ට්රාන්ස්පෙයරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානය (ලංකා ශාඛාව) විසින් අල්ලස් කොමිසම පිළිබඳව සංවිධානය කළ සම්මන්ත්රණයක් රේණුකා හෝටලයේ දි පවත්වනු ලැබී ය. සම්මන්ත්රණය අමතා කථා කළ කථිකයින් අතර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සභාපති එස්. ආනන්ද කුමාරස්වාමි මහතා ද විය. එම සම්මන්ත්රණයට එම කොමිසමේ සාමාජික ආචාර්ය කිංස්ලි වික්රමසූරිය මහතා ද, අධ්යක්ෂෂ ජනරාල් පියසේන රණසිංහ මහතා ද සහභාගී වූයේ ය.
කොමිසමේ සභාපති සම්මන්ත්රණය අමතා හැගීම්බර, කෙටි කතාවක් කළේ ය. ඒ කතාව අසන ඕනෑම කෙනෙකු තුළ ඇතිවන හැගීම වනුයේ කොමිසම අල්ලස් හෝ දූෂණ විමර්ශනයට අදාළව ඉතා වැදගත් වැඩ කොටසක් ඉටු කරමින් තිබුණ ද කොමිසමේ එක් සාමාජිකයකු මිය යාමෙන් සිදු වී තිබෙන පුරප්පාඩුව නොපිරවීම නිසාත් වෙනත් ආකාරවලින් එල්ලවෙමින් තිබෙන බාධා නිසාත් කොමිසම බොහෝ දුරකට ක්රියා විරහිත තත්ත්වයකට ඇද වැටී තිබෙන බව ය.
තිබුණු අල්ලස් කොමිසම අහෝසි කොට වැඩි බලතල ඇති නිත්ය කොමිෂන් සභාවක් පත් කරන ලද්දේ රටේ වර්ධනය වන අල්ලස් හා දූෂණය මර්දනය කිරිමේ අරමුණ සඳහා එවැනි ආයතනයක අවශ්යතාව වෙනුවෙන් ඉදිරිපත් වූ මහජන ඉල්ලීම් සැලකිල්ලට ගනිමිනි. එය පොදු පෙරමුණ විසින් සිය මැතිවරණ ප්රකාශයෙන් දෙන ලද පොරොන්දුවක් ඉටු කිරීමක් ලෙස ද සැලකිය හැකි ය.
මෙවැනි කොමිසමක් සාර්ථක විය හැක්කේ කොමිසමට පත් කරන කොමසාරිස්වරුන් තුළ අල්ලස් හෝ දූෂණ වැරදි මැඬලීමට අවංක වුවමනාවක් ද ඒ සඳහා කැපවීමක් ද ඇත්නම් හා දේශපාලන වශයෙන් ස්වාධීනව ක්රියාකිරීමට අවශ්ය තරම් ධෛර්යයක් ද ඇති නම් පමණ ය.
එහෙත් තමන් දේශපාලන වශයෙන් ස්වාධීන කොමිසමක් බව තහවුරු කිරීමට කොමිසම සමත් වී නැත.
පසු කලෙක විවිධ චෝදනා එල්ල වුවත් මීට පෙර සිටි කොමසාරිස්වරිය (නෙළුම් ගමගේ මහත්මිය) මේ කොමිසමේ කොමසාරිස්වරුන්ට වඩා සාර්ථක ඇප කැපවීමක් ඇති හා අපක්ෂෂපාත තැනැත්තියක බව සිය භාවිතයෙන් සනාථ කර තිබුණි.
එක් අවස්ථාවක දි හිටපු දුම්රීය සාමාන්යාධිකාරි වැක් සිල්වාට එරෙහිව කොමිසම මහාධිකරණය ඉදිරියේ නඩුවක් පැවරුවේ ය. හිටපු දුම්රීය සාමාන්යාධිකාරිවරයා අංක එකේ තක්කඩියකු සේම ඔහු ඉතා බලවත් පිරිසක් සමග සමීප ඇසුරක් පවත්වාගෙන ගිය පුද්ගලයකු ද විය.
