අවලංගුවීම වළකා ගැනීම

October 3, 2004
Publication:
President Kumaratunga presses on with her plan to avoid political irrelevance after her second term: the costly JVP alliance, the defeat of the UNP, and a constitutional change she hopes the Chief Justice will help her through. Ivan argues that growing economic hardship is the chief obstacle to her plan and to the referendum it needs.

ජනාධිපතිනිය තමාගේ දෙවැනි ධුර කාලය අවසන්වීමෙන් පසුව තමා අවලංගුවීම වළකා ගැනීම සඳහා වන දුෂ්කර වැඩපිළිවෙළ තවදුරටත් නොකඩවා ඉදිරියට ගෙනයමින් සිටී. ඇයට විශාල මිලක් ගෙවා ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධානයක් ඇති කරගැනීමට අවශ්‍ය වූයේ ද, පිළිගත් පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට පටහැනිව යමින් හා කතානායකවරයාට ලිඛිතව දී තිබුණු පොරොන්දුව ද නොසලකා පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට අවශ්‍ය වූයේ ද එම දුෂ්කර අරමුණ ජයගැනීම සඳහා පාර්ලිමේන්තුවේ බහුතර බලයක් දිනාගැනීම අත්‍යාවශ්‍ය වූ නිසාය.

එම අරමුණ කරා යන දුෂ්කර ගමනේදි ඇය පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පෙරමුණ පරාජය කිරීමට සමත්වූවාය. එහිදි පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතර බලයක් ලබාගැනීමට නොහැකි වුවත්, මාස පහකට ආසන්න කාලයකින් පසුව තොණ්ඩමන්ගේ පක්ෂය ආණ්ඩුවට එකතු කරගැනීමට සමත්වීම මගින් පාර්ලිමේන්තුවේ බහුතර බලය පිළිබඳ ඉලක්කය ද ජයගැනීමට සමත් විය. ඊට අතිරේකව අධිකරණයේ ඇසුණු අපූරු නඩු විභාගයක් නිසා මුස්ලිම් කොංග්‍රසයෙන් පලවා හැරිමට නියමිතව සිටි මන්ත්‍රීන් තිදෙනාගේ මන්ත්‍රීකම් ආරක්ෂා වීම ආණ්ඩු පක්ෂයේ ශක්තිය තවදුරටත් තරවීමට හේතුවී තිබේ. දැන් හෙළ උරුමයේ හිමි නම සමග ආණ්ඩු පක්ෂයට සිටින මන්ත්‍රීන් සංඛ්‍යාව 118කි. හෙළ උරුමයේ ඉතිරි අට දෙනා ද ආණ්ඩු පක්ෂයට එකතු කරගැනීමේ බලවත් ප්‍රයත්නයක් ද ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ උත්සාහය ද සාර්ථක වුවහොත් ආණ්ඩු පක්ෂයේ ගණන 126 දක්වා ඉහළ යනු ඇත්තේය.

කාල නියමයට ආවේණික සීමාසහිත බව, සිය සැලැස්ම ක්‍රියාවට නැංවීමේදි ජනාධිපතිනියට මුහුණ දෙන්නට සිදුවී තිබෙන ප්‍රධාන අභියෝගය ලෙස සැලකිය හැකිය. එහෙත් කාල නියමය ඇති කර තිබෙන සීමාව බරපතළ ප්‍රශ්නයක් වෙතොත්, එය ජයගැනීම සඳහා යොදාගත හැකි විකල්ප ක්‍රමයක් ද අගවිනිසුරුවරයා විසින් නිර්මාණය කරදි තිබේ.

ව්‍යවස්ථාවේ එන නියමයන් අනුව නම් සිය දෙවැනි ධුර කාලය සඳහා ඇය දිවුරුම් දිය යුතුව තිබුණේ 1999 දෙසැම්බර් මස 22 වැනිදා නොව, 2000 නොවැම්බර් 12 වැනිදාය. ජනාධිපතිවරණය 1999 දෙසැම්බර්වලදි නොපවත්වා 1999 ඔක්තෝබර්වලදි පැවැත්වී නම් ඇය දෙවැනි වාරය සඳහා දිවුරුම් දිය යුතුව තිබුණේ 2000 නොවැම්බර් 12 වැනිදා නොව, 1999 නොවැම්බර් 12 වැනිදාය. මක්නිසාදයත්, ව්‍යවස්ථාවේ 31 (111) (ඇ) (1) වගන්තිය යටතේ තේරිපත්වන්නේ දෙවැනි ධුර කාලය සඳහා තරග කළ ජනාධිපතිවරයා නම්, ඒ සඳහා කෙරෙන දිවුරුම්දිම සිදුවිය යුත්තේ ඔහුගේ ප්‍රථම ධුර කාලය ආරම්භ වූ දිනට ඒ වර්ෂයේ (ඒ ඡන්ද විමසීමෙන් පසුව එළඹෙන දිනය වන) දිනය හෝ ඊළගට එළඹෙන වර්ෂයේදි ඊට අනුරූප වන දිනය යන දිනයේදිය.

