ගංගොඩවිල සෝම හිමියන්ගේ අභාවය විසින් ජනිත කරන ලද හැගීම්බර උද්වේගකර වාතාවරණය තුළ ස්වාභාවික දේවල් සේ ම, ස්වාභාවික නොවන දේවල් ද රටේ සිදුවිය.
බෞද්ධයින්ට එරෙහිව ක්රියාත්මක වන මූලධර්මවාදි ක්රිස්තියානි සංවිධානවල ක්රියාකාරකම්වලට “රාවය”ට ද සම්බන්ධයක් ඇතැයි යන හැගීමක් ඇති කිරීමට හේතුවන පත්රිකාවක් සංවිධානාත්මක බලවේග විසින් රට පුරා බෙදාහරින ලදි.
බැලුබැල්මට එම පත්රිකාව කොළඹ 05, ලෙයාර්ඩ්ස් පාරේ පිහිටි යොහෝවා සාක්ෂිකාරයෝ නමැති ආගමික සංවිධානය විසින් තෝරාගත් බෞද්ධ නායකයින් ගණනාවකට එරෙහිව ක්රියාත්මක කරන්නට යෝජිත ව්යාපෘතියක් පිළිබඳ ලේඛනයකි.
ව්යාපෘතියේ නාමය වී ඇත්තේ “දේව රාජ්ය ව්යාපෘතිය” යන්නයි.
ව්යාපෘතිය මෙහෙයවන වැඩසටහන් අධ්යක්ෂ ලෙස නම් කොට ඇත්තේ කෙනත් දසනායක නමැති පුද්ගලයෙකි.
එහි සඳහන් වන ආකාරයට පහරදිම සඳහා තෝරාගෙන ඇති පුද්ගල නාමලේඛනය මෙසේය.
නෙරන්ජන් විජේරත්න
එන්. පානබොක්කේ
අයි.එම්. නවරත්න
මල්කාන්ති චන්ද්රසේකර
සරත් එන්. සිල්වා
ශිරානි බණ්ඩාරනායක
එන්.එස්.ඒ.එස්. සෙනෙවිරත්න
කරු හීනටිගල
එල්ලාවල මේධානන්ද හිමි
ගංගොඩවිල සෝම හිමි
මේ ව්යාපෘතිය යටතේ මේ පුද්ගලයන්ට පහරදිම සඳහා වෙන් කර ඇති මුදල් ප්රමාණයන් පිළිබඳ විස්තරයක් ද ඊට ඇතුළත්ය.
දියවඩන නිලමේ නෙරන්ජන් විජේරත්න, කේ. පානබොක්කේ , අයි.එම්. නවරත්න හා මල්කාන්ති චන්ද්රසේකර යන පුද්ගලයන් සිව්දෙනා සඳහා වෙන්කර ඇති මුදල රුපියල් ලක්ෂ 24කි.
අගවිනිසුරු සරත් එන්. සිල්වා හා ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරානි බණ්ඩාරනායක යන දෙදෙනා සඳහා ලක්ෂ 32කි.
මහා භාරකාර එන්.එස්.ඒ.එස්. සෙනෙවිරත්න හා කරු හීනටිගල යන දෙදෙනා සඳහා ලක්ෂ 24කි.
එල්ලාවල මේධානන්ද, අපවත් වී වදාළ ගංගොඩවිල සෝම යන හිමිවරුන් දෙදෙනා සඳහා ලක්ෂ 24කි. ව්යාපෘතිය සඳහා මුළු වියදම රුපියල් ලක්ෂ 104කි.
මේ ව්යාපෘතිය පිළිබඳ විස්තර ඇතුළත් පත්රිකාව රට පුරා බෙදාහැරුණේ මුද්රණය කරවන ලද පත්රිකාවක් ලෙස නොව එම ලේඛනයේ ඡායා පිටපත් ලෙසය. ඒ සමග ඊට අමුණා එම සංවිධානයේ ගෙවීම් පිළිබඳ විස්තරයක් ඇතුළත් ලේඛනයක ඡායා පිටපතක් ද බෙදාහැර තිබුණ. ඊට බෞද්ධ ගැටුම් අධ්යයන වැඩසටහන යටතේ 2003.04.01 සිට 2003.04.15 දක්වා කර තිබෙන ගෙවීම් පිළිබඳ විස්තරයක් ඇතුළත් විය.
