නීතිය ඔලුවෙන් සිටුවීම

September 8, 2002
Publication:
Ivan rejects the Bribery Commission's ruling that the Chief Justice is not a public servant and that his complaint against Sarath N. Silva and Lenin Ratnayake falls outside its remit, citing the Penal Code and the assets law. Further sections argue that the 17th Amendment was certified without its transitional provisions, leaving the existing commissions without legal standing; criticise the Constitutional Council's demand for immunity through an 18th Amendment; and ask whether the securities found in Anuruddha Ratwatte's safes will be pursued.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පසුගිය සතියේදි අගවිනිසුරුවරයාට එරෙහිව ඉදිරිපත්ව තිබූ පැමිණිල්ලක් පිළිබඳව අපූරු අර්ථ කථනයක් ඉදිරිපත් කළේය. ඒ අනුව අගවිනිසුරුවරයා අල්ලස් හෝ දූෂණ පනත යටතේ රජයේ සේවකයකු ලෙස සැලකෙන්නේ නැත. ඒ නිසා අල්ලස් පනත යටතේ ඔහුට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමේ හැකියාවක් ද නොපවතී.

පිළිගත් නීතිය අනුව සියලු විනිසුරුවරුන් සැලකෙන්නේ රජයේ සේවකයන් වශයෙනි. ඔවුන්ට වැටුප් ලැබෙන්නේ කාගෙවත් බූදලයකින් නොව, මහා භාණ්ඩාගාරයෙනි. ඉහළ අධිකරණයේ විනිසුරුවරුන් සාමාන්‍ය රජයේ සේවකයන්ගෙන් වෙනස්වන්නේ එකම එක කරුණකදි පමණය. එනම් අනෙක් සියලු රජයේ සේවකයන්ගේ විනය පිළිබඳව ක්‍රියාකිරිමේ අයිතිය ලැබී ඇත්තේ රාජ්‍ය සේවා කොමිසමටය. එහෙත් විනිශ්චයකරුවන් රාජ්‍ය සේවා කොමිසමට අනුයුක්ත නැත. පහළ අධිකරණයේ විනිසුරුවරුන් සම්බන්ධයෙන් විනය පාලනය භාරව ඇත්තේ අධිකරණ සේවා කොමිසමටය. එහෙත් ඉහළ අධිකරණවල විනිසුරුවරුන් සඳහා විනය පාලනයක් නැති අතර, විශමාචාර චෝදනාවකදි ඔවුන් සේවයෙන් ඉවත් කිරිමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවටය. විනිසුරුවරුන් රජයේ සේවකයින්ගෙන් වෙනස් වන්නේ එම කාරණයේදි පමණය.

දණ්ඩ නීති සංග්‍රහයේ 19 වැනි වගන්තියෙන් රජයේ සේවකයන් වර්ග 12ක් යටතේ අර්ථ දක්වා ඇති අතර, ඉන් ප්‍රධාන හතර මෙසේය.

පළමුව: රජතුමා විසින් හෝ රජතුමාගේ බලය යටතේ ප්‍රදානය කරනු ලබන යම් කොමිසමක හෝ බලපත්‍රයක බලය පරීදි ලංකාවේ යම් නිලයක් දරන සෑම තැනැත්තකුම

දෙවනුව: ලංකාවේ සිවිල් සේවයේ සියලු සාමාජිකයන්

තෙවනුව: රජතුමාගේ නාවික, යුද්ධ හෝ ගගන හමුදාවන්හි කොමිසන් බලයකින් පත් කරනු ලැබූ සෑම නිලධාරීයෙක්ම

හතරවනුව: සෑම විනිශ්චයකාරයෙක්ම

1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැවරි තිබෙන ප්‍රධානම වගකීම වන්නේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කිරීම හා වත්කම්, බැරකම් ප්‍රකාශ කිරිම් පනත යටතේ සිදුවන වැරදි විමර්ශනය කිරීමය.

1988 අංක 74 දරන පනතින් සංශෝධිත ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 1 දරන වත්කම් හා බැරකම් නීතියේ 2 වැනි වගන්තිය යටතේ වත්කම් බැරකම් නීතිය යටතට වැටෙන අය අතර ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන විනිශ්චයකාරවරුන් ද ඇතුළුව රජයේ නිලධාරීන් ඇතුළත්ය. එහිදි අගවිනිසුරුවරයා ද එම නීතියට ඇතුළත්ය.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ එකවිට මහේස්ත්‍රාත් ලෙනින් රත්නායකට හා අගවිනිසුරුවරයාට එරෙහිවය.

