රාජ්යය නැවත ප්රතිසංවිධානය කළ යුතුය කියන මතයක් සමහර දේශපාලන විචාරකයින් අතර පවතී. එහෙත් ඒ මතය දරන බොහෝ දෙනෙකු එසේ සිතන්නේ ජනවාර්ගික ප්රශ්නය විසඳගැනීමට තිබෙන අවශ්යතාව මත එසේ කළ යුතු බවය.
ජනවාර්ගික ප්රශ්නය විසඳ ගැනීම පිණිස රාජ්යය නැවත ප්රතිසංවිධානය කිරීම අත්යාවශ්ය කොන්දේසියක් වුවත්, රාජ්යය නැවත ප්රතිසංවිධානය කිරීම අවශ්යවන්නේ ඒ නිසාම පමණක්ය යන දර්ශනය රාජ්යයේ සමස්ත ස්වභාවය කෙරෙහි අපේ අවධානය යොමු නොකොට එහි මතුපිට පෙනෙන්නට තිබෙන එක් අංගයක් කෙරෙහි පමණක් අපේ අවධානය යොමු කරයි. රාජ්යය නැවත ප්රතිසංවිධානය කිරීම අවශ්ය වී ඇත්තේ ජනවාර්ගික ප්රශ්නය විසඳගැනීම සඳහා පමණක් නොවේ. ඉන් ඔබ්බට ඇති වෙනත් ප්රධාන ගැටලු ද ඒ මගින් විසඳගැනීමට අවශ්ය නිසාය.
සමාජ දේශපාලන ක්රමය ගරා වැටී තිබෙන ප්රමාණය අනුව ජනවාර්ගික අර්බුදයට පමණක් සීමාවූ ප්රතිසංවිධානයක් රාජ්යයේ ඇතිවී තිබෙන ගරා වැටීමට පිළියමක් නොවනවා සේ ම සමස්තය ගරා වැටුණු තත්ත්වයක තිබියදි සමස්තයම නැවත ප්රතිසංවිධානයකට ලක් නොකොට ජනවාර්ගික ප්රශ්නයට පමණක් විසඳුමක් ලැබෙන ආකාරයට ඒ ගරා වැටී තිබෙන සමස්තයට අලුත් එක් අංගයක් පමණක් එකතු කිරිමේ හැකියාවක් ද නොපවතී.
සමස්තය ගරා වැටී තිබෙන පරිමාව කුමක්ද? එය සරල ප්රතිසංස්කරණයකට ලක් කළ හැකි තත්ත්වයක තිබේද? නැතිනම් එය නැවත මුළුමනින් ප්රතිසංවිධානය කළයුතු තත්ත්වයක තිබේද? යන ප්රශ්නවලට සාර්ථක පිළිතුරක් ලබාගත හැකිවනු ඇත්තේ පවතින දේශපාලන ක්රමය සමස්තයක් ලෙස ගත්විට කවර තරමකට ගරා වැටී තිබේද යන්න සොයා බැලීමෙනි.
පාර්ලිමේන්තුව
රටේ ව්යවස්ථාදායකය වන පාර්ලිමේන්තුව රටට අවශ්ය න්යාය හා ප්රතිපත්ති සම්පාදනය කරන ආයතනය ලෙස ක්රියා කරයි. නීති සම්පාදන බලය සේ ම රාජ්යයේ මුදල් පාලනය බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටය.
ලෝකයේ විශාලතම හා වැඩියෙන්ම දිලිසෙන පාර්ලිමේන්තුව තිබෙන්නේ ශ්රී ලංකාවේය. එසේම වැඩිම නඩත්තු වියදමක් ඇති පාර්ලිමේන්තුව තිබෙන්නේ ද ශ්රී ලංකාවේය. එහි එක් දිනක වියදම රුපියල් ලක්ෂ 16කි.
