාර්ය කිරීම

October 3, 2004
Publication:
Requiring voters to show identity cards is an important step, but the government's haste raises suspicion. The Elections Commissioner's figures, reproduced district by district, show that about 30 per cent of voters, some 3.8 million, have no identity card.

ජන්දදායකයන්ට හැඳුනුම්පත අනිවාර්ය කිරීම ඉතාමත් අවශ්‍ය වැදගත් පියවරකි. එහෙත් ආණ්ඩුව ඒ සඳහා දක්වන හදිසි උනන්දුව ආණ්ඩුවේ අභිලාෂයන් කෙරෙහි බලවත් සැකයක් ඇති කිරීමට හේතුවී තිබේ.

මැතිවරණ කොමසාරිස්වරයාගේ සංඛ්‍යා ලේඛන අනුව ඡන්දදායකයන් අතර හැඳුනුම්පත් ඇති හා නැති අයගේ සංඛ්‍යා දිස්ත්‍රික්ක අනුව මෙසේය.

මැතිවරණ කොමසාරිස්වරයාගේ සංඛ්‍යා ලේඛනවලට අනුව ලියාපදිංචි ඡන්දදායකයන් අතරින් ලක්ෂ 38කට (3,827,589කට) ජාතික හැඳුනුම්පත් නැත. හැඳුනුම්පත් නැති වැඩිම සංඛ්‍යාවක් සිටින්නේ යාපනයේය. ඔවුන්ගේ ප්‍රමාණය 644,279කි. කුරුණෑගල, ගම්පහ, කොළඹ හා අනුරාධපුර යන දිස්ත්‍රික්ක හතරේ ද හැඳුනුම්පත් නැති ඡන්දදායකයන් ලක්ෂ 2කට වැඩි ගණනක් සිටින්නේය. හැඳුනුම්පත් නැති අයගේ සංඛ්‍යාව ලක්ෂ 2කට අඩු, ලක්ෂ 1කට වැඩි දිස්ත්‍රික්ක ගණන 12කි.

1981 ජන සංගණනයෙන් පසුව ජන සංගණනයක් කරන ලද්දේ 2001දිය. එහිදි ද උතුරු ප්‍රදේශය එම ජන සංගණනයට ඇතුළත් කරගත්තේ නැත. උතුරේ එල්ටීටීඊ යටතේ ඇති පාලන ප්‍රදේශයේ කිසියම් විශාල දෙමළ ජනතාවක් ජීවත් වේ. ඔවුන්ට හැඳුනුම්පත් නිකුත් කිරීමට හැකිවනු ඇත්තේ එල්ටීටීඊ පාලන අධිකාරය සමග ද ඒ ගැන එකගතාවක් ඇති කරගැනීමෙනි. ඒ ගැන ඔවුන් සමග කරන කිසිම සාකච්ඡාවකින් පවා තොරව හැඳුනුම්පත් අනිවාර්ය කරන වැඩපිළිවෙළක් මගින් සිදුවිය හැක්කේ එම ජනතාව ශ්‍රී ලංකා රාජ්‍යයේ පුරවැසියන් ලෙස නොසලකන තත්ත්වයක් ඇතිවීමය.

අනෙක් අතට උඩරට වතුකරයේ දෙමළ වතු කම්කරුවන්ගෙන් අතිවිශාල බහුතරයකට හැඳුනුම්පත් නැත. උප්පැන්න සහතිකය ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා අවශ්‍යම සාධකයක් ලෙස සැලකේ. වතුකරයේ උප්පැන්න නැති සියලු දෙනාට උප්පැන්න නිකුත් කොට ඉන්පසු හැඳුනුම්පත් නිකුත් කරන වැඩපිළිවෙළක් සම්පූර්ණ කිරීම සඳහා කිසියම් දිර්ඝ කාලයක් ගතවනු නොවැළැක්විය හැකිය. හය මාසයක කාල රාමුවක් කවර මට්ටමකින්වත් යථාර්ථවාදි කාලරාමුවක් ලෙස සැලකිය නොහැකිය.

අනෙක් අතට 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවිය යුතුව තිබෙන මැතිවරණ කොමිසම පවා නොපිහිටුවා හැඳුනුම්පත්වලට පමණක් බර තබන ප්‍රතිපත්තියක් සාධාරණ විය හැක්කේ කෙසේද?

