පුවත්පතක් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් නිෂ්ප්රභා කරමින් ශ්රී ලංකාවේ ශ්රේෂ්ඨාධිකරණය දෙන ලද තීන්දුවකට එරෙහිව ජාත්යන්තර මානව හිමිකම් අධිකරණයක් තීන්දුවක් දිමේ සිද්ධිය අපේ රටේ සිංහල පුවත්පත්වලට පළකිරීමට තරමේවත් වැදගත් ප්රවෘත්තියක් නොවීය. අප කැමති නැති රැහේ එකෙකුට වාසිදායක ප්රවෘත්තියක් අප පළකළ යුත්තේ ඇයි දැයි ඔවුන් කල්පනා කළා විය හැකිය. එහෙත් ඔවුන් කැමති නැති මිනිසා නඩු කීවේ ඔහුගේ ගෞරවය වෙනුවෙන් පමණක් නොවේ; ඔහු කැමති අකමැති රැහේ සියලු දෙනාගේ ගෞරවය වෙනුවෙනි. නඩුවේ නිමිත්ත කොටගත්තේ ද ඔහුට එරෙහිව පවරන ලද නඩු පමණක් නොවේ; ආර්.පී. විජේසිරිට එරෙහිව ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන වෙනුවෙන් පවරන ලද නඩුවෙන් පසුව සංශෝධනය කරන ලද සාපරාධී අපහාස නීතිය යටතේ ජනමාධ්යවේදින්ට එරෙහිව පවරන ලද සියලු නඩු ඒ නඩුවට සම්බන්ධ කොට ගෙන තිබුණි.
ශ්රී ලංකා ආණ්ඩුව සාපරාධී අපහාස නීතිය ඉවත් කරගන්නා තත්ත්වයට තල්ලු වීම කෙරෙහි ද ඒ අරගලය බලපෑවේය. රටේ නීතිපති ආණ්ඩුවේ පටු දේශපාලන අභිලාෂයන් මත පිහිටා මට එරෙහිව සාපරාධී අපහාස නීතිය යටතේ දිගින් දිගට නඩු පවරන ප්රතිපත්තියක් අනුගමනය කරමින් තිබෙන අවස්ථාවක මා කළේ එම නඩුවලට මුහුණ දෙනවාට අතිරේකව සාපරාධී අපහාස නීතිය ද, ඒ නීතිය යටතේ නඩු පවරන ප්රතිපත්තිය ද අභියෝගයට ලක්කරමින් නීතිපති වගඋත්තරකරුවකු කරමින් නීතිපතිට එරෙහිව නඩු පැවරිමය. සාපරාධී අපහාස නීතිය අවලංගු කරන අවස්ථාව වන විට නීතිපතිට එරෙහිව මා විසින් පවරන ලද නඩුව නිෂ්ප්රභා කරමින් ශ්රේෂ්ඨාධිකරණය දෙන ලද තීන්දුව අභියෝගයට ලක්කරමින් ශ්රී ලංකා ආණ්ඩුව එරෙහිව මා ජිනීවාහි මානව හිමිකම් කමිටුව ඉදිරියේ පවරන ලද නඩුව වෙනුවෙන් ආණ්ඩුවට වගඋත්තර කියන තත්ත්වයකට පත්ව තිබුණි. සාපරාධී අපහාස නීතියට එරෙහිව පවත්වාගෙන ගිය එම අරගලය ජාත්යන්තර අවධානයට යොමුවී අදහස් පළකිරීමේ නිදහසේ අයිතිය වෙනුවෙන් ක්රියාකරන ජාත්යන්තර සංවිධාන ශ්රී ලංකාවේ සාපරාධී අපහාස නීතියේ භාවිතය පිළිබඳව ශ්රී ලංකා ආණ්ඩුවට එරෙහිව දිගින් දිගට විරෝධය පළ කරන තත්ත්වයක් ගොඩනැගී තිබුණි.
සාපරාධී අපහාස නීතිය යටතේ නඩු පැවරීමේ බලය තිබුණේ නීතිපතිටය. නීතිපතිට අවශ්ය නම්, එවැනි චෝදනාවක් ඇති පුද්ගලයෙකු මූලික පරික්ෂණයක් සඳහා මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නැති නම්, මූලික පරික්ෂණයකින් තොරව මහාධිකරණයක් ඉදිරියේ අධිචෝදනා ඉදිරිපත් කිරීමේ ද බලය තිබුණි.
