තිලංග හා මහාභාරකාරය

January 25, 2004
Publication:
The Public Trustee, Sarath Seneviratne, is wanted by the Bribery Commission and in hiding, while Thilanga Sumathipala is on remand. The piece follows the sale of temple land, the protection both men enjoyed from the powerful, the President's anger and why the government still has not removed Sumathipala from his posts.

පුංචි රටේ සිදුවන දේවල අපූරු සහගත බවක් සේ ම විකාරරූපී බවක් ද පවතී.

මහා භාරකාර ධුරය රටේ තිබෙන ප්‍රමුඛ හා ගරු කටයුතු තනතුරකි. ඒ තනතුර හොබවන සරත් සෙනෙවිරත්න අල්ලස් කොමිසමට ද අවශ්‍ය වී තිබෙන පුද්ගලයෙකු වන අතර, ඔහු අල්ලස් කොමිසම මගහැර සැගවී සිටීම නිසා ඔහු රටින් පිටවීම වළකන අධිකරණ නියෝගයක් ලබාගැනීමට පවා අල්ලස් කොමිසමට සිදුවිය.

මහා භාරකාර ධුරය වැනි ගාම්භීර හා ගරු කටයුතු තනතුරකට අල්ලස්කාරයෙකු පත්වූයේ කෙසේද?

මෙම පුද්ගලයා මහා භාරකාර දෙපාර්තමේන්තුවට එන්නට පෙර සේවය කළේ අධිකරණයේය. ඔහු ගම්පහ මහේස්ත්‍රාත්වරයාව සිටියදි ඔහුට එරෙහිව දිගින් දිගට එල්ල වන්නට වූ දූෂණ චෝදනා නිසා ඒ ගැන සොයා බැලීම සඳහා ඒක පුද්ගල පරික්ෂණ කමිටුවක් පත්කිරීමට එවකට අගවිනිසුරු ධුරය ඉසිලු පාරින්ද රණසිංහ මහතාට සිදුවිය. මෙම ඒක පුද්ගල පරික්ෂණ කමිටුවේ කොමසාරිස්වරයා වශයෙන් පත් කරන ලද්දේ, එවකට මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස සේවය කළ ලෙස්ලි අබේසේකර මහතාය. පරික්ෂණ කමිටුව ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට ඔහු වරදකරුවකු කිරීම නිසා ඔහු අධිකරණ සේවයෙන් පලවා හැරිය යුතු පුද්ගලයෙකුගේ තත්ත්වයට පත්ව සිටි අතර, ඔහු කළේ සිය ආරක්ෂාව සඳහා ජනාධිපති ඩී.බී. විජේතුංගගේ සහාය ඇතිව මහා භාරකාර දෙපාර්තමේන්තුවට පැන ගැනීමය.

මේ පුද්ගලයා මහා භාරකාර දෙපාර්තමේන්තුවට පත්වීමෙන් පසුත් තමන්ට හුරු පුරුදු දූෂිත පැවැත්ම අත්හැරියේ නැත.

විහාර දේපළ වංචාව

නියෝජ්‍ය මහ භාරකාර ධුරයට පත්වීමෙන් පසුව ද ඔහු හිමිනමක් සමග එකතු වී මහා වංචාවක යෙදුණේය.

දෙහිවල දර්ශිකාරාමයේ දුවවළලගම පියවිසුද්ධි හිමිනමට තමන් විසූ විහාර ඉඩමෙන් කොටසක් පෞද්ගලික ඉඩමක් ලෙස මවා පා ව්‍යාපාරිකයෙකුට විකිණීමට අවශ්‍ය විය. විකිණීමට සැලසුම් කළ පන්සල් ඉඩමේ ප්‍රමාණය පර්චස් 25ක් වන අතර, ඒ මගින් ලබාගැනීමට අපේක්ෂා කළ මිල රුපියල් ලක්ෂ 50කි.

මෙම ඉඩම මිලදි ගැනීමට අවශ්‍ය වූයේ කොළඹ 03, මෙතෝදිස්ත ගොඩනැගිල්ලේ පිහිටි “බ්ලු ලයින් සින්ඩිකේට්” නමැති ව්‍යාපාරයේ හිමිකරුවාටය.