වැක් සිල්වාට එරෙහිව නඩු පැවරිමට තීරණය කළ අවස්ථාවේ දි එසේ ක්රියා කිරිමෙන් වැළකී සිටින ලෙස එවකට හිටපු නීතිපතිවරයා (තිලක් මාරපන මහතා) අල්ලස් කොමිසාරිස්වරියගෙන් ඉල්ලා සිටියේ ය. ඇය ඊට දක්වන ලද ප්රතික්රියාව වූයේ “නඩු පැවරිමෙන් වැළකී සිටීමේ හැකියාවක් මට නැතත් නීතිපති වශයෙන් ඔබට අවශ්ය නම් නඩු පැවරිමෙන් පසුව ඒ නඩුව ඉල්ලා අස්කර ගත හැකි බව කීම ය. ඉන් පසු ඇය ඔහුට එරෙහිව නඩු පවරනු ලැබී ය. එහෙත් නීතිපති මැදිහත් වී නඩුව ඉවත් කර ගත්තේ ය. එසේ වුවත් ඇය දුම්රය සාමාන්යාධිකාරිවරයාට එරෙහිව කරන විමර්ශන කටයුතු අවසන් කළේ නැත.
ඒ නඩු පැවරිමේ සිද්ධියෙන් කලකට පසුව එම තක්කඩි දුම්රිය සාමාන්යාධිකාරිවරයාගේ ආරක්ෂෂාව සඳහා මට එරෙහිව සාපරාධී අපහාස නීතිය යටතේ නඩුවක් පැවරිමට නිතිපති දෙපාර්තමේන්තුවේ රියෙන්සි අර්සකුලරත්න මහතාට අවශ්ය වූ අතර වැක් සිල්වාට එරෙහිව උසාවිය ඉදිරියේ අභියෝග කළ නොහැකි තත්ත්වයක් සහතික කිරීම සඳහා ඔහු පිළිබඳව අල්ලස් දෙපාර්තමේන්තුව පවත්වාගෙන යන විමර්ශන කටයුතු අවසන් කරවා ගැනීමට රියෙන්සි අර්සකුලරත්න මහතාට අවශ්ය විය. ඒ සඳහා වැක් සිල්වා ජනාධිපති විජේතුංගට කතා කිරිමෙන් පසු ජනාධිපති අල්ලස් කොමසාරිස්වරියට කතා කළේ ය.
ජනාධිපති විජේතුංග මහතා නෙළුම් ගමගේ මහත්මියට දුරකථනයෙන් කථා කොට විමර්ශන ලිපිගොනුව වසා ඔහු චෝදනාවලින් නිදහස් කරන ලද බව සඳහන් ලිපියක් ඔහු වෙත නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේ ය.
ඒ ඉල්ලීම කරන ලද්දේ රටේ විධායක ජනාධිපති වුවත් නෙළුම් ගමගේ මහත්මිය එම නීති විරෝධී ඉල්ලීමට අවනත වූයේ නැත. ඈ කළේ වැක් සිල්වාගේ විමර්ශන ලිපි ගොනුව තමන් වෙත ගෙන්වා ගෙන ජනාධිපති කරන ලද එම ඉල්ලීම ගැන ලිපිගොනුවේ සටහනක් තැබීම ය.
එහි අවසාන ඵලය වූයේ නෙළුම් ගමගේ මහත්මියට සිය ධූරය අතහැර යන තැනට වැඩ සැලැස්වීම ය.
එහෙත් කොතරම් බලතල තිබුණත් එවැනි අපක්ෂෂපාතභාවයකින් කටයුතු කිරීමට වර්තමාන කොමිසම සමත් වී නැත.
ආනන්ද කුමාරස්වාමි මහතාගේ දේශනය අවසානයේ දි මම ඒ මහතාගෙන් එක් ප්රශ්නයක් ඇසුවෙමි.
මා ප්රශ්න කළේ මංගල සමරවීර මහතාගේ කේරඩිට් කාඩ් ප්රශ්නයට අදාළව ඉදිරිපත් වූ පැමිණිල්ල සම්බන්ධයෙන් කොමිසම දුන් තීන්දුව පිළිබඳව ය.
මා අසන ලද ප්රශ්නය මෙසේ ය.