මහේස්ත්රාත් අධිකරණයේ සිදුවන මූලික පරික්ෂණයකදි සමතයක් ඇතිකර ගැනීමේ හැකියාව තිබෙනවා සේ ම, ඇඟිලි සලකුණු ලබාගැනීමක් සිදුවන්නේ ද නැත. සාමාන්යයෙන් ඇඟිලි සලකුණු ලබාගන්නේ මහේස්ත්රාත් අධිකරණයක් ඉදිරියේ කෙරෙන පරික්ෂණයකින් චෝදනා සනාථ වී මහාධිකරණය ඉදිරීයේ අධි චෝදනා ඉදිරිපත් කරන අවස්ථාවේදිය.
සාපරාධී අපහාස නීතිය යටතේ නීතිපති නඩු පැවරිම සඳහා යොදාගත් ප්රතිපත්තියට එරෙහිව අප නගන ලද මූලික ප්රශ්නයක් වූයේ ද මහේස්ත්රාත් අධිකරණයක් ඉදිරියේ සාමාන්ය නඩු පවරන ක්රමයක් තිබියදි ජනමාධ්යවේදින්ට එරෙහිව කරන නඩු පැවරිම් වලදි එම සාමාන්ය ක්රමයෙන් බැහැරව යමින් මූලික පරික්ෂණයකට ඉඩ නොතබා මහාධිකරණය ඉදිරියේ නඩු පවරන්නේ ඇයිද යන ප්රශ්නයයි. ඒ ප්රශ්නයට ලැබෙන වැදගත්කම තේරුම් ගැනීමට ශ්රී ලංකාවේ ශ්රේෂ්ඨාධිකරණය අසමත් විය. එහෙත් එම මූලික ප්රශ්නයට ලැබෙන වැදගත්කම ජිනීවාහි මානව හිමිකම් කමිටුව තේරුම් ගත්තේය.
මේ වැරදි ක්රමය තුළ ක්රියාත්මක වූ අවමාන සහගතම අංගය වූයේ මූලික පරික්ෂණයකින් චෝදනා සනාථ කිරීමකින් තොරව ඇඟිලි සලකුණු ලබාගැනීමය. ඇඟිලි සලකුණු ලබාදෙන්නා එහිදි ඇඟිලි සලකුණු ලබාදෙනවාට අතිරේකව ඊට අදාළ පෝරමයක් පිරවීම සඳහා පෝරමයට ඇතුළත් ප්රශ්නවලට ද පිළිතුරු දිය යුතුය.
එම පෝරමය සකස් කර ඇත්තේ අපරාධකරුවන්ට අදාළ තොරතුරු එක මධ්යස්ථානයක රැස්කොට තබාගැනීමේ අරමුණ ඇතිවය. එහිදි ඇඟිලි සලකුණු ලබාදෙන්නා තම බිරිය ගැන, දරුවන් ගැන, අනියම් බිරියන් ගැන, ඇසුරු කරන මිත්රයින් ගැන හා ගැවසෙන ස්ථාන පිළිබඳ විස්තර ලබාදිය යුතුය.
එම පෝරමය පුරවන්නට සිදුවූ එක් අවස්ථාවකදි ඇසුරු කරන මිත්රයන්ගේ නාමලේඛනයට ජනාධිපතිනියගේ නම ද (ඒ වනවිට ජනාධිපතිනිය මා සමග තරහ වී සිටියේ නැත.) ගැවසෙන ස්ථාන පිළිබඳ විස්තරයට අරලියගහ මන්දිරය ද ඇතුළත් කරන ලෙස පෝරමය පිරවූ පොලිස් නිලධාරියාගෙන් ඉල්ලා සිටි විට මහා ගාලගෝට්ටියකට මුහුණදිමට මට සිදුවිය. මෙම නින්දාසහගත සම්ප්රදායට එරෙහිව වෙනම නඩුවක් පැවරිමේ අවශ්යතාවක් මට තිබුණත්, පැටලී සිටි කෙළවරක් නැති තරම් නඩු නිසා ඒ අරමුණ සම්පූර්ණ කිරීමට නොහැකි විය. එහෙත් අවශ්ය නම් දැන් එම අඩුව සම්පූර්ණ කළ හැකිය.