ඉඩම පන්සල් ඉඩමක් නොවන බව ව්‍යාපාරිකයාට ඒත්තු ගැන්වීම සඳහා හිමිනම යොදාගත්තේ නියෝජ්‍ය මහා භාරකාර සරත් සෙනෙවිරත්නය. හිමිනම ඔහු නියෝජ්‍ය මහා භාරකාරයා වෙත කැඳවා ගෙන ගියේය. මෙය පන්සල් ඉඩමක් නොවන බවට නියෝජ්‍ය මහා භාරකාරයා ව්‍යාපාරිකයට සහතිකවෙමින් ඔහුට ඉඩම පිළිබඳව ඔප්පු පරික්ෂා කිරීමට නීතිඥයෙකු ද හඳුන්වා දුන්නේය. විහාර දේවාලගම් පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයෙකු ලෙස නියෝජ්‍ය මහා භාරකාරයා මේ ව්‍යාපාරිකයාට හඳුන්වාදෙන ලද්දේ ද නියෝජ්‍ය මහා භාරකාරයාගේ මස්සිනාය. ඔහු මීරීගම පමුණුවත්තේ නීතිඥ ආර්.එම්.පී. ධර්මවර්ධනය.

ඉන්පසු මෙම ව්‍යාපාරිකයා හිමි නම විසින් තමන්ට දෙන ලද ඔප්පු පිටපත් පරික්ෂා කිරීමේ වගකීම නියෝජ්‍ය මහා භාරකාරයාගේ නීතිඥ මස්සිනාට භාර කළේය. තමන් ඔප්පු පරික්ෂා කළ බව හා එම ඉඩම මිලදි ගත හැකි තත්ත්වයක තිබෙන බව පසු දිනක නීතිඥ මස්සිනා ව්‍යාපාරිකයාට දැනුම් දුන්නේය. ඉන්පසු මෙම මිලදි ගැනීමේ ඔප්පුව ලියන ලද්දේ ද එම නීතිඥ මස්සිනාමය. මිලදි ගත් ඉඩම වෙනුවෙන් ව්‍යාපාරිකයා හිමිනමට ගෙවන ලද සම්පූර්ණ මුදල රුපියල් 5,326,000කි.

ඉඩම මිලදි ගත් ව්‍යාපාරිකයා ඉඩමේ සන්තකය භාරගැනීමට ගිය විට පන්සලේ දායක සභාව එය පන්සල සතු ඉඩමක් බව ප්‍රකාශ කිරීම නිසා නැවත වෙනත් නීතිඥයකු ලවා ඔප්පු පරික්ෂා කිරීමේදි තමන්ට වංචාසහගත ලෙස විකුණා ඇත්තේ සාංඝික දේපළක් බව ව්‍යාපාරිකයා තේරුම් ගත්තේය. ඔහු දෙහිවල පොලිසියටත්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවටත් පැමිණිලිකොට තමන්ට සිදුකළ වංචාවට එරෙහිව ඒ වනවිට සිවුරු හැර ගොස් සිටි පුද්ගලයාට එරෙහිවත් (ළමා හේවගේ පියල් ශාන්ත) එම වංචාවට හවුල් වූ මහා භාරකාරයාට හා ඔහුගේ නීතිඥ මස්සිනාට එරෙහිවත් ගම්පහ දිසා අධිකරණය ඉදිරියේ 1998 දෙසැම්බර් වලදි නඩු පවරන ලදි. (නඩු අංකය 3689/sp)

පොදු පෙරමුණු ආණ්ඩුව සිය පාලන කාලය තුළ සරත් සෙනෙවිරත්නට එරෙහිව තිබූ සියලු චෝදනා නොසලකා ඔහු මහා භාරකාරයා බවට පත් කළේය.