එම ගෙවීම් ලේඛනයට ඇතුළත් විස්තර මෙසේය.
මේ ගෙවීම් ලේඛනයේ තුන් පොළක “රාවය” ගැන ද සඳහන් වේ. එහි 4 වැනි අනු අංකය අනුව කුමාර හෙට්ටිආරච්චි නමැති පුද්ගලයෙකුට රුපියල් 5,000ක් ද, 05 වැනි අනු අංකය යටතේ ලක්ෂ්මී කුලතුංග නමැති කෙනෙකුට වාර්තා සැපයීම වෙනුවෙන් රුපියල් 10,000ක් ද, අංක 13 යටතේ ලංකා වසන්ත නමැති පුද්ගලයෙකුට රාවයෙන් කර ගනු ලැබූ මුද්රණ කටයුත්තක් සඳහා රුපියල් 38,000ක් ද ගෙවා ඇති බව සඳහන් විය.
වාර්තා සැපයීම වෙනුවෙන් ගෙවීම් ලබාගත්තායැයි කියන කුමාර හෙට්ටිආරච්චි නමින් කෙනෙකු හෝ ලක්ෂ්මී කුලතුංග නමින් කෙනෙකු හෝ “රාවය” කාර්ය මණ්ඩලයට අයත් නැත. මුද්රණ කටයුතු පිළිබඳව “රාවය”ට අදාළව එහි එන සඳහන ඉතා වැදගත්ය. “රාවය”ට ඇත්තේ වෙබ් ඕෆ්සෙට් මුද්රණාලයකි. එහි පුවත්පත් හැර පත්රිකා මුද්රණය කළ නොහැකිය. එවැනි මුද්රණ කටයුත්තක් සඳහා ප්රයෝජනයට ගත හැකි කටර් යන්ත්රයක් “රාවය”ට නැත. “රාවය” සිය පුවත්පත පමණක් මුද්රණය කරන මුද්රණාලයක් වන අතර, 2003 වසරේ මේ කාලය වනවිට කිසිම පිටස්තර මුද්රණ කාර්යයක් සිදුකර නැත. 2003 නොවැම්බර්වලදි සිනමා පුවත්පතක් වන “කසාය” පුවත් පත පමණක් එක් වරක් මුද්රණය කර තිබේ.
මේ සටහන හොඳින් නිරික්ෂණය කරන්නෙකුට හඳුනාගත හැකි ලක්ෂණ කිහිපයක් මෙසේය. සාමාන්යයෙන් තොරතුරු සැපයීම වෙනුවෙන් රුපියල් 10,000 සිට රුපියල් 100,000 දක්වා ගෙවීම් කර තිබෙන අතර, එක් පුද්ගලයෙකු සඳහා රුපියල් 1000ක් ද ගෙවා තිබේ. එම සටහන අනුව වැඩිම වියදමක් දරා ඇත්තේ මහා භාරකාරයාගේ තොරතුරු ලබාගැනීම සඳහාය. මහ භාරකාරයා ගැන තොරතුරු ලබාගත් එක් පුද්ගලයෙකුට (අනු අංක 07) ගෙවා ඇති මිල රුපියල් ලක්ෂයකි. ප්රමුඛ බැංකුවෙන් තොරතුරු අදාළ වන්නේ ද මහා භාරකාරයාටය. ප්රමුඛ බැංකුවෙන් තොරතුරු ලබාගැනීම වෙනුවෙන් පුද්ගලයින් දෙදෙනෙකුට ගෙවා තිබෙන මිල රුපියල් 23,500කි. පහරදිමේ වැඩසටහනට පුද්ගලයින් 10 දෙනෙකුගේ නම් ඇතුළත් කර ඇතත්, ගෙවීම් ලේඛනය අනුව ගෙවීම් කර ඇත්තේ මහා භාරකාරයාට අදාළ තොරතුරු සඳහා පමණය.
