එක්සත් ජාතීන්ගේ
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් CCPR/C/81/D/909/2000
පිළිබඳ ජාත්යන්තර සම්මුතිය 2004 අගෝස්තු 24
මානව හිමිකම් කමිටුව
අසූ එක් වැනි සැසිවාරය
2004 ජූලි 5-30
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික ගිවිසුමේ වෛකල්පිත ප්රොටෝකෝලය යටතේ මානව හිමිකම් කමිටුවේ තීරණය
81 වැනි සැසිවාරය
909/2000 දරන යොමුවට අදාළව
ඉදිරිපත් කරන ලද්දේ : වික්ටර් අයිවන්, මාජුවාන කංකානම්ගේ (නීතිඥ සුරංජිත් හේවාමාන්න රිචඩ්සන් කාරියවසම් හේවාමාන්න මහතා මගින්)
අගතියට පත්වූ පාර්ශ්වය : කර්තෘ
රාජ්ය පාර්ශ්වය : ශ්රී ලංකාව
මුලින්ම යොමු කළ දිනය : 1999 දෙසැම්බර් 17
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික ගිවිසුමේ 28 වැනි ව්යවස්ථාව යටතේ පිහිටුවා ඇති මානව හිමිකම් කමිටුව
රැස්වූ දිනය : 2004 ජූලි 27
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික ගිවිසුමේ වෛකල්පිත ප්රොටෝකෝලය යටතේ වික්ටර් අයිවන්, මාජුවාන කංකානම්ගේ විසින් මානව හිමිකම් කමිටුවට කරන ලද 909/2000 දරන යොමුව සැලකිල්ලට ගැනීම අවසන් කිරීමෙන් පසුව, අදාළ යොමුවේ කර්තෘ සහ රාජ්ය පාර්ශ්වය විසින් ලබාදුන් සියලු තොරතුරු සැලකිල්ලට ගෙන, පහත දක්වා ඇති පරිදි පිළිගත්තේය.
වෛකල්පිත ප්රොටෝකෝලයේ 4 වැනි පරිච්ඡේදයේ
5 වැනි ව්යවස්ථාව යටතේ නිරික්ෂණ
1. 1999 දෙසැම්බර් 17 දින දරන මෙම යොමුවේ කර්තෘ 1949 ජූනි 26 වැනි දින උපන් ශ්රී ලාංකිකයකු වන මාජුවාන කංකානම්ගේ වික්ටර් අයිවන් මහතා වන අතර, පෙර කී සම්මුතියේ 2 (3), 3, 19 හා 26 දරන ව්යවස්ථාවන් ශ්රී ලංකාව විසින් උල්ලංඝනය කිරිමෙන් තමා අගතියට පත්වී ඇති බව ඔහු කියා සිටියි. එම යොමුව 14 (3) (සී) ව්යවස්ථාව යටතේ කාරණා මතුකරන බව ද පෙනේ. කර්තෘ නීතිඥවරයකු මගින් පෙනී සිටියි.
1.2 සම්මුතිය හා සම්මුතියට අදාළ වෛකල්පිත ප්රොටෝකෝලය රාජ්ය පාර්ශ්වය සම්බන්ධයෙන් ක්රියාත්මක වීම පිළිවෙළින් 1980 ජූනි 11 වැනිදා සහ 1998 ජනවාරි 03 වැනිදා සිට ඇරැඹිණි. ශ්රී ලංකාව මේ පරිදි ප්රකාශනයක් කළේය:
“වෛකල්පිත ප්රොටෝකෝලයේ 1 වන ව්යවස්ථාව පරිදි, ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදි ජනරජය තුළ එම ප්රොටෝකෝලය ක්රියාත්මක වීම ඇරැඹුණු දාට පසුව, සිදුවූ ක්රියාවන්, නොකරහැරිම්, වර්ධනයන් හා සිදුවීම්වලින් හෝ එවැනි දේ සම්බන්ධ තීරණවලින් හෝ සම්මුතියේ විස්තර වන කිසියම් හෝ අයිතිවාසිකමක් උල්ලංඝනය වීමෙන් අගතියට පත්වූවා යැයි කියා සිටින ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදි ජනරජයේ අධිකරණ බල ප්රදේශයට විෂය වන තැනැත්තන්ගෙන් යොමුකිරිම් ලබාගැනීමට හා සලකා බැලීමට මානව හිමිකම් කමිටුවට බලයක් ඇති බව ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදි ජනරජය පිළිගනියි. තවද, යම් තැනැත්තෙකුගේ යොමුවක් වෙනත් අන්තර්ජාතික විමර්ශන හෝ නිරවුල් කිරීමේ කාර්ය පටිපාටියක් යටතේ සලකා නොබලන වගට හෝ සලකා නොබැලු වගට සෑහීමට පත්ව මිස කමිටුව එවැන්නක් සලකා නොබලන බවට ඇති වැටහීම මත ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදි ජනරජය ක්රියා කරයි.
1.3 2000 අප්රේල් 17 දින කමිටුව නව යොමුකිරිම් පිළිබඳ සිය විශේෂ නියෝජිතයා මගින් ක්රියාකරමින්, පිළිගත හැකිභාවය පිළිබඳ විමර්ශනය නඩුවේ අදාළ කරුණු වලින් වෙන්කිරීමට තීරණය කළේය.