සමහර ධනවත් පුද්ගලයින් පොදු කටයුතු පවත්වාගෙන යාම සඳහා අන්තිම කැමති පත්‍ර මගින් හා භාර ඔප්පු මගින් මහා භාරකාර දෙපාර්තමේන්තුවට පවරා ඇති භාර හා බූදල් ගණන 1000කට ආසන්නය. මහා භාරකාර දෙපාර්තමේන්තුව යටතේ භාර 750ක් ද, බූදල් භාර 200ක් පමණ ද ඇත්තේය. මේ භාර හා බූදල්වල තිබෙන ධනස්කන්ධය රුපියල් කෝටි ගණනකි. සමරකෝන් බූදලයේ පමණක් තිබෙන මුදල් ප්‍රමාණය රුපියල් ලක්ෂ 1350කි.

සරත් සෙනෙවිරත්න මහා භාරකාර ධුරයට පත්වීමෙන් පසුව මේ බූදල් හා භාරවල තිබෙන ධනය සිත් සේ උලාකන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ඔහු එහිදි සිය ආරක්ෂාව සඳහා හැමවිටම බලයේ සිටින තෝරාගත් බලවත් දේශපාලනඥයින් කිහිප දෙනෙකුටම ද මේ භාර හා මුදල් අරමුදල්වලින් සිත් සේ ආධාර කරන පිළිවෙතක් අනුගමනය කළේය.

නියෝජ්‍ය මහා භාරකාර තනතුරට පත් කළේ ජනාධිපති ඩී.බී. විජේතුංග මහතා වුවත්, සමහරවිට මේ පුද්ගලයා තක්කඩියකු බව ඔහු නොදැන සිටියා විය හැකිය. මේ පුද්ගලයාගේ නියම තරාතිරම අධිකරණ සේවා කොමිසම දැන සිටියේ නම් ඒ බව වගකිවයුත්තන්ට දැනුම් දිමේ යුතුකමක් අධිකරණ සේවා කොමිසමට තිබුණි. එහෙත් අධිකරණ සේවා කොමිසම තමන් සතු ඒ යුතුකම ඉටු නොකොට අහක බලාගෙන සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කළේ ඇයි?

බලවතුන්ගේ සහය

අඩුම වශයෙන් මේ තක්කඩි මිනිසා මහා භාරකාර ධුරයට පත්වීමෙන් පසුවවත් මේ ගරු කටයුතු තනතුරට පත්ව සිටින්නේ තමන් විෂමාචාර චෝදනා මත අධිකරණ සේවයෙන් පලවා හැරිමට ක්‍රියාකරමින් සිටි පුද්ගලයකු බව විශ්‍රාම ගිය අගවිනිසුරු පාරීන්ද රණසිංහ මහතාට නොපෙනුණේ ද? පෙනුණේ නම් විශ්‍රාමලත් අගවිනිසුරුවරයා ඒ සම්බන්ධයෙන් කුමක් කළේද? මෙම පුද්ගලයා පිළිබඳව ඒක පුද්ගල පරික්ෂණ මෙහෙයවූ විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ලෙස්ලි අබේසේකර මහතාට ද එසේ ක්‍රියාකිරීමේ වගකීමක් තිබුණ. එහෙත් ඔහු ද ඒ වගකීම ඉටු කළ බවක් පෙනෙන්නට නැත. අංක එකේ හොර තක්කඩියකුට මෙම ගරු කටයුතු තනතුරකට පත්වී තවදුරටත් එහි රැඳී සිටිමින් වඩා විශාල විනාශයක් කිරීමට හැකිවූයේ, ඒ සියලු දෙනා සිය යුතුකම් ඉටුකිරිමෙන් වැළකී තමන්ට පෙනෙන ඒ වරද ඉදිරියේ ඇස් වසාගෙන සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසාය. ඒ පිළිබඳව චෝදනා එල්ල විය යුතු අයගේ නාමලේඛනයට එකතුවිය යුතු තවත් නම් ගණනාවක් පවතී.

