පුවත් කතුවරුන් ගැනත්, කර්තෘ සංසදය ගැනත් “සන්ඩේ ලීඩර්” කර්තෘ ලසන්ත වික්රමතුංග කළ විවේචනයක් “ඉරිදා ලංකාදිපයේ” පළවී තිබුණි. සමාජයේ ඉතා බලවත් පුද්ගලයන් කරන බරපතල වැරදිවලට අදාළ ප්රවෘත්ති, පුවත්පත් මගින් හිතාමතා වසන් කරන පිළිවෙතක් අනුගමනය කරන්නේ ඇයිද යන ප්රශ්නය ඔහු එහිදි මතු කර තිබුණි. බලවත් පුද්ගලයන්ට අදාළ ප්රවෘත්ති සැගවීම පිළිබඳව ඔහු එහි දක්වා තිබුණු එක් නිදර්ශනයක් වනුයේ ගුවන් හමුදාපතිවරයාට අදාළ රිය අනතුර පිළිබඳ කථාවය.
ගුවන් හමුදාපතිවරයාගේ රිය අනතුර හා ඊට අදාළ පසුබිම් කතාව සියලු ජනමාධ්ය දැන සිටියේය. එහෙත් සමහර ජනමාධ්ය එය වාර්තා කිරිමෙන් වැළකී සිටි අතර, තවත් සමහර ජනමාධ්ය එය වාර්තා කර තිබුණේ සිද්ධියේ ඇත්ත වසන් කොට ගුවන් හමුදාපතිවරයාට රැකවරණයක් ලබාදෙන ආකාරයටය. එය එසේ වූයේ ඇයි? සමහර පුවත්පත් ක්රියාවට නගන ලද එම සිද්ධිය ඒ සිද්ධියට පමණක් සීමාවූ ප්රතිපත්තියක්ද? නැතිනම් වැදගත්කමක් ඇති වෙනත් සිද්ධීන් වලදිත් පුවත්පත් එවැනි ප්රතිපත්තියක් අනුගමනය කර තිබේද?
ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්රමයක් සඳහා ජනමාධ්ය නිදහස අත්යවශ්ය කොන්දේසියකි. එහෙත් ජනමාධ්ය නිදහස අර්ථවත් දෙයක් වනු ඇත්තේ ජනමාධ්යවේදින් සමාජ වගකීමකින් යුතුව පෑන හසුරුවයි නම් පමණය.
ජනමාධ්ය නිදහසට තහංචි පනවන නීති වෙනස් කෙරෙමින් පවතී. දැනටමත් සාපරාධී අපහාස නීතිය අහෝසි කර තිබෙන අතර, පුවත්පත් මණ්ඩල ක්රමය ද අහෝසි කොට ස්වාධීන පැමිණිලි කොමිසමක් ඇති කිරීමට ද නියමිතය. ජූලිවලදි තොරතුරු ලබාගැනීමේ අයිතිය තහවුරු කෙරෙන පනතක් නීතිගත කිරීමට ද නියමිතය.
ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්රමයක් තුළ ව්යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන ප්රධාන ආයතන තුනේත් රටේ අනෙකුත් අංශවලත් සිදුවන දේවල් මහජනයා වෙත දැනුම් දෙන්නා ලෙස ක්රියා කරන්නේ ජනමාධ්යයි. එහිදි රටේ එදිනෙදා කටයුතු සිදුවන ආකාරය පිළිබඳ සත්යගරුක චිත්රයක් මහජනතාවට ලබාදිමේ වගකීම පැවරි ඇත්තේ ජනමාධ්ය වලටය.
එහිදි ජනමාධ්ය දේශපාලන ක්රමයේ මර්මස්ථානවල සිදුවන වැරදි වසන් කොට සාමාන්ය මිනිසුන් කරන වැරදි පමණක් වාර්තා කරන ප්රතිපත්තියක් අනුගමනය කරයි නම් පෙරළා එය මහජනයාගේ තීන්දු ගැනීමේ ක්රියාවලිය කෙරෙහි නරක බලපෑමක් ඇති කරනු නොවැළැක්විය හැකිය.