ජනාධිපතිනිය දෙවැනි ධුර කාලය සඳහා වන ජනාධිපතිවරණයට දින තෝරාගෙන ඇත්තේ ඉතාමත් සූක්ෂ්ම ගණන් බැලීමකින් පසුව බව පෙනී යයි. ඇය ජනාධිපතිවරණය සඳහා 1999 දෙසැම්බර් මාසය වෙනුවට එම වසරේ ඔක්තෝබර් හෝ ඊට පෙර මාසයක් තෝරාගත්තේ නම්, ව්‍යවස්ථානුකූලව ඇයට දිවුරුම් දෙන්නට සිදුවනුයේ සිය පළමු ධුර කාලය සම්පූර්ණ කිරීමට වසරකට පෙර එනම් 1999 නොවැම්බර් මස 12 වැනිදාය. ඇය නොවැම්බර් 12 පසු කළ දිනයක් තෝරා ගැනීමෙන් පැහැදිලිව පෙනෙන්නේ පළමු ධුර කාලයට අයත් හය වසර සම්පූර්ණ කළ හැකි ආකාරයට 2000 නොවැම්බර් 12 වැනිදා දිවුරුම් දිය හැකි ආකාරයට දින යොදාගත් බවය.

එහෙත් හදිසි ප්‍රහාරයකට ලක්වීම නිසා ඇයට තමන්ගේ පූර්ව සැලැස්ම වෙනස් කරන්නට සිදුවූ බව පෙනේ. එහිදි ඇගේ සමීපතමයන් ද ඉතාමත් සූක්ෂ්ම ගණන් බැලීමක යෙදි තිබෙන බව ද පෙනේ.

එහිදි වහාම දිවුරුම් දී දෙවැනි ධුර කාලයේ වැඩ බාර නොගත්තේ නම්, ඒ අතරතුර කාලයේදි ඇය මරණයට පත්වී නම් ව්‍යවස්ථාව අනුව 31 (iv) (ආ) වගන්ති යටතේ ප්‍රතිඵල ප්‍රකාශ කර තිබෙන විටදි වුවත් ජනාධිපතිවරයෙක් තෝරා ගැනීම සඳහා තවත් ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුය. අගමැතිට ඒ තනතුරට පත්වීමට ඉඩ ලැබෙන්නේ තේරිපත්වූ ජනාධිපතිවරයා දිවුරුම්දි ඇත්නම් පමණකි.

ජනාධිපතියට 2000 නොවැම්බර් 12 වැනිදා වෙනුවට 1999 දෙසැම්බර් 22 වැනිදා දෙවැනි ධුර කාලය සඳහා දිවුරුම් දිමට බල කෙරුණේ ඇතිව තිබූ එම උභතෝකෝටික ගැටලුව නිරාකරණය කර ගැනීමට අන් මගක් නොවූ නිසාය. එහෙත් එම දිවුරුම්දිම නිසා ඇගේ දෙවැනි ධුර කාලය ආරම්භ වන්නේ ඒ දිනයේ සිටය. එවිට ඇගේ දෙවැනි ධුර කාලය 2005 වසරේ දෙසැම්බර් 22 වැනිදා අවසන් විය යුතුය.

ව්‍යවස්ථාව විසින් නියමකර තිබෙන කාල නියමය ජනාධිපතිනිය ක්‍රියාවට නගන්නට අදහස්කර තිබෙන වැඩ සටහනට බලවත් බාධාවක් ලෙස ක්‍රියාකරයි නම් එය ද ජයගත හැකි මගක් අගවිනිසුරු සරත් එන්. ද සිල්වා විසින් විවෘත කර දී තිබේ. දෙවැනි ධුර කාලයේ දිවුරුම් දිමෙන් පසුව නැවත 2000 නොවැම්බර්වලදි ද තවත් වරක් ඇය තමන් ඉදිරියේ රහසිගතව දිවුරුම් දිමක් කර ඇති බවට අගවිනිසුරුවරයා නිර්මාණය කර තිබෙන කතාවේ සැබෑ අරමුණ වී ඇත්තේ කාල නියමය ඇගේ වැඩසටහන ක්‍රියාවට නැගීමට බරපතළ බාධකයක් ලෙස ක්‍රියාකරයි නම්, ඒ බාධකය ජයගැනීම සඳහා පාවිච්චියට ගතහැකි තවත් තුරුම්පුවක් ලබාදිමටය. අවසාන විග්‍රහයේදි දෙවැනි දිවුරුම් දිමේ නෛතික වලංගුතාව නිර්ණය කරන්නා වන්නේ ද අගවිනිසුරු සරත් නන්ද සිල්වා ය.

