දැන් වියහැකි දේ කුමක්ද?

January 19, 2003
Publication:
Ivan tests the JVP claim that a JVP–People's Alliance coalition could have formed a government on 2001 results, pairing the UNP with its Tamil and Muslim allies against the PA, JVP and EPDP, and noting the collapse in both parties' votes at the 2002 local elections. Policy differences and public fear of renewed war make a lasting alliance unlikely, so an early election is improbable; he urges civil society to widen the government–LTTE talks into a broader state reform.

ජේවීපීය කියන්නේ තමන් පොදු පෙරමුණ හා එකට එකතු වී තරග කළේ නම්, ගිය මැතිවරණ ප්‍රතිඵල අනුව වුවත්, ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව එම දෙපක්ෂයට ලැබෙන බවය. එහෙත් මෙය ජනප්‍රිය මිථ්‍යාවක් මිස, සත්‍යයක් වන්නේ නැත.

2001 පාර්ලිමේන්තු මැතිවරණය පැවතියේ පොදු පෙරමුණ අත රාජ්‍ය බලය තිබියදි මැතිවරණ කටයුතු සඳහා උපරිම මට්ටමෙන් රාජ්‍ය බලය පාවිච්චි කළ තත්ත්වයක් යටතේය. ඒ නිසා ඒ ලැබුණු ප්‍රතිඵලය සාධාරණ ප්‍රතිඵලයක් ලෙස සැලකිය නොහැකිය. වඩා නිදහස් තත්ත්වයක් පැවතියේ නම්, පොදු පෙරමුණ ලබාගන්නා ඡන්ද සංඛ්‍යාව ලබාගත් ඡන්ද සංඛ්‍යාවට වඩා අඩුවී ආණ්ඩු බලය හිමිකරගත් එජාපයට ලැබෙන ඡන්ද සංඛ්‍යාවට වඩා ඉහළ යන්නට ඉඩ තිබුණි.

ඒ ලැබුණු ප්‍රතිඵලයේදි වුවත් එකට එකතු කිරීම ගණන් හැදිය යුත්තේ පොදු පෙරමුණට ජනතා විමුක්ති පෙරමුණේ හා ඊපීඩීපී ඡන්ද එකතු කරන අතර, එජාපයට මුස්ලිම් කොංග්‍රසයේ හා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ ද ඡන්ද එකතු කරන පදනමක් යටතේය. දෙමළ සන්ධානය ආණ්ඩු පක්ෂයට එකතු වී නැතත්, එහි සහාය ලැබී ඇත්තේ ආණ්ඩුවටය. ඉදිරි මැතිවරණයේදි පොදු පෙරමුණ සමග ජවිපෙ සන්ධානයක් ඇති කරගන්නේ නම් ඒ අභියෝගයට මුහුණදිම පිණිස මුස්ලිම් කොංග්‍රසය, දෙමළ සන්ධානය වැනි සුළු ජාතික පක්ෂ එජාපය සමග සන්ධානයක් ඇති කරගන්නා තත්ත්වයක් ඇතිවීම වැළැක්විය නොහැකිය.

2001 මැතිවරණ ප්‍රතිඵලය ඒ ප්‍රධාන පෙළ ගැසීම් අනුව දෙගොඩ කළවිට ලැබෙන චිත්‍රය මෙසේය.

එජාප 4086026

දෙමළ සන්ධානය 348164

මුස්ලිම් කොංග්‍රසය 105346

එකතුව 4539536

පොදු පෙරමුණ 3330815

ජවිපෙ 815353

ඊපීඩීපී 72783

එකතුව 4218951

ඉන්පසු 2002 වසරේදි පැවති පළාත් පාලන මැතිවරණයේදි පාර්ලිමේන්තු මැතිවරණයේදි පොදු පෙරමුණ ලබාගත් ඡන්ද ලක්ෂ 33 ඡන්ද ලක්ෂ 20 දක්වා ද ජවිපෙ ලබාගත් ඡන්ද ලක්ෂ 8 ඡන්ද ලක්ෂ 4ක් දක්වා ද පහත වැටුණ. ඡන්ද පදනම ස්ථිතික එකක් නොවන බව ඉන් පෙනී යයි.

පොදු පෙරමුණ ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධානයක් ඇති කරගතහොත් සැලකිල්ලට ගැනීමට සිදුවන මූලධර්ම පිළිබඳ ප්‍රශ්න ගණනාවක් ද පවතී.

ජනතා විමුක්ති පෙරමුණ ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සහයෝගයෙන් ක්‍රියාකරනවාට විරුද්ධය. පෞද්ගලිකකරණයට ද විරුද්ධය. සාම සාකච්ඡා වලට සේ ම නොර්වේ රගපාන භූමිකාවට ද විරුද්ධය. මේ සියල්ල අතහැරිමට පොදු පෙරමුණට එකගවීම ලේසි නැත. අනෙක් අතට ඒ සියල්ල බාරගන්නා ප්‍රතිපත්තියකට මාරුවීම ජේවීපීයට ද ලේසි නැත.