රටේ සිදුවන බලවත් වරදක් පිළිබඳව කිසියම් ජනමාධ්යයක් ගවේෂණාත්මක ආකාරයකින් හෙළිදරව්වක් කරන අවස්ථාවක අන් සියලු ජනමාධ්යය ද ඊට සම්බන්ධවීම ලෝකයේ හැම රටකම පාහේ දක්නට ලැබෙන පොදු ධර්මතාවකි. එහෙත් එම පොදු ධර්මතාව ශ්රී ලංකාවේ පමණක් ක්රියාත්මකවන්නේ නැත. සාමාන්යයෙන් සිදුවන දේ වනුයේ එක් ජනමාධ්යයක් කරන එවැනි හෙළිදරව්වකදි අන් සියලු ජනමාධ්ය එය අනුන්ගේ දෙයක් ලෙස සලකා නිශ්ශබ්දව සිටින ප්රතිපත්තියක් අනුගමනය කිරීම මගින් හෙළිදරව් වී තිබෙන එම වරද වසන් කිරීමට වැරදි කළ පුද්ගලයාට උදව් දෙන ප්රතිපත්තියක් ක්රියාත්මකවීමය. මේ නිසා හෙළිදරව්ව කළ ජනමාධ්ය තනිවන තත්ත්වයක් ඇතිවේ. ඒ නිසා වරදට සම්බන්ධ පුද්ගලයාට හෝ පුද්ගල කණ්ඩායමට තමන් සම්බන්ධ වරද හෙළිදරව් කළ ජනමාධ්ය තනි කොට ඊට එරෙහිව බලය පාවිච්චි කිරීමට අවස්ථාවක් ලැබෙන්නේය.
“රාවය” ලෙනින් රත්නායක මහේස්ත්රාත්වරයා තමන්ගේ නඩුවකට සම්බන්ධ කාන්තාවක් දූෂණය කිරිමේ සිද්ධිය රටට වාර්තා කළේ එම මහේස්ත්රාත්වරයා සමග ඇති කරගත් පෞද්ගලික කෝන්තරයක් නිසා නොව, දූෂණයට ලක්වූ කාන්තාව කියන කතාවේ සත්ය පදනමක් ඇති බව සොයාගැනීමෙන් පසු එම කාන්තාවට යුක්තිය ඉටුකරවා දිම සඳහාය. පසුකලක සමස්ත අධිකරණයම අතිවිශාල අර්බුදයකට තල්ලු කිරීමට හේතුවූ එම හෙළිදරව්වේදි බොහෝ ජනමාධ්ය කළේ හිතාමතාම ස්ත්රී දූෂක මහේස්ත්රාත්වරයාට ආරක්ෂාව ලබා දෙන පිළිවෙතක් දිගින් දිගටම අනුගමනය කිරීමය. මෙම තක්කඩි මහේස්ත්රාත්වරයා සමහර ජනමාධ්ය වලට කෙතරම් සමීප මිතුරෙකු බවට පත්වූයේ ද කියතොත් වෙනත් කෙනෙකු ලියා එවන ලෙස ඔහු තමන් ගැනම ලියා එවන වාර්තා සමහර පුවත්පත් මුල් පිටුවල පළ කරන ප්රතිපත්තියක් ක්රියාත්මක විය. අවස්ථා කිහිපයකදි ඔහු විසින් ලියා එවන ලද එකම ප්රවෘත්තිය එකම දින එකම ආකාරයට පුවත්පත් දෙකක මුල් පිටුවේ පළවූ අවස්ථා ද තිබුණි. මේ සිද්ධියේදි මෙම මහේස්ත්රාත්වරයා ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කළ එකම පුවත්පතක්වත් ඔහු අතින් දූෂණයට ලක්වූ කාන්තාවන් සොයා ගොස් ඔවුන් කියන කතාවල ඇත්තක් තිබේදැයි සොයා බැලුවේ නැත. ඔහු අධිකරණ සේවයට පැමිණ තිබුණේ මුදල් වංචා චෝදනාවක් මත ශ්රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් පළවා හැරිමෙන් පසුය. ඔහු ඒ බව අධිකරණයට වසන් කොට ඇති බවට එල්ල වී තිබුණු චෝදනාවේ ඇත්තක් තිබේදැයි ඔවුන් සොයා බැලුවේ නැත.