මෙහි හඳුනාගත හැකි නම්වලට ඇත්තේ නම් දෙකක් පමණ. ඒ කුමාර හෙට්ටිආච්චි, නුවන් ගන්කන්ද යන දෙදෙනාය. කුමාර හෙට්ටිආරච්චි කවියෙකි. ඔහු ජීවත්වන්නේ ශ්රී ලංකාවේ නොව ඇමරිකාවේය. නුවන් ගන්කන්ද “ලක්බිම” පුවත්පතේ මාධ්යවේදියෙකි. ඔහු කියන්නේ ද මෙම ව්යාපෘතියට තමන්ගේ කිසිම සම්බන්ධයක් නැති බවය.
යොහෝවා සාක්ෂිකරුවෝ නමැති ආගමික සංවිධානයේ ප්රධානියා වන්නේ අරුන් ඩයස් බණ්ඩාරනායකය. ඔහු ද මාධ්යවේදියෙකි. “රාවය” ඔහුගෙන් මෙම ලේඛන දෙක ගැන ප්රශ්න කළවිට ඔහු කීවේ මෙවැනි ලේඛන දෙකක් බෙදාහැරෙමින් තිබෙන බව තමන් ද දන්නා බවත්, එහෙත් එම ලේඛන දෙක තම සංවිධානයේ ලේඛන දෙකක් නොව, තමන්ගේ සංවිධානයේ නම සම්බන්ධ කොට සකස් කර ඇති කූට ලේඛන දෙකක් බවත්ය. ඒ බව පොලිසියට ද පැමිණිලිකර ඇති බවත්, ඊට අතිරේකව ජනමාධ්යවලට ද ඒ ගැන දැනුම් දිමක් කරනු ලැබූවත් කිසිම ජනමාධ්යයක් එම දැනුම් දිම පළ නොකළ බවත් ප්රකාශ කර සිටියේය. පළමු ලේඛනයේ වැඩසටහන් අධ්යක්ෂ ලෙස සඳහන් වන කෙනත් දිසානායක ගැන ප්රශ්න කළවිට ඊට දෙන ලද පිළිතුර වූයේ එවැනි නමක් ඇති කිසිම පුද්ගලයෙකු තම සංවිධානයේ නැති බවය.
ඒ අනුව මෙම කූට ලේඛන දෙක මහා භාරකාරයා ලෙස ක්රියා කරන එන්.එස්.ඒ.එස්. සෙනෙවිරත්න විසින් නිර්මාණය කරන ලද්දක් බව පැහැදිලිව පෙනී යයි. අපගේ දැනුමේ මට්ටම අනුව මහා භාරකාර ධුරය උසුලන සෙනෙවිරත්න අංක එකේ වංචාකාරයෙකි. ඔහුට එරෙහිව පවරන ලද වංචා නඩුවක් ඇති අතර, මහා භාරකාර දෙපාර්තමේන්තුවේ මුදල් ප්රමුඛ බැංකුවේ තැන්පත් කොට ඒ වෙනුවෙන් ලක්ෂ 19ක පගාවක් ලබාගැනීම වෙනුවෙන් ඔහුට එරෙහිව නීතිපති අධිචෝදනා ඉදිරිපත් කිරීමට ද නියමිතය. ඔහු මෙම දුෂ්කර තත්ත්වයෙන් ආරක්ෂාවීම සඳහා තමාට පහර දෙන්නේ තමා හොඳ බෞද්ධයකු නිසා බව පෙන්වීමට මේ සටකපට සැලැස්ම ක්රියාවට නගා ඇති බව පෙනේ.
ඒ බව තහවුරු කරන ඉතාමත් වැදගත් සාක්ෂියක් මෙසේය.