“විදේශ නිලගමන් බිමන්වල දි ඇමතිවරයකුට නීත්යනුකූලව සිය අමාත්යාංශයෙන් ලැබෙන ප්රතිපාදනවලට අතිරේකව තමන් යටතේ තිබෙන ආයතනයකින් රුපියල් ලක්ෂෂ 5ක් වටිනා කේරඩිට් කාඩ් පතක් ලබාගැනීමේ සිද්ධියක් පිළිබඳව මංගල සමරවීර මහතාට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් එය අල්ලස් හෝ දූෂණ ගණයට වැටෙන වරදක් නොවන බව කොමිසම තීන්දු කළේ ය. ඒ මගින් කොමිසම ඇමතිවරුන්ට විදේශීය ගමන් බිමන්වල දි නීත්යනුකූලව ලැබෙන ප්රතිපාදනවලට අතිරේකව තමන් යටතේ තිබෙන රාජ්ය ආයතනවලින් සිත් සේ මුදල් ලබාගැනීමට විවෘත බලපත්රයක් ලබාදිම මගින් කොමිසම අල්ලස් හෝ දූෂණ ගණයේ වරදකට ආරක්ෂෂාව හා අනුබල ලබාදිම මගින් වඩා බරපතල වරදක් කර ඇති බවට මා චෝදනා කළහොත් කොමිසමේ සභාපති වශයෙන් ඔබ ඊට දෙන පිළිතුර කුමක්ද?”
කොමිසමේ සභාපති විසින් ඊට දෙන ලද පිළිතුර වූයේ එය කොමිසම මගින් ගනු ලැබූ තීන්දුවක් බවත් ඒ තීන්දුව ගැන සෑහීමකට පත් නොවන අය සිටී නම් තීන්දුවට එරෙහිව ඔවුන්ට ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියට යා හැකි බවත් ය.
මට එම ප්රශ්නය මතු කිරීමට අවශ්ය වූයේ මංගල සමරවීර මහතාට පහරදිම සඳහා නොවේ. ප්රශ්නය දේශපාලන දෘෂ්ටිකෝණයෙන් බලා මංගල සමරවීර මහතා ආරක්ෂෂා කරන පිළිවෙතක් මගින් කොමිසම සියලු ඇමතිවරුන්ට සිත් සේ රාජ්ය ආයතනවලින් මුදල් කොල්ලකෑමට විවෘත බලපත්රයක් ලබා දි තිබෙන බව පෙන්නුම් කිරීමට අවශ්ය වූ නිසා ය. ඒ අනුව කොමිසම වැරදි මර්දනය කරන ආයතනයක් ලෙස ක්රියා කරනවා වෙනුවට අල්ලස් හා දූෂණ ගණයේ වැරදිවලට උඩගෙඩි දෙන ආයතනයක් ලෙස ක්රියාකර ඇති බව පැහැදිලි කිරීම සඳහා ය. මහජන වියදමින් පවත්වාගෙන යන මෙවැනි කොමිෂන් සභා මගින් මෙවැනි බරපතල වැරදි කරන අවස්ථාවල දි ඔවුන්ට ද දඬුවම් ලබා දෙන ක්රමයක් රටේ තිබිය යුතු ය. කොමිෂන් සභාවල ක්රියාකාරිත්වය ස්වාධීනව කළ හැකිවනු ඇත්තේ එවිට ය.
අල්ලස හා දූෂණය ද සංවර්ධනයේ ප්රවර්තක බලවේගයක් ලෙස සලකා එවැනි වැරදි පසුපස අනවශ්ය තරමින් හඹා නොයා යුතුයි කියන මතවාදයක් දේශපාලන ලෝකය තුළ තහවුරු වෙමින් පවතී.
රටේ දේශපාලකයින් පොදුවේ හිතමින් තිබෙන විදිය නිවැරදි ය.