ඊටත් වඩා භයානක දේ වනුයේ ඔහුට එරෙහිව අවුරුද්දකටත් වැඩි කාලයක් දිගින් දිගට කෑගසන ප්රතිපත්තියක් ඔස්සේ ලබාගත් පරීක්ෂණයෙන් (අධිකරණ සේවා කොමිසම පත් කළ එම ත්රිපුද්ගල පරීක්ෂණ කමිටුව අභියාචනාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සමන්විත විය.) ඔහු සියලු චෝදනා වලට වරදකරු ලෙස නිගමනය කිරිමෙන් පසුත්, එම ජනමාධ්ය ඔහු තවදුරටත් ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කිරීමය.
මේ වැරදි පිළිවෙත ඊට සමාන ආකාරයකින් අගවිනිසුරු සරත් සිල්වා සම්බන්ධයෙන් ද ක්රියාත්මක විය. ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරිමෙන් පසුත්, සමහර පුවත්පත් සෘජු ලෙස හෝ අනියම් ආකාරයකින් ඔහු ආරක්ෂා කරන, ඔහුට සුදු හුණු ගාන පිළිවෙතක් අනුගමනය කළේය. අගවිනිසුරුවරයා තමන්ට එරෙහිව ඉදිරිපත්ව තිබූ දෝෂාභියෝගය ව්යර්ථ කිරීම පිණිස දියත් කර තිබුණු මෙහෙයුමට ජනමාධ්යවේදිහු ගණනාවක් ද සම්බන්ධ වී සිටියහ. අගවිනිසුරුවරයා උපරිම මට්ටමෙන් ඔවුන්ට ආධාර කරන පිළිවෙතක් තුළ ඔවුහු ද පෙරළා ඉතාමත් සියුම් ලෙස ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් පෑන හසුරුවන පිළිවෙතක් අනුගමනය කළහ.
ඉතා මෑත දිනක අලුත්කඩේ ප්රසිද්ධ නීතිඥයකුගෙන් අසන්නට ලැබුණු කතාවක් මෙසේය. ඔහු පුවත්පත් කතුවරයෙකු සමග රටේ පවතින තත්ත්වය ගැන කතා කරමින් සිටින අවස්ථාවක එම නීතිඥයා අගවිනිසුරු පිළිබඳ ප්රශ්නයේදි එම කතුවරයා අයත් පුවත්පත නිශ්ශබ්ද ප්රතිපත්තියක් අනුගමනය කරන්නේ ඇයිදැයි ප්රශ්න කළේය. අගවිනිසුරුවරයාගේ කෙරුවාව ගැන තමාට හොඳ අවබෝධයක් ඇතත්, අගවිනිසුරුවරයාට හානියක් ඇතිවන ආකාරයට කිසිවක්ම පළ නොකළ යුතු බවට කළමනාකරුවන් පනවා තිබෙන නියමය නිසා තමන්ට ඊට අනුකූලව ක්රියා කරන්නට සිදුවී ඇති බවත්, එය හරි දෙයක් නොවන බව තමන් දන්නා මුත්, තමන්ට ඊට එරෙහිව යාමේ හැකියාවක් නැති බවත් ප්රකාශ කර තිබේ.
“ලීඩර් කර්තෘ” ලසන්ත වික්රමතුංගට කර්තෘ සංසදය අතහැර යන්නට සිදුවූයේ ආණ්ඩුව එම පුවත්පත තහනම් කරන ලද අවස්ථාවේදි සංසදය ඊට අදාළව කිසිදු නිල ප්රකාශයක් නොකිරීම හේතු කොටගෙනය. එය සිදුවූයේ කුමන හේතුවක් නිසා වුවත්, එය සංසදය අතින් සිදුවූ බරපතල වරදකි. එහෙත් කර්තෘ සංසදය ඇතුළු ජනමාධ්ය නිදහස ගැන උනන්දුවෙන් ක්රියා කරන සමහර ආයතන නිශ්ශබ්දව සිටි එකම අවස්ථාව එය නොවන බව ද කිවයුතුය.