මේ මහා භාරකරයා අංක එකේ වංචාකාරයෙක් බව තහවුරු කිරීමට අවශ්ය ලේඛන සහිතව “රාවය” ඔහු පිළිබඳව හෙළිදරව් කිරිම් ගණනාවක් ම කරන ලදි. ඒ සියල්ලට අතිරේකව ඔහුට එරෙහිව එල්ලවී තිබෙන ලොකුම චෝදනා වී ඇත්තේ ප්රමුඛ බැංකුවේ තැන්පත් කළ මහා භාරකාර දෙපාර්තමේන්තුවේ මුදල් වෙනුවෙන් ඔහු ලක්ෂ 19ක පගාවක් ගෙන ඇති බවට එල්ල වී තිබෙන චෝදනාවයි. එම චෝදනා ඒ පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කර තිබෙන පරික්ෂණවලින් තහවුරු වී තිබෙන අතර, ඒ බව “රාවය” පුවත්පත පමණක් නොව, “සන්ඩේ ටයිම්ස්” පුවත්පත ද “සන්ඩේ අයිලන්ඩ්” පුවත්පත ද වාර්තා පළ කළේය.
තමන්ට එල්ල වන චෝදනාවල කිසිම සත්ය පදනමක් නැති බව හා තමන්ට චෝදනා එල්ලවෙමින් පවතින්නේ තමා හොඳ බෞද්ධ නායකයකු වන නිසා බව පෙන්නුම් කිරීම සඳහා ඔහු “දිවයින” පුවත්පතේ මනෝජ් අබේදිර ලවා තමාට එරෙහිව මූලධර්මවාදි සංවිධානයක් වන යොහෝවා සාක්ෂිකාරයෝ විසින් දියත් කරන ලද බලවත් කුමන්ත්රණයක් ඇති බව රටට කියාපාන ලිපියක් ලියවා ගෙන එය “දිවයින” පුවත්පතේ පළ කරවා ගත්තේය. “මහා භාරකරුටත් යොහොවාගෙන් පිල්ලියක්” යන හිසින් එක් පිටුවක් පුරා පළවූ එම ලිපිය පළවූයේ 2003 සැප්තැම්බර් 07 වැනි දින “ඉරිදා දිවයිනේ” ය.
“දිවයිනේ” මනෝජ් අබේදිර මහා භාරකරයාට හඳුන්වාදි තිබෙන්නේ බෞද්ධ මාධ්ය කේන්ද්රයේ රංජිත් සූරියආරච්චිය. ඔහු බෞද්ධ කටයුතු ගැන උනන්දුවක් දක්වන බෞද්ධ සම්මේලනයට සම්බන්ධ පුද්ගලයෙකි. මහා භාරකරු රංජිත් සූරියආරච්චි හමුවී ක්රිස්තියානි මූලධර්මවාදින් බෞද්ධ නායකයන්ට පහරදෙන සංවිධානාත්මක ව්යාපාරයක් පවත්වාගෙන යන බව ප්රකාශ කරමින් ඒ බව තහවුරු කිරීමට ඔහු විසින්ම නිර්මාණය කරන ලද කූට ලේඛන ද ඔහුට පෙන්වා තමන් ද එම ව්යාපාරයේ ගොදුරක් බවට පත්ව තිබෙන බව ප්රකාශ කර තිබේ. ඔහු කියන ලද කතාව රංජිත් සූරියආරච්චි විශ්වාස කළා විය හැකිය. මේ තත්ත්වයට එරෙහිව සංවිධානාත්මක වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට රංජිත් සූරියආරච්චි එකග වී තිබේ.
රංජිත් සූරියආරච්චි මහා භාරකාරයාට “දිවයින” පුවත්පතේ මනෝජ් අබේදිර හඳුන්වාදි තිබෙන්නේ ඉන් අනතුරුවය. මනෝජ් ලවා මහා භාරකාරයාගේ ආරක්ෂාව සඳහා “දිවයිනේ” ලිපියක් පළකරවා ගැනීම එහි අරමුණ විය. මහා භාරකාරයා පිළිබඳව මනෝජ් විසින් ලියන ලද ලිපිය “දිවයින” පුවත්පතේ පළවූයේ එහි ප්රතිඵලයක් වශයෙනි. මේ ලිපිය පළවීමෙන් පසුව මහා භාරකාරයා මහත් ලෙස සතුටට පත්වී තිබේ.