17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ මැතිවරණ කොමිසම සඳහා ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපතිනිය වෙත ඉදිරිපත් කරන නාමලැයිස්තුව ප්‍රතික්ෂේප කිරීමේ බලයක් ජනාධිපතිනියට නැත. එහෙත් ව්‍යවස්ථාවෙන් ලැබුණු බලයක් නොමැතිව ජනාධිපතිනිය එම නාමලේඛනය අනුමත කිරීම ප්‍රතික්ෂේප කර තිබේ. රටේ රාජ්‍ය නායකයා ද මේ ආකාරයට ව්‍යවස්ථාවේ මූලධර්ම උල්ලංඝනය කරයි නම් ඒ රට නීතියේ පාලනයක් ඇති රටක් ලෙස සැලකෙන්නේ කෙසේද?

ආණ්ඩුවට ජනමතවිචාරණයකට යන්නට අවශ්‍ය වී ඇත්නම් එය නොසගවා ප්‍රකාශ කළ නොහැක්කේ ඇයි? ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතියේම කොටසක් බව නූතනයේ පවතින පිළිගැනීමයි. එය ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සේ ම ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද පිළිගෙන තිබෙන මතයකි. තොග ගණනින් ජනයාගේ මූලික අයිතිවාසිකම් චප්ප කරන ක්‍රියාමාර්ගයක් ඇති කරන ප්‍රතිඵල යහපත් විය නොහැකිය. එල්ටීටීඊ පාලන ප්‍රදේශවල ජීවත් වන ජනයාගේ හා උඩරට දෙමළ වතු කම්කරුවන්ගේ ඡන්ද අයිතිය අහිමි කරන වැඩපිළිවෙළක් ආණ්ඩුව අපේක්ෂා කරන වැඩපිළිවෙළට වාසිදායක විය හැකි වුවත්, ඒ නිසා තමන්ගේ පැවැත්ම සඳහා වෙනම රාජ්‍යයක් අවශ්‍ය යයි සිතන තත්ත්වයකට දෙමළ ජනතාව තල්ලු කරයි. ඔවුන් රාජ්‍යයෙන් බැහැර කරන වැඩපිළිවෙළක් වාසිදායක වනු ඇත්තේ ප්‍රභාකරන්ටය.

මැතිවරණ ලියාපදිංචි ඡන්දදායක ජාතික හැඳුනුම්පත් ඇති ජාතික හැඳුනුම්පත් දිස්ත්‍රික්කය සංඛ්‍යාව අයගේ සංඛ්‍යාව නැතිඅයගේ සංඛ්‍යාව

කොළඹ 1,467,751 1,228,526 236,225 (16%)

ගම්පහ 1,327,145 1,064,364 262,781 (23%)

කළුතර 746,138 603,071 143,067 (19%)

මහනුවර 880,632 718,841 160,791 (18%)

මාතලේ 312,556 227,312 85,244 (27%)

නුවරඑළිය 436,236 317,358 118,878 (27%)

ගාල්ල 716,608 555,755 160,853 (23%)

මාතර 550,503 383,804 166,699 (30%)

හම්බන්තොට 384,361 272,000 112,361 (29%)

යාපනය 644,279 – 644,279 (100%)

වන්නිය 226,604 82,587 144,017 (64%)

මඩකලපුව 303,928 201,088 102,840 (34%)

දිගාමඩුල්ල 379,044 261,581 117,463 (31%)

ත්‍රිකුණාමලය 224,307 145,485 78,822 (35%)

කුරුණෑගල 1,089,482 807,129 282,353 (26%)

පුත්තලම 450,057 312,217 138,810 (31%)

අනුරාධපුර 514,149 311,295 202,854 (39%)

පොළොන්නරුව 254,061 163,525 90,536 (36%)

බදුල්ල 511,115 370,296 140,819 (28%)

මොණරාගල 262,742 160,397 102,345 (39%)

රත්නපුරය 647,035 488,405 158,630 (25%)

කෑගල්ල 570,299 407,607 162,692 (29%)

එකතුව 12,899,032 9,077,443 3,821,589(30%)