බස් අවුල සහ මොළේ අවුල

June 30, 2002
Publication:
After twelve people were killed by private buses in two weeks and crowds began stoning buses, Ivan describes a transport system in which passengers, owners and crews are all aggrieved and senior police officers, including former PSD director Nihal Karunaratne, own buses. He proposes extra licences and free training for drivers and conductors, uniforms, state compensation if fares are held down, night-time movement of heavy vehicles in Colombo, standard models and a single livery.

ගෙවී ගිය දෙසතිය තුළ පමණක් පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථවල හැපී මිය ගොස් ඇතැයි කියන පුද්ගල සංඛ්‍යාව 12කි. පෞද්ගලික බස් රථයක මගියකු හැපෙන හැම අවස්ථාවකම දැන් මහජනයා දක්වන ප්‍රතිචාරය වී ඇත්තේ අනතුර සිදු කරන ලද බස් රථයට පමණක් නොව, පාරේ ගමන් ගන්නා වෙනත් බස් රථවලට ද ගල් මුල්වලින් පහරදිමය.

සමස්ත මගී ප්‍රවාහන සේවයම තිබෙන්නේ අවුල් ජාලාවකය. තිබෙන අවුල් තවදුරටත් අවුල් කරගන්නා කළමනාකරණයක් මිස, අවුල් ලිහන කළමනාකරණයක් පවත්නා බවක් ද පෙනෙන්නට නැත.

කාර්යක්ෂම හා තමන් කෙරෙහි ගෞරවයෙන් ක්‍රියා කරන බස් සේවාවක් නැතිකම ගැන, මගීන් ඉන්නේ දැඩි කලකිරීමකිනි. පුද්ගලික අංශයේ වෙනත් අංශවලට මෙන් තමන් සඳහා පමණක් නිදහස් වෙළෙඳ පොළ මූලධර්ම ක්‍රියාත්මක නොවීම ගැන බස් අයිතිකරුවන් ඉන්නේ ද මහත් කලකිරීමකිනි. එක් අතකට අයිතිකරුවරුන්ගෙන් ද, අනෙක් අතට මගීන්ගෙන් ද එල්ල වී තිබෙන පීඩනය මැද බස් සේවකයන් ඉන්නේ ද කලකිරීමකිනි. සමහර උසස් පොලිස් නිලධාරින් මගී ප්‍රවාහන බස් ව්‍යාපාරවල යෙදි සිටින තත්ත්වයක් තුළ වැරදි කරන බස් රථ සඳහා නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවන්නේය කියන විශ්වාසයක් මහජනතාව අතර පවතී. හිටපු පීඑස්ඩී අධ්‍යක්ෂවරයා වූ නිහාල් කරුණාරත්න මහතාට ද තමන්ගේම බස් ව්‍යාපාරයක් තිබුණේය. උසස් පොලිස් නිලධාරින් සතු බස් රථවල සේවය කරන රියදුරන් හා කොන්දොස්තරවරුන් අයිතිකාර පොලිස් නිලධාරින්ගේ බලය හිතට ගෙන මගීන් කෙරෙහි අනුකම්පා විරහිත ආකාරයකින් ක්‍රියා කරන්නේය යන හැගීමක් ද මහජනයා අතර පවතී. මහජනයා බස් රථවලට පහරදිමේ පිළිවෙත කෙරෙහි මේ සියලු සාධක බලපා තිබේ.

අනතුරුවලට ප්‍රධාන හේතුව නිසි පළපුරුද්දක් හෝ පුහුණුවක් නැති, කිසියම් විශාල පිරිසක් පෞද්ගලික බස් රථවල රියදුරන් ලෙස සේවය කරන තත්ත්වයක් තිබීමය. අද නිසි පුහුණුවකින් තොරව පගාවට රීයදුරු බලපත්‍රයක් ලබාගත හැකිය. රියදුරු බලපත්‍රයක් ලබාගත් වහාම මගී ප්‍රවාහන බස් රථ එලවන පුද්ගලයන් ද සිටිති. සමහරවිට කලක් කොන්දොස්තරකම කරන පුද්ගලයාට ද රියදුරු වීමට අවශ්‍ය වී නිසි පුහුණුවකින් තොරව රිය පදවන තත්ත්වයකට යන අවස්ථා ද පවතී. පෞද්ගලික බස් රථ රියදුරන්ගේ ශක්‍යතාව උරගා බලන පරික්ෂණයක් පැවැත්වීමෙන් පමණක් වුවත්, මේ තිබෙන තත්ත්වයේ තිබෙන අවුල් සහගත තත්ත්වය නිසි ලෙස හඳුනාගත හැකිය. මගී ප්‍රවාහන බස් රථ පැදවීම සඳහා තිබෙන රියදුරු බලපත්‍රයට අමතරව ඔවුන් නිසි පරික්ෂණයකට ලක් කොට අතිරේක බලපත්‍රයක් ලබාදෙන ක්‍රමයක් ඇති කොට, එම අතිරේක බලපත්‍රය නැති මගී ප්‍රවාහන බස් රථ එලවීම තහනම් කළ හැකිය. දැනට පෞද්ගලික මගී ප්‍රවාහන සේවයේ රියදුරන් ලෙස ක්‍රියා කරන සියලු දෙනා ද කඩින් කඩ ගෙන නොමිලේ නැවත පුහුණු කොට එම විශේෂ බලපත්‍ර ලබාදෙන ක්‍රමයක් ඇති කිරීම මගින් මේ විෂමතාව ජයගත හැකිය. ඒ සමග කොන්දොස්තරවරුන් ද නොමිලේ පුහුණු කොට ඔවුන් සඳහා ද බලපත්‍ර ලබාදෙන ක්‍රමයක් ඇති කළ හැකිය. ඒ සමග බස් කොන්දොස්තරවරුන්ට හා රියදුරන්ට නිල ඇඳුමක් පාවිච්ච් කළ යුතු තත්ත්වයක් ද ඇති කළ හැකිය.