රටේ දේශපාලකයන් වැඩි පිරිසක් ධනවතුන් බවට පත්ව සිටින්නේ නීත්යනුකූලව උපයා ගත් මුදල්වලින් නොව අයථා ලෙස උපයාගත් මුදල්වලිනි. දේශපාලනය ශ්රී ලංකාව වැනි රටක ඉක්මණන් ධනවත් වීමට තිබෙන ප්රධාන මාර්ගයකි. ශ්රී ලංකාවේ මිනුම් දඬු අනුව ඉහළම වැටුපක් ලබන පුද්ගලයකුට වුවත් තමන්ගේ ජීවිත කාලය තුළ ඉතුරු කරන මුදලකින් වුවත් අලුත් ඊඵඋ වැනි වාහනයක් මිල දි ගත නොහැකි ය. එහෙත් පාර්ලිමේන්තුවට තේරි පත්වීමෙන් පමනක් එසේ කළ හැකි ය. මහා පරිමාණයේ ව්යාපාරිකයකුට වුවත් සිය ජීවිත කාලය පුරාම හරි හම්බ කළ නොහැකි තරම් විශාල ධනයක් රටේ රාජ්ය නායකයා වීමෙන් වසර කිහිපයක් තුළ හරි හම්බ කළ හැකි ය.
හැම ප්රධාන දේශපාලකයකුට තමන් බලයෙන් පිරස්තරව සිටින අවස්ථාවල දි තමන් ගැන බලාගන්නා ව්යාපාරිකයකු හෝ ව්යාපාරීකයන් කිහිප දෙනකු සිටින්නේ ය. බලයෙන් පිටස්තරව සිටින කාලයේ දි ඔවුන්ට හොඳ ආහාර දි සාත්තු සප්පායම් කරන්නේ ඔවුහු ය. බලයට පැමිණ පසු ඒ දේශපාලකයින්ට තමන් බලාගත් එම ව්යාපාරිකයන් පෙරළා බලාගන්නට සිදුවන්නේ ය.
රාජ්ය නායකයා වෙන්නට සිටින අය බලා ගැනීම සඳහා වන මහාපොරයක් සමහර ව්යාපාරිකයන් අතර පවතී. තමන් තෝරාගත් පුද්ගලයා රාජ්ය නායකයා හෝ නායිකාව වේ නම් ඊට ඒ වෙනුවෙන් ලැබෙන පොලිය අතිවිශාල බව ඒ හැම කෙනෙකුම දන්නේ ය. තමන් බලයෙන් පිටස්තරව සිටිය දි බලා සොයාගත් අය බලා ගැනීමේ වගකීමක් තමන්ට ඇති බවත් ඔවුන්ට ඒ වෙනුවෙන් කරන ආපසු ගෙවීම් නීත්යනුකූල පදනමක් මත කළ හැකි දේවල් නොවන බවත් දේශපාලකයෝ ද දනිති.
දේශපාලකයින් වැඩි පිරිසක් ධනවත් වී ඇත්තේ අල්ලසින් හා දූෂණයෙන් නම් තවදුරටත් ඔවුන්ට සිය දේශපාලන අරමුදල් සඳහා යැපෙන්නට සිදු වී තිබෙන්නේ ද නීත්යනුකූල නොවන මාර්ග මත නම් අල්ලස හෝ දූෂණයට එරෙහිව නීතිය බලාත්මක කරන සංවිධාන ක්රමයක් තිබෙනවා දකින්නට කැමති වීමේ හැකියාවක් මේ දේශපාලකයින්ට තිබිය නොහැකි ය. ඒ අර්ථයෙන් ඔවුන් එවැනි වැරදිවලට එරෙහිව නීතිය බලාත්මක කරන ආයතන ක්රමයක පැවැත්මට ඉඩ දෙනු ඇත්තේ එම ආයතන ක්රමය අනියම් ලෙස පාලනය කිරිමේ හැකියාවක් තමන්ට ඇත්නම් පමණ ය.