කර්තෘ ඉදිරිපත් කළ පරිදි කරුණු
2.1 කර්තෘවරයා රාවය පුවත්පතේ කර්තෘ මෙන්ම ජනමාධ්යවේදියෙකු ද වෙයි. සිය පුවත්පතෙහි පළවූ ලිපි හා වාර්තා මගින් ඇමතිවරුන් හා පොලිසියේ හා වෙනත් දෙපාර්තමේන්තුවල ඉහළ නිලධාරීන් අපකීර්තියට පත්කළේය යන චෝදනාව මත 1993 සිට කීප වතාවක් ඔහුට විරුද්ධව අධිචෝදනා ඉදිරීපත් කර ඇත. කිසිදු වග විභාගයක් නොමැතිව හා අත්තනෝමතික ලෙස ද, ශ්රී ලංකාවේ නීතියට අනුකූලව අවශ්ය කෙරෙන කාරණා නිසි පරිදි තක්සේරු කිරීමකින් තොරව ද, තමාව පීඩාවට පත්කිරීමේ අරමුණ ඇතිව මෙම අධිචෝදනා නීතිපතිවරයා විසින් ශ්රී ලංකාවේ මහාධිකරණයට යොමුකර ඇති බව ඔහු කියා සිටියි. මෙම නඩුවල ප්රතිඵලයක් ලෙස, කර්තෘ බියගැන්වී ඇති අතර, ඔහුගේ අදහස් ප්රකාශ කිරීමේ නිදහසට සීමා ද, පුවත්පතේ ප්රකාශනයට බාධා ද පැනැවිණි.
2.2 අදාළ යොමුකිරීම සිදුකළ අවස්ථාව වන විට, 1996 ජූනි 26 (නඩු අංක 7962/96), 1997 මාර්තු 31 (නඩු අංක: 8650/97) සහ 1997 සැප්තැම්බර් 30 (නඩු අංක 9128/97) දරන අධිචෝදනා තුනක් කර්තෘට එරෙහිව මහාධිකරණය ඉදිරියේ විභාග වෙමින් පැවතුණි.
2.3 මෙම අධිචෝදනා ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 12 (1) හා 14 (1) (ඒ්) ව්යවස්ථාවන් යටතේ සහතික කෙරෙන නීතිය ඉදිරියේ සමානත්වය ලැබීම, නීතියේ සමාන රැකවරණය ලැබීම හා අදහස් ප්රකාශකිරීමේ අයිතිය යන අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ පදනම මත නිෂ්ප්රභා කරන නියෝගයක් ඉල්ලා කර්තෘ 1998 පෙබරවාරි 16 වැනි දින ශ්රේෂ්ඨාධිකරණයට ආයාචනයක් කළේය. එම ආයාචනයේදිම, තම අයැදුම්පත විභාග කර අවසන්වන තුරු අධිචෝදනා අත්හිටුවන අතුරු නියෝගයක් ද කර්තෘ ශ්රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙම අධිචෝදනා වෙනස් කොට සැලකීමක්ය, අත්තනෝමතිකය හා අසාධාරණය යනාදි ලෙස බැලු බැල්මට නඩුවක් ඉදිරිපත් නොකළේය යන පදනම මත, ශ්රේෂ්ඨාධිකරණය 1998 අප්රේල් මස 03 වැනිදා ඔහුගේ ඉල්ලීම ඉදිරියට ගෙනයෑමට අවසර දිම ප්රතික්ෂේප කළේය.
පැමිණිල්ල
3.1 අපහාසය පිළිබඳව තමාට චෝදනා කරමින් මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා ඉදිරිපත් කිරීම මගින්, නීතිපතිවරයා ව්යවස්ථාපිත මගපෙන්වීම් යටතේ (සාපරාධී අපහාස පැමිණිල්ලකදි නීතියෙන් අවශ්ය වන පරිදි කාරණා ගැන නිසි පරිදි තක්සේරුවක් වන සිය අභිමතය නිසි ලෙස ක්රියාත්මක කිරීමට අසමත් වීමෙන් සිය බලය අත්තනෝමතිකව යොදාගෙන ඇති බව කර්තෘ කියා සිටියි. එසේ කිරීම මගින් සම්මුතියේ 19 වැනි ව්යවස්ථාව යටතේ එන අදහස් ප්රකාශ කිරීමේ අයිතිය මෙන්ම 26 වැනි ව්යවස්ථාව මගින් සහතික කෙරෙන නීතිය ඉදිරියේ සමානත්වය හා සමාන රැකවරණ ලැබීමේ අයිතිය ද නීතිපතිවරයා කඩ කළේය.
3.2 කතුවරයා තවදුරටත් කියා සිටින්නේ, අධිචෝදනා අත්හිටුවීමට කරන ලද ඉල්ලීම සමග නඩුව වැඩිදුර විභාගයට ඉඩදිම ශ්රේෂ්ඨාධිකරණය ප්රතික්ෂේප කිරීම නිසා ඵලදායක ප්රතිකර්මයක් ලබාගැනීම ඔහුට අහිමි කිරිමෙන් සම්මුතියේ 3 වැනි පරිච්ඳෙදයේ 2 වැනි ව්යවස්ථාව උල්ලංඝනය වී ඇති බවය.
3.3 අවසාන වශයෙන්, 3 වැනි ව්යවස්ථාව උල්ලංඝනයවීමක් ගැන කර්තෘ කියා ඇති නමුත් ඒ ගැන පැහැදිලි කර නැත.
පිළිගත හැකිභාවය ගැන රාජ්ය පාර්ශ්වයේ නිරික්ෂණ:
4.1 කමිටුවේ කාර්ය පටිපාටියට අදාළ 91 (3) වන රිතිය අනුව, කමිටුවේ යොමු කිරිම් පිළිබඳ විශේෂ නියෝජිතයාගේ අවසරය පරිදි, යොමුකිරීමේ පිළිගත හැකිභාවය ගැන පමණක් සිය නිරික්ෂණ රාජ්ය පාර්ශ්වය විසින් 2000 මාර්තු 17 දින ඉදිරිපත් කරන ලදි.
