සාම කතා වැඩපිළිවෙළත් අවුලක

May 18, 2003
Publication:
Johan Galtung's prediction that a peace process built on the carrot of aid would fail seems to be coming true. The piece argues that people fight over grievances, not money, and cites Willy Brandt and Desmond Tutu on healing inner wounds through apology and truth. It says the LTTE, undefeated and running its own institutions, must be dealt with as a quasi-government, and that its withdrawal over the Washington meeting and unmet resettlement pledges leaves the Tokyo aid conference without it.

ශ්‍රී ලංකාවේ සාම වැඩපිළිවෙළ සඳහා යොදාගෙන ඇති මූලික ප්‍රවේශය නිවැරදි නොවන බැවින්, මුළු සාම වැඩපිළිවෙළ ම අසාර්ථක වීමට ඉඩක් ඇති බවට මහාචාර්ය ගල්ටූන් කරන ලද පුරෝකථනය සනාථ වන තැනකට කරුණු සැලසෙමින් තිබෙන බවක් පෙනී යයි.

මහාචාර්යවරයාගේ මතය අනුව බූරුවා සහ කැරට් අලය පිළිබඳ කතාවේ වන ප්‍රවේශය ජනවාර්ගික අර්බුදය වැනි සංකීර්ණ අර්බුද විසඳීම සඳහා යොදාගත නොහැකිය. එහෙත් ශ්‍රී ලංකාවේ සාම වැඩපිළිවෙළ සඳහා යොදාගෙන ඇත්තේ ඒ හා සමාන ප්‍රවේශයකි. “ඔබ දෙපක්ෂයට යුද්ධ කිරිමේ ආර්ථික හැකියාවක් නැත. ඒ නිසා යුද්ධය අතහැර සාමයක් ඇතිකර ගන්න. සාමයක් ඇතිකර ගැනීමට ඔබ දෙපක්ෂය සමත් වේ නම්, දෙපාර්ශ්වයටම හොඳ ජීවිතයක් ගතකිරීමට අවශ්‍ය ආර්ථික සහාය දිමට ලෝකය සූදානම්ය.” මහාචාර්යවරයාට අනුව ශ්‍රී ලංකාවේ සාම වැඩපිළිවෙළේ මූලික ප්‍රවේශය වී ඇත්තේ එයයි.

එහෙත් මිනිසුන් යුද්ධ කරන්නේ ද, කුළල් කාගන්නේ ද සල්ලි ඇති නිසා නොවේ. සිත්වේදනා ඇතිකිරීමට හේතුවන, සැකයට හේතුවන හෝ වෛරසහගත හැගීමක් ඇති කිරීමට හේතුවන කාරණා ඇති නිසාය. ඒ කාරණා හඳුනාගෙන ඒවාට නිසි පිළියම් යොදන ක්‍රමයක් තිබිය යුතුය.

වරදක් සිදුවී ඇත්නම්, වරද කළ පාර්ශ්වය වරදට ලක්වූ පාර්ශ්වයට කණගාටුව පළ කළ යුතුය. තමන් අතින් එවැනි වරදක් තවදුරටත් සිදු නොවන තත්්ත්වයක් සහතික කළ යුතුය. බිඳී විසිරෙමින් සිටින ජාතියක් නැවත එකතු කළ හැක්කේ එවැනි ප්‍රවේශයකිනි.

විලී බ්‍රාන්ට් (ජර්මන් චාන්ස්ලර්වරයා) යුදෙව් සොහොන් කොතක් ඉදිරියේ දණ ගසාගෙන සිටින ආකාරය වරක් රූපවාහිනිය ඔස්සේ මුළු ලෝකයටම දකින්නට ලැබුණි. විලී බ්‍රාන්ට්ගේ ඒ ක්‍රියාව යුදෙව්වන් තේරුම් ගත්තේ ජර්මන් නායකයා සිය වර්ගයා අතින් තම වර්ගයාට සිදුවූ අපරාධ සම්බන්ධයෙන් සමාව ගත්තේය යන හැගීමකි. ඉන්පසු ජර්මන් නායකයා ඉතිහාස විෂය පිළිබඳ පෙළපොත් සංශෝධනය කොට ඊට හිට්ලර් යුගයේ ජර්මනියේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම්වල ඇත්ත තතු ඇතුළත් කළේය. ඔහු ඉදිරියට ගෙනා එම ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යුදෙව් වර්ගයාගේ අධ්‍යාත්මය තුළ පැවති තුවාල සුව කොට එක්සත් ජාතියක් ලෙස කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම ඇති කළේය. දකුණු අප්‍රිකාවේ බිෂොප් ටුටූ ආරම්භ කළ ඇත්ත සෙවීමේ කොමිෂන් සභා වැඩපිළිවෙළේ අරමුණ වූයේ ද ගැටුම විසින් ඇති කර තිබුණ අභ්‍යන්තර තුවාල සුව කිරීමය.