අල්ලස් කොමිසම පත් කරන ලද්දේ ජනාධිපතිනිය විසිනි. එය මෙහෙයවන තෝන් ලණුව තිබුණේ ද ජනාධිපතිනිය අතේ ය. ඒ නිසා තමන්ට හෝ තමන් කැමති අයට එරෙහිව කොමිසම ක්රියා නොකරන තැනක තබා ගැනීමේ හැකියාව සේ ම තමන් අකමැති අයට එරෙහිව කොමිසම ක්රියා කරන තැනක තබාගැනීමේ හැකියාව ද ඇයට තිබුණ. එහෙත් දැන් රටේ තිබෙන්නේ ද්වන්ද්ව බලයකි. ඒ තත්ත්වය තුළ ජනාධිපතිනියට කැමති ලෙස මෙයෙවීමේ හැකියාවක් ඇති අල්ලස් කොමිසමක් තිබෙනවා දකින්නට මේ ආණ්ඩුවට කැමති වීමේ හැකියාවක් නැත. එවැන්නක් තමන් කෙරෙහි විනාශකාරි ලෙස බලපානු ඇති බව නොදන්නා තරමට ආණ්ඩුවද මෝඩ නැත. අගමැතිවරයා ද ජනාධිපතිනිය සේ ම කැමති වනු ඇත්තේ තමන්ට පාලනය කළ හැකි අල්ලස් කොමිසමකට ය.
අනෙක් අතට මෙම පක්ෂෂ නායකයින්ට ස්වාධීන අල්ලස් කොමිසමක් සඳහා පොදුවේ එකගත්වයක් ඇතිකර ගැනීමේ හැකියාවක් ද නැත. එවැන්නක් තමන් සියලු දෙනා කෙරෙහි විනාශකාරි ලෙස බලපාන බව ඔවුන් සියලු දෙනා දනී.
රටේ දේශපාලනයේ උත්ප්රේරක බලය බවට පත්ව ඇත්තේ අල්ලස හා දූෂණය නම් අල්ලස හා දූෂණය මර්දනය කරන වැඩ පිළිවෙළකට එකග වීමේ හැකියාවක් ද මේ දේශපාලන පක්ෂෂවලට තිබිය නොහැකි ය.
ජනාධිපති චන්ද්රිකා පාලනය කරන අල්ලස් කොමිසමකට එකගවීමේ හැකියාවක් අගමැති රනිල් වික්රමසිංහ මහතාට නැතිවා සේ ම අගමැති රනිල් වික්රමසිංහ පාලනය කරන අල්ලස් කොමිසමකට කැමති වීමේ හැකියාවක් ජනාධිපති චන්ද්රිකා කුමාරතුංග මහත්මියට ද තිබිය නොහැකි ය. අනෙක් අතට ඒ දෙපිරිසටම ස්වාධීන අල්ලස් කොමිසමකට එකගවීමේ හැකියාවක් ද නැත. ස්වාධීන අල්ලස් කොමිසමක් රටේ ඇතොත් දේශපාලකයින් කිසියම් විශාල පිරිසකට පාර්ලිමේන්තුවේ වෙනුවට ඉන්නට සිදුවනු ඇත්තේ හිරගෙදර ය. එවැනි තත්ත්වයක් යටතේ ස්වාධීන අල්ලස් කොමිසමක් යනු හුදු චින්තනයක් පමණ ය.
මාක් ප්රනාන්දු වෙනුවෙන් කඳුළු සැලීම
ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මාක් ප්රනාන්දු මහතා විශ්රාම යා යුතු වයසට පෙර විශ්රාම ගැනීමට තීන්දු කිරීමේ සිද්ධිය නීති විෂයේ සිටින ප්රමුඛ පිරිසක් තුළ බලවත් කම්පනයක් ඇති කිරීමට හේතු වී තිබෙන බව පෙනේ. මාක් ප්රනාන්දු මහතාගේ ඉල්ලා අස්වීම ඉවත් කරගන්නා ලෙස ඉල්ලන ආයාචනයකට හා ඒ මහතා එවැනි තීරණයක් ගැනීමට බලපෑ හේතු සොයා බැලීමට පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් පත් කරන ලෙස අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින පෙත්සමකට අත්සන් ගැනීමේ ව්යාපාරයක් නීති සමාජය තුළින් ම ආරම්භ වී ඇති අතර ජනාධිපතිනිය හා ජනාධිපතිනියගේ නීති උපදේශක එච්.එල්. ද සිල්වා, ආර්.කේ.ඩබ්ලිව්. ගුණසේකර, ඊ.ඩී. වික්රමනායක, ජනාධිපති නීතිඥ නේරු ගුණතිලක, මහාචාර්ය සාවිත්රි ගුණසේකර, මානව හිමිකම් කොමිසමේ සභාපතිනි රාධිකා කුමාරස්වාමි, ආචාර්ය දිපිකා උඩගම, පොලිස් කොමිසමේ සභාපති ජනාධිපති නීතිඥ රංජිත් අබේසූරිය, නීතිඥ සංගමයේ සභාපති ආනන්ද වීරසේකර වැනි ප්රමුඛ පිරිසක් ඒ වැඩ පිළිවෙළේ දායකයින් වී සිටින බව ද අසන්නට ලැබේ.