ලෙනින් රත්නායක අධිකරණ සේවයට එන්නට පෙර ශ්‍රී ලංකාවේ රක්ෂණ සංස්ථාවේ ලිපිකරුවකු ලෙස සේවය කළේය. එහිදි තුන්වැනි පාර්ශ්වයේ හිමිකම් වංචා කිරිමේ සිද්ධියක් මත නිසි විනය පරීක්ෂණයකින් පසුව ඔහු සේවයෙන් පහ කළේය. සේවයෙන් පහකරනවාට අමතරව ඔහුගේ වංචාව වංචා විමර්ශන අංශයට ඉදිරිපත් කිරීමට සංස්ථාවේ බලධාරීන්ට අවශ්‍ය වී ඒ සඳහා අවශ්‍ය ලියවිලි ද සකස් කර තිබුණ ද එය කවර හේතුවක් නිසා හෝ වංචා විමර්ශන අංශයට පැමිණිලි කිරිමෙන් වළකා ගැනීමට ද ලෙනින් රත්නායක සමත් විය.

ඉන්පසු වසර කිහිපයකට පසුව ඔහු තමන්ගේ ඉතිහාසය වසන් කොට අධිකරණ සේවයට එකතු විය. රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතනයක සිදු කරන මුදල් වංචා 1982 අංක 12 දරන පොදු දේපළ පනත යටතේ ද, 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත යටතේ ද දඬුවම් කළ හැකි අපරාධ ගණයේ ලා සැලකිය යුතු වරදකි.

1994 අංක 20 දරන අල්ලස් (සංශෝධන) පනත යටතේ දූෂණයට ලබාදි ඇති අර්ථකථනය මෙසේය.

“ආණ්ඩුවට අයුතු සහගත ලෙස හෝ නීති විරෝධී ලෙස පාඩු සිදුකිරිම් හෝ තමා වෙත හෝ යම් තැනැත්තෙකු වෙත අයුතුසහගත ලෙස හෝ නීති විරෝධී ලෙස අර්ථ ලාභයක්, අනුග්‍රහයක් හෝ වාසියක් සිදුකිරිමේ චෝදනාවෙන් හෝ ආණ්ඩුවට හෝ යම් තැනැත්තෙකුට අයුතු සහගත ලෙස හෝ නීති විරෝධී ලෙස පාඩු සිදුවිය හැකි බව නැතහොත් යම් තැනැත්තෙකුට අයුතුසහගත ලෙස හෝ නීති විරෝධී ලෙස අර්ථ ලාභයට, අනුග්‍රහයක් හෝ වාසියක් සැලසෙන බව දැන දැන ක්‍රියා කිරීම…”

ලෙනින් රත්නායක සංස්ථා සේවයේ යෙදි සිටියදි ආණ්ඩුවට අලාභයක් ඇතිවන ලෙස වංචා කළේය. එය පොදු දේපළ වැරදි ගණයෙහිලා පමණක් නොව, දූෂණය ගණයේ ද ලා ද සැලකිය හැකි වරදකි.

එම වංචාව අල්ලා ගැනීමෙන් පසුව නිසි විනය පරීක්ෂණයකින් පසුව ඔහු සංස්ථා සේවයෙන් පලවා හැරියේය. ඒ කරුණ හිතාමතා වසන් කොට ඔහු අධිකරණ සේවයට එකතුවීම මගින් ද රජයට අලාභයක් ද, අපකීර්තියක් ද ඇති කළේය. එය ද දූෂණ ගණයෙහිලා සැලකිය හැකි වරදකි.

ලෙනින් රත්නායකට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරන ලද්දේ එම වැරදි දෙකට අදාළවය. එහෙත් කොමිසම කියන්නේ ලෙනින් රත්නායකට එරෙහිව ඉදිරිපත් වී ඇති එම චෝදනා දෙක සිය විෂය පථයට ඇතුළත් නොවන බවය.