සාංඝික ඉඩමක් විකිණීමේ වංචාව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව දැන සිටියේය. ඒ වංචාව පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණයක් කළේ ද? කළේ නම් ඒ ගැන තමන් කරන ලද සොයාගැනීම් නීතිපතිට ඉදිරිපත් කළේද? ඉදිරිපත් කළේ නම්, නීතිපති ඒ සම්බන්ධයෙන් අනුගමනය කරන ලද ප්‍රතිපත්තිය කුමක්ද?

ව්‍යාපාරිකයා මෙම ඉඩම් වංචාවේදි වංචාකාර පුද්ගලයන් තිදෙනාට එරෙහිව පෞද්ගලිකව නඩු පවරන තැනකට තල්ලු වන්නට ඇත්තේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හා නීතිපති සිය වගකීම් හරියාකාරව ඉටු නොකිරීම නිසා විය හැකිය. අඩුම වශයෙන් ව්‍යාපාරිකයා මේ පුද්ගලයන් තිදෙනාට එරෙහිව පෞද්ගලික නඩුවක් පැවරිමෙන් පසුව වත් ඔහුට එරෙහිව ක්‍රියාකිරීමේ යුතුකමක් නීතිපතිට සේ ම හිටපු අධිකරණ ඇමතිවරයාට ද තිබුණි. එහෙත් ඔවුන් ද ඒ වගකීම ඉටු නොකළේය.

වරදක් සිදුවන විට ඒ වරද නිවැරදි නොකරන්නේ නම්, ඒ වැරැද්ද කුණුවෙන තත්ත්වයකට පත්වන්නේය. මහා භාරකාරයා කරන වැරදි ඉදිරියේ ඔහුගෙන් තමන්ට ලැබෙන පෞද්ගලික වාසි සලකා වගකිවයුත්තන් ඇස් වසාගෙන සිටීම නිසා ඔහු බය නැතිව වඩා විශාල වැරදි කරන තැනකට තල්ලු වූයේය. මහා භාරකාර දෙපාර්තමේන්තුව භාරයේ තිබූ රුපියල් ලක්ෂ 1312ක් ප්‍රමුඛ බැංකුවේ තැන්පත් කොට ඔහු ඒ වෙනුවෙන් ප්‍රමුඛ බැංකුවෙන් රුපියල් ලක්ෂ 19ක අල්ලසක් ලබාගත්තේය. මහ බැංකුව දෙන ලද තොරතුරු මත ඒ ගැන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ද, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ද පරික්ෂණ කළේය. ඔහු ලක්ෂ 19ක අල්ලසක් ලබාගෙන ඇති බව මේ පරික්ෂණවලින් තහවුරු වී තිබුණි.

එහෙත් කවර හේතුවක් නිසා හෝ ඔහුට එරෙහිව නඩු පැවරිමක් ද සිදු නොවීය. ලක්ෂ 19 අල්ලස අධිකරණ ඇමති විජයමු ලොකු බණ්ඩාරට ද රහසක් නොවූවත්, ඔහු ද හිටපු අධිකරණ ඇමතිවරයා සේ ම ඔහුට එරෙහිව දැඩි පියවරක් ගන්නා තැනකට ගියේ නැත.

මහා භාරකරයා වශයෙන් මෙම තක්කඩි මිනිහා ලොකු ලොකු මිනිසුන් ඇසුරු කළේය. ඔහුගේ එක් ළගම මිතුරකු වී සිටියේ අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාය. අගවිනිසුරුගේ ආරක්ෂාව සඳහා රටේ තැන තැන බෝධි පූජා සංවිධානය කළේ මහා භාරකාරයාය. තමන්ගේ හොඳම මිතුරා අංක එකේ තක්කඩියකු බව අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා නොදැන සිටියේද? මහා භාරකාරයා පරිහරණය කළේ ද හිටපු අගවිනිසුරු ජී.පී.එස්. ද සිල්වා මහතා නිල උත්සව අවස්ථා සඳහා පරිහරණය කළ බෙන්ස් රථයයි. මේ තක්කඩි පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම කෙරෙහි අගවිනිසුරුට තිබූ සමීප යාලුකමත් ඔහුගෙන් ආධාර උපකාර ලැබූ ඇමතිවරුන් කිහිප දෙනාගෙන් ලැබුණු රැකවරණයත් බලපෑ බව පෙනෙන්නට තිබේ.