ශ්‍රී ලංකාවේ සාම ව්‍යාපාරය, ගැටුම විසින් ඇති කර තිබුණු ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් සොයා යන ව්‍යාපාරයක් වූවා මිස, ගැටුමට බලපා ඇති හේතු සොයාගෙන ගොස් ජාතික අධ්‍යාත්මයේ ඒ නිසා ඇතිවී තිබෙන තුවාල සුව කිරීම ඉලක්ක කොටගත් ව්‍යාපාරයක් නොවීය.

මේ අර්බුදයේදි මෙවැනි අර්බුදයකට ගොදුරු වූ කිසිම රටක් ලබාගැනීමට නොහැකි වූ තරම් අතිවිශාල ජාත්‍යන්තර සහායක් දිනාගන්නා තත්ත්වයක් අප විසින් දිනාගත් බව සත්‍යයකි. එහෙත් එයින් අපට ලැබිය හැක්කේ අතිරේක සහායක් පමණය. ප්‍රශ්නය විසඳ ගැනීමේ වගකීම ඇත්තේ අපටය.

ත්‍රස්තවාදයට එරෙහිව ඇමරිකාව ඇති කරගෙන තිබෙන නව ප්‍රවේශය, බලවත් රටවල් ගණනාවක් කොටි සංවිධානයට එරෙහිව පවත්වාගෙන යන තහනම වැනි කාරණා කොටි සංවිධානයට සිය ප්‍රවේශය නැවත සලකා බලන තත්ත්වයකට පත්කිරීමට හේතුවී දෙපාර්ශ්වය සාකච්ඡා කරන තැනකට ගැනීමට හේතුවී තිබෙන බව ද සත්‍යයකි. එහෙත් තාමත් සාකච්ඡාමය ක්‍රියාවලිය තිබෙන්නේ මතුපිට පෙනෙන්නට තිබෙන කාරණාවලට සීමාවූ තැනකය. ඒ මූලික ප්‍රවේශය විසින්ම ඇති කර තිබෙන සීමාවකි.

අවබෝධතා ගිවිසුමක් ඇතිකර ගැනීමෙන් පසුත්, කොටි සංවිධානය අතින් බරපතළ වැරදි සිදුවෙමින් තිබෙන බව සත්‍යයකි. ඒවාට එරෙහිව හඬ නැගීම ද නිවැරදිය. එහෙත් ඒ සියලු වැරදි තිබියදිත් මීට පෙර කවදාවත් නැති තරම් මටසිලුටුව ක්‍රියා කරන තැනකට ඔවුන් පැමිණ ඇති බව ද අමතක නොකළ යුතුය.

ඔවුන් තාමත් ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ව්‍යාපාරයක් බවට පරිවර්තනය වී නැත. ඔවුන් තාමත් ඉන්නේ ආයුධ සන්නද්ධ දේශපාලන හමුදාවක තත්ත්වයකය. ආයුධ අතහැර ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ව්‍යාපාරයක තත්ත්වයකට ඔවුන් මාරුවීම ආරම්භ වනු ඇත්තේ ඔවුන්ට පිළිගත හැකි විසඳුමක් ලැබී තවදුරටත් ආයුධ අතැතිව සිටීම අවශ්‍ය නැතැයි විශ්වාස කරන තත්ත්වයකට පැමිණීමෙන් පසුවය. එය ක්ෂණිකව සිදුවිය හැකි දෙයක් නොවන නිසා ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ව්‍යාපාරයකින් බලාපොරොත්තු විය හැකි ප්‍රජාතන්ත්‍රවාදි යහපැවැත්මක් මේ මොහොතේදි ඔවුන්ගෙන් බලාපොරොත්තුවීම ද තේරුමක් නැති දෙයකි. එහෙත් මානව හිමිකම්වලට ගරු කරන ලෙසට ඔවුන්ට කරන බලකිරිම් ඒ නිසා අත්හැරිය යුතු නැත.