වෙනත් ප්රජාතන්ත්රවාදි රටවල නම්, පාර්ලිමේන්තු වරප්රසාද ලෙස සැලකෙන්නේ බාහිර ඇගිලි ගැසීම් වලින් තොරව ප්රතිපත්ති හා න්යාය සම්පාදනය කිරීමට තිබෙන අයිතිය හා රාජ්යයේ සියලු කටයුතු අධීක්ෂණය කිරිමේ බලයයි. එහෙත් ශ්රී ලංකාවේ පාර්ලිමේන්තු වරප්රසාද ලෙස බොහෝ මන්ත්රීවරු සලකන්නේ භෞතික වරප්රසාදය.
ව්යවස්ථාදායකයේ සේවයේ යෙදි සිටින මහජන නියෝජිතයන් සිය සේවාවන් වෙනුවෙන් මහජන වියදමින් ලබාගත යුත්තේ සරල දිමනාවක් පමණක්ය යන්න පිළිගත් මතය වුවත්, ශ්රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට රටේ ජීවන තත්ත්වය අනුව හා රටේ ක්රියාත්මක වන වැටුප් මට්ටම අනුව ඉහළ වැටුපක් ලැබෙනවා පමණක් නොව, ඔවුන්ට දිමනා හා වැටුප් වශයෙන් ලැබෙන සියලු ආදායම් බදු අයකිරිම්වලින් ද නිදහස් කර තිබේ. ලෝකයේ කවර රටකවත් පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට විශ්රාම වැටුප් ක්රමයක් හිමි නොවෙතත්, ශ්රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් විශ්රාම වැටුප් ක්රමයකට හිමිකම් කියනවා පමණක් නොව, විශ්රාම වැටුප සඳහා කඩඉම ලෙස සැලකෙන්නේ ද කාටවත්ම නැති ආකාරයට අවුරුදු 5ක සේවා කාලයකි.
පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට නොමිලේ ගමන් බලපත්ර දෙන ක්රමයක් මිස, මහජන මුදලින් ඔවුන්ට සුඛෝපභෝගී මෝටර් රථ ලබාදෙන ක්රමයක් වෙන කිසිම රටක නැතත්, ශ්රී ලංකාවේ පමණක් එවැනි ක්රමයක් ක්රියාත්මක වේ. අවුරුදු පහක කාලසීමාවක් තුළ කොටස් වශයෙන් ගෙවන රුපියල් 90,000ක් වැනි මිලකට රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනාකමක් ඇති සුඛෝපභෝගී මෝටර් රථයක් හිමිකර ගන්නවාට අතිරේකව හැම වසර 5කට වරක් ම තීරු බද්දෙන් නිදහස් වාහන බලපත්රයක් ද හිමිකර ගැනීමේ අයිතිය ශ්රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්රීවරු භුක්ති විඳිති.
රේගු නීතිය අනුව එසේ ලබාදෙන මෝටර් රථය හෝ වාහන බලපත්රය විකිණීම හෝ අන්සතු කිරීම සපුරා තහනම්ය. එහෙත් මන්ත්රීවරුන් වැඩි පිරීසක් තමන්ට ලැබෙන වාහනය වැඩි මිලකට විකුණති. එහෙත් ඔවුන් කිසිවකුට එරෙහිව නීතිය ක්රියාත්මකවන්නේ නැත.
මහජන මන්ත්රීවරුන් තෘප්තිමත් තත්ත්වයක තබාගැනීම පිණිස මේ මජර ක්රමය ඇති කරන ලද්දේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසිනි. එතැන් සිට මේ දක්වා පාර්ලිමේන්තුවට විවිධ මත දරන (සිංහල, දෙමළ හා මුස්ලිම් ප්රේමීන්, ලිබරල්වාදින්, වාමාංශිකයින් හා විප්ලවකාරින් යනාදි වශයෙන්) පුද්ගලයින් තේරි පත්වී ඇතත්, ඒ කිසිවෙක් මහජන මුදලින් ගෙවන මේ කප්පම භාරගැනීම ප්රතික්ෂේප කර නැත. පක්ෂ භේදයෙන් තොරව ශ්රී ලංකාවේ සමස්ත දේශපාලන ආධ්යාත්මය කුණුවී තිබෙන ප්රමාණය එයින් පෙන්නුම් කරයි.
