වත්කම් බැරකම් නීතිය ප්‍රායෝගික නොකරන්නේ ඇයි?

July 21, 2002
Publication:
As right-to-information legislation is due before Parliament, the editorial says existing rights must also work in practice. The public may obtain the asset declarations of anyone covered by the assets and liabilities law, but few know it and no system issues certified copies. Publishing all declarations on a website, it argues, would be a cheap way to curb illicit enrichment by politicians and officials.

තොරතුරු ලබාගැනීමේ අයිතිය සහතික කරන පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය. ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ක්‍රමයක් තුළ රාජ්‍ය පාලනයට සම්බන්ධ සියලු කටයුතු හා ගනුදෙනු මහජනයාට විනිවිදව දැකිය හැකි තත්ත්වයක් සහතික කිරීම අත්‍යවශ්‍ය කොන්දේසියකි. තොරතුරු ලබාගැනීමේ අයිතිය නීතියෙන් සහතික කිරීම ඒ සඳහා ගනු ලැබිය හැකි ඉතා වැදගත් ඉදිරි පියවරක් ලෙස සැලකිය හැකි ය.

එහෙත් ඒ සමග දැනටමත් සමහර විශේෂ අංශ සඳහා පමණක් වුවත්, තොරතුරු ලබාගැනීම සඳහා මහජනයාට නීතියෙන් ලබාදි තිබෙන අයිතිය ප්‍රායෝගික කිරීම සඳහා ක්‍රියාකිරීම ද අත්‍යවශ්‍ය ය. නිදර්ශනයක් වශයෙන් වත්කම් බැරකම් නීතිය යටතේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට බැඳී සිටින ඕනෑම පුද්ගලයකුගේ වත්කම් බැරකම් ප්‍රකාශයක් ලබාගැනීමේ අයිතිය මහජනතාවට ඇතත්, ඒ අයිතිය ක්‍රියාත්මක වන තත්ත්වයක් රටේ නොපවතී. එක් අතකට එවැනි අයිතියක් තමන්ට ඇති බව මහජනයා නොදන්නා අතර, ඒ බව දන්නා සුළු පිරිස හෝ ඒ සඳහා ඉදිරිපත් කරන ඉල්ලීමකදි වත්කම් බැරකම් ප්‍රකාශවල සහතික පිටපත් ලබාදෙන විධිමත් ක්‍රමයක් රටේ ක්‍රියාත්මකවන්නේ නැත.

දූෂණය මර්දනය කිරීමට ආණ්ඩුවට අවංක වුවමනාවක් තිබේ නම්, දැනට තිබෙන වත්කම් හා බැරකම් නීතිය ඵලදායී ලෙස ක්‍රියාත්මක වන තත්ත්වයක් ඇති කිරිමෙන් පමණක් වුවත් ඒ අරමුණ එක්තරා විශාල ප්‍රමාණයකට ජයගත හැකි ය. වත්කම් බැරකම් නීතිය යටතට වැටෙන සියලු දෙනාගේ වත්කම් බැරකම් ප්‍රකාශ සඳහා වන වෙබ් අඩවියකට යොමු කරන ක්‍රමයක් ඇති කිරීම මගින් ඒ නීතිය යටතට වැටෙන සියලු දෙනා පිළිබඳ විස්තර මහජනයාට පහසුවෙන් දැකිය හැකි තත්ත්වයක් ඇති කළ හැකි ය. එවැනි වියදම් අඩු සරල ක්‍රියාමාර්ගයකින් පමණක් වුවත්, එම නීතිය ප්‍රායෝගික කළ හැකි අතර, දේශපාලකයන් ඇතුළු රාජ්‍ය සේවයට සම්බන්ධ පුද්ගලයන්ට නීති විරෝධී ලෙස ධනය උපයා ගැනීමට ලැබී තිබෙන ඉඩකඩ බොහෝ දුරට පාලනය කළ හැකි ය.