ලෙනින් රත්නායක පිළිබඳව පරීක්ෂණයේදි එම පුද්ගලයාට තිබුණු නෑකම හා හිතවත්කම මත ඔහු බරපතල වරදක් කර ඇති බව පිළිගැනීමට අවශ්‍ය තරම් හේතු තමන් ඉදිරියේ තිබියදි, නීතිපති වශයෙන් සරත් නන්ද සිල්වා මහතා ඔහු ආරක්ෂා කිරිමේ අරමුණ ඇතිව ඔහු පිළිබඳව අසත්‍ය කරුණු ඇතුළත් රහස්‍ය වාර්තාවක් අධිකරණ ඇමතිවරයාට ලබා දුන්නේය. අධිකරණ සේවා කොමිසම මගින් ලෙනින් රත්නායකට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා පරීක්ෂා කිරීම සඳහා ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුවක් පත් කෙරුණු අතර පසුව එම පරික්ෂණ කමිටුව ලෙනින් රත්නායක සියලු චෝදනාවලට වරදකරු කිරිමෙන් පසුව ඔහුට එරෙහිව අධිකරණ සේවා කොමිසම අධිචෝදනා ඉදිරිපත් කිරීමට තීරණය කර තිබූ අවස්ථාවක සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයට පත්වීම, ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීම අත්හිටුවා තවදුරටත් අධිකරණ සේවයේ රැඳී සිටීමට අවශ්‍ය පරිසරයක් ලබා දුන්නේය. මේ මගින් සරත් නන්ද සිල්වා රජයට අපකීර්තියක් හා අලාභයක් ඇති කළේය යන චෝදනා දෙක අග්‍රවිනිශ්චයකාරවරයාට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා විය.

පුදුමයට මෙන් කොමිසම කර ඇත්තේ ඒ කරුණු දෙකේදි ස්ත්‍රී දූෂක මහේස්ත්‍රාත්වරයා පමණක් නොව, ඔහු ආරක්ෂා කළ අගවිනිසුරුවරයා ද නීතියට පටහැනිව ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කිරීමය. අතිවිශාල මහජන වියදමකින් පවත්වාගෙන යන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ක්‍රියාකරන්නට යන්නේ මේ ආකාරයෙන් නම්, කොමිසමේ දූෂණ ගැන සොයා බැලීමට තවත් රාජකීය කොමිසමක් පත් කිරීමට සිදුවන දිනය බොහෝ ඈත විය නොහැකිය.

මළ බව නොදැන ජීවත්වීම

17 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට පෙර කාරක සභා මට්ටමේදි ඒ යටතට වැටෙන සියලු කොමිෂන් සභාවලට අදාළ අන්තර්කාලීන විධි විධාන පිළිබඳව පොදු එකගතාවක් ඇති කරගන්නා ලදි. ඒ අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හා මානව හිමිකම් කොමිෂන් සභාව යන ආයතනවල සභාපති ඇතුළු කොමසාරිස්වරුන් ව්‍යවස්ථා සභාව විසින් අලුතෙන් තෝරා පත් කළ යුතුය. ව්‍යවස්ථා සභාව යටතට වැටෙන අනෙකුත් කොමිෂන් සභාවලට පුද්ගලයන් අලුතෙන් තෝරාපත් කිරීමක් සිදුවන්නේ නැත. ඒවාට පුද්ගලයන් තෝරාපත් කෙරෙන්නේ පුරප්පාඩු ඇතිවන අවස්ථාවලදි හෝ එම ආයතනවල සභාපතිවරුන් ඇතුළු සාමාජිකයන්ගේ නිල කාලය අවසන් වීමෙන් පසුවය.

එහෙත් පුදුමයකට මෙන් කතානායකවරයා සහතිකය සඳහා අත්සන් තබා ඇත්තේ අන්තර්කාලීන විධි විධාන ඇතුළත් ව්‍යවස්ථා සංශෝධනයට නොව, අන්තර්කාලීන විධි විධාන ඇතුළත් නැති මුල් කෙටුම්පතටය. ඒ අනුව ව්‍යවස්ථා සංශෝධනය නීතිගත වී ඇත්තේ ද අන්තර්කාලීන විධි විධානවලින් තොරවය. අන්තර්කාලීන විධි විධාන ඇතුළත් නොවන නිසාම ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීමත් සමග ව්‍යවස්ථා සභාව යටතට වැටෙන සියලුම කොමිෂන් සභාවල නිල තනතුරු ද බලරහිත තත්ත්වයකට පත්වූයේය. ඒවා නැවත බලසහිත වන්නේ ව්‍යවස්ථා සභාව විසින් එම ආයතනවලට අලුතෙන් සාමාජිකයින් පත්කිරිමෙන් පසුවය.