ලෝකයේ කිසිම පාර්ලිමේන්තුවක් මහජන මන්ත්රීවරුන්ට සහන මිලකට කන්න බොන්න දෙන්නේ නැත. ඒත් ශ්රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ඇති තරුපහේ කැන්ටිම, තරුපහේ හෝටලයකදි ද රු. හාරපන්සීයකට මිලදි ගතයුතු ආහාර වේලක් පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට ලබාදෙන්නේ රුපියල් 15ක් වැනි සරල මිලකටය.
පාර්ලිමේන්තුවේ කාර්යක්ෂමතාව හා ඵලදායීතාව ඉතා දුර්වල තත්ත්වයක පවතී. පාර්ලිමේන්තුවේ කාරක සභා ක්රමය පාර්ලිමේන්තු ක්රමයක තිබෙන බලවත්ම අංගයක් ලෙස සැලකුණ ද, ශ්රී ලංකාවේ පාර්ලිමේන්තුවේ කාරක සභාවල ක්රියාකාරිත්වය දුර්වල හා අකාර්යක්ෂම මට්ටමක පවතී.
පාර්ලිමේන්තු කාරක සභා අතර තිබෙන ප්රධානම කාරක සභා දෙකක් ලෙස සැලකිය හැකි උසස් නිලතල කාරක සභාව හා රාජ්ය ගිණුම් කාරක සභාව උදාහරණ වශයෙන් ගතහොත් ලැබෙන චිත්රය මෙසේය.
තානාපති ධුරවලට, අමාත්යාංශ ලේකම් ධුරවලට, රාජ්ය ආයතනවල ප්රධාන නිලතලවලට හා උපදේශක ධුරවලට පත් කරන පුද්ගලයන්ගේ සුදුසු, නුසුදුසුකම් සොයා බැලීමේ වගකීම ඇත්තේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවටය.
ඒ ගණයට වැටෙන පත්කිරිම් වලදි පාර්ලිමේන්තු ලේකම්වරයා එම තනතුරු වලට පත්වීමට ඔවුන්ට ඇති සුදුසුකම් තමන්ට දැනුම් දෙන ලෙස පත්වීම්ලාභීන්ට දැන්විය යුතු අතර, ඒ සමග නව පත්කිරිම් මහජනයාට දැනුම් දි ඒ පත්කිරිම්වලට විරුද්ධ වීමට හේතු ඇතොත්, ඒ හේතු තමන් වෙත දැනුම් දෙන ලෙස මහජනයාගෙන් ඉල්ලා සිටිය යුතුය. ඉන්පසු කාරක සභාව නව පත්වීම්ලාභීන් කාරක සභා වෙත කැඳවා ඔවුන්ට එරෙහිව පැමිණිලි ඇතොත්, ඒවායෙහි සත්ය අසත්යතාව විමසා ඔවුන් අතර එම නිල තනතුරු දැරිමට නුසුදුසු පුද්ගලයන් සිටී නම්, ඔවුන්ගේ පත්කිරිම් අවලංගු කිරීමට නිර්දේශ ඉදිරිපත් කළ යුතුය. එහෙත් මේ ක්රියාපටිපාටිය එම කාරක සභාව ඇතිකර ගැනීමේ අරමුණට ගැලපෙන ලෙස ක්රියාත්මක වන්නේ නැත. තනතුරුවලට පත් කෙරෙන සමහර නුසුදුසු පුද්ගලයින්ට අභියෝගයකින් තොරව එම තනතුරු දැරිමේ හැකියාව ලැබී තිබෙන්නේ ඒ නිසාය.