ඒ සියල්ල නොසලකා දෙපක්ෂය අතර සන්ධානයක් ඇති කරගත්තත්, එසේ ගොඩ නැගෙන සන්ධානයක් බලයට පත්වුවහොත් නැවත යුද්ධයක් ඇතිවන තත්ත්වයක් ඇතිවනු ඇතැයි කියන බියක් සුළු ජාතීන් අතර පමණක් නොව, සිංහල ජනතාව අතර පවා ඇතිවනු නොවැළැක්විය හැකිය. දෑනට යුද්ධයක් නැති නිසා සාමය පිළිබඳ බලවත් හැගීමක් මහජනතාව අතර නැතත්, යළි යුද්ධයක් ඇතිවිය හැකි තත්ත්වයක් පෙනෙතොත් තමන් භුක්ති විඳින සාමය පිළිබඳව බලවත් හැගීමක් මහජනතාව තුළ ඇතිවන තත්ත්වයක් ඇතිවීම නොවැළැක්විය හැකිය. අනෙක් අතට ජේවීපී පොදු පෙරමුණු සන්ධානයක් ව්‍යාපාරික ප්‍රජාව අතර පමණක් නොව, මැද පාන්තික ජනතාව අතර ද අස්ථාවරභාවය පිළිබඳ බියක් ජනිත කරනු නොවැළැක්විය හැකිය.

මේ පසුබිම තුළ දැන් පවතින ආකාරයට පොදු පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ අන්‍යොන්‍ය සහයෝගයකින් ක්‍රියාකරන තත්ත්වයෙන් ඔබ්බට ගිය සන්ධානයක් ඇතිවීමට ඉඩක් නැති තරම්ය. එවැනි සන්ධානයක් ඇතිවී පාර්ලිමේන්තුව විසුරුවා හැර ඡන්දයකට ගියත් එම සන්ධානයට යහපත් ප්‍රතිඵලයක් ලබාගැනීමට තිබෙන හැකියාව ද සීමාසහිතය.

විය හැකි දේ පොදු පෙරමුණ ජවිපෙ සමග ස්ථිර සන්ධානයක් ඇතිකර ගන්නට ක්‍රියාකරමින් සිටින බව ජවිපෙට පෙනෙන්නට සලස්වා ස්ථිර සන්ධානයකට යාම මගහරිමින් තමන්ට වාසිදායක දේශපාලන පසුබිමක් ගොඩ නැගෙන තෙක් කල්මරමින් සිටින ප්‍රතිපත්තියකට තල්ලුවීමය.

මේ නිසා ඉක්මන් පාර්ලිමේන්තු මැතිවරණයක් ඇතිවීමට ඉඩක් නැත. ඒ නිසා සාමකාමී විසඳුමක් ඇතිකර ගැනීම සඳහා කෙරෙන සාකච්ඡාමය ක්‍රියාවලිය තවදුරටත් ඉදිරියට යනු ඇති අතර, එම තත්ත්වය ආයෝජන ගලා එන පරිසරය ශක්තිමත් වී රටේ ආර්ථික වර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට හේතු වේ.

එහෙත් මෙහිදි ආණ්ඩුව හා කොටි සංවිධානය අතර කෙරෙමින් තිබෙන ගනුදෙනුව ඒ දෙපාර්ශ්වයට අවශ්‍ය අන්දමට පටු රාමුවක තබාගැනීමට ඉඩ හැරිම රටට යහපත් නැත. ඒ රාමුව මහජන නිදහස උද්දිපනය කිරීමට හේතුවන ආකාරයට රාජ්‍ය ගැඹුරු ප්‍රතිසංස්කරණයකට ලක් කෙරෙන පළල් රාමුවකට ගැනීමේ වගකීමක් සිවිල් සමාජයට ඇත්තේය.

ආණ්ඩුව හා කොටි සංවිධානය අතර කෙරෙමින් පවතින සාකච්ඡා දැඩි විවේචනයන්ට ලක්වන තත්ත්වයක් තිබීම ද යහපත් ලක්ෂණයකි. සාකච්ඡාමය ක්‍රියාවලිය බිඳ දැමීමට හේතු නොවන සීමාවන් තුළ ඊට එල්ල කෙරෙන විවේචනයන් සාකච්ඡාමය ක්‍රියාවලිය පුළුල් පරාසයක තබාගැනීමට හේතුවේ. දෙපාර්ශ්වයටම ඒ නිසා තමන් දෙස පරික්ෂාවෙන් බලා සිටින පිරිසක් සිටින බව තේරුම් ගනිමින් මේ ගනුදෙනුව කරන්නට ඒ නිසා සිදුවේ.

අවසාන විග්‍රහයේ රාජ්‍ය ගැඹුරු ප්‍රතිසංස්කරණයකට ලක්කිරීමක් අවශ්‍ය වී ඇත්තේ හුදෙක් දෙමළ ජනතාවට පමණක් නොව එය විවිධ හේතු මත සියලු ජනතාවගේ අවශ්‍යතාවන් බව සමාජයට ඒත්තු ගන්වමින් මෙම රාජ්‍ය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ එවැනි පුළුල් රාමුවක් වෙත ගැනීමට හැකිවේ නම් හා ඒ සඳහා වන බලවත් සමාජ සංවාදයක් මතුවන තත්ත්වයක් ඇති කරගැනීමට හැකිවේ නම් එය අවසානයේ සමස්ත සමාජය ලබන ජයග්‍රහණයක් වනු නොවැළැක්විය හැකිය.