විපතෙන් උගත හැකි පාඩම්

May 25, 2003
Publication:
Calling the floods the worst natural disaster in half a century, the editorial says the disaster management system proved inefficient, relief was handed out without assessing need and marred by political and commercial rivalry and looting, and people were left living in known landslide zones. It calls for national policies on floods, erosion and forests, a transparent compensation scheme and an inquiry into why disaster agencies failed.

මෙවර ගංවතුරෙන් සිදුවී තිබෙන මහා විපත ඉකුත් අඩසියවස තුළ රටේ සිදුවූ ලොකුම ස්වාභාවික විපත ලෙස සැලකිය හැකි ය. ඒ නිසා ජනතාවටත්, රටටත් සිදුවී තිබෙන හානිය තාමත් මිල කර නැතත්, එය අතිවිශාල බවට සැකයක් නැත.

මේ විපතින් රටට උගත හැකි වැදගත් පාඩම් ගණනාවක් පවතී. රටකට හදිසි ආපදාවලදි කාර්යක්ෂමව ක්‍රියා කරන කළමනාකරණ යාන්ත්‍රණයක් තිබිය යුතු ය. ඒ විෂය වෙනුවෙන් බොහෝ වියදම් කර ඇතත්, ඒ සඳහා ගොඩ නගා තිබෙන ආයතන පද්ධතිය ඉතාමත් අකාර්යක්ෂම බව මේ විපත හොඳින් ඔප්පු කළේ ය.

මෙවැනි විපතකදි විය යුතුව තිබුණේ වහාම අහසින් ගොස් සොයා බලමින් විපතට පත්වූවන්ට සන්නිවේදනය කළහැකි ආකාරයට සන්නිවේදන රටාවක් ගොඩ නැගීම ය. කාර්යක්ෂම ජීවිත ආරක්ෂක වැඩපිළිවෙළක් හා සහන සැලසීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැගිය හැක්කේ එවැනි වැඩපිළිවෙළක් ඇතොත් පමණ ය.

එහෙත් අවාසනාවකට තාමත් සිදුවෙමින් තිබෙන්නේ අවශ්‍යතාවන් ගැන හරි තක්සේරුවකින් තොරව කෙරෙන සහනාධාර බෙදාදිම් ය. සමහර තැන්වලට වුවමනාවටත් වඩා බත් පැකට් ලැබෙමින් තිබුණත්, තවත් සමහර තැන්වලට කිසිවක් නොලැබෙන තත්ත්වයක් පවතී. සහනාධාර බෙදාදිමේ ක්‍රියාවලිය තුළ ද දේශපාලන තරගයක් සේ ම වෙළෙඳ ප්‍රචාරක තරගයක් ද පවතී. ගසාගෙන යන බඩු කොල්ල කන සංවිධානාත්මක ව්‍යාපාරයක් ද තැන් තැන්වල ක්‍රියාත්මක වේ.

මේ විපතේදි විපතට පත්වී සිටින බොහෝ දෙනෙකුට සියල්ල අහිමි වී ඇති බව අමතක නොකළ යුතු ය. ඔවුන් නැවත සිය ජීවිත ආරම්භ කළ යුතුව ඇත්තේ මුල සිට ය. එවැනි තත්ත්වයක් තුළ බත් පැකට් බෙදාදිමෙන් ඔබ්බට ගිය ක්‍රියාමාර්ගයක් අවශ්‍ය වන බව තේරුම් ගත යුතු ය.

නායයෑම්වලට හසුවූ බොහෝ ප්‍රදේශ නායයාම්වලට ගොදුරුවීමට හැකියාවක් ඇති ස්ථාන ලෙස කල්තියා හඳුනාගත් ස්ථාන වන අතර, එවැනි ස්ථානවල මහජනයාට පදිංචිවී සිටීමට ඉඩ හැර බලා සිටියේ ඇයි ද යන ප්‍රශ්නය ප්‍රබල ලෙස මතු වේ.

ගංවතුර, සෝදා පාලුව, වන රක්ෂණය වැනි විෂයයන් පිළිබඳව රටට පොදු ජාතික ප්‍රතිපත්තියක් නැත. රත්නපුර නගරය යට ඇත්තේ මැණික් දෝනාය. ඒ බව සියලු බලධාරින් දන්නා නමුත්, එය වැළකීම පිණිස කිසිවෙක් ක්‍රියාකරන්නේ නැත.

විපතට පත්වූවන්ගේ ජීවිත පුනරුත්ථාපනය කිරීම පිණිස ඔවුන්ට වන්දි ගෙවන ක්‍රමයක් අත්‍යාවශ්‍ය වනවා සේ ම, එම වන්දි ගෙවීමේ ක්‍රියාවලියේදි මුදල් ගසාකෑම්වලට ලක් නොවන ලෙස විපතට පත්වූවන් අතට පත් කරන විනිවිද පෙනෙන කාර්යක්ෂම ක්‍රමයක් ඇති කරගැනීම ද වැදගත් ය. ඒ සඳහා අනුගමනය කරන්නට යන ප්‍රතිපත්ති මොනවාද යන්න ආණ්ඩුව රටට පැහැදිලි කළ යුතු ය. එ සේ ම හදිසි ආපදා කළමනාකරණය සඳහා ගොඩනගා තිබෙන ආයතනවලින් ඔවුන්ට ඔවුන්ගේ වගකීම ඉටු කිරීමට නො හැකි වූයේ ඇයි ද යන ප්‍රශ්නය ගැන නිදහසට කරුණු විමසීමක් කිරීම ද අත්‍යාවශ්‍ය ය.