මගී ප්‍රවාහන කොන්දොස්තර රැකියා සඳහා ගණන්කාර පන්නයේ මිනිසුන් යොදා ගත යුතුයි කියන වැරදි මතයක් සමහර බස් අයිතිකරුවන් අතර පවතී. සියලු බස් කොන්දොස්තරවරුන් පුහුණු කොට ඔවුන්ට බලපත්‍ර ලබාදෙන ක්‍රමයක් ඇති කිරීම මගින් එම රැකියාවට ඇතුළත්වන පුද්ගලයන්ට අපහසුවකින් තොරව කෙටි පුහුණුවකින් පසුව බලපත්‍ර ලබාගත හැකි ක්‍රමයක් ඇති කිරීම මගින් පුද්ගලික බස් සේවකයන් අතර පවත්නා විනය පිරිහීම ජයගත හැකිය.

පෞද්ගලික අංශයේ සියලු ආයතන සඳහා නිදහස් වෙළෙඳ පොළ මූලධර්ම ක්‍රියාත්මක වෙතත්, පෞද්ගලික මගී ප්‍රවාහන සේවය සඳහා පමණක් ඒ මූලධර්ම ක්‍රියාත්මක නොවීම බස්හිමියන්ට මුහුණ දෙන්නට සිදුවී තිබෙන ප්‍රධාන ගැටලුවකි. 1986 සිට මේ දක්වා බස් ගාස්තු වැඩිවී ඇත්තේ 190%ක් තරම් ප්‍රමාණයකට පමණය. එහෙත් අනෙක් හැම අංශයකම 400%ත් 500%ත් අතර මිල වැඩිවීම් සිදුවී තිබේ. පොදු මගී ප්‍රවාහන සේවය දේශපාලනික වශයෙන් සංවේදි විෂයයකි. එකී මිල ගණන් පහත් මට්ටමක තබාගැනීමට දේශපාලනඥයන්ට අවශ්‍ය නම් බස්රථ හිමියන්ගේ වියදමින් ඒ අරමුණ සපුරා ගැනීම සාධාරණ වන්නේ නැත. බස් ගාස්තු ආණ්ඩුවට අවශ්‍ය තැනක තබා ගැනීමට අවශ්‍ය නම්, ඉහළ යන අතිරේක මිල, ආණ්ඩුව විසින් බස් හිමියන්ට ගෙවන ක්‍රමයක් ඇති කළ යුතුය. එසේ නැතිව බස් ගාස්තුව සංවේදි විෂයයක් ලෙස සලකා ආණ්ඩුවට අවශ්‍ය මිලක තබාගැනීමට උත්සාහ ගතහොත් මගී ප්‍රවාහන සේවය අවුලෙන් අවුලට යන තත්ත්වයක් ඇතිවීම නොවැළැක්විය හැකිය. දැන් මගී ප්‍රවාහන සේවයට සිදුවී තිබෙන ප්‍රධාන වින්නැහියක් වී ඇත්තේ ද එයයි.

කොළඹ නගරයේ කන්ටේනර් හා බර වාහන ගමනා ගමනය රාත්‍රි කාලයට පමණක් සීමා කිරිමෙන් මාර්ගවල ඇති වාහන තදබදය බොහෝ දුරට අඩු කළ හැකිය. ඒ සමග තොග වෙළෙඳම, ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳම රාත්‍රි කාලයේ කළ යුතු වෙළෙඳමක් බවට පත් කිරීමත්, කොළඹ නගරයේ රාත්‍රී ආර්ථිකයක් ඇති කළ හැකිය. වරාය සේවය ද දිවා රාත්‍රී දෙකෙහිදිම කළ යුතු කාර්යයක් බවට පත් කිරිමෙන් කොළඹ වරායේ කාර්යක්ෂමතාව ඉහළ දැමිය හැකිය.

පෞද්ගලික බස් රථ නිසි ප්‍රමිති පරික්ෂණයකට ලක් කෙරෙමින් ප්‍රමිති තත්ත්වයෙන් පහත් බස් රථ මගී ප්‍රවාහන සේවයෙන් ඉවත් කරන ක්‍රමයක් ද ඇති කළ හැකිය. තමන් කැමති ඕනෑම බස් රථයක් ගෙන්වා ගැනීමට ඉඩ දෙන ක්‍රමයක් වෙනුවට සුදුසු එක් මාදිලියේ හෝ දෙකක් අනුමත කරන ක්‍රමයක් හා සියලුම පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ හඳුනාගත හැකි ආකාරයට ඒවාට එක පාටක් ලබාදෙන ක්‍රමයක් ද ඇති කළ හැකිය.