ජනාධිපතිනිය උරණ වීම

මහා භාරකාරයාට නීතිය ප්‍රශ්නයක් නොවීය. එය නිහඬ කොට තබාගැනීමට ඔහු සමත්ව තිබුණේය. ඔහුට ප්‍රශ්නයක් වී තිබුණේ “රාවය” පමණය. “රාවයෙන්” එල්ල වන චෝදනා නිශේධ කිරීම පිණිස ඔහු කළේ තමා බෞද්ධයකු නිසා තමාට පහර දෙන්නේ ය කියන මතවාදයක් රටේ ඇති කරන කැලෑ පත්තර ප්‍රචාරක ව්‍යාපාරයක් ඇරඹීමය. ඒ පෙරහැරට ඔහු තිලංග සුමතිපාල හා අගවිනිසුරු ද සම්බන්ධ කරගත්තේය.

ජනාධිපති හා අගමැති අතර ඇතිවූ අර්බුදය ඇති නොවන්නට තවත් බොහෝ කලක් මෙම තක්කඩි මිනිසා මහා භාරකාර ධුරයේ රැඳී සිටින්නට ඉඩ තිබුණි. මේ තක්කඩි මිනිසාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන තත්ත්වයක් ඇතිවූයේ මේ අර්බුදය නිසාය.

එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) භාර කාරත්වය පැවරි ඇත්තේ ද මහා භාරකාර දෙපාර්තමේන්තුවටය. ජනාධිපතිනිය තමන් යටතට අමාත්‍යාංශ තුනක් පවරා ගැනීමෙන් පසු ලේක්හවුසියේ පාලනය තමන් යටතට ගැනීම සඳහා ඒ සඳහා අනුමැතිය ලබාදෙන ලිපියට මහා භාරකාරයාගේ අත්සන ලබාගැනීම පිණිස ජනාධිපතිනියගේ නියෝජිත පිරිසක් මහා භාරකාරයා සොයාගෙන ආවේය. මහා භාරකාරයා සගවා ලේක්හවුස් පාලනය ජනාධිපතිනිය යටතට පවරා ගැනීම වැළකීම පිණිස ඒ වනවිට එජාප බලවතුන් පිරිසක් මහා භාරකාරයා සගවාගෙන සිටියේය. මේ අර්බුදය එජාපයේ වාසියට හේතුවන ලෙස අවසන් වනු ඇතැයි කල්පනා කළ මහා භාරකාරයා මේ විශේෂ උදව්ව එජාපයට ලබාදෙන පිළිවෙතක් ඔස්සේ තමන්ගේ අල්ලස් නඩුව යටගසා ගත හැකිවනු ඇතැයි කල්පනා කළා විය යුතුය. ජනාධිපතිනියගේ නියෝජිතයන්ට මහා භාරකාරයා සොයා ගත නොහැකි තැන මේ මහා භාරකාරයාට සමාන අපකීර්තිමත් ඉතිහාසයක් ඇති පුද්ගලයෙකු ලෙස සැලකිය හැකි නියෝජ්‍ය මහා භාරකාර සනී ප්‍රනාන්දු පුල්ලේගෙන් අනුමැතිය සඳහා අත්සන් ලබාගත්තේය.

