පාසල්වලට ළමුන් ඇතුළත් කරගැනීම සඳහා වාර්ෂිකව පැවැත්වෙන හිත්පිත් නැති සාහසික තරගය දැන් අවසන් වී තිබේ. ජයග්රාහකයන්ගේ සංඛ්යාව ඉතා කුඩා වන අතර, පරාජිතයන්ගේ සංඛ්යාව ඉතා විශාලය.
දේශපාලන ආයතන ක්රමයේ හා කළමනාකරණයේ ඇති සිත් පිත් නැති බව හා තකතීරුකමේ තරම කියාපාන එක් ප්රමුඛ අංගයක් ලෙස රටේ පවතින පාසල් ක්රමයත්, පාසල්වලට ළමුන් ඇතුළත් කරගැනීම සඳහා යොදා තිබෙන විධිවිධානත් සැලකිය හැකිය.
අධ්යාපනය දියුණුව කරා යෑමට තිබෙන ප්රධාන මාර්ගයකි. සියලු දෙමාපියෝ තම තමන්ගේ තරාතිරමට ගැළපෙන හා අපේක්ෂාවන්ට ගැළපෙන පාසලක් සිය දරුවන් සඳහා අපේක්ෂා කරති. හැම කෙනෙක්ම තමන්ගේ තරමට වඩා හොඳ පාසලක් මිස, ඊට වඩා නරක පාසලක් භාරගන්නට කැමතිවන්නේ නැත. අධ්යාපනය සඳහා සම අවස්ථා ලබාදිමට ආණ්ඩුව බැඳී සිටියත්, තිබෙන පාසල් ක්රමය කිසිම පිළිවෙළක් නැති අවුල් ජාලාවක් ලෙස සැලකිය හැකිය. රටේ ප්රභූ පන්තිය සඳහා විශේෂ පාසල් ක්රමයක් ද, ඉන් පහළ අය සඳහා ඊට වෙනස් පාසල් ක්රමයක් ද රටේ පවතී. හොඳම පාසලක් හෝ හොඳ පාසලක් සඳහා අතිවිශාල තරගයක් පවත්නා අතර, ඒ තරගයෙන් ජයගැනීමට හැකිවී තිබෙන්නේ විශාල ලෙස මුදල් ඇති හෝ බලවත් සම්බන්ධකම් ඇති සුළු පිරීසකට පමණය.
හොඳ පාසලක් ලබාගැනීමේ තරගය ඇරඹෙන්නේ බිළිඳකු කුසේ පිළිසිඳ ගත්දා සිටය. පාසලක් ඉලක්ක කොටගෙන ඊට ගැළපෙන ලෙස සියලු සහතික නිර්මාණය කිරීමට සිදුවී තිබෙන අතර, අවශ්ය සහතික නිර්මාණය කරදිම වෙනුවෙන් දැවැන්ත කළු කච්චේරී ක්රමයක් ද රටේ පවතී. හොඳ පාසලකට ළමුන් ඇතුළත් කිරීමේදි අවශ්ය කරන සියලුම වැදගත් ලියවිලි නිර්මාණය කරදිමේ හැකියාව මෙම කළු කච්චේරී සතුව පවතී. අය කරන මිල අපේක්ෂා කරන පාසල අනුව වෙනස් වේ. එය රුපියල් දස දහසේ සිට පනස් දහස දක්වා වෙනස් විය හැකිය. ඉන්පසු පදිංචිය සහතික කිරීම සඳහා තෝරාගත් බොරු නිවස වෙනුවෙන් ද කිසියම් මුදලක් ගෙවිය යුතු අතර, ඒ සියලු දේ තිබියදිත් ළමයාගේ ඇතුළත් කරගැනීම සහතික කරගැනීම සඳහා විදුහල්පතිගේ තැරැව්කරුවන්ට ද විදුහල්පති වෙනුවෙන් පගාවක් දෙන්නට සිදුවේ. මේ සියලු දේවල් සම්පූර්ණ කිරිමෙන් පසුත් හොඳ පාසලක් අත්පත් කරගැනීමේ සිහිනය සැබෑ කරගත හැකි වන්නේ එක්තරා පිරීසකට පමණය. පරාජිත පිරීසට තමන් කැමති නැති කමකට, නැති පාසලක් තෝරාගැනීමට හෝ සල්ලි ඇත්නම් ජාත්යන්තර පාසලක් තෝරාගැනීමට සිදුවන්නේය.
