සාම කතා ඇණ හිටින තත්ත්වයක් තුළ නැවත රට අවුල්සහගත තත්ත්වයකට තල්ලුවිය හැකි වාතාවරණයක් ගොඩ නැගෙමින් පවතී. අන්තර් පාලනයක් වෙනුවට ආණ්ඩුව යෝජනා කළ බල අධිකාරිය භාරගැනීමට කොටි සංවිධානය කැමති නැත. මේ තත්ත්වය තුළ ජපානයේ පැවැත්වෙන ආධාර සමුළුව පවත්වන්නට සිදුවී ඇත්තේ කොටි සංවිධානයේ සහභාගීත්වයෙන් තොරවය.
කොටි සංවිධානය කියන්නේ තම ප්රදේශවල ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට ප්රායෝගික අර්ථයෙන් කිසිවක් කර නැති නිසාත්, දකුණේ පවතින අවිනිශ්චිත දේශපාලන වාතාවරණය තුළ තවත් කලකට තමන්ගේ ප්රශ්නවලට ව්යවස්ථානුකූල විසඳුමක් ලබාගැනීමේ හැකියාවක් නැති නිසාත්, උතුරු නැගෙනහිර ප්රදේශවල කටයුතු කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යා හැකි ආකාරයට තමන්ට ද සහභාගි විය හැකි ආකාරයේ අන්තර් පාලන ව්යුහයක් ආණ්ඩුව ලබාදිය යුතු බවය.
පූර්ණ විසඳුමක් ඇතිකර ගන්නා තෙක් කොටි සංවිධානයට ද සහභාගි විය හැකි ආකාරයේ අන්තර් පාලනයක් ඇති කරන බවට එක්සත් ජාතික පෙරමුණ සිය මැතිවරණ ප්රකාශනයෙන් ද පොරොන්දු වී තිබුණු අතර, පොදු පෙරමුණ ද 2000 වසරේදි ඉදිරිපත් කළ ආණ්ඩු ක්රම ව්යවස්ථා යෝජනාවලියට අන්තර් පාලන වැඩපිළිවෙළක් ඇතුළත් කර තිබුණි.
අගමැති රනිල් වික්රමසිංහ ඉන්නේ “ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තා නසී” කියන තැනකය. එල්ටීටීයේ පීඩනයට සේ ම ජනාධිපතිනියගේ පීඩනයට ද හිරවුණු තත්ත්වයකය. අගමැතිට එල්ටීටීඊයට දිය හැක්කේ ජනාධිපතිනියගේ දැඩි නොසතුටට හේතු නොවන තරමේ දෙයක් පමණය.
ජනාධිපතිනිය බලා සිටින්නේ ද අගමැතිගේ පාලනයට එරෙහිව විධායක බලය පාවිච්චි කිරීමට බලවත් අවස්ථාවක් ලැබෙන තෙක්ය. එක් අතකින් ඈ, ජවිපෙ සමග සන්ධානයක් ඇති කරගැනීම සඳහා ක්රියාකරමින් සිටින අතර, අනෙක් අතට අවශ්ය වෙතොත් එල්ටීටීඊය සමග ද ගනුදෙනු කළ හැකි පරිසරයක් ඇතිකර ගැනීම සඳහා ක්රියාකරමින් සිටී. ආණ්ඩුව පරාජය කිරීම සඳහා යූඑන්පියෙන් කොටසක් කඩා ගත නොහැකි නම්, ඒ සඳහා ජවිපෙ සහාය අත්යාවශ්ය බව ඇය දනි. අනෙක් අතට කොයි ආකාරයකින් බලයට ආවත්, එල්ටීටීඊය සමග සාකච්ඡා කරන තැනකට නොගොස් ඒ ඇති කරගන්නා ආණ්ඩුවට පැවතිය නොහැකි බව ද ඇය දනී. ඒ අර්ථයෙන් ඇය ඉන්නේ ද අගමැති රනිල් වික්රමසිංහ තරමටම හිරවූ තැනකය.