මහා භාරකාරයාට අවශ්ය වී තිබුණේ තමන්ට එල්ලවෙමින් තිබෙන චෝදනාවලට ආගමික මානයක් දෙමින් රැකවරණය ලබාගැනීමය. “දිවයිනේ” පළවූ ලිපිය නිසා එය එක්තරා ප්රමාණයකට සාර්ථකවීම ගැන සතුටට පත් ඔහු ඒ විශේෂ උදව්ව කළ රංජිත් සූරියආරච්චි සිය සමීප මිතුරකු බවට පත්කර ගත්තේය.
මහා භාරකාරයා රංජිත් සූරියආරච්චි හා මනෝජ් අබයදිර සමග අගවිනිසුරුවරයා හමුවන්නට ද ගියේය. එහිදි අගවිනිසුරුවරයා සමග ද දිර්ඝ සාකච්ඡාවක යෙදුණේය.
මේ වනවිට තිලංග සුමතිපාල පිළිබඳ ප්රශ්නය ද කරළියට විත් තිබුණු අතර, තිලංග සුමතිපාලගේ සහෝදරයකු වන ජගත් සුමතිපාලට රංජිත් සූරියආරච්චි ගැන අසන්නට ලැබී ඔහු තමන් වෙත ගෙන්වා ගෙන තිලංග පිළිබඳ ප්රශ්නය ඔහු සමග සාකච්ඡා කර තිබේ.
අවසානයේ මේ සියලු දෙනාගේ ආරක්ෂාව සඳහා පත්රිකාවක් සකස් කොට රට පුරා එනම් සියලු පන්සල්වලට ද, ජනමාධ්ය ආයතනවලට ද බෙදාහැරීමට තීරණය කර තිබේ. පත්රිකාව මුද්රණය කිරීමට හා බෙදාහැරිමට රංජිත් සූරියආරච්චිට අවශ්ය මුදල් ලබාදි තිබෙන්නේ ජගත් සුමතිපාලය.
පත්රිකාව ප්රකාශයට පත් කෙරුණේ බෞද්ධ මාධ්ය කේන්ද්රයේ රංජිත් සූරියආරච්චි යන නමිනි. කහ වර්ණ කොළවල මුද්රණය කෙරුණු එම පත්රිකාවේ මාතෘකාව වූයේ “මේ හඬ මූලධර්මවාදි පල්ලියෙනි. මෙය පැහැදිලිවම බෞද්ධයින්ට එරෙහිව කුමන්ත්රණයකි.” යන්නය. පත්රිකාවේ මුල් පිටුවට දියවඩන නිලමේ නෙරන්ජන් විජේරත්න, අගවිනිසුරු සරත් නන්ද සිල්වා, ක්රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල හා මහා භාරකාර එස්.එන්.ඒ.එස්. සෙනෙවිරත්න යන අයගේ ඡායාරූප හතරක් ද යොදා තිබුණි.
එම පත්රිකාව මගින් අගවිනිසුරු, මහා භාරකරු හා තිලංග සුමතිපාල යන අයවලුන්ට පහර දෙන්නේ ඔවුන් බෞද්ධ නායකයන් නිසා වන බව කියනවාට අතිරේකව “රාවය” පුවත්පත මූලධර්මවාදි බලවේගයන්ගෙන් යැපෙන හා ඔවුන්ගේ න්යාය පත්රය වෙනුවෙන් ක්රියාකරන පුවත්පතක් ලෙස ද විග්රහ කර තිබුණි.
ඊට අනුව “රාවය” පුවත්පත ඇමරිකාවේ පල්ලිවලින් ලැබෙන සල්ලිවලින් යැපෙමින්, නැගී එන බෞද්ධ නායකයන්ට පහර දෙන වැඩපිළිවෙළක් ක්රියාවට නගා තිබෙන පුවත්පතකි.
“රාවයෙන්” චෝදනා එල්ල වූ ප්රධාන පුද්ගලයින් තිදෙනෙකු ගැන එහි සඳහන් වූයේ මෙසේය.