4.2 රාජ්ය පාර්ශ්වය දක්වන ආකාරයට යොමු කිරීම පිළිගත නොහැකිය. ඊට හේතුව වෛකල්පිත ප්රොටෝකෝලය ශ්රී ලංකාව කෙරෙහි ක්රියාත්මකවීමට පෙර, එනම් 1998 ජනවාරි 3 වැනිදාට පෙර සිදුවූ දේට යොමු කිරීමේ කරුණු අදාළ වීමයි. ප්රොටොකෝලය අනුමත කරද්දි, 1998 ජනවාරි 3 වැනිදායින් පසු සිදුවූ ක්රියා, නොකර හැරිම්, වර්ධනයන් හා සිදුවීම් හේතුවෙන් සම්මුතිය උල්ලංඝනය වී අගතියට පත්වූවන්ගේ යොමුකිරිම් පමණක් කමිටුව සලකා බලන්නේය යන වෙන්කිරීමට ශ්රී ලංකාව එකග විය. සම්මුතිය උල්ලංඝනය කළේයැයි කියන අධිචෝදනා එම දිනයට පෙරාතුව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති නිසා, ඒවා ඉහත කී වෙන්කිරීම මගින් ආවරණය වෙයි. එබැවින් ඒවායේ පිළිගත හැකිභාවය නැති බව රාජ්ය පාර්ශ්වය තවදුරටත් කියාසිටියි.
4.3 සම්මුතියේ 19 (3) ව්යවස්ථාව මගින් ආරක්ෂා වී ඇති අයිතිවාසිකම් ක්රියාත්මක කිරීමේදි ඊට සමගාමීව විශේෂ යුතුකම් හා වගකීම් ද ඇති බවත්, වෙනත් අයගේ අයිතිවාසිකම්වලට හෝ කීර්තියට ගරු කිරීම සඳහා අවශ්ය කෙරෙන නීතිමය සීමාවන්ට එම අයිතිවාසිකම් යටත් කළ හැකි නිසා කර්තෘ කියා සිටින උල්ලංඝනය සම්මුතියේ 19 (3) ව්යවස්ථාව යටතේ තහවුරු කළ නොහැකි බවත් රාජ්ය පාර්ශ්වය කියාසිටියි.
4.4 රාජ්ය පාර්ශ්වය තර්ක කර සිටින්නේ: නීතිපතිවරයාට අධිචෝදනා ගැන කරුණු ඉදිරිපත් කිරීම, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්)ට හෝ ජාතික මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීම වැනි ඔහු ලබාගත යුතුව තිබූ දේශීය ප්රතිකර්ම කර්තෘ විසින් අවසන් කර නැති බවය.
4.5 අවසාන වශයෙන්, ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාව යටතේ ප්රතිකර්ම ලබාගත නොහැකි, සම්මුතියේ සඳහන් කිසියම් හෝ අයිතිවාසිකමක් උල්ලංඝනය වී ඇති බව තහවුරු කර නැති නිසා සම්මුතියේ 2 (3) ව්යවස්ථාව යටතේ කමිටුවේ අධිකරණ බලයේ සහනය කර්තෘට ලබාගත නොහැකි බව රාජ්ය පාර්ශ්වයේ මතයයි.
කර්තෘගේ කරුණු දැක්වීම
5.1 2000 ජූනි 16 වැනි දින කර්තෘ, රාජ්ය පාර්ශ්වයේ නිරික්ෂණවලට ප්රතිචාර දැක්වීය. කමිටුවට මෙම යොමුව විභාග කිරීමට ඇති නීත්යනුකූල බලයට අදාළ Ratione Temporis සංකල්පය හා වෛකල්පිත ප්රොටෝකෝලය ක්රියාත්මකවීම සම්බන්ධයෙන් මානව හිමිකම් කමිටුවේ අංක 24 දරන පොදු කරුණු දැක්වීම ඔහු මතක් කරසිටියි. “එවැනි ප්රකාශ හා නිරික්ෂණ මධ්යයේ වුවද වෛකල්පිත ප්රොටෝකෝලය ක්රියාත්මක වූ දිනට පෙර සිදුවූ සිදුවීම් හෝ ක්රියාවන් එම දිනයට පසුද අගතියට පත් පාර්ශ්වයට බලපෑම් ඇති කරන ආකාරයේ ඒවා වන විට එම කාරණා සම්බන්ධ නීත්යනුකූල බලය තමන්ට ඇති බව කමිටුව අවධාරණය කර ඇත. තමන් චෝදනා කරන උල්ලංඝනයන් අඛණ්ඩව සිදුවන ඒවා නිසා කමිටුවට Ratione Temporis සම්බන්ධ අධිකරණ බලය ඇති බවට ඔහු අවධාරණය කර සිටියි.
5.2 අංක 24 දරන පොදු කරුණු දැක්වීමේ 13 වන පරිච්ඳෙදයට අදාළව වෛකල්පිත ප්රොටෝකෝලය රාජ්ය පාර්ශ්වය කෙරෙහි ක්රියාත්මක වීමට පෙරාතුව අදාළ ක්රියාවන් හෝ සිදුවීම් හට ගත්ත ද, ඒවා සිදුවූයේ සම්මුතිය රාජ්ය පාර්ශ්වය කෙරෙහි ක්රියාත්මක වීම ඇරැඹුණාට පසුව නම්, එය පිළිගත යුතු බවට කර්තෘ තර්ක කරයි.
5.3 සම්මුතියේ 19 (3) ව්යවස්ථාවේ සීමාවන්ට යටත් වන නිසා පිළිගතහැකිභාවය නැත යන කරුණ මත යොමුව ප්රතික්ෂේප කළ යුතු බවට රාජ්ය පාර්ශ්වය කරන තර්කය අදාළ යොමුවේ පිළිගතහැකිභාවයට සම්බන්ධ දෙයක් නොව එහි අන්තර්ගත අදාළ කරුණුවලට සම්බන්ධ විරෝධතාවක් බව කර්තෘ කියාසිටියි.