අගමැති රනිල් වික්රමසිංහ යන්න හදන ගමන තර්කානුකූල නොවන බව හා එය පරස්පර විරෝධයන්ගෙන් පිරි ඇති බව මීට පෙර අවස්ථා ගණනාවකදිම මේ තීරුවෙන් විග්රහ කොට පෙන්වා දෙන ලදි. අගමැතිට සුක්කානම කරකැවීමේ බලය ඇතත්, එය තමන්ට අවශ්ය අවස්ථාවක එහෙ මෙහෙ කිරිමේ බලය ජනාධිපතිනිය සතුය. එක්කෝ මේ දෙන්නා කිරි පැණි තරමට යාලු විය යුතුය. නැත්නම් සුක්කානම කරකැවීමේ අයිතිය තමන්ට පමණක් ලැබෙන ලෙස එකගත්වයක් ඇති කරගත යුතුය. ඒත් නැතිනම් තමන් කැමති අවස්ථාවල සුක්කානම එහෙ මෙහෙ කිරීමට ජනාධිපතිට ඉඩක් නොලැබෙන නීතිමය විධිවිධාන ඇති කරගත යුතුය.
එහෙත් අගමැති රනිල් වික්රමසිංහට අවශ්ය වූයේ මෙවැනි පරස්පරයන්ට අත නොතබා ඒවාට ද පවතින්නට ඉඩහැර තමන්ගේ හරි වේලාව එන තෙක් ඒ සියලු දෙනා සතුටු කරමින් අල්ලාගෙන සිටින පිළිවෙතක් ඉදිරියට ගෙනයාමටය. 2005දි ජනාධිපතිනිය අවලංගු කාසියක් වන බව රනිල් දනී. එතෙක් කිසිම දේකට විසඳුමක් ඇති කරගැනීමෙන් ද තොරව, බරපතළ මතභේද ද ඇති කරගන්නා තැනකට නොගොස් අල්ලා ගෙන සිටින ප්රතිපත්තියක පිහිටා ක්රියාකිරීම රනිල්ගේ දේශපාලන උපාය මාර්ගය විය.
මේ උපාය මාර්ගය අනුව උතුරේ වාර්ගික ප්රශ්නය සම්බන්ධයෙන් සේම දකුණේ මූලික ප්රශ්න සම්බන්ධයෙන් ද අනුගමනය කළ යුත්තේ අතපතගාමින් අල්ලාගෙන සිටින පිළිවෙතකි.
2005දි තීරණාත්මක බලය ලැබෙන තෙක් ප්රදර්ශනාත්මක ආකාරයට අතපත ගාමින් සිටින පිළිවෙතක් වලංගු වනු ඇති බව ඔහු විශ්වාස කරන බවක් පෙනී යයි. ජපන් ආධාර සමුළුව ද ඒ අතපත ගාමින් අල්ලා සිටින වැඩපිළිවෙළ වෙනුවෙන් ඒ අතරතුර කාලයේ උතුරේත්, දකුණේත් ජනතාව සතුටු කිරීම සඳහා නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කළ වර්ණවත් කේක් ගෙඩියක් ලෙස සැලකිය හැකිය. ආධාර සමුළුවෙන් උතුරටත්, දකුණටත් ලැබෙන ආධාර කන්දරාව නිසා උතුරේ කොටි පමණක් නොව, දකුණේ සිංහයින් ද 2005දි තමන් බලයට එන තෙක් සංතෝෂයෙන් ජීවත් වන තත්ත්වයකට යොමුවී ඒ නිසා විරුද්ධවාදින් ද බෙලහීන කිරීමට හේතුවනු ඇතැයි අගමැතිවරයා කල්පනා කළා විය යුතුය.
අගමැතිවරයාගේ ඒ සිහිනය සුන්දර විය හැකි වුවත්, යථාර්ථවාදි නැත. විශේෂයෙන්ම ශ්රී ලංකා සමාජ දේශපාලන බලවේගයන්ගේ පරස්පර විරෝධී පැවැත්ම හා චලනයන්ට එවැනි වැඩපිළිවෙළක් අනුරූපවන්නේ නැත.