ටෙලිකොම් සභාපති තිලංග සුමතිපාල මහතා
ලංකා ක්රිකට් පාලක මණ්ඩලයේ සභාපතිකමට හා ටෙලිකොම් සභාපති ධුරයට පත්වූ බෞද්ධයෙකි. මොහුට “රාවය” හා “සන්ඩේ ලීඩර්” හරහා පහරදිම විශේෂ හේතුවකි. ලංකාවේ ක්රිස්තියානි අමාත්යවරුන් දෙදෙනෙක් හා ක්රිස්තියානි ව්යාපාරිකයෙක් අයථා ලෙස වංචාකාරි ලෙස මසකට කෝටියක මුදලක් දිගින් දිගට උපයමින් සිටී. ඒ ලංකා බෙල් දුරකතනය හරහාය. ලංකා බෙල් දුරකතන හරහා ජාත්යන්තර ඇමතුම් විවිධ පුද්ගලයින්ට, ආයතනවලට වංචාකාරි ලෙස ලබාදි ඉහත තිදෙනා මසකට රුපියල් තිස් ලක්ෂයක ආදායමක් උපයයි. එකතුව කෝටියකට ආසන්නය. ටෙලිකොම් සභාපති තිලංග සුමතිපාල මහතා ලංකා බෙල් සමාගම ටෙලිකොම් සමාගමට පවරා ගැනීමට අවශ්ය කටයුතු යොදමින් සිටී. (මොබිටෙල් ආයතනය ද පවරා ගනු ලැබීය) ලංකා බෙල් සමාගම ටෙලිකොම් සමාගමට පවරා ගතහොත් ඉහත පුද්ගලයින් තිදෙනාට අයථා ආදායම් නොලැබී යයි. එම තිදෙනාගේ ගජ මිතුරන් වන්නේ “රාවය” කර්තෘ වික්ටර් අයිවන් හා “සන්ඩේ ලීඩර්” කර්තෘ ලසන්ත වික්රමතුංගය. මෙම ක්රිස්තියානි අමාත්යවරු තිලංග සුමතිපාල මහතාට “රාවය” හා “සන්ඩේ ලීඩර්” හරහා පහරදිම අරඹා ඇත.
අග්රවිනිශ්චයකාරතුමා
අග්රවිනිශ්චයකාර සරත් එන්. සිල්වා මහතා ඉහත තනතුරට පත්වූ බෞද්ධයෙකි. ඔහු සිටින තාක් කල් විදේශීය ක්රිස්තියානි බලවේගවලට අවශ්ය ඊළාම් රාජ්ය බිහි කිරීම සඳහා අවශ්ය අයථා නීති රිති පනත් කූට ලෙස ශ්රේෂ්ඨාධිකරණයේ අනුමැතිය ලබාගැනීමට නොහැකි බව ඒ බලවේගවල විශ්වාසයයි. එපමණක් නොවේ. අයථා ලෙස සිය මුදල් බලය තුළින් ශ්රී ලංකාවේ බෞද්ධ ජනතාව අන්යාගමික කිරීමේ කටයුත්ත නීත්යනුකූලව කිරීමට අන්යාගමික පල්ලි පනත් කිහිපයක් ගෙනාවේය. ඒ සියල්ලට ශ්රේෂ්ඨාධිකරණයෙන් ඉඩ නොලැබුණි. මේ නිසා ඔවුන් අගවිනිසුරුතුමා සමග වෛර බැඳ ඇත.
ලංකාවේ මහා භාරකාරතුමා
මෙතුමා ඉතා හොඳ බෞද්ධයෙකි. ලංකාවේ විහාරස්ථාන ස්ථාවර ලෙස පවත්වාගෙන යාමට අවශ්ය භාර පිහිටුවමින්, බෞද්ධ පොතපත ප්රකාශයට පත්කරමින් කටයුතු කිරීම විජාතික අන්යාගමික බලවේගවලට මහත් හිසරදයකි. විජාතික අන්යාගමික බලවේග මහා භාරකාර දෙපාර්තමේන්තුවේ ඇතුළ කොටස් ද අල්ලාගෙන මහා භාරකාරතුමට අපහාස කර එතුමා එතනින් එළවා දැමීමට අවශ්ය කටයුතු සැලසුම් කර ඇත. “රාවය” පුවත්පත මෙහි ඒජන්තවරයාය. “රාවය” පුවත්පත එතුමාට එරෙහිව එල්ල කරන සියලු චෝදනා අසත්ය ඒවාය.