ඒ අනුව ව්‍යවස්ථා සභාව යටතට වැටෙන සියලුම කොමිෂන් සභාවල නීත්‍යනුකූල පැවැත්ම අලුත් තෝරාපත් කිරිම් සිදුවන තෙක් නීත්‍යනුකූල නොවන තත්ත්වයකට පත්ව ඇත්තේය. ඒ අනුව ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීමේ තැන සිට නැවත අලුත් තෝරාපත් කරගැනීම් සිදුවන තෙක් එම ආයතන විසින් සිදුකර ඇති සියලු කටයුතු ද නීත්‍යනුකූල නොවන තත්ත්වයකට පත්ව ඇත්තේය.

එහෙත් පුදුමයකට මෙන් අල්ලස් කොමිසම, මානව හිමිකම් කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, අධිකරණ සේවා කොමිසම වැනි සියලු කොමිෂන් සභා දැනටමත් අවලංගු ආයතන බවට පත්ව ඇති බව දෑන හෝ නොදෑනම සිය කටයුතු නොනවත්වා පවත්වාගෙන යන තත්ත්වයකින් ක්‍රියාකරමින් සිටී. එහෙත් එවැනි ආයතන මෙම කාලවකවානුව තුළ ගනු ලැබූ තීන්දු අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන තත්ත්වයක් ඇතිවුවහොත් මේ කාලය තුළ ගනු ලැබූ සියලු තීන්දු අනීතික තත්ත්වයට පත්වන්නේය. එම තත්ත්වය ව්‍යවස්ථා සභාවට පවා නොපෙනී ඇත්නම් එය කෙතරම් ඛේදජනක ද? බ

ව්‍යවස්ථා සභාව හා මුක්තිය

17 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කෙබඳු සීමිතකම් තිබුණද ඒ යටතේ පිහිටුවා ඇති ව්‍යවස්ථා සභාව ඉතා බලවත් හා ගරු කටයුතු ආයතනයකි. සියලුම ප්‍රමුඛ නිල තනතුරුවලට පත් කෙරෙන පුද්ගලයන් ඔවුන්ගේ යෝග්‍යතාවය පරීක්ෂාවට ලක් කළ යුතුය යන්න නූතන ලෝකය පිළිගත් ප්‍රධාන මූලධර්මයකි. ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරන පුද්ගලයන් පවා සෙනට් සභාවේදි තියුණු පරීක්ෂණයකට ලක් කෙරේ. තෝරාපත් කරගැනීමට නම් කර ඇති අපේක්ෂකයන්ට එරෙහිව මහජන පැමිණිලි හෝ චෝදනා ඇතොත් පත්කිරීම අවසාන වශයෙන් සිදු කෙරෙන්නේ ඒ චෝදනා සියුම් පරීක්ෂණයකට ලක්කිරිමෙන් පසුවය. ලංකාවේ ප්‍රමුඛ තනතුරුවලට පත් කෙරෙන පුද්ගලයන් පරීක්ෂාවට ලක්කිරීම සඳහා ද විශේෂ පාර්ලිමේන්තු කමිටුවක් පවතී. තෝරාගැනීම සඳහා නම් කර ඇති පුද්ගලයෙකුට එරෙහිව මහජන පැමිණිලි ඇති අවස්ථාවලදි එම පැමිණලිකරුවන් සේ ම අයදුම්කරුවන් ද ගෙන්වා ප්‍රශ්න කිරීමක් සිදුවේ.

එහෙත් මේ වැදගත් මූලධර්මය ව්‍යවස්ථා සභාවට පමණක් අදාළ කරගෙන නැත්තේ ඇයිද යන්න නොපැහැදිලිය. එම සභාවට තෝරාපත් කරගන්නා නියෝජිතයන් පිළිබඳ දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර එකගතාවක් ඇති කරගත් පමණකින් ඔවුන් තියුණු පරික්ෂාවකට ලක්කිරීමකින් තොරව එම ගරු කටයුතු ආයතනය සඳහා තෝරාපත් කරගන්නා ක්‍රමයක් නිවැරදි ක්‍රමයක් විය නොහැකිය. පත්කිරීමට පෙර ඔවුන් තියුණු පරීක්ෂණයකට ලක් කෙරෙන ක්‍රමයක් තිබිය යුතුවා සේ ම නැවත තනතුරට පත්වීමෙන් පසුව එම තනතුරේ ගෞරවයට නොගැලපෙන පැවැත්මක් ඇතොත් ඔවුන්ට එරෙහිව පැමිණිලි කළහැකි හා එම පැමිණිලි ගැන කරුණු සොයා බලන ක්‍රමයක් තිබිය යුතුය.

