සෙන්පතියන් ගොළුවීම

March 16, 2003
Publication:
Ivan describes how a petitioner who appeared without a lawyer was jailed for a year for contempt by a bench including two respondents to his petition, just as the Attorney General was drafting a law defining contempt at the Editors' Guild's request, and asks why the Guild and most media stayed silent. Short items follow on arbitrary VIP death compensation, a study of LTTE tax revenue, and the JVP's dilemma over the PA's 2000 regional-council package.

පසුගිය සතියේදි ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබූ පුද්ගලයෙකුට, නඩුව විමසූ විනිශ්චය මණ්ඩලය විසින් එක් අවුරුදු සිරදඬුවමක් නියම කරන ලදි. ඔහුට දඬුවම් දි තිබුණේ අධිකරණයට අපහාසයක් වීය යන පදනම මතය. අධිකරණයට අපහාස කළ බව සලකා අධිකරණය මේ පුද්ගලයාට එක් අවුරුදු සිරදඬුවමක් පමුණුවා ඇති බව පුවත්පත්වල පළවූ විට පෙත්සම්කරු නඩුකාරවරුන්ට බැණ වදින්නට ඇතැයි කියන හැගීමක් මහජනයා තුළ ඇතිවිය හැකිය.

එහෙත් මේ පුද්ගලයා අතින් එවැනි වරදක් සිදුවී නැත. අඩුම වශයෙන් හිතුවක්කාරි හැසිරිමක්වත් ඔහු කෙරෙන් පළවී නැත.

ඔහු විසින් කරන ලද නඩු පැවරිල්ලේ හරි වරද කුමක් වුවත්, ඔහුගේ නඩුව විමසූ විනිශ්චය මණ්ඩලයට එම නඩුවේ වගඋත්තරකරුවන් කරනු ලැබූ විනිශ්චයකාරවරුන් දෙදෙනෙකු ද ඇතුළත් විය. ඔහු එම නඩුවේ වගඋත්තරකරුවන් කර තිබුණේ අධිකරණ සේවා කොමිසම, අගවිනිසුරු ඇතුළු තවත් කිහිපදෙනෙකි. තමා විසින් පවරන ලද නඩුව විභාග කිරීමට නම් කර ඇති විනිශ්චය මණ්ඩලයට නඩුවේ වගඋත්තරකරුවන් දෙදෙනෙකු ද ඇතුළත් බව දැනගන්නට ලැබුණු විට, ඔහු මෝසමක් ඉදිරිපත් කරමින් තමාගේ නඩුව විමසීමට පත්කර තිබෙන විනිශ්චය මණ්ඩලයට නඩුවේ වගඋත්තරකරුවන් දෙදෙනෙකු ද ඇතුළත් බව ප්‍රකාශ කරමින් තම නඩුවේ වගඋත්තරකරුවන් ඇතුළත් නොවන විනිශ්චය මණ්ඩලයක් තමන්ට ලබාදෙන ලෙස ඉල්ලා තිබුණ.

එහෙත් පුදුමයකට මෙන් නඩුව විමර්ශනයට ගැනුණේ අගවිනිසුරු ඇතුළු තම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණු විනිසුරුවරුන් දෙදෙනෙකු ද සහිත විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේය.

පෙත්සම්කරු මහත් සංයමයකින් හා ගරු කටයුතු ආකාරයකට කරුණු පැහැදිලි කරන්නට උත්සාහ කළා පමණය. වසරක සිරදඬුවමක් නියමවීම ඒ අහිංසක උත්සාහය වෙනුවෙන් ඔහුට ගෙවන්නට සිදුවූ වන්දිය විය.