සාපරාධී අපහාස නීතිය යටතේ නඩු පැවරිම්වලට ලක්වූ ජනමාධ්යවේදින්ගේ තත්ත්වය පික්පොකට්කාරයන්ගේ හෝ අයිආර්සීකාරයන්ගේ තත්ත්වයට වෙනස් නොවීය. එම නින්දාසහගත තත්ත්වය ඉවසාගෙන සිටියා මිස, ඊට එරෙහිව ජනමාධ්යවේදින් නැගී සිටියේ ද නැත. ජනමාධ්යවේදින්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන සංවිධාන පවා ඒ ගැන වචනයක්වත් කතා කළේ නැත. එහෙයින් මට ඒ තත්ත්වයට එරෙහිව තනිව සටන් කරන්නට සිදුවිය. ඒ සටන් කළේ ද මාගේ ගෞරවය පිණිස පමණක් නොව, රැහේ සියලු දෙනාගේ ද ගෞරවය පිණිසය.
ශ්රී ලංකාවේ මූලික අයිතිවාසිකම් විෂයයෙහි භාරකාරයා ලෙස සැලකෙන්නේ නීතිපතිය. මාගේද සාපරාධී අපහාස නීතිය යටතේ චෝදනා එල්ල වූ අනෙක් ජනමාධ්යවේදින්ගේ ද මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නාගේ භූමිකාව රගපෑවේ ද නීතිපතිය. පුදුමයකට මෙන් රටේ අගවිනිසුරු ධුරය දරන්නේ ද එවැනි බරපතළ වරදකට වැරදිකරුවකු කරනු ලැබ සිටින පුද්ගලයෙකි.
ශ්රේෂ්ඨාධිකරණය මගේ මූලික අයිතිවාසිකම් පෙත්සම කොතරම් පටු හා ගොරෝසු ආකාරයකින් සලකා බලා තිබේද යන්න සනාථ කරන හොඳම සාධකය ඒ ගැන ජිනීවාහි මානව හිමිකම් කමිටුව ලබාදි තිබෙන තීන්දුවයි. පසුගිය කාලය තුළ පටු දේශපාලන දෘෂ්ටියක පිහිටා නිෂ්ප්රභා කරන ලද මානව හිමිකම් පෙත්සම් සංඛ්යාව සිය ගණනක් විය හැකිය. මානව හිමිකම් ආරක්ෂාව සඳහා ඇති කර තිබෙන ආයතනයක් පටු දේශපාලන අරමුණු මත පිහිටා මානව හිමිකම් බුල්ඩෝසර කරන ආයතනයක් ලෙස ක්රියාකරයි නම් එවැනි රටකට විය හැකි විනාශය සුළු පටු නැත. අඩුම වශයෙන් දැන් මේ තීන්දුවෙන් පසුවවත් ඒ සියලු දෙනාට ආත්ම විශ්වාසයකින් යුතුව සිය දුක් ගැනවිලි ජිනීවාහි මානව හිමිකම් කමිටුව වෙත ඉදිරිපත් කළ හැකිය. අසාධාරණයක් සිදුවී ඇති හැම කෙනෙකුටම ඒ මගින් සහන ලබාගැනීමට හැකිවනු ඇත්තේය. එහෙත් අවසානයේ ඒ සියල්ල වෙනුවෙන් බර පැන දරන්නට සිදුවනු ඇත්තේ රටේ බදු ගෙවන මහජනතාවටය.
අද රටේ ඇතිවී තිබෙන කාලකණ්ණි තත්ත්වයට හා විනාශයට ජනමාධ්යවේදින් හා ජනමාධ්ය ආයතන ද හරි හරියට වගකිව යුතුය. රටේ සිදුවන හොඳ නරක පිළිබඳ මහජනතාවට හරි චිත්රයක් ලබාදිමේ වගකීම පැවරි ඇත්තේ ජනමාධ්යවේදින්ට හා ජනමාධ්ය ආයතනවලටය.
රටේ සිදුවන හොඳ නරක කණපිට හරවා මහජනතාවට පෙන්වන ජනමාධ්ය සම්ප්රදායක් ඇති රටක් යහපත් ගමන් මගක ගමන් කරන තත්ත්වයක තිබිය නොහැකිය.