5.4 දේශීය ප්රතිකර්ම සම්පූර්ණයෙන් අවසන් කර නොමැතිය යන කරුණ සම්බන්ධයෙන් කර්තෘ කියා සිටින්නේ විධායක හෝ පරිපාලන ක්රියාවක් මගින් සිදුවන මූලික අයිතිවාසිකම් උල්ලංඝනයවීමක් සම්බන්ධයෙන් විභාග කිරීමට හා තීරණයක් දිමට අධිකරණ බලය ඇති එකම අධිකරණය ශ්රේෂ්ඨාධිකරණය බවයි. නීතිපතිවරයාට කරුණු කියාපෑම සම්බන්ධයෙන් කර්තෘවරයා කියා සිටින්නේ අධිචෝදනා ගොනුකිරිමෙන් පසුව එසේ කරුණු කියාසිටීමට නීතිමය ප්රතිපාදන නොමැති බවත්, කෙසේවුවද අදාළ නඩු පැවරිම් පිටුපස සිටින්නේ නීතිපතිවරයාම බැවින් එසේ කරුණු කියාපෑම ඵලරහිත ක්රියාවක් වන බවත්ය. ඔම්බුඩ්ස්මන්ට හෝ ජාතික මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීම සම්බන්ධයෙන් කර්තෘ අවධාරණය කරන්නේ, මේවා ජනාධිපති විසින් පත්කරන ආයතන බවත්, ඒවාට සමථකිරීමේ, සමගි කිරීමේ හා නිර්දේශ ඉදිරීපත්කිරීමේ බලතල මිස සිය නිර්දේශ බලාත්මක කිරීමේ බලතල නොමැති බවත්ය. ඔහුගේ පැමිණිල්ල සම්බන්ධයෙන් ක්රියාකර ඵලදායක ප්රතිකර්ම ලබාදිය හැකි බලය ඇත්තේ ශ්රේෂ්ඨාධිකරණයට පමණි.
5.5 සම්මුතියේ 3 වැනි පරිච්ඡේදයේ 2 වැනි ව්යවස්ථාව සම්බන්ධයෙන් රාජ්ය පාර්ශ්වයේ තර්කය ගැන කර්තෘ කියා සිටින්නේ: සම්මුතියේ සඳහන් වගකීම්වලින් මිදිම සඳහා සිය අභ්යන්තර නීති හේතුවක් ලෙස ඉදිරිපත් කිරීමට රාජය පාර්ශ්වයකට නොහැකි බවය.
පිළිගත හැකිභාවය පිළිබඳ තීරණය
6.1 එහි 72 වැනි සැසිවාරයේදි කමිටුව යොමුවේ පිළිගතහැකිභාවය සලකා බැලීය. එම කාරණය වෙනත් අන්තර්ජාතික විමර්ශන හෝ නිරවුල් කිරීමේ කාර්ය පටිපාටියක් විසින් සලකා නොබලන හෝ නොබැලුබවට සෑහීමට පත්වීමෙන් පසු, කමිටුව තමන් වෙත ඉදිරිපත් කර තිබූ කරුණු විභාග කළේය.
6.2 වෛකල්පිත ප්රොටෝකෝලය අනුමත කිරීමේදි, වෛකල්පිත ප්රොටෝකෝලය ක්රියාත්මක වූවාට පසුව සිදුවන කාරණා සම්බන්ධයෙන් පමණක් කමිටුව නීත්යනුකූල බලය සීමාකිරීමේ ප්රකාශනයකට ශ්රී ලංකාව ඇතුළු වී තිබුණ නිසා කමිටුවේ ratione temporis ගැන රාජ්ය පාර්ශ්වය අභියෝග කළ බව කමිටුව සැලකිල්ලට ගත්තේය. මීට අදාළව, උල්ලංඝනයන්ගේ අඛණ්ඩතාව ගැන කමිටුව සැලකිලිමත් විය. අදාළ උල්ලංඝනය සිදුවී ඇත්තේ අධිචෝදනා ඉදිරීපත්කළ අවස්ථාවේ පමණක් නොවේ. එම අධිචෝදනා සම්බන්ධයෙන් කටයුතු කරන අධිකරණයක් විසින් තීරණයක් නොදි සිටින තෙක්ම උල්ලංඝනය අඛණ්ඩව සිදුවෙයි. මෙම අධිචෝදනාවන්හි ප්රතිඵල කර්තෘ සම්බන්ධයෙන් අඛණ්ඩව පැවතුණ අතර, අධිචෝදනා ක්රියාත්මකව පවතින තාක් ඒවා නව උල්ලංඝනය වීම් ලෙසට සැලකිය හැකිය.
6.3 රාජ්ය පාර්ශ්වය විසින් ප්රකාශ කර සිටින පරීදි, කර්තෘ විසින් දේශීය ප්රතිකර්ම අවසන් කර නැති නිසා මෙම යොමුව පිළිගත නොහැකිය යන කාරණය සම්බන්ධයෙන් කමිටුව මතක් කර සිටින්නේ: ශ්රේෂ්ඨාධිකරණය රටේ ඉහළම අධිකරණය බවත්, එයට කරන ආයාචනයක් ඉහළම දේශීය ප්රතිකර්මය වන බවත්ය. නීතිපතිවරයාට කරන කරුණු දැක්වීමක් හෝ ඔම්බුඩ්ස්මන්ට හෝ ජාතික මානව හිමිකම් කොමිසමට හෝ කරන පැමිණිල්ලක් හෝ ඵලදායී ප්රතිකර්ම ලබාදෙන බව ශ්රේෂ්ඨාධිකරණ තීරණයක් මගින් රාජ්ය පාර්ශ්වය පැහැදිලි කර නැත. ඒ අනුව වෛකල්පිත ප්රොටෝකෝලයේ 2 (බී) පරිච්ඡේදයේ 5 වැනි ව්යවස්ථාවේ අවශ්යතාව පරිදි කර්තෘ තමන් සෑහීමට පත් කළ බව පිළිගන්නා කමිටුව 2001 ජූලි 6 වැනිදා යොමුවේ පිළිගත හැකිභාවය ප්රකාශයට පත් කළේය.
