මනාලයා නැතිව පැවති මගුල

January 5, 2003
Publication:
An international workshop on strengthening judicial credibility, attended by chief justices of nine countries and opened by Prime Minister Ranil Wickremesinghe at the Colombo Oberoi, went ahead with the Sri Lankan Chief Justice's chair empty amid a Free Media Movement protest. The piece notes comments by Justice Bhagwati and Justice Kirby, and describes media lobbies that shielded Lenin Ratnayake and now protect Sarath N. Silva, including an editor barred by his management from criticising the Chief Justice.

අධිකරණයේ විශ්වසනීයත්වය ශක්තිමත් කිරීම යන තේමාව යටතේ පසුගිය 10 වැනි සිකුරාදා රටවල් 9ක අගවිනිසුරුවරුන් සහභාගී වන වැඩමුළුවක සමාරම්භක උත්සවය කොළඹ ඔබරෝයි හෝටලයේදි උත්සවාකාරයෙන් සිදුවිය. අගවිනිසුරුවරුන්ට අතිරේකව මෙම වැඩමුළුවට අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ වැදගත් ජාත්‍යන්තර චරිත තුනක් ද සහභාගි විය. ඉන් එක ප්‍රධාන චරිතයක් වූයේ ඉන්දියාවේ විශ්‍රාමලත් අගවිනිසුරුවරයෙකු වන දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කමිටුවේ සභාපති ලෙස ක්‍රියාකරන භගවතී මහතාය. අනෙක් පුද්ගලයා ආරම්භක සමුළුවේ ප්‍රධාන දේශකයා වශයෙන් ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි ඩර්බි විනිසුරුතුමාය. ඔහු අධිකරණ තලයේ ඉමහත් පිළිගැනීමකට හේතුවී තිබෙන චරිතයකි. අනෙක් වැදගත් පුද්ගලයා වනුයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ වාර්තාකරු ලෙස ක්‍රියා කරන පරම් කුමාරස්වාමි මහතාය. විවෘත කිරිමේ උත්සවය පැවතුණේ රටේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම ජාත්‍යන්තර වැඩමුළුවේ විවෘත කිරිම් උලෙළ පවත්වන්නට සිදුවූයේ අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාට එරෙහිව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් දියත් කෙරුණු විරෝධතා ව්‍යාපාරයක් මැද්දේය. එය රටේ අගවිනිසුරුවරයා ආශ්‍රයෙන් අධිකරණයේ ඇතිවී තිබෙන අර්බුදය මෙම වැඩමුළුවට සහභාගී වන විදේශ අගවිනිසුරුවරුන්ට හා අධිකරණ විෂයට සම්බන්ධ අනෙකුත් විදේශ අමුත්තන්ට දෑනුම්දිම සඳහා දියත් කෙරුණු ව්‍යාපාරයක් විය.

සාමාන්‍යයෙන් මෙවැනි ජාත්‍යන්තර වැඩමුළුවක් රටක පවත්වන අවස්ථාවක ඒ රටේ අගවිනිසුරුවරයා ද එම වැඩමුළුවට අනිවාර්යයෙන්ම සහභාගි විය යුතුවා පමණක් නොව, ඒ වැඩමුළුවේ ප්‍රධාන චරිතයක් ලෙස ද ක්‍රියාකළ යුතුය. එහෙත් පුදුමයකට මෙන් මේ මගුල් උත්සවය පැවතියේ මනාලයා නැතිවය.

ප්‍රධාන මේසයේ අගමැති සමග මේ සමුළුවට සහභාගිවීම සඳහා පැමිණි විදේශ අමුත්තන් 14 දෙනෙකු අසුන් ගෙන තිබුණි. ඒ අසුන් අතර ශ්‍රී ලංකාවේ අගවිනිසුරුවරයා වෙනුවෙන් වෙන් කළ ඔහුගේ නාමපුවරුව ද සහිත අසුනක් වෙන් කොට තිබූ අතර, ඒ අසුන හිස්ව තිබීම සමාරම්භක උත්සවය තුළ දක්නට ලැබුණු කැපී පෙනෙන ලක්ෂණය විය. කොටින්ම අගමැතිවරයා ද සහභාගි වූ සමාරම්භක උත්සවය පැවතියේ රටේ අගවිනිසුරුවරයා නැතිවය.

ඔබරෝයි හෝටලය ඉදිරිපිට මොනතරම් විරෝධතා පැවත්වුවත් අගවිනිසුරුවරයා දත් විකාගෙන හෝ සමාරම්භක උත්සවයට සහභාගි වනු ඇතැයි ඒ උත්සවයට සම්බන්ධව ක්‍රියාකළ මේ රටට සම්බන්ධ අයගේ මතය වී තිබුණි. එහෙත් එවැන්නක් සිදු නොවීය.