ඇයට සමස්ත වැඩපිළිවෙල සාර්ථක කරගත හැකිවනු ඇත්තේ කවර මිලක් ගෙවා හෝ තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයක් පිළිබඳ ඉලක්කය සම්පූර්ණ කරගැනීමට සමත් වේ නම් පමණය. හෙළ උරුමයේ ද සහාය ලබාගැනීමට හැකි වෙතොත් පාර්ලිමේන්තුවේ තමන්ට සිටින සංඛ්‍යාව 126 ක් බවට පත්වී 2/3 බලයක් සඳහා අවශ්‍ය අඩු සංඛ්‍යාව 24 ක් බවට පත්වන්නේය. 2000 දී මෙන් දෙමළ සන්ධානයේ එකගතාව ලබාගත හැකි වෙතොත් 150 ඉලක්කය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් අවශ්‍ය වනු ඇත්තේ දෙදෙනෙක් පමණය. එහෙත් එල්.ටී.ටී.ඊ.ය සමග ගැට ගැසී සිටින දෙමළ ජාතික සන්ධානය සමග ගනුදෙනුවකට යනවාට වඩා එ.ජා.ප.ය තුළ පවත්නා අවුල් සහගතභාවය අනුව එක්සත් ජාතික පක්ෂයෙන් 24ක් සොයා ගැනීම වඩා පහසු වනවා ඇතැයි ඇය කල්පනා කරනවා විය හැකිය. එසේ නැත්නම් මුළු මුස්ලිම් කොංග්‍රසය සමග සම්මුතියකට යමින් ඉතිරී සියලු දෙනා එක්සත් ජාතික පක්ෂයෙන් සොයා ගැනීම ඇගේ අරමුණවී තිබෙනවා විය හැකිය.

ජනතා විමුක්ති පෙරමුණ තමන්ට අවශ්‍ය තරමට කීකරු කරගත හැකිවීම ඇය දැනට ලබා තිබෙන විශාලතම ජයග්‍රහණය වේ යැයි කිව හැකිය. ජනතා විමුක්ති පෙරමුණ සමග ඇති කරගන්නා සන්ධානය වෙනුවෙන් ඇයට අතිවිශාල මිලක් ගෙවන්නට සිදුවුවත් ජනතා විමුක්ති පෙරමුණෙන් ලැබී තිබෙන අනුග්‍රහයේ ප්‍රමාණය අනුව බලන විට ගෙවන ලද මිලෙහි විශාලත්වයට සරිලන ප්‍රතිලාභයන් ලබාගැනීමට ඇය සමත් වී ඇතැයි කිව හැකිය. ජනතා විමුක්ති පෙරමුණ කර තිබෙන දැනුම් දිමක් අනුව ජනාධිපතිනිය සිය අවලංගුභාවය වළකා ගැනීම සඳහා කරන කවර දේකටවත් ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ වන්නේ නැත. එකග නොවන්නේ එල්.ටී.ටී.ඊ.යට අන්තර් පාලනයට ලබාදෙන ක්‍රියාමාර්ගයකට පමණය.