ලේක්හවුස් සිද්ධියේදි මහා භාරකාරයා අනුගමනය කළ ක්‍රියා පිළිවෙත ජනාධිපතිනියගේ කෝපයට හේතුවිය. මෙම තක්කඩි මිනිසා මහා භාරකාර ධුරයට පත් වූයේ ජනාධිපතිනියගේ ද අනුමැතිය ඇතිවය. ඉන්පසු ඒ යුගයේදි ඔහු මහා භාරකාර දෙපාර්තමේන්තුව යටතේ ඇති භාර හා මුදල්වල ධනය උලාකන අතර, ඒ ධනය පොදු පෙරමුණේ දේශපාලන කටයුතු සඳහා ද නිර්ලෝභීව බෙදා දුන්නේය. ඉන්පසු නව ආණ්ඩුවක් ඇතිවීමෙන් පසුව ඒ ආණ්ඩුවේ තෝරාගත් පිරිසක් සමග ද සමීප සම්බන්ධකම් ඇති කරගත්තේය. ද්වන්ද්ව පාලනයක් තුළ නියම ස්වාමියා තෝරාගැනීම පිළිබඳ ප්‍රශ්නයේදි ඔහු පැරණි ස්වාමිදුවට ද්‍රෝහීවීම නිසා එතෙක් ඔහු සම්බන්ධයෙන් අක්‍රීය තත්ත්වයක පැවති නීතිය සක්‍රීය වන තත්ත්වයක් ඇතිවිය. එය රටේ කටයුතු සිදුවන විකරාරූපි ජුගුප්සාජනක ස්වරූපය පෙන්නුම් කිරීම සඳහා දැක්විය හැකි තවත් එක් උදාහරණයක් පමණය.

තිලංගගේ ඉරණම

තිලංග සුමතිපාලට එරෙහිව කිසියම් ප්‍රමාණයකට හෝ නීතිය ක්‍රියාත්මක වන තත්ත්වයක් ඇතිවුයේ ද ආණ්ඩු පාලනයට ආවේණික මෙම ද්වන්ද්ව ස්වරූපය නිසාය.

මහා භාරකාරයා සේ ම තිලංග සුමතිපාල ද තමන්ගේ ආරක්ෂාව සඳහා පළිහක් කොට ගත්තේ බුද්ධාගමය. ඔහුගේ ආරක්ෂාව සඳහා නිර්මාණය කොට ප්‍රකාශ කෙරුණු කතා ගණනාවක්ම තිබුණේය.

තිලංග නැගී එන තරුණ බෞද්ධ ව්‍යාපාිකයෙකු වන නිසා ඔහුට පහර දෙන බව කීවේය. ඔහුගේ මව බෞද්ධ සම්මේලනයේ සභාපතිනිය වන නිසා (දැන් එතුමිය වාඩිවී සිටිනුයේ අනගාරික ධර්මපාලතුමා වාඩිවූ පුටුවේය.) ඇයට එම තනතුරේ රැඳී සිටිය නොහැකි තත්ත්වයක් ඇති කිරීම සඳහා තිලංගට පහර දෙන බව කීවේය. තිලංග බහුජාතික දුරකතන සමාගම් රජයට පවරා ගනිමින් සිටින නිසා එම බහුජාතික සමාගම්වල වුවමනා එපාකම් මත තිලංගට පහර දෙන බව කීවේය.

පෝය දිනක තිලංග නිදහස් කළ නඩුකාරයා ලක්ෂ 80ක පගාවකට මිලදි ගැනීමේ ක්‍රියාවේ අතරමැදියා ලෙස ක්‍රියා කළේ මහා භාරකාරයාය. මහා භාරකාරයා ද හිටපු අධිකරණ නිලධාරියෙකි. ඔහු විනිශ්චයකාරවරුන් ඇසුරු කළේය. අධිකරණයේ ප්‍රධානියා ඔහුගේ හොඳම මිතුරා වූ අතර, මේ දෙදෙනා අතර පැවති ළග සම්බන්ධය විනිශ්චයකාරවරුන්ට ද රහසක් නොවීය. දෙවැනි විනිශ්චයකාරවරයා ද මේ නැගී එන නායකයා කෙරෙහි ඇති කරගත් මහත් අනුකම්පාවකින් යුතුව ක්‍රියා කළේය. තුන්වැනි විනිසුරුවරයා තිලංග රිමාන්ඩ් කළ ද ඔහු අධිකරණය ඉදිරියේ පෙනී සිටීම ගැන ප්‍රශංසාවෙන් කතා කළේය. නාමධාරි විශාල පිරිසක් තිලංගට දිගින් දිගට චරිත සහතික ලබාදුන්නේය. අවසානයේ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නගෙන් පවා චරිත සහතිකයක් ලබාගැනීමට ඔහු සමත් විය.