සමාරම්භක උත්සවය අවසානයේදි රටේ අගවිනිසුරුවරයා ආශ්‍රයෙන් ඇතිවී තිබෙන අර්බුදය හා ඊට පදනම් වන කාරණාවලට අදාළ ලියකියවිලි කිහිපයක් එකට එකතු කොට සකස් කරන ලද ෆෝල්ඩරයක් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් පැමිණි විදේශ අමුත්තන් අතර බෙදා දෙන ලදි.

ඕස්ට්‍රේලියාවෙන් පැමිණි ඩර්බි විනිසුරුතුමා අගවිනිසුරුගේ නොපැමිණීම ගැන අන් අය සමග ප්‍රකාශ කර ඇත්තේ රටේ අගවිනිසුරුතුමාගේ නොපැමිණීමම එල්ල වී තිබෙන චෝදනා යම් පමණකට සනාථ කිරීමට හේතුවන බවය. විශ්‍රාමලත් ඉන්දියානු අගවිනිසුරු භගවතී මහතාගේ අදහස වී ඇත්තේ ද එයමය.

සාමාන්‍යයෙන් රටක විදේශ අගවිනිසුරුවරුන් සහභාගී වන උත්සවයක් පැවැත්වෙන අවස්ථාවක රටේ අගවිනිසුරුවරයා එම උත්සවයට සහභාගී වනවාට අතිරේකව විදේශ අගවිනිසුරුවරුන්ට භෝජන සංග්‍රහයක් පැවැත්වීමේ චාරිත්‍රයක් පවතී. එහෙත් අපේ අගවිනිසුරුවරයා ඔවුන්ට එවැනි භෝජන සංග්‍රහයක් නොපැවැත්වූවා පමණක් නොව, ඒ දින තුනේ විදේශ අගවිනිසුරුවරුන් සඳහා පැවති කිසිම භෝජන සංග්‍රහයකට ද සහභාගි නොවීය.

ජනමාධ්‍යවල හැසිරිම

බොහෝ ජනමාධ්‍ය මෙම වැඩමුළුවේ සමාරම්භක උත්සවය ගැන එම උත්සව දිනයේ පැවති නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විරෝධතා ව්‍යාපාරය ගැනත් වාර්තා කර තිබුණි. එහෙත් අගවිනිසුරුවරයා මෙම වැඩමුළුවට සහභාගී නොවූ බව වාර්තා කළේ සමහර ජනමාධ්‍ය පමණය. ප්‍රධාන මේසයේ අගවිනිසුරුවරයා වෙනුවෙන් වෙන් කළ එතුමාගේ නාම පුවරුව ද සහිත පුටුව පමණක් හිස්ව තිබුණු බව මේ කිසිම ජනමාධ්‍යයක් වාර්තා නොකළේය. එය ජාතික වශයෙන් පමණක් නොව, ජාත්‍යන්තර මට්ටමෙන් ද වැදගත් පුවතක් වන මුත් ඒ වැදගත් ඡායාරූපය ද කිසිම ජනමාධ්‍යයක පළ නොවීය.

ජනමාධ්‍ය හා අගවිනිසුරු අතර ද ගනුදෙනුවක් පවතී. අගවිනිසුරුවරයා වෙනුවෙන් ක්‍රියාත්මක වන විශේෂ ජනමාධ්‍ය ලොබියක් ද ක්‍රියාත්මක වේ. මීට සමාන ජනමාධ්‍ය ලොබියක් ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල වී සිටි ලෙනින් රත්නායක වෙනුවෙන් ද ක්‍රියාත්මක විය.

ලෙනින් රත්නායකට එරෙහිව ප්‍රශ්න ඇතිවන හැම අවස්ථාවකදිම ඊට පිළිතුරු පළකිරීම හා ඔහු ඉතාමත් ගුණ යහපත් ශ්‍රේෂ්ඨ විනිසුරුවරයෙකු බව පෙන්නුම් කිරීමට හේතුවන පුවත් පළකිරීම ඔවුන් වෙත පැවරි තිබුණු කාර්යභාරය විය. එහිදි ලෙනින් රත්නායකගේ ප්‍රකාශකයා ලෙස පෙනී සිටියේ “දිවයින” පුවත්පතය. සියලු රාජ්‍ය ජනමාධ්‍ය ආයතන ද ලෙනින් රත්නායක කොන්දේසි විරහිතව ආරක්ෂා කරන පිළිවෙතක් පවත්වාගෙන ගියේය. “සිරස” ගුවන් විදුලිය ද අඩුම වශයෙන් සතියකට එක වතාවක්වත් ලෙනින් රත්නායකගේ හොඳ කියන පුවතක් විකාශය කළේය. “ලංකාදිපය” ද දිගින් දිගට ලෙනින් රත්නායකගේ වාසියට හේතුවන පුවත් පළ කළා පමණක් නොව, එකම දිනක ලෙනින් රත්නායක පිළිබඳ පුවත් දෙකක් පළකිරිමෙන් වාර්තාවක් ද තැබුවේය.