මේ පුද්ගලයාගේ නඩුවට නීතිඥයකු පෙනී නොසිටියේය. නඩුව කතා කළේ ඔහු විසින්මය. නීතිඥයකුගේ සහාය නැතිව තමාගේ නඩුවක් වෙනුවෙන් තමාම පෙනී සිටින අවස්ථාවකදි එවැනි පුද්ගලයකු අතින් යම් වරදක් වන අවස්ථාවකදි, පවා සානුකම්පිතව ක්‍රියාකිරිමේ යුතුකමක් හා වගකීමක් අධිකරණයට ඇත්තේය. තමාගේ නඩුවක් තමා විසින්ම නොඇසිය යුතුය යන්න ස්වාභාවික යුක්තියේ ප්‍රධාන මූලධර්මයකි. මේ පුද්ගලයා විසින් ගොනු කරන ලද නඩුවේ තිබෙන හරි වරද කුමක් වුවත්, එම නඩුවේ වගඋත්තරකරුවන් කර තිබුණු පිරිසක් ඒ නඩුව ඇසීම සේ ම එවැනි පිරිසක් විසින් තමන්ට එරෙහිව නඩු පවරනු ලැබූ පුද්ගලයාට දඬුවම් පැමිණවීම කවර මට්ටමකින්වත් සාධාරණ විය නොහැකිය. ඒ නඩුව වෙනුවෙන් ඔහුට දඬුවම් කළ යුතුව තිබුණේ නම් එසේ කළ යුතුව තිබුණේ එම නඩුවේ වගඋත්තරකරුවන් නොවන විනිශ්චය මණ්ඩලයක් මගිනි.

අනෙක් අතට මොනම වරදකටවත් සාධාරණ නඩු විභාගයකින් තොරව දඬුවම් කරන ක්‍රමයක් යුක්ති සහගත විය නොහැකිය. සාධාරණ නඩු විභාගයක් සඳහා චෝදනා පත්‍රයක් තිබිය යුතු අතර, නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට සාධාරණ අවස්ථාවක් සේ ම, නීතිඥයෙකුගේ සහාය ලබාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා සාධාරණ කාලයක් ද ලබාදිය යුතුය. ඒ සියලු දෙයින් පසුවත් වරදකට වරදකරු වී දඬුවම් නියම කරන විට පෙර වැරදි කර තිබේද, අභියාචනයකට ඉඩක් තිබේද යන කාරණා ද සැලකිල්ලට ගත යුතුය. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය මේ පුද්ගලයාට දඬුවම් කර ඇත්තේ ඒ සියල්ල නොසලකාය. වඩාත්ම භයානක දේ මේ ඛේදජනක සිද්ධිය ඉදිරියේ ජනමාධ්‍ය රගපෑ විනාශකාරි භූමිකාවයි.

අධිකරණ අපහාසය සඳහා අර්ථ නිරූපණයක් නැති තත්ත්වයක් තුළ ඉන් අදහස් පළකිරිමේ නිදහසට එල්ල වී තිබෙන තර්ජනය සලකා අධිකරණ අපහාසයට අර්ථ නිරූපණයක් ඉල්ලා සිටි අය වූයේ ජනමාධ්‍යවේදින්ය.

අධිකරණයට කෙරෙන අපහාසයට දඬුවම් පැමිණවීමේ හැකියාවක් ඇතත්, අධිකරණයට කරන අපහාසයක් ලෙස නිශ්චිතව අදහස් කරන්නේ කුමක් ද?, අපහාසයන්ගේ ස්වභාවය අනුව පැමිණවිය හැකි දඬුවම් මොනවාද යන්න පිළිබඳව නිසි අර්ථ නිරූපණයක් අපේ රටේ නොපවතී. මේ පැටලිලි සහගත තත්ත්වය අදහස් පළකිරිමේ නිදහස සීමා කිරීමට හේතුවී තිබුණි.

මාධ්‍ය නිදහස සීමා කරන නීති ප්‍රතිසංස්කරණය කිරීම පිණිස පොදු පෙරමුණු ආණ්ඩුව පත් කළ ආර්.කේ.ඩබ්. ගුණසේකර කමිටුව විසින් ද මේ විෂය පිළිබඳව නිසි අර්ථ නිරූපණයක අවශ්‍යතාව නිර්දේශ කර තිබුණු අතර, කර්තෘ සංසදය හා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉල්ලා සිටි මාධ්‍ය ප්‍රතිසංස්කරණවලට ද එම ඉල්ලීම ඇතුළත්ව තිබුණි.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කරන ලද පුද්ගලයාට, අධිකරණයට අපහාසයක් කර ඇත්තේය කියන පදනම මත එක් අවුරුදු සිරදඬුවමක් පමුණුවන ලද්දේ, කර්තෘ සංසදය හා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මැදිහත්වීමෙන් අධිකරණ අපහාසයට නිසි අර්ථ නිරූපණයක් සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයෙන් නීතිපති එම විෂය සඳහා අර්ථ නිරූපන පනතක් කෙටුම්පත් කරමින් තිබූ අවස්ථාවකය. පෙබරවාරි අවසානයට පෙර මේ කෙටුම්පත සකස් කොට අවසන් කිරීමට ද නීතිපති එකග වී තිබුණේය.