තම ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙකුට පුවත්පත් කර්තෘවරුන් දෙදෙනෙකු ඝාතනය කිරීම සඳහා වැඩපිළිවෙලක් තිබුණ බවත්, ඒ ගැන දැනගැනීමට ලැබී තමා එම වැඩපිළිවෙල ව්යර්ථ කළ බවත්, ජනාධිපතිනිය අවස්ථා තුනකදි ප්රසිද්ධියේ ප්රකාශ කළාය. ඉන්පසු එස්.බී. දිසානායක මහතා ද ඒ ගැන ප්රසිද්ධ ප්රති ප්රකාශයක් කළේය. වෙනත් රටක නම්, ජනාධිපතිවරයෙකු හා ඇමතිවරයෙකු කරන එවැනි ප්රකාශ ඹස්සේ බරපතල ප්රශ්න කිරීමක් ඇති කරන තත්ත්වයක් ඒ රටේ ජනමාධ්ය නිදහස වෙනුවෙන් පෙනී සිටින සංවිධාන විසින් ඇති කරනු ඇතත්, පුදුමයට මෙන් එහිදි ද කර්තෘ සංසදය නිශ්ශබ්දව බලා සිටින පිළිවෙතක් අනුගමනය කළා විනා ඒ ගැන එකම වචනයක්වත් කතා කළේ නැත.
ජනමාධ්යවේදින්ට එරෙහිව ක්රියාත්මක වූ පොදු මර්දනයේදි ද කර්තෘ සංසදය කතා කළේ තෝරා ගත් එක පැත්තක් ගැන පමණය. පසුගිය පාලන කාලය තුළ ජනමාධ්යවේදින් තිදෙනෙකු ඝාතනය කෙරුණු අතර, තවත් විශාල පිරිසක් පහරදිම් වලට ලක්විය. කර්තෘ සංසදය ඒ සිද්ධීන් වලදි ප්රසිද්ධියේ හෙළා දකින පිළිවෙතක් අනුගමනය කළත්, ඉන් ඔබ්බට යන කිසිවක් කළේ නැත. පසුගිය ආණ්ඩුව ජනමාධ්යවේදින්ට එරෙහිව දියත් කළ මර්දන ව්යාපාරය තල ගණනාවකින් ක්රියාත්මක විය. මරා දැමීම් හා පහරදිම් එක තලයකින් ක්රියාත්මක වනවිට තවත් තලයකින් ඒ සිද්ධීන් ගැන රටට අර්ථකථන ලබාදෙන මාධ්ය මෙහෙයුමක් ක්රියාත්මක විය. ජනාධිපතිනිය, මංගල සමරවීර වැන්නන් ඒ සිද්ධීන්ට දෙන අර්ථකථන වලට තාර්කික පිළිගැනීමක් ලබාදිම සඳහා වන විශේෂ මෙහෙයුමක් ලුෂන් රාජකරුණානායක, ජනදාස පිරිස්, මහින්ද අබේසුන්දර යන අය විසින් දියත් කොට තිබුණි. ඒ සමග ඒ සිද්ධීන් ගැන කෙරෙන පොලිස් පරීක්ෂණ යටපත් කිරිමේ මෙහෙයුමක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පුණ්යා ද සිල්වා විසින් දියත් කොට තිබුණි. සිව්වන මෙහෙයුම ක්රියාත්මක වූයේ අධිකරණයේය. මෙම සාහසික සිද්ධීන්වලට අදාළව උසාවියට එන නඩු යටපත් කිරිමේ වගකීම පැවරි තිබුණේ අගවිනිසුරුවරයාටය. ඔහු අධිකරණය ඉදිරියට එන එවැනි නඩු යටපත් කිරීම සඳහා විනිසුරුවරුන්ට බලපෑම් කළේය. ඊට එකග නොවූ විනිසුරුවරුන් වෙනත් උසාවිවලට මාරු කර යවමින් තමන්ට අනුකූලව ක්රියා කරන අය එම උසාවිවලට ගනිමින් යුක්තිය ඉටුවීම වැළකීය. මේ හැම තලයකම සිදුවූ යටපත් කිරිමේ ක්රියාවලිය ගැන කර්තෘ සංසදය දැන සිටියේ නැද්ද? දැන සිටියේ නම් ඒ ගැන නිශ්ශබ්දව බලා සිටින පිළිවෙතක් අනුගමනය කළේ ඇයි? අඩුම වශයෙන් දැන්වත් ඒ ගැන කතා කරන පිළිවෙතක් අනුගමනය නොකරන්නේ ඇයි?