6.4 2001 ජූලි 6 වැනිදා යොමු කිරීම, පිළිගතහැකි එකක් බව කමිටුව ප්රකාශයට පත් කළේය. 2 (3) හා 19 ව්යවස්ථාවන් යටතේ කර්තෘ කර ඇති ඉල්ලීම් එහි අදාළ කරුණුවල වැදගත්කම අනුව සැලකිල්ලට ගතයුතු බව විශේෂයෙන් තීරණය කළ අතර, 14 (3) (සී) හා 26 ව්යවස්ථා යටතේ කර්තෘගේ අනෙක් ඉල්ලීම් සලකා බැලීමේ හැකියාව විවෘතව තබනු ලැබීය.
අදාළ කරුණු ගැන රාජ්ය පාර්ශ්වයේ නිරික්ෂණ:
7.1 2002 අප්රේල් 04 වැනිදා යොමුවේ අදාළ කරුණු ගැන රාජ්ය පාර්ශ්වය කරුණු ඉදිරීපත් කළේය.
7.2 ශ්රේෂ්ඨාධිකරණයට කළ අයැදුමේදි කර්තෘ විසින් අභියෝගයට ලක් කළ අධිචෝදනා කලින් ධුරය දැරූ නීතිපතිවරුන් දෙදෙනෙකුගේ ධුර කාල තුළ ඉදිරිපත් කරන ලද ඒවා බව රාජ්ය පාර්ශ්වය අවධානයට යොමු කරයි. ප්රශ්නගත අධිචෝදනාවල සමහර කාරණා ගැන එම පාර්ශ්වය පහත නිරික්ෂණ දක්වයි.
– 1994 ජූලි 26 වැනි දින හා අංක 6774/94 දරන අධිචෝදනාව ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු ගැන ලියන ලද ලිපියකට අදාළ වෙයි. රාජ්ය පාර්ශ්වය කියා සිටින්නේ, එම අධිචෝදනාව ඉල්ලා අස්කර ගෙන ඇති බවත්, ශ්රේෂ්ඨාධිකරණයට පැමිණිල්ල කරන අවස්ථාවේ ධුරය දැරූ නීතිපති නොව වෙනත් නීතිපතිවරයකු විසින් එය ඉදිරීපත් කර ඇති නිසා ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියේ එය අභියෝගයට ලක් කළ නොහැකි බවත්ය.
– 1996 ජූනි 26 වැනි දින හා 7962/96 අංකය දරන අධිචෝදනාව ධීවර ඇමතිවරයා සම්බන්ධයෙන් පළකරන ලද ලිපියකට අදාළය. රාජ්ය පාර්ශ්වය කියා සිටින්නේ එම ලිපියේ අන්තර්ගත තොරතුරු නිල පරික්ෂණයකට යටත් බවය. එහි ප්රතිඵලයක් ලෙස එම තොරතුරුවල සත්යතාව තහවුරු වූ බව ද කියා සිටියි. මේ බව නීතිපතිවරයාට කිසිවිටෙක ඉදිරිපත් කර නොතිබූ අතර, අදාළ අධිචෝදනා ඉල්ලා අස්කර ගැනීම සඳහා තවමත් ඉදිරිපත් කළ හැකිය.
– 1997 සැප්තැම්බර් 30 හා අංක 9128/97 දරන අධිචෝදනාව පොලිස්පති සම්බන්ධ ලිපියකට අදාළ වන අතර විශේෂ සිද්ධි සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණවල ඇති දුර්වලතා ගැන ලියූවකි. රාජ්ය පාර්ශ්වය කියන්නේ, නිසි පරිදි යුක්තිය ඉටුකිරීමේ අරමුණෙන් හා අවශ්ය නීතිමය පටිපාටින්ට අනුකූලව එම පැමිණිලි ගැන නිසි ලෙස ක්රියාකළ බවය.
7.3 රාජ්ය පාර්ශ්වය තවදුරටත් කියා සිටින්නේ: අපරාධ නඩු පැවරිම්වලට හේතුවුණු ඉහත පැමිණිලි වලට අමතරව නීතිපතිවරයා විසින් අපරාධ නඩු නොපැවරිමට තීරණය කළ අපහාසය පිළිබඳ තවත් පැමිණිලි 9ක් 1992-97 කාලය තුළ කර්තෘට එරෙහිව තිබුණු බවත්ය.
7.4 රාජ්ය පාර්ශ්වය කියා සිටින්නේ, දණ්ඩ නීති සංග්රහයේ 479 වගන්තියෙන් අර්ථ නිරූපණය කර ඇති සාපරාධී අපහාසය නම් වරද මහේස්ත්රාත් අධිකරණය ඉදිරියේ ලඝු කාර්ය පටිපාටිය අනුව හෝ මහාධිකරණය ඉදිරියේ විභාග කළ හැකි වරදක් වුවත්, එයින් අගතියට පත්අයකුට හෝ වෙනත් පුද්ගලයකුට නීතිපතිගේ අවසරය නොමැතිව නඩු පැවරිය නොහැකි බවය. එවැනි වරදක් සඳහා අපරාධ නඩු විධාන සංග්රහයේ 393 (7) වගන්තිය යටතේ මහාධිකරණය ඉදිරියේ නඩුවක් පැවරිමට හෝ මහේස්ත්රාත් අධිකරණයේ ලඝු කාර්ය පටිපාටිය යටතේ පරික්ෂණයක් පවත්වන්නට “වරදේ ස්වභාවය හා වෙනත් කරුණු සැලකිල්ලට ගනිමින්” නීතිපතිවරයාට අයිතිවාසිකම් තිබේ. මේ විධිවිධාන යටතේ නීතිපතිවරයාට අභිමතානුසාරි බලයක් ඇත.