ලෝකයේ පවතින පිළිගත් ජනමාධ්ය සම්ප්රදාය වනුයේ රටේ සිදුවන සැගවුණු බලවත් වරදක් පිළිබඳව කිසියම් ජනමාධ්යයක් හෙළිදරව් කරන ලද අවස්ථාවකදි සියලු ජනමාධ්ය ආයතන ද ජනමාධ්යවේදින් ද එක පොදියක් ලෙස ඒ හෙළිදරව්ව වඩා බලවත් ලෙස ඉදිරියට ගෙන යන ක්රියාමාර්ගයක් තුළ ඒ වරදට පැවතිය නොහැකි තත්ත්වයක් ඇති කිරීමය. එහෙත් අපේ රටේ සිදුවන්නේ හරියටම එහි කණපිටය. එනම් එක් ජනමාධ්යයකින් සැගවුණු බලවත් වරදක් පිළිබඳව හෙළිදරව්වක් කරන අවස්ථාවකදි අනෙක් ජනමාධ්යවලින් කොටසක් නිශ්ශබ්දව ඉඳීමෙන්ද, තවත් කොටසක් ඒ බලවත් වරදට සම්බන්ධ පුද්ගලයාට හෝ පුද්ගල කණ්ඩායමට ඍජු ලෙස හෝ අනියම් ලෙස ආධාර කරන ප්රතිපත්තියක් මගින් ඒ බරපතළ වරද පහසුවෙන් නිවැරදි කළ නොහැකි තත්ත්වයක් ඇති කිරීමය.
ඒ ගැන මගේ අත්දැකීම් මේ විෂය පිළිබඳව මා තුළ ඇතිකර ඇත්තේ ආශ්වාදයක් නොව පිළිකුලකි.
ඒ සඳහා දැක්විය හැකි ප්රකට නිදර්ශන කිහිපයක් මෙසේය.
හිටපු දුම්රීය සාමාන්යාධිකාරියෙකු වන වැක් සිල්වා, ඔප්පු කළ හැකි අයථා ගනුදෙනුවක යෙදි ඒ ගැන කරන ලද හෙළිදරව්වේදි සමහර ජනමාධ්ය නිශ්ශබ්දව බලා සිටින ප්රතිපත්තියක් අනුගමනය කරන විට තවත් සමහර ජනමාධ්ය කල එළියේම ඔහු ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කළේය. ඔහු කලක් රට අතහැර පලාගොස් සිටියේය. ශ්රී ලංකාවට පැමිණීමෙන් පසුව අල්ලස් කොමිසම ඔහුට අල්ලස් චෝදනා යටතේ නඩු පැවරුවේය. දැන් ඔහුට කලඑළියේ ආධාර කළ ජනමාධ්යවේදින් කිසිවෙක් ඔහු වෙනුවෙන් කතා කරන්නේ නැත. කමල් අද්දරආරච්චි, හැරි ජයවර්ධන වැනි හෙළිදරව්වලදි ද ජනමාධ්යවල භාවිතය ඊට වෙනස් නොවීය.
ජනමාධ්යවේදින්ගේ හා ජනමාධ්ය ආයතනවල දූෂිත භාවිතය පිළිබඳව මට හරි චිත්රයක් ඇතිකර ගැනිමට හැකිවූයේ මහේස්ත්රාත් ලෙනින් රත්නායක හා අගවිනිසුරු පිළිබඳ සිද්ධීන්වලදිය.
මහේස්ත්රාත් ලෙනින් රත්නායක ස්ත්රී දූෂක හොර තක්කඩියෙකු ලෙස මට හඳුන්වන්නට සිදුවූයේ ඔහු සමග ඇති කරගෙන තිබුණු පෞද්ගලික තහරක් නිසා නොව, ඔහුගෙන් අතවරයට ලක්වූ කාන්තාවකගෙන් අසන්නට ලැබුණු පිළිගත හැකි කතාවක් නිසාත්, ඒ අනුව ඔහුගේ අතීතය ගැන සොයා බැලීමේදි ඔහු මුදල් වංචාවක් මත රක්ෂණ සමාගමෙන් සේවයෙන් නෙරපනු ලැබූ පුද්ගලයෙකු බව කරුණු සහිතව සොයා ගැනීමට හැකිවූ නිසාත්ය.