කිසිම මූලික වෙනසක් ඇති කිරිමෙන් තොරව අවුරුදු 03ක් අතපත ගාමින් සිටින පිළිවෙතක් රටේ කොයි කාගේවත් සතුටට හේතුවන්නේ නැත. විශේෂයෙන්ම එවැනි පිළිවෙතක් කොටි සංවිධානයේ සේ ම දෙමළ ජනතාවගේ ද සතුටට හේතුවන්නේ නැත.
දැන් කලක් තිස්සේ ශ්රී ලංකාවේ දේශපාලනය අධි නිශ්චය කරන සාධකය වී ඇත්තේ ජනවාර්ගික අර්බුදයයි. ඒ විෂයේ ඇතිවන ඕනෑම කම්පනයක් මුළු රටම අවුල් ජාලාවක් බවට පත් කළ හැකිය. “මම රජ වූ පසු ඔබේ ප්රශ්න විසඳන්නෙමි. එතෙක් අපි කතා කරමින් සිටිමුයි” කියන පිළිවෙතක් කොටි සංවිධානයේ සතුටට හේතුවන්නේ නැත. අනෙක් අතට කිසිදු මූලික ප්රශ්නයක් නොවිසඳ අතපත ගාන පිළිවෙතක් අගමැතිගේ පැවැත්ම දුර්වල කොට ජනාධිපතිගේ පැවැත්ම ශක්තිමත් කරයි.
ප්රධාන පක්ෂ දෙක අතර එකගත්වයක් ඇතිකර ගැනීම, වාර්ගික ප්රශ්නය වැනි සංකීර්ණ ප්රශ්නයක් විසඳීම සඳහා අත්යවශ්ය කොන්දේසියකි. මම රජ වූ පසුව ඒ අරමුණ කරා යමියි කියන පිළිවෙතක් ඊට විසඳුමක් වන්නේ නැත. එක්කෝ අගමැතිවරයා ජනාධිපතිනිය සමග අවංක එකගත්වයකට යා යුතුව තිබුණි. නැතිනම් පොදු පෙරමුණ තුළ සිටි සාමයට කැමති බලවේගයන් සමග එකගත්වයක් ඇති කරගනිමින් ජනාධිපතිනිය තනි කළ යුතුව තිබුණේය.
කොටි සංවිධානය සමග කතාවලදි ද චාටුවෙන් කතා කරන පිළිවෙතක් වෙනුවට අවංකව ප්රශ්න කතා කරන පිළිවෙතකට යායුතුව තිබුණි. ජාත්යන්තර සහාය ඉතා වැදගත් වුවත්, ඒ සහාය ලබාගත යුතුව තිබුණේ ප්රතිපක්ෂය තුළ සැකයක් ඇති කිරීමට හේතු නොවන ආකාරයටය.
ඇමරිකානු සහාය ඉතා වැදගත් වුවත්, මීට පෙර ද අවස්ථා ගණනාවකදි මේ තීරයෙන් පෙන්වා දෙන ලද ආකාරයට ඒ සාධකය ආණ්ඩුව පාවිච්චි කරමින් තිබුණේ “නුඹලා අප සමග එකග නොවේ නම්, අපි ඇමරිකාව සමග එක්වී නුඹලා විනාශ කරන්නෙමුයි” යන ඇගවීමක් ඔවුන් තුළ ඇති කරන ආකාරයටය. බලවත් රටක් තර්ජනය කළ පමණන් කොටි සංවිධානය වැනි සංවිධානයක් භීතියෙන් වෙව්ලන තත්ත්වයකට පත්වනු ඇතැයි සිතීම මුළාවකි. ඇමරිකාව ඉරානයේ සදාම් හුසේන්ට පහර දුන් ආකාරයට ප්රභාකරන්ට පහර දෙන්නට මෙහි එන්නේ නැත. ඔවුන් වැඩිම වුවහොත් කරනු ඇත්තේ යුද්ධයේදි ශ්රී ලංකා හමුදාවන්ට ආධාර දෙන පිළිවෙතක පිහිටා ක්රියාකිරීම පමණය.