නීති සමාජයට ප්රමාද වී හෝ ඇස් ඇරුණේ නම් එය හොඳ දෙයක් ලෙස මිස නරක දෙයක් ලෙස සැලකිය නොහැකි ය. එහෙත් සමහරවිට ඔවුන්ට ඇස් ඇරුණු වෙලාව ප්රමාද වැඩි වනවා ද විය හැකි ය.
නීති සමාජය ඇත්ත නින්දකට වැටී සිටියා නොව සිටියේ හොර නින්දක ය. අධිකරණයේ වෙමින් තිබෙන දේ ඔවුහු, අප කාටත් වඩා හොඳින් දැන සිටිය හ. එහෙත් සිදුවන වැරදි තහවුරු වන්නට ඉඩ දි බලා සිටියා මිස අධිකරණයේ ආරක්ෂෂාව සඳහා නැග නොසිටිය හ.
අවසානයේ දැන් අධිකරණයේ තිබෙන්නේ ජනාධිපති නීතිඥ එච්.එල්. ද සිල්වා මහතා විසින්ම මේ අර්බුදය ආරම්භයේ දි ප්රකාශ කර තිබෙන ආකාරයට ඉතාමත් විප්ලවකාරී ප්රතිසංස්කරණයකින් මෙපිට ගොඩනගා ගත නොහැකි තැනක ය.
අධිකරණ පාලනයට අදාළව සිදු වී තිබෙන හා සිදුවෙමින් තිබෙන පහසුවෙන් විශ්වාස කළ නොහැකි තරම් වන නොහොබිනාකම් රැසක් මාක් ප්රනාන්දු මහතා ඉවත්වීමට තීරණය කිරීම කෙරෙහි බලපා ඇති බව සලකා ඒ නොහොබිනාකම් ගැන සොයා බලන්නට තේරිම් කාරක සභාවක් පත් කරන ලෙස මේ සියලු දෙනා ඉල්ලා සිටින විට අධිකරණයකට සිදු නොවිය යුතු තරම් නොහොබිනාකම් සිදු වෙමින් තිබුණු බව මේ සියලු දෙනා දැන සිටි බව පැහැදිලිව පෙනී යයි. එහෙත් මාක් ප්රනාන්දු මහතා සමුගන්නට යන බව ප්රකාශ වන තෙක් මේ සියලු දෙනා අධිකරණය අභ්යන්තරයේ සිදුවන එම නොහොබිනාකම් ඉදිරියේ නිහඬව බලා සිටියා මිස ඒ තත්ත්වයට එරෙහිව නැගී සිටින ප්රතිපත්තියක් අනුගමනය කළේ නැත. දැන් අවසානයේ ඔවුන් සියලු දෙනාට බේරාගන්නට සිදු වී තිබෙන්නේ ද තරමක් රෝගී තත්ත්වයකට පත්ව තිබෙන අධිකරණයක් නොව සුව කළ නොහැකි තරම් අසාධ්ය තත්ත්වයකට පත්ව තිබෙන අධිකරණයකි.