මෙම අධම මහේස්ත්රාත්වරයා තමන් ඉදිරියේ ඇසෙන නඩුවක තමන් විසින් රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබූ විත්තිකරුවකුගේ බිරිඳක් දූෂණය කර ඇති බව මා හෙළිදරව් කිරිමෙන් පසුව ද ඒ ගැන කරණු සොයා බලා මා කියන කතාව ඛන්ධනය කිරීමකින් තොරව සමහර ජනමාධ්ය එම මහේස්ත්රාත්වරයා කොන්දේසි විරහිතව ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කළේය. සමහර විද්යුත් හා මුද්රිත ජනමාධ්ය ඔහු කෙරහි ගෞරවයක් ඇති කිරීමට හේතුවන ප්රවෘත්ති දිගින් දිගට පළ කරන ප්රතිපත්තියක් අනුගමනය කළේය. ඊට පෞද්ගලික හෝ රජයේ මාධ්ය කියා භේදයක් නොතිබුණි.
මා වරක් ආණ්ඩුවේ රූපවාහිනියේ ප්රවෘත්ති අධ්යක්ෂවරයාගෙන් ඒ ගැන කරුණු විමසීමක් කළෙමි. ආණ්ඩුවේ රූපවාහිනිය ද දිගින් දිගට ලෙනින් රත්නායක පුම්බන ප්රවෘත්ති පළ කරන ප්රතිපත්තියක් අනුගමනය කළේය. ඒ වැඩපිළිවෙත පිටුපස සිටි ප්රධාන පුද්ගලයා වූයේ රූපවාහිනියේ එම ප්රවෘත්ති අධ්යක්ෂවරයාය.
ඔහු මට පිළිතුරු දුන්නේ සැහැල්ලු සිනාවකින් යුතුවය. කිසිම බරපතළ වරදක් තමන් අතින් සිදුවී නැති ආකාරයටය. ඔහු කීවේ ලෙනින් රත්නායක තමාගේ මිත්රයෙකු වූ නිසා එසේ කළ බවය. ස්ත්රී දූෂකයෙකු ලෙස සැලකිය හැකි එවැනි පුද්ගලයෙකුට ගෞරවය ලබාදෙන එවැනි ප්රවෘත්ති පළකිරිමෙන් ඔහු අතින් ද එම කාන්තාව නිරන්තර දූෂණයට ලක්වීමක් වනවා නොවේදැයි මා ඔහුගෙන් ප්රශ්න කළ විට ඔහු මා දෙස බලා අහිංසක පෙනුමකින් යුතුව සිනාසුනා විනා මා අසන ලද ප්රශ්නයට පිළිතුරක් දුන්නේ නැත.
ලෙනින් රත්නායකට ගෞරවය ලබාදිම පිණිස නිරන්තරයෙන් පුවත් පළකළ එක් පුවත්පතක් එක් දිනකදි ඔහු පිළිබඳව පුවත් දෙකක් ම පළ කර තිබුණේය. එම පුවත්පතේ එක් දිනක ලෙනින් රත්නායක පිළිබඳ පුවත් දෙකක් පළවීමේ සිද්ධිය එම පුවත්පත කෙරෙහි මා තුළ එතෙක් පැවති පිළිකුල යටපත් වී කෝපයක් ඇති කිරීමට හේතුවිය. මා පුවත්පතේ කර්තෘට දුරකතනයෙන් කතා කළෙමි. ලෙනින් රත්නායක අතින් දූෂණයට ලක්වූ කාන්තාව මාගේ කවුරුවත් නොවන බවත්, මගේ සහෝදරියක්, ඥාතියෙක් හෝ ගමේ කෙනෙකු නොවන බවත්, මා ඇය ගැන ලීවේ ඇය කියන කතාවේ සත්ය පදනමක් තිබූ නිසා ඇයට එම වරද කළ මහේස්ත්රාත්වරයාට දඬුවම් ලබාදිමේ අහිංසක අරමුණින් පමණක් බවත් ප්රකාශ කරමින් මෙවැනි අධම පුද්ගලයෙකු ආරක්ෂා කිරීම සඳහා ඔහු වැනි පුද්ගලයෙකු ක්රියාකිරීම ගැන පුදුම වන බව ද ප්රකාශ කළෙමි. ඒ සමග මා දැන සිටි රහසක් ද ඔහුට හෙළි කළෙමි. එනම් ලෙනින් රත්නායක පිළිබඳව එම පුවත්පතේ පළවන ප්රවෘත්ති ලියා එවන්නේ ලෙනින් රත්නායක විසින්ම බව මට ඔප්පු කළ හැකි බව මම ප්රකාශ කළෙමි. කතුවරයා මට කණගාටුව ප්රකාශ කරමින් කීවේ මින් මතු ඔහු පිළිබඳව ප්රවෘත්ති පළ නොකරන බවය. ලෙනින් රත්නායක සම්බන්ධයෙන් එම කතුවරයා එසේ දෙන ලද සහතිකය ඉන්පසු අකුරටම පිළිපදිනා ලද බව ද කිව යුතුය.