රාජ්ය ගිණුම් කාරක සභාවේ ක්රියාකාරිත්වය ද දුර්වල තත්ත්වයක පවතී. විගණකාධිපතිවරයා ඉදිරිපත් කෙරෙන විගණන වාර්තා නිසි පරික්ෂාවකට ලක්වීමක් සිදුවන්නේම නැති තරම්ය. සමහර කාරක සභා සාමාජිකයින්ට විෂය පිළිබඳ තිබෙන දැනුම අල්පය. ඉදිරිපත් කෙරෙන විගණන වාර්තා ගැන කරුණු සොයා බැලීමට අවශ්ය තරම් කාලය වෙන් කිරීමක් සිදු නොවේ. බොහෝ අවස්ථාවල ගණපූර්ණය නැතිකම නිසා කාරක සභාව ඉදිරියට කැඳවන උසස් නිලධාරින්ට හිස් අතින් ගෙදර යාමට සිදුවේ. ගණපූර්ණය ඇති අවස්ථාවල පවා සමහර සාමාජිකයින් ප්රමාණවත් තරම් කාලයක් ගත නොකොට පිටවී යන නිසා බොහෝවිට කරුණු සලකා බැලෙන්නේ උඩින් පල්ලෙන් අතපතගාන තත්ත්වයකිනි. පසුගිය විසි වසර තුළ කාරක සභාවට ඉදිරිපත්වූ විගණන වාර්තා අතර සමහර වාර්තාවල ඉතාමත් බරපතල දූෂණ හා වැරදි පෙන්වා දි ඇතත්, ඒවාට වගකිවයුතු කිසිවකුට එරෙහිව ක්රියාකිරීමට රාජ්ය ගිණුම් කාරක සභාව සමත් වී නැත.
පාර්ලිමේන්තුවේ න්යාය පත්රය මහජනයාගේ දැනගැනීම සඳහා ප්රසිද්ධ කිරීම අවශ්ය වුවත්, එවැනි සම්ප්රදායයක් ක්රියාත්මකවන්නේ නැත. ඒ නිසා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අණ පනත් කල්තියා මහජනයාට දැනගැනීමට තිබෙන හැකියාව සීමාවී තිබෙන අතර, ඒ නිසා නුසුදුසු අණපනත්වලට එරෙහිව ඒ ගැන උනන්දුවක් දක්වන අයට අධිකරණය ඉදිරියට ගොස් අභියෝග කිරීමට තිබෙන හැකියාව ද සීමාවී තිබේ.
විධායක ජනාධිපති
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විධායක ජනාධිපති ක්රමය ඇතිකිරිමෙන් පසුව රටට කීවේ තමන්ට කළ නොහැක්කේ ගැහැනියක පිරිමියකු කිරීම හෝ පිරිමියකු ගැහැනියක කිරීම පමණක් බවය. ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා ඒ ක්රමය හඳුන්වා ඇත්තේ හය වසරක කාලයක් සඳහා වන ව්යවස්ථාපිත ඒකාධිපති පාලනයක් වශයෙනි.
විධායක ජනාධිපති රටේ රාජ්ය නායකයාය. ඔහු තේරිපත් වන්නේ මහජන ඡන්දයෙනි. ජනාධිපති ප්රධාන විධායකයා වන අතර, ත්රිවිධ හමුදාවල ප්රධාන අණදෙන නිලධාරියා ද වෙයි. ඔහු ආණ්ඩුවේ ප්රධානියා ද තමා විසින් පත් කරනු ලබන කැබිනට් මණ්ඩලයේ ප්රධානියා ද වෙයි. ඔහු පාර්ලිමේන්තුවේ අසුන් නොගනී. එහෙත් තමන්ට අවශ්ය අවස්ථාවල පාර්ලිමේන්තුව කැඳවා එය ඇමතීමේ අයිතිය භුක්ති විඳී. ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් වන දෝෂාභියෝගයකදි හැර පාර්ලිමේන්තුවට ජනාධිපති විවේචනය කිරීම තහනම්ය. ඔහු ඉහළ අධිකරණයට සිය අභිමතය මත විනිශ්චයකාරවරුන් ද පත් කරයි. කවර තරම් වරදක් කළත්, කිසිම අධිකරණයක් ඉදිරියේ ඔහුට නඩු පැවරිය නොහැකිය. එක් අවුරුදු කාලයක් සම්පූර්ණ වීමෙන් පසුව අවශ්ය නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ බලය ඔහු සතුය.