මේ පත්රිකාව බෙදාහැරිමෙන් පසුව මෙම පුද්ගල පිරිස “බොදු හඬ” නමින් වර්ණ පුවත්පතක් ද පළ කළේය. එහි ප්රධාන සිරස්තලය වූයේ ද “අගවිනිසුරුතුමා, දියවඩන නිලමේ, මහා භාරකාරයා සහ තිලංග සුමතිපාලට අපහාස කිරීම පිටුපස අන්යාගමික බලවේග” යන්නයි.
ඉන්පසු තිලංග සුමතිපාල ප්රශ්නය පිළිබඳව බෞද්ධ මාධ්ය කේන්ද්රය 2003 දෙසැම්බර් 04 වැනි දින විශේෂ පුවත්පත් නිවේදනයක් නිකුත් කළේය.
එම නිවේදනයෙන් උපුටා ගත් කොටස් කිහිපයක් මෙසේය.
“මෙරට ඉහළ තනතුරු දරන පුරවැසියන්ගෙන් තෝරාගත් කිහිප දෙනෙකුටම එරෙහිව විදේශ සල්ලිවලින් හා ආගමික රාජ්ය නොවන සංවිධානවලින් යැපෙන මෙරට පුවත්පත් කතුවරුන් කිහිපදෙනෙකු හා විවිධ සංවිධාන විසින් කුමන්ත්රණයක් ක්රියාත්මක කරන බවට අප “බෞද්ධ මාධ්ය කේන්ද්රය” හා “බොදු හඬ” පුවත්පත මගින් හෙළිදරව් කළේ මීට කලකට ඉහතදිය….”
“මෙම පුද්ගලයන් දරන තනතුරුවලින් ඉවත් කර චරිත විනාශ කර සමාජයේ අවලංගු කාසි බවට පත්කිරීමට මෙම කූට කුමන්ත්රණකාරි බලවේගවලින් යැපෙන නපුංසක බෞද්ධයින් හා කිතුනුවන්ටත් නිගාදෙන කිතුනුවන් විසින් මෙම කුමන්ත්රණයේ අදිසි හස්තය බවට පත්ව ඇත.
මෙය මනාව පැහැදිලි වන ප්රකට කරුණක් ඊයේ (7දා) දින සිදුවිය. පසුගිය සතිය මුළුල්ලේ මාධ්ය මගින් ප්රචාරය කළේ තිලංග සුමතිපාල මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා නියෝග කර ඇති බවය. ඒ අනුව මාධ්ය එම ප්රවෘත්තියට අතිවිශාල ප්රචාරයක් දෙන ලදි. ඒ අනුව තිලංග සුමතිපාල මහතා මහත් අපහසුතාවට පත්විය. ඒ අනුව ඔහු ශ්රේෂ්ඨාධිකරණය වෙත ගොස් සිය ආරක්ෂාව ඉල්ලා සිටින ලද අතර, එහිදි නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ තිලංග සුමතිපාල මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවට නියෝග කර නොමැති බවයි. මෙයින් පැහැදිලි වන්නේ මෙම කුමන්ත්රණයේ තත්ත්වයයි. වැරැද්ද කළේ මාධ්යය ද, නීතිපති දෙපාර්තමේන්තුව ද යන්න අපි නොදනිමු. එය තම තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා ඇත. මෙය කුමන්ත්රණයක් බව නම් අපි පැහැදිලිව කියමු.”
“මෙයට වගකිවයුත්තේ “රාවය” කර්තෘ වික්ටර් අයිවන් හා “ලීඩර්” කර්තෘ ලසන්ත වික්රමතුංගය..”