තමන් කලක් තිස්සේ ඉල්ලා සිටින ලද මූලික ඉල්ලීමක් ප්‍රායෝගික වෙමින් තිබෙන අවස්ථාවක සිදුවූ මේ සිද්ධිය කර්තෘ සංසදයේ සාමාජිකයන් අතර කම්පනයක් ඇති කිරීමට හේතුවූ බවක් පෙනෙන්නට නැත.

මේ ප්‍රශ්නය ගැන කතා කරන්නට බොහෝ දෙනෙකු බියක් දක්වන බව පෙනුණු විට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒ ගැන සිය මතය පළ කරන නිවේදනයක් නිකුත් කළේය. එයට ප්‍රසිද්ධියක් දුන්නේ ඔභඛ රූපවාහිනී සේවය පමණය. මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කළ පුද්ගලයාට සිරදඬුවමක් පැමිණවීම ගැන “දිනමිණ” ද ප්‍රබල කතුවැකියක් ලියා තිබුණ. ඒ හැරුණු විට වෙනත් කිසිම ජනමාධ්‍යයකට මේ සිද්ධිය කතා කළ යුතු තරම් වැදගත් දෙයක් ලෙස පෙනුණේ නැත.

අධිකරණයට අපහාසයට අර්ථ නිරූපණයක් ඉල්ලා තිබුණේ කර්තෘ සංසදයයි. තමන්ගේ ඒ ඉල්ලීම හා මේ ඇතිවූ සිද්ධිය අතර සම්බන්ධයක් ඇති බව කර්තෘ සංසදයට නොපෙනුණේද? ඇත්තටම නිදා සිටින කෙනෙකු අවදි කළ හැකි වුවත්, හොරට නිදා සිටින කෙනෙකු අවදි කිරීම අමාරුය. කර්තෘ සංසදයේ කතුවරුන්ට මේ පුද්ගලයාගේ ඉරණම නොවැදගත්වන්නට ඇත්තේ අධිකරණ අපහාසයට අර්ථ නිරූපණයක් ඉල්ලා සිටියත් එය හදවතින් කරන ලද ඉල්ලීමක් නොවුණු නිසා විය හැකිය. ඒ ඉල්ලීම හා තමන්ගේ වෘත්තීය ජීවිතය අතර සම්බන්ධයක් නොතිබුණු නිසා ද විය හැකිය. නැතිනම් ස්වාධීන අධිකරණයකට වඩා පස්සා දොරින් ගනුදෙනු කළ හැකි අධිකරණයකට ඔවුන් කැමති නිසා විය හැකිය.

VIP මිල

මුස්ලිම් කොංග්‍රසයේ නායක අෂ්රොෆ් මහතාගේ මරණය වෙනුවෙන් ඒ පවුලේ අයට ගෙවා තිබෙන වන්දි මුදල රුපියල් ලක්ෂ 70කි. 2000 සැප්තැම්බර් 17 වැනි දින සිදුවූ එම හෙලිකොප්ටර් අනතුරෙන් අෂ්රොෆ් මහතා සමග තවත් 17 දෙනෙකු මරණයට පත්විය. එහෙත් ඔවුන් වැඩි පිරිසකට ලැබී ඇත්තේ අවමගුල් ආධාර වශයෙන් ලැබෙන රුපියල් 10,000 පමණය.

ඊට පෙර ඇමති සී.වී. ගුණරත්න මහතාගේ මරණය වෙනුවෙන් ද රුපියල් ලක්ෂ 45ක වන්දි මුදලක් ගෙවා තිබුණි. ගුණරත්න මහතා සමග ඒ අවස්ථාවේදි තවත් 23 දෙනෙකු මරණයට පත්විය. එහෙත් ඔවුන්ට ලැබුණේ අවමගුල් ආධාර පමණය.