ව්‍යවස්ථා සභාවට සාමාජිකයන් පත් කොට බොහෝ කලක් ගතවී ඇතත්, තවමත් ඔවුන් ක්‍රියාකාරි නොවන තත්ත්වයක සිටින්නේ, ඔවුන්ගේ මුක්තියේ අයිතිය සම්පූර්ණ කරන තෙක්ය. තෝරාපත් කරගැනීම් සඳහා තමන් ගනු ලබන තීන්දුවලදි එම තීන්දුවලට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරීය නොහැකි තත්ත්වයක් සහතික කොට දෙන ලෙස ඔවුන් ඉල්ලා තිබේ. ඒ සඳහා ද 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය නමින් ව්‍යවස්ථා සංශෝධනයක් කෙටුම්පත් කර තිබෙන අතර, ඔවුන් ක්‍රියාකාරිවීමෙන් වැළකී සිටිනුයේ එය සම්මත කරගන්නා තෙක්ය.

රජයට සම්බන්ධ ආයතනවලදි ගනු ලබන පරිපාලන මට්ටමේ තීන්දුවකට එරෙහිව අසාධාරණයකට ලක්වන පාර්ශ්වයකට මූලික අයිතිවාසිකම් නඩු පැවරිමේ අයිතියක් තිබිය යුතුය යන්න නූතන ලෝකය පිළිගත් මූලික මූලධර්මයකි. ඒ අනුව ඕනෑම ආයතනයක් (කැබිනට් මණ්ඩලය පවා) ගනු ලබන තීන්දුවකදි කිසියම් පුද්ගලයකුගේ හෝ පුද්ගල කණ්ඩායමකගේ මූලික අයිතිවාසිකම් අහිමි වන අවස්ථාවකදි එම තීරණයන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරිමේ අයිතිය අසාධාරණයට ලක්වන පාර්ශ්වයට ලැබී තිබෙන අයිතියකි.

ව්‍යවස්ථා සභාව වැනි ගරු කටයුතු ආයතනයක් තමන් ගනු ලබන තීන්දුවලදි ඒ අයිතිය මහජනයාට අහිමි කරන තත්ත්වයකින් ක්‍රියා කිරීම කවර මට්ටමකින්වත් යුක්තිසහගත විය නොහැකිවා සේ ම එය ව්‍යවස්ථා සභාවේ ගෞරවයට හේතුවේ යැයි ද කිව නොහැකිය.

ඉතිරිකිරිම් -වත්කම් බැරකම්

යාපනේ ජයගත් නූතන සපුමල් කුමාරයා ලෙස අභිෂේක ලැබූ හිටපු යුද්ධ ඇමති අනුරුද්ධ රත්වත්ත මහතාට හා ඒ මහතාගේ බිරිඳට අයත් ආරක්ෂක සේප්පු ගණනාවක තිබී සොයා ගන්නා ලද රුපියල් ලක්ෂ 400කට වැඩි සුරැකුම්පත් පිළිබඳ ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ දේශපාලන සදාචාරයට අදාළව ඉතා වැදගත් මූලික ගැටලු කිහිපයක් මතු කරයි.

මේ ඉතිරිකිරිම් ප්‍රමාණය ඒ මහතාගේ මුළු ඉතිරිකිරිම් වේද? නැතිනම් මෙරටේ එදිනෙදා ප්‍රයෝජනය සඳහා තබාගත් “පොකට් මනි” පමණක් වේද? මෙවැනි ඉතිරිකිරිම් ඇති එකම දේශපාලකයා අනුරුද්ධ පමණක් විය නොහැකිය. ඊට ඉහළින් හා පහළින් සිටින තවත් පුද්ගලයන් රාශියක් අත ද එවැනි ඉතිරිකිරිම් තිබෙනු ඇති බවට සැකයක් තිබිය නොහැකිය.