ජනාධිපතිනිය, හිටපු මාධ්ය ඇමති මංගල සමරවීර හා ජනාධිපතිනියගේ හිටපු මාධ්ය උපදේශක සනත් ගුණතිලක යන තුන් කට්ටුවේ මෙහෙයවීමෙන් ජූලි 15 වැනිදා එජාප විරෝධතා ව්යාපාරය වාර්තා කරන්නට ගිය කැමරා ශිල්පීන් එක පොදියකට ගෙන පී.එස්.ඩී.ය ලවා අමානුෂික ලෙස පහරදිමේ සිද්ධියට එරෙහිව පහර කෑ ජනමාධ්යවේදින් ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියට ගිය අවස්ථාවේදි එම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කළ අගවිනිසුරුවරයා, පෙත්සම ඉවත් කරගන්නා පැමිණිලිකරුවන්ට උසාවියෙන් පිටස්තරව වන්දි ගෙවන ක්රමයක් ඇති කරදි ආණ්ඩුව ආරක්ෂා කරගන්නා අරුම පුදුම පිළිවෙතක් ක්රියාත්මක කළේය. පැමිණිලිකරුවන් එහි ගියේ සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බව ප්රකාශ කරවා ගැනීම සඳහාය. ඒ වෙනුවට සිදුවූ උසාවියෙන් පිටත වන්දි ලබාගත හැකි ක්රමයක් ඇති කරදිමට එහිදි අගවිනිසුරුවරයා අනුගමනය කළ ක්රියාපිළිවෙත සියලු පිළිගත් මූලධර්මවලට පටහැනි බව පෙනි පෙනීත් කර්තෘ සංසදය කළේ ඒ ගැන නිශ්ශබ්දව බලා සිටින පිළිවෙතක් අනුගමනය කිරීමය.
ජනමාධ්ය නිදහස පුළුල් කිරීමට හේතුවන ප්රතිසංස්කරණ දිනාගැනීම ඉතා අවශ්යය. ඒ සමග ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්රමයක් තුළ ජනමාධ්යවේදින් හා ජනමාධ්ය සංවිධාන තමන් වෙත පැවරෙන යුතුකම් හා වගකීම් පිළිබඳව ආපසු හැරි බැලීමක් කරමින් සමාජ වගකීමකින් ක්රියා කරන ජනමාධ්ය සංස්කෘතියක් පෝෂණය කරගැනීම ද ඉතා අවශ්යය. “ලීඩර්” කර්තෘ ලසන්ත වික්රමතුංගගේ ප්රසිද්ධ විවේචනය ඒ සඳහා කෙරෙන කතිකාවතක් සඳහා ආරම්භක ප්රවේශයක් ලෙස යොදා ගත හැකිය. එහෙත් ඒ කතිකාවත සිදුවිය යුත්තේ ජනමාධ්ය තලය තුළ අරාජික තත්ත්වයක් ඇතිවන ආකාරයට නොව, තිබෙන වැරදි ජයගනිමින් වඩා හොඳ සංවිධාන තත්ත්වයක් ඇති කරගැනීමට හේතුවන ආකාරයටය.