7.5 මේ කාරණයේදි නීතිපති නීතියට අනුව ක්රියාකර ඇති බවත්, ඔහුගේ යුතුකම් බියකින්, භජනයකින් තොරව හා ඉහළින්ම යුක්තිය ඉටුකිරීම අරමුණු කරගෙන කර ඇති බව රාජ්ය පාර්ශ්වය කියා සිටියි.
7.6 ශ්රේෂ්ඨාධිකරණයේ අධිකරණ බලය සම්බන්ධයෙන් රාජ්ය පාර්ශ්වය කියා සිටින්නේ සිදුවූවායැයි කියන මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් සම්බන්ධ පැමිණිල්ලක් විභාගයට අවසර දිම සිදු කෙරෙන්නේ අවම වශයෙන් විනිශ්චයකාරවරුන් දෙදෙනෙකු ඉදිරියේ බවත්, එහිදි තමන්ට සිදුවූවා යැයි කියන උල්ලංඝනයන් සම්බන්ධයෙන් බැලු බැල්මට නඩුවක් ඇති බව පෙන්වීමට කර්තෘට අවස්ථාවක් ලැබුණු බවත්ය. දිර්ඝ වශයෙන් නීතිපතිවරයාගේ අභිමතානුසාරි බලය විශ්ලේෂණය කිරිමෙන් පසුව හා කර්තෘට විරුද්ධව ඉදිරිපත්වී ඇති චෝදනා විශාල සංඛ්යාවක් සම්බන්ධයෙන් ඔවුන් වෙත ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගෙන, කර්තෘට විරුද්ධව කර තිබූ අධිචෝදනා අත්තනෝමතික නොවන බවත්, කර්තෘව අඛණ්ඩව පීඩාවට පත්කිරීමක් හෝ ඔහුගේ ප්රකාශනයේ නිදහසට බාධාවක් එමගින් සිදු නොවූ බවත් ශ්රේෂ්ඨාධිකරණය තීරණය කළේය. මේ සම්බන්ධයෙන් කර්තෘට විරුද්ධව තිබූ පූර්ව අධිචෝදනා සතරක් ශ්රේෂ්ඨාධිකරණය සැලකිල්ලට ගත්තේය. ඉන් තුනක් ඉල්ලා අස්කරගෙන ඇත, හෝ ඒවායේ කටයුතු ඉදිරීයට ගෙන ගොස් නැත. එනිසා, එමගින් ඔහුට පීඩාවක් සිදුවූ බව හෝ පැමිණිල්ලේ අයෝග්යභාවයක් තිබූ බව හෝ සනාථ නොවේ. තවද අදාළ කාලයෙහිදිම ඉහත 7.3හි විස්තර කර ඇති පරීදි තව පැමිණිලි 9ක් සම්බන්ධයෙන් ක්රියාකිරීම නීතිපතිවරයා විසින් ප්රතික්ෂේප කර ඇත.
කර්තෘගේ කරුණු දැක්වීම
8.1 2002 ජූනි 17 දින කරන ලද කරුණු දැක්වීමට අනුව රාජ්ය පාර්ශ්වය, නීතිපතිවරයා විසින් ඍජුවම මහාධිකරණයේ අධිචෝදනා ගොනුකළේ ඇයිද යන කාරණය පැහැදිලි කිරීමට අපොහොසත් වී ඇති බවත්, එමගින් තමාගේ ප්රධාන පැමිණිල්ල මගහැර ඇති බවත් කර්තෘ කියා සිටියි. ඔහුගේ මතයට අනුව, ඔහුගේ පැමිණිල්ලේ පදනම වන්නේ, 1980 සිට රජය වැදගත් නිලධාරින්ට පක්ෂපාත වෙමින් ඔවුන්ගේ ක්රියා විවේචනය කළ අයට, මහේස්ත්රාත් අධිකරණය ඉදිරියේ විභාග කළ හැකි සුළු අපරාධයක් වන අපහාසය සම්බන්ධයෙන් මහාධිකරණය ඉදිරියේ ඍජුවම නඩු පවරන බවය. කර්තෘගේ නඩුවේදි නීතිපතිවරයාට ඇති අභිමතය සම්පූර්ණ හා සීමාරහිත නොවන බව ශ්රේෂ්ඨාධිකරණය පිළිගත්තද, ඔවුන්, මෙම අධිචෝදනා ඍජුවම මහාධිකරණයට ඉදිරිපත් කළේ ඇයිද යන්න පැහැදිලි කිරීමට නීතිපතිවරයාව කැඳවූයේ නැත. ශ්රේෂ්ඨාධිකරණය ප්රශ්නගත අධිචෝදනා තුන සුපරික්ෂාකාරිව විමර්ශනය කිරිමෙන් පසු, තවදුරටත් නඩුව ඉදරියට ගෙනයෑමට අවසර දිම ප්රතික්ෂේප කරමින්, සමානාත්මතාවේ අයිතිය හා අදහස් ප්රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය වූ බව ඔප්පු කිරීමේ අවස්ථාව කර්තෘට අහිමි කළේය. මාධ්ය විසින් අදහස් ප්රකාශ කිරීමේ අයිතිය, භාවිත කරන්නේ ජනතාව වෙනුවෙන් භාරයක් ලෙසය යන්න හා එය රජය හා රාජ්ය නිලධාරින් දැඩි පරික්ෂාවකට ලක් කරන්නේය යන්න ශ්රේෂ්ඨාධිකරණය විසින් නොසලකා හැර ඇති බවත් කර්තෘ කියා සිටියි.
8.2 නඩුවේ අදාළ කරුණු ගැන සිය පැහැදිලි කිරිම්වලදි කර්තෘ සලකන්නේ, නීතිපතිවරයා බියකින් හෝ පක්ෂභජනයකින් තොරව හා ඉහළින්ම යුක්තිය ඉටුකිරීමේ අරමුණ ඇතිව ක්රියා කළ බව හා ලඝු පරික්ෂණයක් වෙනුවට ඍජු අධිචෝදනාවක් ගොනු කළේ ඇයිද යන්න පැහැදිලි කිරීමට අසමත්ව ඇති බවය.