තිලංග පිළිබඳ ප්‍රශ්නය ජනමාධ්‍ය ආයතනවලට වාර්තාගත දැන්වීම් ආදායමක් ලබාදුන් සංසිද්ධියක් ලෙස සැලකිය හැකිය. ජනමාධ්‍ය ආයතනවලට ටෙලිකොම්, මොබිටෙල් දැන්වීම් ගලා ආයේය. සමහර ජනමාධ්‍ය ආයතන ඔහු අනියම් ලෙස ආරක්ෂා කරන විට සිරස, ස්වර්ණවාහිනිය (ස්වර්ණවාහිනියට එසේ කරන්නට සිදුවුයේ එයට තිලංගට තිබුණු ළග නෑකම නිසා විය හැකිය.) තිලංග කොන්දේසි විරහිතව ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කළේය.

නමගිය අපරාධකරුවකු වූ ධම්මික අමරසිංහ තිලංගගේ සමහර වුවමනා එපාකම් වෙනුවෙන් ක්‍රියාකරන අපරාධකරුවකු වනවාට අතිරේකව පොදු පෙරමුණු ආණ්ඩු කාලයේදි එම ආණ්ඩුවේ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් ද ක්‍රියාකළ අපරාධකරුවකු විය. විරුද්ධවාදින්ට පහරදිම සඳහා පොදු පෙරමුණු ආණ්ඩුව පවත්වාගෙන ගිය හිංසන යන්ත්‍රයට ඔහු ද ඇතුළත්ව සිටියේය. ඔහු එකල බලවත් ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ ගණන්කාරයා ලෙස ක්‍රියාකළ අතර, ඔහුගේ ජනප්‍රිය නැවතුම් පොළවල් බවට පත්ව තිබුණේ ද ඒ ඇමතිවරුන්ගේ නිවෙස්ය. විවෘත වරෙන්තු දුසිම් ගණනක් තිබියදිත් පොලිසිය ඔහු අත්අඩංගුවට නොගත්තේද, ඔහුට ලැබී තිබුණු දේශපාලන රැකවරණය නිසාය. තිලංග තමන්ගේ තරගකාරි බුකිකරුවකු වූ බාලසූරියට අයත් මුද්‍රණාලයක් විනාශ කිරීම සඳහා ධම්මික අමරසිංහ යොදාගත්තේය. ඒ සිද්ධියට අදාළ තතු පොලිසියට හෙළිදරව් වී තිබියදිත් එදා තිලංගට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවූයේ තිලංග එදා පොදු පෙරමුණු ආණ්ඩුවේ සමීප ආධාරකරුවකු වූ නිසාය. එහෙත් තිලංගගේ වාසනාවට හෝ අවාසනාවට ඔහු දේශපාලන වශයෙන් පිල මාරු කළේය. අවසානයේ පොදු පෙරමුණු හිංසන යන්ත්‍රයේ ප්‍රධානියා ලෙස සැලකිය හැකි බැද්දගාන සංජීව ද ධම්මික අමරසිංහ අතින් මරණයට පත්විය. මේ පිල් මාරුව සිදු නොවී මේ දෙදෙනා තවදුරටත් පැරණි පිලේ සිටියේ නම්, තිලංග අත්අඩංගුවට පත්වීමට ඉඩ නොතිබුණා සේ ම, ධම්මික අමරසිංහ මරණයට පත් නොවීමට ද ඉඩ තිබුණ.

තිලංග රිමාන්ඩ් භාරයට ගෙන ඇතත්, තවමත් ආණ්ඩුව ඔහු හොබවන තනතුරුවලින් ඉවත් කොට නැත. මාහ භාරකාරයා ද තනතුරෙන් ඉවත් කළේ ඔහුට රටින් පිටවීමට බලපාන අධිකරණ නියෝගයක් ලබාදිමෙන් පසුවය. එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව පිහිටුවීමට තිලංගගෙන් ලැබුණු සහාය නිසා ඔහුට දඬුවම් කිරීමේ හැකියාවක් මේ ආණ්ඩුවට නොතිබෙනවා විය යුතුය. .