දැන් අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් ද ඊටත් වඩා ශක්තිමත් ලොබියක් රටේ ක්‍රියාත්මක වේ. මේ ලොබියට එකතු වන අයට ලබාගත හැකි වරප්‍රසාද අපමණය. තමන්ට අදාළව, තමන්ගේ පවුලේ අයට අදාළව හෝ හිතවතුන්ට අදාළව බරපතල නඩු ඇත්නම් ඒවා ගොඩින් බේරාගැනීමේ හැකියාව ලබාගත හැකිය. කොළඹ ජනප්‍රිය පාසලකට තම දරුවෙක් හෝ තමන් දන්නා හඳුනන අයෙකුගේ දරුවෙක් පහසුවෙන් ඇතුළු කරගැනීමේ වරප්‍රසාදය ලැබිය හැකිය. තමන්ගේ බිරිඳ හෝ ස්වාමි පුරුෂයා නීතිඥයෙක් නම්, විශේෂ වරප්‍රසාද ලැබිය හැකි අතර සමහරවිට නඩුකාරකමක් වැනි දෙයක් වුවද ලබාදිය හැකිය. තමන්ගේ හෝ තමන්ගේ පවුලේ අයකුගේ මගුල් උත්සවයක් ඇතොත් ඊට අගවිනිසුරුවරයා ගෙන්වා ගත හැකිය.

ජාතික වැදගත්කමක් ඇති ප්‍රශ්නවලදි ඉතාමත් නිර්භීතව පෑන හසුරුවන කතුවරයෙකුගෙන් සේකර දන්නා හඳුනන පුද්ගලයෙක් “ඔබ හැමදෙයක් ගැනමත් ලියනවා. ඒත් අගවිනිසුරු ප්‍රශ්නයේදි පමණක් නිහඬ ඇයි” යන ප්‍රශ්නය අසා තිබුණි. ඔහු ඊට දි තිබෙන පිළිතුර වී ඇත්තේ “මමත් ඒ ප්‍රශ්නය ගැන ලියන්න නම් කැමතියි. මටත් ඒ ගැන අදහස් තිබෙනවා. ඒත් මගේ මැනේජ්මන්ට් එක මට කොන්දේසි පනවලා තියෙනවා. අගවිනිසුරු විවේචනයට ලක් කරන හෝ අවාසියට හේතුවන කිසිවක් පළ නොකළ යුතු බව ඔවුන් මට දැනුම් දි තිබෙනවා. ඒ කොන්දේසිය මගේ හිතට එකග නැතත්, රස්සාව කළයුතු නිසා එම කොන්දේසිය පිළිපදින්නට සිදුවී තිබෙනව” යන්නයි.

පාලනාධිකාරිය එම කතුවරයා වෙත එවැනි කොන්දේසියක් පනවා ඇත්තේ අන් කිසි හේතුවක් නිසා නොව, එම ආයතනයට සම්බන්ධ බරපතළ නඩුවක් දැන් දිර්ඝ කලක් තිස්සේ අගවිනිසුරුවරයා අත තිබෙන නිසාය. අගවිනිසුරුවරයාට මේ පුවත්පතේ පාලනාධිකාරිය සමග සමීප මිත්‍රකමක් පවතී. එම පුවත්පත් ආයතනය අගවිනිසුරුවරයාගේ අවාසියට හේතුවන කිසිම පුවතක් පළ නොකළත්, වාසියට හේතුවන ඕනෑම පුවතක් පළකිරීමට සූදානම්ය.

අගවිනිසුරුවරයාට එරෙහිව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූ දිනයේදි එක්තරා ගුවන් විදුලියක් එදින අගවිනිසුරුවරයා පිළිබඳ වැදගත් පුවත් දෙකක් දිගින් දිගට විකාශය කළේය. එක් පුවතක් අර්ජුන රණතුංගට පක්ෂපාතව දෙන ලද තීන්දුව ගැනය. අනෙක් පුවත නීති විරෝධී ලෙස තේරි පත්වී සිටින අධිකරණ සේවා නිලධාරී සංගමයේ නිලධාරී මණ්ඩලය අගවිනිසුරු හමුවී කෙරුණු සාකච්ඡාවක් ගැනය.

අර්ජුන රණතුංගට අදාළව දෙන ලද නඩු තීන්දුවේ හරි වැරදි ගැන කතා කිරීමට සේකර මේ අවස්ථාවේ සූදානම් නැත. එහෙත් අගවිනිසුරුට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් වූ අවස්ථාවේදි ඊට එරෙහිව අර්ජුනගේ පියා දිගින් දිගට කෑගැසුවේය. අගවිනිසුරුට අර්ජුනගේ පවුලේ අයට සමීප සම්බන්ධයක් තිබෙන බව දන්නා අය දනිති. එවැනි යාලුකමක් ඇතිවිට යාලුවන්ගේ නඩුවලට අත නොගැසීම විනිසුරුවරුන් පිළිපැදිය යුතු පිළිගත් මූලධර්මයකි.