8.3 අපහාස චෝදනාවක් විමර්ශනය කිරීමේදි පහත කරුණු වැදගත් වන බව කර්තෘගේ අදහසය.
– අදාළ වරද සාමාන්යයෙන් මහේස්ත්රාත් අධිකරණයේදි විභාග කෙරෙයි.
– මහේස්ත්රාත් අධිකරණයේ අපහාස නඩුවක් ගොනු කිරීම සඳහා නීතිපතිවරයාගේ අනුමැතිය අවශ්යය.
– මෙම චෝදනාව මහේස්ත්රාත් අධිකරණය ඉදිරියේ විභාග කෙරෙන විට එය සමථ කළ හැකි වන අතර මහාධිකරණයේදි එය කළ නොහැකිය.
– මහේස්ත්රාත් අධිකරණයේදි නඩුව විභාග කරන විට ඇඟිලි සලකුණු ලබාගන්නේ වරදකරු කිරිමෙන් පසු වන අතර, මහාධිකරණයේදි අධිචෝදනා පත්රය භාරදෙන විටම එය සිදු කෙරෙයි. ඔහුට විරුද්ධව තිබූ හැම නඩුවකදිම ඔහුගේ ඇඟිලි සලකුණු ලබාගෙන ඇත.
8.4 රාජ්ය පාර්ශ්වය විසින් පෙන්වා දී ඇති පරිදි කාරණා 9ක් සම්බන්ධයෙන් නීතිපතිවරයා නඩු කටයුතු ඇරඹීම ප්රතික්ෂේප කිරීම ඔහුගේ අපක්ෂපාතීබව තහවුරු කිරීමක් නොවන බව කියන කර්තෘ, එම පැමිණිලි ඉදිරිපත් කර තිබූණේ කිසිදු බලපෑමක් කළ නොහැකි පුද්ගලයන් විසින් හෝ රජයේ විරුද්ධවාදින් විසින් හෝ වන නිසා ඔහුගේ අපක්ෂපාතී බව පෙන්වීමට එය තර්කයක් නොවන බව ද කියා සිටියි.
8.5 2004 ජූනි 25 වැනි දින ඉතිරි වී ඇති අධිචෝදනා ඉල්ලා අස්කර ගෙන ඇති බවට කර්තෘගේ නීතිඥවරයා උපදෙස් දුන්නේය.ශ්රී ලංකා ආණ්ඩුවට එරෙහිව අදාළ කරුණු ගැන විමර්ශනය හා පිළිගත හැකිභාවය ගැන නැවත සලකා බැලීම
9.1 මානව හිමිකම් කමිටුව වෛකල්පිත ප්රොටෝකෝලයේ 1 වැනි පරිච්ඡේදයේ 5 වැනි ව්යවස්ථාවෙන් විධිවිධාන සැලසී ඇති පරිදි, පාර්ශ්වකරුවන් විසින් එයට ලබා දෙන ලද සියලු තොරතුරුවලට අනුව වර්තමාන යොමුකිරීම සලකා බලා ඇත. කර්තෘ 3 වැනි ව්යවස්ථාව උල්ලංඝනය වි ඇති බවට ඔහු කරන ප්රකාශය සනාථ කිරීමට කිසිදු තොරතුරක් ඉදරිපත් කර නැති බවට කමිටුව සලකන අතර, ඒ අනුව වෛකල්පීය ප්රොටෝකෝලයේ 2 වැනි ව්යවස්ථාව යටතේ සනාථ කිරීමක් කර නැති හෙයින් යොමුවේ මේ කොටස පිළිගත නොහැකියැයි ප්රකාශ කරයි.
9.2 පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කරන ලද කරුණුවලට අනුව, අදාළ කරුණු මත, පිළිවෙළින් 1996 ජූනි 26, 1997 මාර්තු 31 හා 1997 සැප්තැම්බර් 30 යන දිනවලදි අධිචෝදනා තුනක් කර්තෘට භාරදි ඇත. පාර්ශ්වයන් විසින් අවසාන සැලකිරීම් කරන ලද කාලයේ, මේ අධිචෝදනාවලින් කිසිවක් මහාධිකරණය විසින් අවසාන වශයෙන් තීරණය කරනු ලැබ නොතිබුණේය. එනිසා, වෛකල්පිත ප්රොටෝකෝලය ක්රියාත්මක වූ තැන් සිට අවුරුදු කිහිපයක කාලයක් අදාළ අධිචෝදනා පිළිබඳ තීරණයක් ලැබී නොතිබුණි. කාර්ය පටිපාටිමය වශයෙන් සාධාරණ ප්රමාදයන් සිදුවීයැයි පෙන්නුම් කරන කිසිදු ආකාරයක නිදහසට කරුණු දැක්වීමක් රාජ්ය පාර්ශ්වය විසින් කර නැති හෙයින් හා කර්තෘ ඔහුගේ ආරම්භක දැනුම්දිමේදි එබඳු ඉල්ලීමක් කර නැති නමුත්, කමිටුව, එහි පෙර නීති විමංසනයට අනුකූලව, කාර්ය පටිපාටිය අසාධාරණ ලෙස ප්රමාදවී ඇතැයි ද එහෙයින්, ඒවායින් සම්මුතියේ 3 (සී) පරිච්ඳෙදයේ 14 වැනි ව්යවස්ථාව උල්ලංඝනය වී ඇතැයි ද යන මතය දරයි.