ඔවුන්ගේ අරමුණු හා ඒ අරමුණු දිනාගැනීම සඳහා ඔවුන් යොදාගත් ක්‍රියාමාර්ගවල හොඳ නරක කුමක් වුවත් දැන් සිටින තැනට එන්නට ඔවුන්ට ජීවිත විශාල සංඛ්‍යාවක් (අනුන් මරණවාට අතිරේකව) පූජා කරන්නට සිදුවීමේ සාධකය ඔවුන් කෙරෙහි ඉතාමත් සංවේදි ආකාරයකින් බලපාන සාධකයක් බව ද අමතක නොකළ යුතුය. එකගත්වයක් ඇතිකර ගැනීම සඳහා ඔවුන් ගෙවන ලද වන්දියේ ප්‍රමාණයට සරිලන විසඳුමක් බලාපොරොත්තු වන බව ද අමතක නොකළ යුතුය.

විවිධ හේතු නිසා ඔවුන්ට සාකච්ඡා මේසයට ඒමට සිදුවී තිබේ. එහෙත් ඔවුන් ඒ තැනට පැමිණ ඇත්තේ යුදමය වශයෙන් පරාජය කරනු ලැබූ ව්‍යාපාරයක් වශයෙන් නොව, අවුරුදු 20ක් තිස්සේ කෙරෙන යුද්ධයකින් පරාජය කිරීමට නොහැකි වූ ව්‍යාපාරයක් වශයෙනි. ඔවුන් ඔවුන්ගේ ප්‍රදේශවල ගොඩනගා ගෙන තිබෙන්නේ මහජන ඡන්දයෙන් තෝරාපත් කරගත් ආණ්ඩුවක් නොවූවත්, යුද ශක්තියෙන් හෝ තමන්ගේ පාලනයක් පවත්වාගෙන යමින් සිටි ව්‍යාපාරයකි. ඒ පාලනයට යුද්ධ හමුදාවක් ද, නාවික හමුදාවක් ද, පොලිසියක් හා අධිකරණයක් ද තමන්ගේම වන පාලන ව්‍යුහයක් ද ඇත්තේය. ඒ කිසිවක් පොතේ නීතිය අනුව නීත්‍යනුකූල නොවෙතත්, ඒවා ඔවුන්ගේ සීමාව තුළ ඔවුන්ගේ නීතියට අනුකූල ආයතන වශයෙන් පවතී.

තිබෙන නීත්‍යනුකූල ආණ්ඩුවට අතිරේක වශයෙන් නීත්‍යනුකූල නොවන තවත් ආයතන පද්ධතියක් ගොඩ නැගී තිබුණු තත්ත්වයක් තුළ එහි පැවැත්ම යුද්ධයක් මගින් අහෝසි කිරිමේ දිර්ඝ උත්සාහයක් ක්‍රියාත්මක වුවත් ඒ උත්සාහය සාර්ථක වූයේ නැත. දැන් යුද්ධය අතහැර සාකච්ඡා මේසයට එන්නට සිදුවී තිබෙන්නේ ඒ ආරාවුල බේරුමක් කරගැනීම සඳහාය. එහිදි එක පද්ධතියක් ඇතිකර ගැනීම සඳහා පොදු එකගතාවක් ඇතිකර ගන්නා තෙක් ඒ ගැන සාකච්ඡා කරන්නට සිදුවී තිබෙන්නේ, නීති විරෝධී වුවත්, එම ආයතන පද්ධතියේ පැවැත්ම පිළිගනිමිනි. ඒ නිසා සාකච්ඡා මේසයේ කෙරෙන සාකච්ඡා ආණ්ඩු දෙකක් අතර, කෙරෙන සාකච්ඡාවක ස්වරූපයක් ගැනීම නොවැළැක්විය හැකිය. කොටි සංවිධානයට ලබාදෙන එවැනි පිළිගැනීමක් සිංහල ජනතාවගේ සතුටට හේතුවිය නොහැකි වුවත්, තිබෙන යථාර්ය එය වන බැවින් ඔවුන් විසින් ගොඩනගාගෙන තිබෙන ආයතන පද්ධතියේ පැවැත්ම පිළිගනිමින් සාකච්ඡා කරනවා හැර වෙන කළහැකි දෙයක් නැත.