අධිකරණ විෂයයේ දි විනිසුරුවරුන්ට ගරුකටයුතු හා චරිතවත් තත්ත්වයක සිටීම අත්යාවශ්ය කොන්දේසියක් ලෙස සැලකේ. එහෙත් ඒ පිළිගත් මාත වලට පිටස්තර දූෂිත චරිතයක් ඇති හා බරපතල දූෂණ චෝදනා එල්ල වී තිබුණු පුද්ගලයකු අගවිනිසුරු වැනි ඉතාමත් ගරු කටයුතු තනතුරකට පත් කරන තත්ත්වයක් ඉදිරියේ හා ඒ නොහොබිනා ක්රියාව ඉදිරියේ නීති සමාජය නිහඬව බලා සිටින තත්ත්වයක් ඉදිරියේ නුසුදුසු පුද්ගලයකුට අධිකරණයේ පාලනය සියතට ගැනීමට හැකිවූවා පමණක් නොව ඔහු ක්රමානුකූලව විනිශ්චයකරුවන් සඳහා චරිතවත් බව, වැදගත් හෝ අත්යාවශ්ය කොන්දේසියක් නොවන දෙයක් බවට පත් කළේ ය. අධිකරණය තුළ පවතින්නට අවශ්ය නම් චරිතවත් බව අත්හරින ලෙසට එල්ල කෙරුණු බලකිරිම් ඉදිරියේ ක්රමානුකූලව අධිකරණය දුෂ්චරිතවත් බව රජ කරන ආයතනයක් බවට පත්වූයේ ය.
මෙය මට අසන්නට ලැබුණු කතාවකි.
එක්තරා මහාධිකරණ විනිසුරුවරයකු සිය නිවසේ සේවය කළ කුඩා මෙහෙකාර දැරියක් දූෂණය කිරිමේ සිද්ධියක් මත ඔහුට එරෙහිව පවරන ලද නඩුවකින් ඔහු නිදහස් වූ පසුව (මහාධිකරණ විනිසුරුවරයා එම නඩුවෙන් නිදහස් වූයේ තමන් ළග සේවය කළ ළමා මෙහෙකාර දැරිය දූෂණය කිරිමේ චෝදනා අභූත චෝදනාවක් වූ නිසා නොව කාත් කවුරුවත් නැති මේ අසරණ මෙහෙකාර දැරිය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව උපරිම ශක්තිය යොදා ක්රියා නොකළ නිසා ය.) මෙම මහාධිකරණ විනිසුරුවරයා නැවත සේවයට ගැනීමට අගවිනිසුරුවරයා තීරණය කර ඇති බව දැනගන්නට ලැබී එයින් කම්පනයට පත් මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ නියෝජිතයන් දෙදෙනකු අගවිනිසුරුවරයා හමු වී මෙම මහාධිකරණ විනිසුරුවරයා නැවත සේවයට ගතහොත් ඉන් අධිකරණයට මහත් අපකීර්තියක් විය හැකි බව දැනුම් දුන්නේ ය.
එහි දි අගවිනිසුරුවරයා ඔවුන්ට ප්රකාශ කර ඇත්තේ මෙහෙකාර දැරියක් දූෂණයට ලක් වීම හැම නිවසකම සිදුවන සාමාන්ය දෙයක් වන නිසා එය බරපතළ කරුණක් ලෙස සැලකිය යුතු නැති බව ය.
අවසානයේ මහාධිකරණ විනිසුරුවරුන්ගේ විරෝධය නොසලකා මෙම ස්ත්රී දූෂක මහාධිකරණ විනිසුරුවරයා නැවත සේවයේ පිහිටුවනු ලැබුවත් අලුතෙන් වැඩ බාර ගන්නට යන පළමු ගමනේ දි දරුණු රිය අනතුරකට භාජනය වීම නිසා එම මහාධිකරණ විනිසුරුවරයාට නැවත අධිකරණයට එනවා වෙනුවට නැවත කවදාවත් අධිකරණයට ආ නොහැකි ලෙස රෝහලට යාමට සිදු විය.
එයින් පෙන්නුම් කෙරෙන්නේ සරත් නන්ද සිල්වා මහතාගේ පාලනය තුළ අධිකරණයේ රජ කරන ආකල්පවල තරම ය.