ජනාධිපතිනිය ද බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලැබීය. ඒ වෙනුවෙන් වන්දියක් ලබාගත්තා ද යන්න පැහැදිලි නැත. එහෙත් විදේශ අමාත්‍යාංශයට වෙන් කර තිබුණු මුදල්වලින් මිලියන 30ක් ලබාගෙන ඇති බවට කසුකුසුවක් ඇතත්, එහි ඇත්ත නැත්ත ගැන නිල පැහැදිලි කිරීමක් කර නැත.

මීට පෙර පැවති ක්‍රමය අනුව VIP ගණයට වැටෙන පුද්ගලයෙකු ඝාතනයට ලක්වූ විට ගෙවන ලද වන්දි මුදල රුපියල් ලක්ෂ 07කි. ඝාතනයට ලක්වූ ජනාධිපති ප්‍රේමදාස මහතා වෙනුවෙන් සේ ම ඝාතනයට ලක්වූ ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්න මහතා වෙනුවෙන් ද ගෙවන ලද්දේ ලක්ෂ හතේ ප්‍රමාණයේ වන්දි මුදලකි.

ඪෂඡ ජීවිතවලට හිතූ හිතූ ආකාරයට වන්දි ගෙවන ක්‍රමයක් රටේ ඇත. VIP කෙනෙකු ලෙස ජීවත්වීම පමණක් නොව, මරණය ද රසවත්ය. එහෙත් සමාජ යහපත පිණිස අකුරටම රාජකාරී කරන්නට ගොස් ඝාතනයට ලක්වන හෝ ආබාධිත තත්ත්වයට පත්වන අයට වන්දි ගෙවන ක්‍රමයක් රටේ නැත.

කොටි බදු ආදායම

වාර්ගික අධ්‍යයනයන් පිළිබඳ අන්තර්ජාතික කේන්ද්‍රයේ මුතුක්‍රිෂ්ණ සර්වනාදන් නමැති ගවේෂකයා කොටි සංවිධානය උපයන බදු ආදායම් පිළිබඳව කර තිබෙන අධ්‍යයනයකට අනුව කොටි සංවිධානය පවත්වාගෙන යන විවිධ ව්‍යාපාරික කටයුතු හා බදු මගින් උපයන වාර්ෂික ආදායම රුපියල් බිලියන 03කි. ඉන් බිලියන 2.34ක්ම බදුවලින් උපයන ආදායම වන අතර, A-9 පාරෙන් පමණක් දිනකට උපයන ආදායම ලක්ෂ 50කි.

උතුරේ ඇතිවී තිබෙන සාමකාමී පරිසරය වේගවත් ආර්ථික වර්ධනයකට පසුබිම සකස් කොට ඇතත්, කොටි සංවිධානය එම ප්‍රදේශවල පවත්වාගෙන යන දැඩි හා අධික බදු ප්‍රතිපත්තිය නිසා ඉන් යහපත් ප්‍රතිඵල ලබාගැනීමට ප්‍රදේශයේ මහජනතාවට තිබෙන හැකියාව අඩාල වී තිබේය යන්න මෙම ගවේෂකයාගේ නිරික්ෂණය වී තිබේ.

ජවිපෙ – පොදු පෙරමුණු සන්ධානය

ජොදු පෙරමුණ හා ජවිපෙ අතර ස්ථිර දේශපාලන සන්ධානයක් ඇති කරගැනීම සඳහා කෙරෙන සාකච්ඡා බොහෝ දුරකට අවසන් වී ඇතත්, තවමත් එක් විෂයයක් සම්බන්ධයෙන් පමණක් තීරණ ගැනීමට සමත් වී නැත. ස්ථිර දේශපාලන සංධානයක් සඳහා ජවි පෙරමුණ පොදු පෙරමුණු ආණ්ඩුව විසින් 2000 වසරේදි ඉදිරිපත් කළ කලාප සභා ක්‍රමයක් ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකග විය යුතුය යන්න පොදු පෙරමුණේ මතය වී තිබේ. එහෙත් ජවිපෙ එදා පැකේජය රට බෙදන ක්‍රමයක් බව කියමින් රට පුරා විරෝධතා රැස්වීම් පැවැත්වීය. දෑන් ඔවුන් පොදු පෙරමුණ සමග එකගත්වයකට එන්නට නම් එදා තමන් විරුද්ධ වු එම කලාප ක්‍රමයට එකග විය යුතුය. මෙම උභතෝකෝටික ප්‍රශ්නයට ජවිපෙ මුහුණ දෙන්න යන්නේ කෙසේද?