මේ වනවිට රංජිත් සූරියආරච්චි හා ජගත් සුමතිපාල ගජ යාලුවන් බවට පත්ව සිටියහ. ඒ අනුව තිලංග සුමතිපාල මුදාගැනීම සඳහා දියත් කෙරෙන පෝ දින මෙහෙයුම සඳහා ජගත් සුමතිපාල රංජිත් සූරියආරච්චි ප්රධාන නළුවකු බවට පත්කර ගත්තේය. එම වැඩපිළිවෙළට මහා භාරකාරයා සම්බන්ධ කරදෙන්නේ රංජිත් සූරියආරච්චිය. තිලංග සුමතිපාල නිදහස් කිරීමට අතිරේක මහේස්ත්රාත්වරයාගේ සහතිකය ලබාදෙන්නේ මහා භාරකාරයාය. ඒ සඳහා මහා භාරකාරයා අතිරේක මහේස්ත්රාත්වරයාට දෙන්නට ලක්ෂ 80ක මුදලක් ජගත් සුමතිපාලගෙන් ලබාගත්තේය. මේ මෙහෙයුම තුළ රංජිත් සූරීයආරච්චි, ජගත් සුමතිපාල සමග සේ ම, මහා භාරකාරයා සමග ද ගැටුමක් ඇති කරගනිමින් ඔහුගේ සමාගමෙන් ඔහු වෙන් වන්නේය. ගංගොඩවිල සෝම හිමියන් විවාදයට හේතුවන ලෙස අපවත්වන්නේ ද මේ මොහොතේදිය. එම අපවත්වීම විසින් ඇති කරන ලද උද්වේග කර වාතාවරණය තුළ මෙම පත්රිකා දශ ලක්ෂ ගණනින් රට පුරා බෙදාහැරුණේය. මේ බලවේගයන් විසින්ම මිනිසුන් ප්රකෝප කරන දැවැන්ත පෝස්ටර් ව්යාපාරයක් ද රට පුරා දියත් කරන ලදි. ඔවුන් මෙම වැඩපිළිවෙළින් අපේක්ෂා කරන ලද අරමුණු කිහිපයක් තිබුණි.
(1) සෝම හිමියන්ගේ අභාවය ස්වාභාවිකව සිදුවූවක් නොව, එය ක්රිස්තියානි මූලධර්මවාදින් විසින් සැලසුම් කොට අභාවයට පත්කිරිමෙන් බව මහජනයාට ඒත්තු ගැන්වීම මගින් ඔවුන් ප්රකෝප කිරීම.
(2) මේ කුමන්ත්රණකරුවන්ගේ එකම ඉලක්කය සෝම හිමියන් පමණක් නොවන බවත් අගවිනිසුරු, මහා භාරකරු හා තිලංග සුමතිපාල යන බෞද්ධ නායකයන් තිදෙනා ද ඔවුන්ගේ ප්රධාන ඉලක්ක වී තිබෙන බව මවා පා එම කුමන්ත්රණය පිටුපස සිටින ප්රධාන සංවිධානය “රාවය” බව මහජනතාවට ඒත්තු ගැන්වීම මගින් සෝම හිමියන්ගේ අභාවය ගැන වික්ෂිප්තභාවයට පත්ව සිටින බෞද්ධ ජනයාගේ කෝපය “රාවය”ට හරවා චෝදනාලාභී මෙම පුද්ගලයන් තිදෙනා කෙරෙහි බෞද්ධයන් තුළ බලවත් අනුකම්පාවක් ඇති කිරීම.
ආගමික කලකෝලහාල ඇති කොට රට අරාජික කොට හෝ තමන් ආරක්ෂාවීම ඔවුන්ගේ අපේක්ෂාව වූ බව ද පෙනෙන්නට තිබේ. මේ වැඩපිළිවෙළ වෙනුවෙන් වැය කෙරුණු ධන සම්භාරයෙන් වැඩි කොටසක් තිලංග සුමතිපාලගේ ධනය වන බව ද පෙනේ. මේ වැඩපිළිවෙළ පිටුපස සිටි සූක්ෂ්ම මොළකාරයා ලෙස සැලකිය හැක්කේ මහා භාරකාරයාය.