අධිකරණයේ විනිශ්චයකාරවරුන්ට තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිය ඇතත් අධිකරණයට කිසියම් ආගමික පෙනුමක් ආරෝපණය කිරීම වැරදි ය. අධිකරණය දේශපාලන, ආගමික, වාර්ගික හා කුලමල භේදයන්ගෙන් තොර ස්වාධීන ආයතනයක් ලෙස පෙනෙන්නට තිබිය යුතු ය. එහෙත් අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා තමන් මුහුණ දි සිටින අර්බුදයෙන් ගැලවීමට උත්සාහ කරන්නේ ලෙනින් රත්නායක කළා සේ ම සැදැහැවත් බෞද්ධයකු ලෙස පෙනී සිටින අතර අධිකරණයට ද උපරිම මට්ටමකින් ආගමික පෙනුමක් ලබාදිමෙනි.
මහාධිකරණ විනිසුරු කුමාර් ඒකරත්න මහතා නීති විද්යාලයේ ශිෂ්ය නිලරවණයේ දි නැටු පිස්සු නැටිල්ල සරත් නන්ද සිල්වාගේ පාලනය තුළ අධිකරණය ඇද වැටී තිබෙන ඛේදජනක තත්ත්වය සංකේතවත් කරන එක් නිදර්ශනයක් පමණ ය.
අගවිනිසුරුවරයා වගඋත්තරකරුවන් කරමින් දිසා විනිසුරුවරුන් දෙදෙනකු නඩු පවරනු ලැබූ අවස්ථාවේ දි අගවිනිසුරුවරයා ඒ විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණ භූමියේ පෝස්ටර් ගස්සවා ගත්තේ මහාධිකරණ විනිසුරු කුමාර් ඒකරත්න ප්රමුඛ කණ්ඩායමක් ලවා ය. ඒ සිද්ධියේ දි කෙසෙල්වත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා පෝස්ටර් අලවමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගත්තේ ය. ඒ අවස්ථාවේ දි ඔවුන් මුදාගත්තේ කුමාර ඒකරත්න මහතා ය.
ඉන්පසු කුමාර් ඒකරත්න විනිසුරුවරයා තමාගේ පුතා වෙනුවෙන් බලහත්කාරී ආකාරයෙන් පෝස්ටර් අලවන්නට හා කටවුට් ගසන්නට යොදාගත්තේ ද එදා ශ්රේෂ්ඨාධිකරණයේ පෝස්ටර් අලවන්නට යොදාගත් පිරිසම ය. ප්රතිවිරුද්ධ ශිෂ්ය කණ්ඩායමේ ආරක්ෂෂාව පිණිස ඒ ස්ථානයට පැමිණි විනිසුරුවරයාගේ පහරදිමට ලක්වන්නට සිදුවූයේ ද එදා එම ශ්රේෂ්ඨාධිකරණ පෝස්ටර් ව්යාපාරයට මැදිහත් වූ කෙසෙල්වත්ත ස්ථාධිපතිවරයාට ය.
අතීතයේ දි අධිකරණයට ගල් ගැසූ හා හූ කී මදාවිකාරයන් ගැන අපි අසා ඇත්තෙමු. එහෙත් පුදුමයකට මෙන් අද ඒ භූමිකාව සමහර විනිසුරුවරුන් විසින් ම රගපාමින් තිබේ.
ජනාධිපතිනිය වෙත නීති ශිෂ්යයන්ගෙන් ලැබී තිබෙන පැමිණිල්ලක් නිසා අගවිනිසුරුවරයාට මේ මහාධිකරණ විනිසුරුවරයාගේ වැඩ නැවැත්වීමට සිදු වී ඇතත් ඒ විනිසුරුවරයා ආරක්ෂෂා කරනවා විනා ඔහුට එරෙහිව දැඩි ක්රියාමාර්ගයකට යාමේ හැකියාවක් අගවිනිසුරුවරයාට නැත. ඔහු පළමු වටයේ දි ගණන්කාර භූමිකාවක් රගපෑවේ අගවිනිසුරුවරයා වෙනුවෙනි. සිය පුතා වෙනුවෙන් ඔහු එම භූමිකාව රගපෑවේ ඉන් පසුව ය. බ කලක් ශ්රී ලංකාව දේශපාලන තුවක්කුකරුවන් රජ කරන රටක් බවට පත්ව තිබුණේ ය. දැන් ඒ රට පාතාල ලෝකයේ තුවක්කුකරුවන් රජකරන රටක් බවට පත්වෙමින් පවතී.