ජනාධිපතිට ආරක්ෂාව දෙන්නේ ත්රිවිධ හමුදාව වුවත්, තමන්ගේම ආරක්ෂක බලකායක් පවත්වාගෙන යාමේ අයිතිය ද ඔහු භුක්ති විඳී. එම බලකායේ ප්රමාණය මේ වනවිට 1500 දක්වා වර්ධනය වී තිබේ. එය නාමික වශයෙන් පොලිස් පාලනය යටතේ පවත්නා බලකායක් වුවත්, ඊට තමන් කැමති පුද්ගලයින් ඇතුළත් කරගැනීමේ බලය ජනාධිපති සතුය. ඒ අනුව ජනාධිපතිගේ වුවමනාවන් වෙනුවෙන් සාහසික ක්රියාවල යෙදෙන දරුණු අපරාධකරුවන් පවා ඊට අනුයුක්ත කෙරෙන ක්රමයක් තහවුරු වී තිබේ.
රටේ පවතින මුදල් නීතියට අනුව ඒකාබද්ධ අරමුදලෙන් පිටස්තරව, රාජ්ය අරමුදල් පවත්වාගෙන යාම නීති විරෝධී වුවත්, ජනාධිපතිවරයා කෝටි 400ක ස්ථිර තැන්පතු ඇති කෝටි 150කට වැඩි වාර්ෂික ආදායමක් ඇති විශේෂ අරමුදලක් ජනාධිපති අරමුදල නමින් පවත්වාගෙන යයි. හැම ජනාධිපතිවරයෙක්ම කියන්නේ එය රෝගීන්ට ආධාර කිරීම ඇතුළු සමාජ සේවා කටයුතු සඳහා පවත්වාගෙන යන අරමුදලක් බවය. එහෙත් ඊට අමතරව ජනාධිපතිවරු ඒ අරමුදලෙන් තමන් කැමති අයට දශ ලක්ෂ ගණනින් මුදල් ලබාදෙති. අරමුදලට අපක්ෂපාත පෙනුමක් ලබාදිම සඳහා ජනාධිපතිනියට අතිරේක වශයෙන් අගමැති, කතානායක, විපක්ෂ නායක යන අය අරමුදලේ සාමාජිකයන් ලෙස නම් කොට ඇතත්, ඔවුන් කිසිවෙක් අරමුදලේ කෙරෙන කිසිම සාකච්ඡාවකට සහභාගිවන්නේ නැත. ජනාධිපති අරමුදල විගණනය කෙරෙන්නේ ද නාමමාත්රිකවය. ජනාධිපතිවරයා අරමුදල පරිහරණය කෙරෙන හිතුවක්කාරි ස්වරූපය ප්රශ්න කිරීමකට ලක් නොකෙරෙන ආකාරයටය.
ජනාධිපතිට එරෙහිව නඩු පැවරිමට නොහැකි ලෙස ලැබී තිබෙන මුක්තිය හා දෝෂාභියෝගයකින් පවා තනතුරෙන් ඉවත් කිරීම ඉතා අසීරු වීම හේතු කොටගෙන අයථා ලෙස ධනය උපයා ගැනීමේ හැකියාව සේ ම විරුද්ධවාදින් වේ නම් ඔවුන් විනාශ කරවීමේ බලය ද ජනාධිපති සතුය. මෙතෙක් බලයට පත් හැම ජනාධිපතිවරයෙක්ම තම ආශාවන්ගේ ප්රමාණයට ගැලපෙන ලෙස ධනය ඉපයුවේය. මුක්තියට මුවාවී සාහසික අපරාධවල ද යෙදුණේය.
ධුර කාලය තුළ සිරිතක් වශයෙන් මහා ධනවතුන් බවට පත්වන ජනාධිපතිවරුන් පමණක් නොව ඔවුන්ගේ අඹුවන් ද ධුරකාලයෙන් පසුව සුව පහසු ලෙස නඩත්තු කිරිමේ වගකීම පවරා ඇත්තේ ද මහජනයා පිටය. විශ්රාම යන ජනාධිපතිවරයා හෝ ඔහුගෙන් පසුව ජීවත්ව සිටී නම් ඔහුගේ අඹුව නඩත්තු කිරීම සඳහා වැයකළයුතු වාර්ෂික වියදම රුපියල් ලක්ෂ 60කි. රටේ රාජ්ය නායකයා වීමට උනන්දුවක් දක්වන කිසිම දේශපාලකයෙක් විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරීමට හෝ සංශෝධනය කිරීමට කැමති නැත.