මෙම අශෝභන දුෂ්ට පාසල් ක්රමය පහසුවෙන් වෙනස් කළ හැකිය. හැම පුද්ගලයෙකුම තමාගේ නිවස අසලින්ම ප්රාථමික පාසල ලැබෙන ආකාරයට හා සියලුදෙනාගේ පිළිගැනීමට හේතුවන සරල ක්රමයක් විශාල වියදමකින් තොරව ඇති කළ හැකිය. එහෙත් තිබෙන ක්රමය ඇති තරම් අයථා ලෙස මුදල් හරීහම්බ කළ හැකි ක්රමයකි. විදුහල්පතිට පමණක් නොව, ජනප්රිය පාසලක් අයිති ග්රාමසේවක කොට්ඨාසයේ ග්රාම නිලධාරීයාට පවා මේ ක්රමය තුළ විශාල ලෙස මුදල් ඉපයිය හැකිය. ජනප්රිය පාසලක විදුහල්පති තනතුරක් ලැබෙනවා යනු අද ලොතරැයි දිනුමක් ඇදුණා හා සමානය. ඒ සියලු දෙනා ද, ජනප්රිය පාසල්වලට හිමිකම් කියන බලවත් තනතුරු දරන ආදි ශිෂ්ය බලවේගයන් ද මේ තිබෙන පාසල් ක්රමය වෙනස් කරනවාට විරුද්ධය.
එහෙත් අවාසනාවන්ත දේ මේ ක්රමයෙන් වෙනසක් ඇති කිරීමට මේ ක්රමයෙන් බැටකන සාමාන්ය ජනයා අතර පවා බලවත් හැගීමක් නැතිකමය. මේ ක්රමය ප්රති සංවිධානයකට ලක්කිරිමෙන් තොරව තව වසර කිහිපයක් ඉදිරීයට ගෙන ගියහොත් එය රටේ ශිෂ්ය ප්රජාව කෙරෙහි ඇති කළ හැකි විනාශය ඉතා විශාලය. තරාතිරම නොබලා හැම පුද්ගලයෙකුටම තමන්ගේ නිවසට ආසන්නව ප්රාථමික පාසලක් තෝරාගත හැකි ආකාරයට නව ප්රාථමික පාසල් ක්රමයක් ඇති කළ හැකිය. ඒ සඳහා අලුත් ගොඩනැගිලි අවශ්ය වන්නේ නැත. හැම ප්රාථමික පාසලක්ම බොහෝ දුරට එක සමාන මට්ටමක පවතින ආකාරයට සම්පත් බෙදා හැරෙන ක්රමයක් ඇති කළ හැකිය. ඉන්පසු වසර 04ක අධ්යාපනයෙන් පසුව පොදු විභාගයක් පවත්වා ලබාගන්නා ලකුණු අනුව දක්ෂ ශිෂ්යයන් බෙදා හැරෙන තවත් අධියර ක්රමයක පාසල් ක්රමයක් ඇති කළ හැකිය. ඉන්පසු අවශ්ය නම් අපොස සාමාන්ය පෙළ විභාග ප්රතිඵල අනුව ඊළග අධියරයේ අධ්යාපනය සඳහා ප්රතිඵලවල තරම අනුව සුදුසු පාසලක් ලැබෙන ක්රමයක් ඇති කළ හැකිය. එවැනි ක්රමයක් මගින් දැන් පවතින ජනප්රිය පාසල් ක්රමය ඉවත් කොට සියලු දෙනාගේ ගෞරවයට හේතුවන නව පාසල් ක්රමයක් ඇති කළ හැකිය.