මෙම අධම මහේස්ත්රාත්වරයා විසින් කරන ලද ස්ත්රී දූෂණ චෝදනාව හෙළිදරව් වීමෙන් පසුත්, තවත් වසර ගණනාවක් යන තෙක් එම අධම මිනිසාට නඩු අසන නඩුකාරයකුගේ තත්ත්වයක රැඳී සිටීමට හැකිවූයේ සමහර ජනමාධ්යවේදින්ගෙන් හා සමහර ජනමාධ්ය ආයතනවලින් ඔහුට ලැබුණු සහාය නිසාය. මා දන්නා තරමින් ඒ සියලු දෙනා ඔහුට සහාය දුන්නේ ද ඔහු එවැනි වරදක් කළ මිනිසකු නොවන බව විශ්වාස කළ නිසා නොව ඔහු අධමයෙකු බව දැන දැනම ඒ අධමයාගෙන් ලබාගත හැකි වාසි සලකාය. මහේස්ත්රාත් වැනි පුංචි තනතුරක් දරන පුද්ගලයෙකුටත් මේ රටේ ජනමාධ්ය අල්ලේ නැටවිය හැකි වී නම්, ඊට වඩා ලොකු හා බලවත් තනතුරු දරන අය ගසන බඩපිනුම් ගැන පුදුම විය යුතු නැත.
අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාගේ ප්රශ්නය ද පහසුවෙන් විසඳිය නොහැකි කුණුවූ ප්රශ්නයක් බවට පත් කළේ ද සමහර ජනමාධ්යවේදින් ඇතුළු සමහර ජනමාධ්ය ආයතනයි. ඒ වෙනුවෙන් රටට ගෙවන්නට සිදුවී තිබෙන වන්දියේ ප්රමාණය සුළුපටු නැත. කවදා හෝ ඒ වරද ආරක්ෂා කළ පුද්ගලයන්ට ද වන්දි ගෙවන්නට සිදුවනු නොඅනුමානය.
එක් ජනමාධ්යයක් බරපතළ වරදකදි පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට චෝදනා එල්ල කරන විට තවත් ජනමාධ්ය කිහිපයක් චෝදනාලාභි පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායම ප්රශංසාවට ලක් කරමින් ප්රවෘත්ති හා ලිපි පළකරයි නම් එම හෙළිදරව්ව පිළිබඳව මහජන සිත් සතන් තුළ ව්යාකූලභාවයක් ඇතිවනු නොවැළැක්විය හැකිය. ඉන්පසු එම පුද්ගලයාට හෝ පුද්ගල කණ්ඩායමට චෝදනා එල්ල කළ පුවත්පත හෝ ජනමාධ්ය ඔහුට හෝ ඔවුන්ට එරෙහිව ආරම්භ කළ සිය අරගලය තනිව ඉදිරියට ගෙන යයි නම්, සමහරවිට මහජනයාට එය පෞද්ගලික කෝන්තරයක් නිසා කරන අරගලයක් ලෙස පෙන්නන්නට ද බැරි නැත. එහෙත් එහිදි බලවත් වරද කළ එම පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායම ආරක්ෂා කිරීම මගින් සිදුවන්නේ සිදුවී තිබෙන ඒ බලවත් වරද නිවැරදි කරගැනීමට නොහැකි වී එය විසඳුමකින් තොරව කුණුවී ගල්ගැසෙන තත්ත්වයක් ඇතිවීමය. එවැනි වැරදි දිගින් දිගට ගොඩ ගැසී ගල් ගැසුණු විට කුණුවන්නේ මුළු රටමය. දැන් ශ්රී ලංකාවට සිදුවී තිබෙන්නේ ද ඒ දේය.
මේ රටේ තිබෙන අවුල් විසඳ ගෙන රටේ ගමන් මග යහපත් තැනකට ගෙන ඒමට නම් ජනමාධ්ය ක්ෂේත්රය වසාගෙන ඇති මෙම අධම සම්ප්රදාය වෙනස් කළ යුතුය. එය ඉතාමත් අමාරු දෙයක් විය හැකි වුවත්, එසේ කිරිමෙන් තොරව රටට එක අඩියක්වත් ඉදිරියට යා නොහැකිය.