ජනවාර්ගික අර්බුදය සම්බන්ධයෙන් ආණ්ඩුව කෙරෙන් ප්රකාශ වූ ලොකුම දුර්වලතාව ජනතාව දැනුවත් කරන ක්රියාකාරි වැඩපිළිවෙළක් ඉදිරියට ගැනීමට අසමත්වීමය. එය එසේ වූයේ ද අතපත ගාමින් අල්ලා සිටින වැඩපිළිවෙළක් සඳහා එවැන්නක් අවශ්ය නොවේ යැයි කල්පනා කළ නිසා විය හැකිය.
ඇත්තටම සිදුවිය යුතුව තිබුණේ කොටි සංවිධානය සමග අවංකව ප්රශ්න කතාබහ කරන තැනකට යමින් හා දකුණේ මතභේදයට හේතු වූ ප්රධාන ප්රශ්න අවංකව විසඳන්නට උත්සාහ දරන තැනකට යමින් ඒ සමග ජනතාව දෑනුවත් කරන වැඩපිළිවෙළකට යොමුවීමය. ඒ ක්රියාවලියේදි විධායක ජනාධිපති ඉදිරියට යන්නට ඉඩ නොදි අවහිර කරන ප්රතිපත්තියකට ගියේ නම්, ජනතාවට ඒ බව කියා ආණ්ඩුව විසුරුවා හැර නැවත මැතිවරණයකට මුහුණදිමය.
දැන් ඇතිවී තිබෙන අවුල් සහගත තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කිරීමට අසමත් වෙතොත්, මුළු රටම අවුල් ජාලාවක් බවට පත්වීමේ අවධානමක් පවතී. කොටි සංවිධානය ජපන් ආධාර සමුළුව වර්ජනය කළත්, තවදුරටත් ජපන් ආධාර සමුළුව පැවැත්වෙනු ඇතත්, එයින් ලෝකයට ලැබෙන පණවුඩය යහපත් නැත. සාකච්ඡාවලට සහභාගි නොවී වර්ජනය කරනවා යන්නෙන් වහාම කොටි සංවිධානය යුද්ධ කරන තත්ත්වයකට යොමුවන බව අදහස් නොවෙතත්, සාකච්ඡා නොකරන තත්ත්වය දිගටම පැවතීම ඉතා අයහපත්ය. ආණ්ඩුව රටේ ප්රශ්න විසඳ ගැනීම සඳහා තමන්ගේ ප්රශ්නය විකුණමින් සිටින්නේය කියන මතයක් කොටි සංවිධානය තුළ ගොඩ නැගී තිබේ. ඒ තත්ත්වයට යම් පමණකට ආණ්ඩුවේ ක්රියාකාරකම් ද බලපා තිබේ. අනෙක් අතට ප්රශ්න අවංක ලෙස සාකච්ඡා කොට විසඳ ගන්නා පිළිවෙතක් වෙනුවට ලෝක බලවතුන් සමග එකතු වී ආණ්ඩුවට අවශ්ය විසඳුම්වලට කැමති කරවා ගැනීමේ ප්රයත්නයක ආණ්ඩුව යෙදි සිටින්නේය කියන මතයක් ද කොටි සංවිධානය තුළ පවතී. කොටි සංවිධානය ආණ්ඩුව සමග ගනුදෙනු කිරීම අත්හැර තිබෙනවාට අතිරේකව ඔවුන් නෝර්වේ රාජ්ය සමග ද හිත් අමනාපකම් ඇතිකර ගන්නා තත්ත්වයකට පත්වී තිබේ. ඊට හේතුවී ඇත්තේ තමන්ට බලහත්කාර විසඳුමක් ලබාදිමට මහ බලවතුන් ගෙනයන ප්රයත්නයට නෝර්වේ රාජ්යයේ ද සම්බන්ධයක් ඇතැයි කියන හැගීමය.
දැන් ඇතිවී තිබෙන තත්ත්වය යටතේ සාකච්ඡා නැවත ආරම්භ කිරීම පහසු නැත. දියවී යමින් තිබෙන විශ්වාසය යළි ඇති කිරීම සඳහා නිර්භීත නව ප්රවේශයක් අවශ්ය වනු ඇති අතර, ඒ සඳහා දැනට ගමන් ගනිමින් තිබෙන ගමන් මගේ ද බලවත් වෙනසක් ඇති කරගැනීම අවශ්ය වේ.