මෙවැනි සාකච්ඡාමය ක්‍රියාවලියකදි දෙපාර්ශ්වයටම පිළිගත හැකි විසඳුමකට ඒම පහසු හෝ සරල නැත. එකිනෙකාගේ අයිතිවාසිකම් සඳහා මතභේද ඇතිවීම සේම, දෙපාර්ශ්වයම එකිනෙකා කෙරෙහි සැකයකින් බැලීම ද නොවැළැක්විය හැකිය. දැනට ඇති කරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම අනුව යුද්ධයෙන් විපතට පත්ව සිටින අයගේ ජීවිත යථා තත්ත්වයට ගැනීමේ ක්‍රියාවලියට ප්‍රමුඛ වැදගත්කමක් ලබාදි තිබේ. ඒ කාර්යය සඳහා ජාත්‍යන්තර ආධාර ලබාගැනීමේදි ඒ ක්‍රියාව තමන්ගේ ද සහභාගීත්වය ඇතිව සිදුවිය යුතු බව කොටි සංවිධානයේ මතය වී ඇති අතර, ඒ සඳහා ඇති කරගත් පොදු එකගතාවක් ද පවතී. එවැනි එකගතාවක් ඇති කරගෙන තිබියදි තමන්ගේ සහභාගීත්වයෙන් තොරව පූර්ව ආධාර රැස්වීමක් පැවැත්වීම ගැන කොටි සංවිධානය තුළ දැඩි විරෝධයක් පවතී. ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ඇති කරගෙන තිබුණ එකගතාවට අනුකූලව ක්‍රියා නොකිරීම ගැන ද ඔවුන් අතර බරපතළ විවේචනයක් පවතී. ඇති කරගෙන තිබෙන ඒ එකගතාව අනුව සම්පූර්ණ කළයුතු බොහෝ කරුණු තවමත් ආණ්ඩුව සම්පූර්ණ කර නැති බවට ඔවුන් කරනු ලබන විවේචනයේ සත්‍යයක් ඇත. ඒ නිසා දැන් ඔවුන් කියන්නේ එකගතාවක් ඇති කරගෙන තිබෙන මූලික කරුණු සම්පූර්ණ කරන තෙක් තමන් සාකච්ඡා මේසයෙන් ඉවත් වන බවය. ඒ තත්ත්වය ජපානයේ පැවැත්වීමට නියමිත ආධාර සමුළුව කෙරෙහි ද බලපා තිබේ. ශ්‍රී ලංකා ආණ්ඩුව තමන් මුහුණ දි තිබෙන ආර්ථික ප්‍රශ්න විසඳ ගැනීම සඳහා මේ අර්බුදය වැරදි ලෙස පාවිච්චි කරමින් සිටින්නේය කියන හැගීමක් ඔවුන් අතර ගොඩනැගෙමින් පවතී. ඔවුන්ට ජපන් ආධාර සමුළුව පෙනෙන්නේ ද ඒ ආකාරයටය. ඔවුන් කියන්නේ තමන් එම සමුළුවට එන්නේ එකගතාවකට පැමිණ තිබෙන මූලික කොන්දේසි සම්පූර්ණ කරගන්නේ නම් පමණක් බවය. මේ තත්ත්වය තුළ ආධාර සමුළුව පවත්වන්නට සිදුවී තිබෙන්නේ ඔවුන්ගේ සහභාගීත්වයෙන් තොරවය. එම තත්ත්වය ලැබෙන්නට යන ආධාර කෙරෙහි කවර ආකාරයකින් බලපෑමක් ඇති කරන්නේ ද යන්න පැහැදිලි නැත.

මේ තත්ත්වය තුළ සමස්ත වැඩපිළිවෙළ යළි සලකා බලා එය හරි දිසාවකට ගතයුතු තත්ත්වයක් ගොඩ නැගෙමින් පවතී.