තෝරාගත් පිරිසකට පමණක් පඩි වැඩි කරන ප්‍රතිපත්තිය කුමක් ද?

August 29, 2004
Publication:
The government promised all public servants a 70 per cent pay rise but has raised only the salaries of appellate and Supreme Court judges, on the ground of an anomaly with High Court judges. The editorial also asks how arrears for lower-court judges were paid without Parliament approving a supplementary estimate.

මහාධිකරණ විනිසුරුවරුන්ගේ වැටුප් සමග සසඳන විට අභියාචනාධිකරණයේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ට ලැබෙන වැටුප්වල විෂමතාවක් ඇති බව ප්‍රකාශ කරමින් ආණ්ඩුව එම විනිසුරවැරුන්ට ද වැටුප් වැඩිවීමක් ලබා දුන්නේ ය. ඉන්පසු අනුර බණ්ඩාරනායක මහතා සංචාරක මණ්ඩලයේ සේවකයින්ට 70%ක වැටුප් වැඩිවීමක් ලබාදි තිබෙන බව පුවත්පත් වල පළ විය.

සියලු රජයේ සේවකයන්ට 70%ක වැටුප් ලබාදෙන බවට පොරොන්දු වූ ආණ්ඩුව එසේ කරනවා වෙනුවට තමන් කැමති තෝරාගත් පිරිසකට පමණක් වැටුප් වැඩි කරන ප්‍රතිපත්තියක් සාධාරණ විය නොහැකිය. අනෙක් අතට ඉහළ අධිකරණයේ විනිසුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීමට කැබිනට් අනුමැතියක් ලැබී ඇතත්, පාර්ලිමේන්තු අනුමැතියක් ලබා නොගෙන හිග වැටුප් ලබා දුන්නේ කෙසේද යන්න ප්‍රශ්නයකි. එසේ ම අපට දැනගන්නට තිබෙන තොරතුරු අනුව සංචාරක මණ්ඩලයේ සේවකයන්ට ලබාදි තිබෙන වැටුප් වැඩි කිරීම සඳහා කැබිනට් අනුමැතියක් ලබාගෙන නැත.

උසස් අධිකරණයේ විනිශ්චයකාරවරුන්ට පඩි වැඩි කිරීම සඳහා ජනාධිපතිනිය ඉදිරිපත් කර තිබෙන කැබිනට් පත්‍රිකාවේ විෂමතාවක් ඇති බවට දක්වා තිබෙන චිත්‍රයේ ද බරපතළ වැරදි හා අඩුපාඩුකම් ඇති බව පෙනේ. එහිදි මහාධිකරණ විනිසුරුවරුන්ට ඉන්ධන සඳහා ලැබෙන මාසික මුදල, මාසික මුළු ආදායමට එකතු කර ඇතත්, අභියාචනාධිකරණයේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ට නොමිලේ ලබාදෙන ඉන්ධනවල වටිනාකම සැලකිල්ලට ගෙන නැත. මහාධිකරණ විනිසුරුවරයෙකුට මුළු මාසික ලැබීම් වශයෙන් දක්වා ඇති රු. 67454.50ට රියදුරු දිමනාව වශයෙන් ලැබෙන රුපියල් 5000/- හා ඉන්ධන දිමනා වශයෙන් ලබාගෙන ඇති රුපියල් 7650/- ද එකතු කර තිබේ. එහෙත් උපරිමාධිකරණයේ විනිසුරුවරුන්ට ලැබෙන මාසික ලැබීම්වලට රියදුරාට ගෙවන වැටුප් හා නොමිලේ ලැබෙන පෙට්‍රල් ලීටර 125 වටිනාකම ඇතුළත් කොට නැත. විෂමතාව ගැනත් බලා ඇති ආකාරය මුළුමනින් වැරදිය.

අනෙක් අතට පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව පාර්ලිමේන්තුව අධිකරණ අමාත්‍යාංශයට වෙන් කරන ලද මුදල් වලින් පහළ අධිකරණයේ විනිසුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීමේ හැකියාවක් ඇතත්, අභියාචනාධිකරණයේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ පඩි වැඩි කළ හැක්කේ පාර්ලිමේන්තු අනුමැතියකින් පමණ ය. එම විනිසුරුවරුන්ගේ පාලන ආයතන ලෙස ක්‍රියාකරන්නේ අධිකරණ අමාත්‍යාංශය හෝ කැබිනට් මණ්ඩලය නො ව, පාර්ලිමේන්තුව ය.

පරිපූරක ඇස්තමේන්තුවකට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා නොගෙන හිග දිමනා ගෙව්වේ කෙසේද යන්න ප්‍රහේළිකාවකි. මුදල් පාලනය ඇත්තේ පාර්ලිමේන්තුවට ය. භාණ්ඩාගාරයට මුදල් වියදම් කළ හැක්කේ පාර්ලිමේන්තුව අනුමත කරන විෂයයන් සඳහා ඒ අනුමත කර ඇති මුදල් ප්‍රමාණයන් පමණ ය. එහෙත් මෙවැනි කාර්යවලදි පාර්ලිමේන්තුව නො සලකා ක්‍රියාකරන තත්ත්වයක් රටේ පවතින බව පෙනෙන්නට තිබෙන අතර, එය ඉතාමත් නරක ප්‍රවනතාවක් බව ද කිව යුතු ය.