දැන් මේ පක්ෂ දෙක එකිනෙකා මත රඳා පවත්නා තත්ත්වයකට පත්ව තිබේ. ජනතා විමුක්ති පෙරමුණෙන් තොරව ශ්‍රී.ල.නි.ප.යට පැවත්මක් නැති අතර ශ්‍රී.ල.නි.ප.යෙන් තොරව ජනතා විමුක්ති පෙරමුණට ද පැවතිය නොහැකිය. එකිනෙකා කෙරෙහි පවත්නා මේ පරායත්ත බව තවත් කලක් යන තෙක් පවතිනු ඇතැයි සිතිය හැකිය. එය ද ජනාධිපතිනියගේ වාසියට හේතුවී තිබෙන ප්‍රබල සාධකයකි. ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව තුළ ඉඳින්ම තමන් වෙනස්වී නැති බව ජනතාවට පෙන්වනු පිණිස විප්ලවකාරි ලෙස කථා කරනු ඇතත් බෝට්ටුව පෙරළන තැනකට යන්නට තරම් අකීකරු නොවන බව ඇය දනී. ඔවුන් ප්‍රභාකරන්ට ඝෝෂා කරන ස්ථාවරයක සිටිනවා දකින්නට ද ඇය කැමතිය. ජනතා විමුක්ති පෙරමුණ හිතන්නේ තමන් මත යැපෙන තත්ත්වයක් ඉදිරියේ ඇය තවත් ධුර කාලයක් බලයේ සිටියත්, එය තමන්ට වාසිදායක බවය. ඉන්පසු සමස්ත ශ්‍රීලනිප මුළුමනින් ගිලගැනීමේ හැකියාව තමන්ට ලැබෙනු ඇති බවය. එහෙත් ජනාධිපතිනිය හිතන බව පෙනෙන්නේ මෙම උන්නතිකාමී විප්ලවකාරි තරුණ කණ්ඩායමෙන් වැඩි පිරිසක් ඉක්මණින් හෝ ප්‍රමාද වී පැරණි සටන් පාඨ අතහැර සිය පක්ෂයටම එකතු වනු ඇති බවය.

එජාපයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා හොර රහසේ දහංගැට ගසනු ඇතත්, තමන්ට එරෙහිව ප්‍රසිද්ධියේ අභියෝග කරන තැනකට නොඑනු ඇති බව ජනාධිපතිනිය දනී. අවශ්‍ය වෙතොත්, සිය ප්‍රතිවාදියා නිහඬ කිරීමට හේතුවන වැදගත් තුරුම්පු ජනාධිපතිනිය අත තිබෙනවාද විය හැකිය.

සිය සැලැස්ම ක්‍රියාවට නැංවීමේදි අගමැති මහින්ද රාජපක්ෂ කෙරෙන් ප්‍රතික්‍රියා එල්ල විය හැකි වුවත්, එම තත්ත්වය පාලනය කරගත හැකිවනු ඇතැයි ඇගේ විශ්වාසය වී තිබෙන බව ද පෙනේ. මහින්ද බලාගැනීමේ ප්‍රධාන වගකීම පැවරි ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණටය. මහින්ද කෙරෙන් එල්ල වන ඕනෑම අභියෝගයක් ඔවුන් පාලනය කරනු ඇතැයි ජනාධිපතිනියගේ විශ්වාසය වී තිබෙන බව ද පෙනේ.

ජනාධිපතිනියගේ මෙම වැඩපිළිවෙළට බාධා කරන තැනකට ප්‍රභාකරන් යනු ඇතැයි සිතිය නොහැකිය. හිතුවක්කාරි ව්‍යවස්ථා සම්පාදනයකට ප්‍රභාකරන්ට විරුද්ධ වීමට හේතුවක් නැත. සිංහල නායකයන් එසේ කරන විට ඒ අයිතිය තමන්ට ද ඉබේම ලැබෙන බව ප්‍රභාකරන් නොදන්නවා විය නොහැකිය. ඒ නිසා ප්‍රභාකරන්ගෙන් ද පළවනු ඇත්තේ ඍජු ලෙස අවහිර නොකරන පැත්තකට වී බලා සිටින ප්‍රතිපත්තියකි. සමහරවිට තමන්ගේ අභිලාෂයන් සම්පූර්ණ කරගත හැකි වැඩපිළිවෙළකට ජනාධිපතිනිය එකග කරවාගත හැකිවේ නම් තමන් නියෝජනය කරන විසිදෙදෙනාගේ සහාය ලබාදෙන පිළිවෙතකට වුවද ප්‍රභාකරන් කැමති විය හැකිය.

ජනාධිපතිනියට සිය සැලැස්ම ඉදිරියට ගෙනයෑමට ඇති ප්‍රධානම බාධාව වී ඇත්තේ රටේ ජනතාව අතර නොකඩවා වර්ධනය වන ආර්ථික අමාරුකම්ය. ජනාධිපතිනියගේ සැලැස්මේ ප්‍රධාන අධියරයක් ලෙස සැලකිය හැකි ජනමතවිචාරණයකදි ජනතාව ආණ්ඩුවට විරෝධය පළකිරීමට එය අවස්ථාවක් කරගතහොත් ජනාධිපතිනියගේ සමස්ත වැඩපිළිවෙළ ව්‍යර්ථ වනු ඇතිවා පමණක් නොව, සමහරවිට එවැනි තත්ත්වයක් ආණ්ඩුව මහත් අර්බුදයකට තල්ලු කිරීමට හේතුවිය හැකිය.