මේ සිද්ධිය ආණ්ඩුවේ අවංකභාවය උරගා බලන වැදගත් උරගලක් ලෙස ක්‍රියාකරනු නොවැළැක්විය හැකිය. මේ පරීක්ෂණය තර්කානුකූල අවසානයක් කරා ඉදිරියට ගෙනයාමට ආණ්ඩුව සූදානම්ද? 19 වැනි සංශෝධනය සඳහා සහාය ලබාගැනීමේ වැඩපිළිවෙල සඳහා ද ආණ්ඩුවට අවශ්‍ය නම් මෙය තුරුම්පුවක් ලෙස පාවිච්චි කළ හැකිය. එය එසේ සිදුවේද? අනෙක් අතට මේ ක්‍රියාමාර්ග අනුරුද්ධට පමණක් සීමා නොකොට ඒ ගණයට වැටෙන සියලු දෙනා ගැන සොයා බලන තත්ත්වයක් දක්වා ඉදිරියට යෑමට ආණ්ඩුව සූදානම් ද?

වත්කම් බැරකම් නීතිය අනුව ඇමතිවරුන් පමණක් නොව ජනාධිපති ද, තමන්ගේ, තම බිරිඳ හා දරුවන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ කළ යුතුය. හිතාමතා තොරතුරු වසන් කිරීම බරපතල දඬුවම් ලැබිය හැකි වරදකි.

අනුරුද්ධ රත්වත්තට අදාළ මේ ඉතිරිකිරිම් පිළිබඳ විස්තර ආදායම් බදු ප්‍රකාශන හෝ වත්කම් බැරකම් ප්‍රකාශනවලට ඇතුළත් බව පෙනෙන්නට නැත. සැබෑ තොරතුරු වසන් කිරීම අනුරුද්ධ රත්වත්තට පමණක් ආවේණික ලක්ෂණයක් නොව, බොහෝ දේශපාලනයන්ට ආවේණික පොදු ධර්මතාවකි. ඔවුන් නීතියට බය නැත. ඔවුන් නීතියට බය නැත්තේ තමන් වැනි බලවත් අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන බව ඔවුන් හොඳින් දන්නා නිසාය.

වත්කම් බැරකම් නීතිය අනුව ඒ නීතිය යටතට වැටෙන ඕනෑම පුද්ගලයකුගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාගැනීමේ අයිතිය මහජනයා සතුය. එහෙත් ජනාධිපතිනිය ඇගේ හෝ ඇගේ ඇමති මණ්ඩල සාමාජිකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලා සිටින අවස්ථාවලදි ඇය ඒවා ඉල්ලා සිටින අයදුම්කරුවන්ට ලබාදෙන පිළිවෙතක් අනුගමනය කර නැත. එයින් පෙන්නුම් කෙරෙන්නේ කොතරම් බලවත් නීති තිබුණත් එවැනි නීතිවලට ගරු කිරිමේ වුවමනාවක් එවැනි බලවතුන්ට නැති බවය.

දේශපාලනඥයන් පමණක් නොව, වත්කම් බැරකම් ප්‍රකාශ සඳහා බලධාරීන් ලෙස ක්‍රියා කරන රාජ්‍ය නිලධාරීන් ද මේ විෂයයේදි තක්කඩි දේශපාලනඥයන්ට අනුබල දෙන පිළිවෙතක් අනුගමනය කර ඇති බව ද කිව යුතුය. සියලුම මැතිවරණ වලට තරග කරන අපේක්ෂකයන් ද, දේශපාලන පක්ෂවල නිලධාරී මණ්ඩලවල සාමාජිකයන්ගෙන් ද වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීමේ වගකීම ඇත්තේ මැතිවරණ කොමසාරිස්වරයාටය. එහෙත් මැතිවරණ කොමසාරිස්වරයා කියන්නේ ඒ බොහෝ දෙනකු තමන්ට වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන බවත්, තමන්ට ඒ ගැන කළ හැකි දෙයක් නැති බවත්ය. එහෙත් වත්කම් බැරකම් නීතිය අනුව ඒ නීතිය නොසලකා ක්‍රියා කරන අයට එරෙහිව මහේස්ත්‍රාත්වරයෙකුට හෝ අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලිකළ හැකිය. තමන් ඒ ගැන කළ යුත්තේ කුමක්ද යන්න මැතිවරණ කොමසාරිස්වරයා නොදන්නේ නම්, ඔහු කළ යුත්තේ තොත්ත බබෙකු ලෙස හඬා වැළපීම නොව, ඒ ගැන නීතිපතිගෙන් උපදෙස් ලබාගැනීමය.