9.3 තමාට විරුද්ධව මහාධිකරණයේ විසඳීමට ඇති අධිචෝදනා සම්මුතියේ 19 වැනි ව්යවස්ථාව උල්ලංඝනය කළ බවට කර්තෘ කරන ප්රකාශය සම්බන්ධයෙන්, මේ අධිචෝදනා නිකුත් කිරීමේදි නීතිපති අපරාධ නඩු විධාන සංග්රහයේ 393 (7) වගන්තිය යටතේ තම බලතල බියකින් හෝ පක්ෂභජනයකින් තොරව පාවිච්චි කළේ යැයි යන රාජ්ය පාර්ශ්වයේ තර්කය සැලකිල්ලට ගෙන ඇත.
9.4 19 වැනි ව්යවස්ථාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කිවයුත්තේ, කංකානම්ගේ මහතාට (රාවය කර්තෘ) විරුද්ධව ඇති අධිචෝදනා සියල්ල ඔහු ඉහළ රාජ්ය නිලධාරින්ට අපහාස කළේයැයි කියන ලිපිවලට සම්බන්ධ වූ ඒවා බවත්, ඒවා ජනමාධ්යවේදියෙකු වශයෙන් ඔහුගේ වෘත්තියේ යෙදිමට ද, අදහස් පළකිරීමේ ඔහුගේ අයිතිවාසිකම් පාවිච්චියට ද, ඍජු ලෙස සම්බන්ධ බවත් කමිටුව සලකන බවය. කර්තෘගේ වෘත්තියේ ස්වභාවය සැලකිල්ලට ගෙන හා කර්තෘට එරෙහිව මීට පෙර ඉදිරිපත් කර තිබූ අධිචෝදනා එක්කෝ ඉල්ලා අස්කරගෙන ඇතැයි හෝ ඉදිරියට ගෙනයෑම අතරමග නවතා දමා ඇතැයි යන කරුණ ද ඇතුළුව මෙම නඩුවට අදාළ තත්ත්වයන් යටතේ, 3 (සී) පරිච්ඳෙදයේ 14 වැනි ව්යවස්ථාවට පටහැනිව, රාජ්ය පාර්ශ්වය සඳහා වෛකල්පිත ප්රොටෝකෝලය ක්රියාත්මක වීමෙන් අවුරුදු කිහිපයකට පසුත්, ඒවා අවසන් කර ගැනීමට කර්තෘ දැරූ උත්සාහයත් නොතකා අපහාසය පිළිබඳ සාපරාධී අධිචෝදනා නොවිසඳා තබාගැනීම කර්තෘ අවිනිශ්චිතතාව හා තැති ගැන්වීම පිළිබඳ තත්ත්වයක තැබූ අතර, එය කර්තෘ කෙරෙහි බියගන්වන සුළු බලපෑමක් කළ අතර, එය අදහස් පළකිරීමේ කර්තෘගේ අයිතිවාසිකම අනිසි ලෙස සීමා කළේය. තමන් ඉදිරියේ ඇති කරුණු (2), (3) ප්රොටෝකෝලය සමග කියැවෙන සම්මුතියේ 19 වැනි ව්යවස්ථාව උල්ලංඝනය කරන බව කමිටුව නිගමනය කරයි.
9.4 කමිටුවේ ඉහත සඳහන් නිගමනයන් අනුව බලන කල, කර්තෘගේ අනෙක් ඉල්ලීම් ගැන සලකා බැලීම අනවශ්යය.
10. වෛකල්පිත ප්රොටෝකෝලයේ 4 වැනි පරිච්ඳෙදයේ 5 වැනි ව්යවස්ථාව යටතේ ක්රියාකරමින් මානව හිමිකම් කමිටුව එය ඉදිරියේ ඇති කරුණු සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්යන්තර සම්මුතියේ (2) (3) ව්යවස්ථා සමග කියැවෙන 3 (සී) පරිච්ඳෙදයේ 14 වැනි ව්යස්ථාව හා 19 වැනි ව්යවස්ථාව උල්ලංඝනය කිරීමක් හෙළිවේය යන මතය දරයි.
11. සම්මුතියේ 3 (ඒ) ඳෙදයේ 2 වැනි ව්යවස්ථාවට අනුකූලව උචිත වන්දිය ද ඇතුළුව බලවත් ප්රතිකර්මයක් කර්තෘට සැපයීමේ වගකීමක් රාජ්ය පාර්ශ්වයට ඇත. අනාගතයේදි මෙබඳු උල්ලංඝනයන් වැළැක්වීමේ වගකීමක් ද රාජ්ය පාර්ශ්වයට ඇත.
12. වෛකල්පිත ප්රොටෝකෝලයට පාර්ශ්වකරුවකු බවට පත්වීමෙන්, රාජ්ය පාර්ශ්වය සම්මුතිය උල්ලංඝනය කිරීමක් සිදුවීද නැද්ද යන්න තීරණය කිරීමට කමිටුවට නීත්යනුකූල බලය ඇතැයි පිළිගෙන ඇති බවත්, සම්මුතියේ දෙවැනි ව්යවස්ථාවට අනුකූලව රාජ්ය පාර්ශ්වය එහි භූමිය තුළ හෝ එහි අධිකරණ බලයට යටත්ව හෝ සිටින සියලු තැනැත්තන්ට සම්මුතියෙන් පිළිගෙන ඇති අයිතීන් සහතික කිරීමටත්, උල්ලංඝනය වී ඇති බව තහවුරු වුවහොත් බලවත් හා ක්රියාත්මක කළ හැකි ප්රතිකර්මයක් සැපයීමත් භාරගෙන තිබෙන බව සිත තබා ගනිමින්, කමිටුවේ අදහස් ක්රියාත්මක කිරීම සඳහා ගන්නා ලද පියවරයන් ගැන තොරතුරු දින 90ක් තුළ රාජ්ය පාර්ශ්වයෙන් ලැබීමට කැමති වෙයි. කමිටුවේ අදහස් ප්රසිද්ධ කරන ලෙස රාජ්ය පාර්ශ්වයෙන් ඉල්ලා සිටිනු ලැබේ.