ස්ත්‍රී දූෂක මහේස්ත්‍රාත්යළි අධිකරණ සේවයට

June 2, 2002
Publication:
Ivan reports moves to reinstate magistrate Lenin Ratnayake, whom a Judicial Service Commission inquiry of Appeal Court judges Hector Yapa, Asoka de Silva and T.B. Weerasuriya found guilty on all four charges: two rapes of women connected to cases before him, and concealing his dismissal for fraud from the Insurance Corporation. He quotes the charges and the commission's minutes, summarises the evidence of witnesses, and reproduces extracts of testimony from one victim and from the husband of another.

අධිකරණ සේවා කොමිසම විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල පරීක්ෂෂණ කමිටුවක් මගින්, ස්ත්‍රී දූෂණ චෝදනා දෙකකට, මුදල් වංචා චෝදනාවකට හා මුදල් වංචා චෝදනාවක් නිසා සංස්ථා සේවයෙන් පහ කර තිබියදි ඒ බව වසන් කොට අධිකරණ සේවයට අයදුම් කිරීම යන බරපතල චෝදනා හතරකට වැරදිකරු වූ ලෙනින් රත්නායක මහේස්ත්‍රාත්වරයා නැවත අධිකරණ සේවයට ගැනීමට අවශ්‍ය කටයුතු සම්පූර්ණ කෙරෙමින් තිබෙන බව වාර්තා වේ.

මෙම ස්ත්‍රී දූෂක වංචාකාරයා නැවත අධිකරණ පුදසුන වෙත කැන්දාගෙන එමින් තිබෙන්නේද නව ආණ්ඩුවක් බලයට පත් වී මනා රාජ්‍ය පාලනයක් සඳහා ව්‍යවස්ථා සභාවක් ද ඇති කර තිබෙන අවස්ථාවකදිය.

මෙම දූෂිත මහේස්ත්‍රාත්වරයාට එරෙහිව රාවයෙන් එල්ල කෙරුණු චෝදනා විභාග කිරීම සඳහා අධිකරණ සේවා කොමිසම ත්‍රිපුද්ගල පරීක්ෂෂණ කමිටුවක් පත් කරන ලද්දේ 1998 නොවැම්බර් 11 වැනිදාය. එම ත්‍රිපුද්ගල පරීක්ෂෂණ කමිටුව හෙක්ටර් යාපා, අශෝකා ද සිල්වා හා ටී.බී. වීරසරිය යන අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත විය. වර්තමානයේ එම විනිසුරුවරුන් තිදෙනාම ශේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ය. ත්‍රිපුද්ගල පරික්ෂෂණ කමිටුව හමුවේ පවත්වන ලද විභාගයේදි මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක පරික්ෂෂණ කමිටුව ඉදිරියට කැඳවා ඔහුට එරෙහිව ඉදිරිපත් කර තිබුණු චෝදනා පරික්ෂෂණ කමිටුවේ සභාපති හෙක්ටර් යාපා මහතා පැහැදිලි කර දුන්නේ මෙසේය.

1. ජයන්තා ගුණවර්ධන මැණිකේ නමැත්තිය විත්තිකාරියක් වශයෙන් සිටියදි 1997 දෙසැම්බර් 17 වැනි දින ඇය නීතීඥයෙක් මගින් නිල කාමරයට කැඳවා ඒ නිල කාමරයේදි ඇය සමග ලිංගික සංසර්ගයේ යෙදිම.

2. ඇය එම දිනයේදි අසනීප තත්ත්වයකට පත්වීමෙන් පසුව තමන්ගේ නියෝගයක් මත මහව ආරෝග්‍ය ශාලාවේ රෝහල්ගත කර සිටියදි පසුදින ඇය යම් ස්ථානයකට වාහනයකින් ගෙන ගොස් එම ස්ථානයේදි ඇයට පිස්තෝලයක් පෙන්වා බය ගන්වා ඇය සමග ලිංගික සංසර්ගයේ යෙදිම.

3. තමා ඉදිරියේ අසන ලද නඩුවක විත්තිකරුවකු වූ චන්දන පුෂ්පකුමාර නමැති අයගේ භාර්යාව වන ඩබ්ලියු.බී.එම් කමලාවතී නමැත්තිය ඇගේ ස්වාමි පුරුෂයාට ඇප ලබා දිමට කටඋත්තරයක් ලබා ගැනීමට අවශ්‍ය යැයි කියා ගම්පොළ තානායමට ගෙන ගොස් ඇය සමග ලිංගික සංසර්ගයේ යෙදිම.

4. තමා ශ්‍රී ලංකා රක්ෂෂණ සංස්ථාවේ ලිපිකරුවකු වශයෙන් සේවය කරද්දි මුදල් වංචාවක් සම්බන්ධයෙන් වැඩ තහනම් කර චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර විනය පරීක්ෂෂණයක් කර චෝදනා හයටම වැරදිකරු වූ පසු සේවයෙන් පහ කිරීම සම්බන්ධව වූ මෙම කරුණු අධිකරණ සේවයට ඉල්ලුම් කිරිමේදි වසන් කරමින් තනතුර ලබා ගැනීම.

ත්‍රිපුද්ගල පරීක්ෂෂණ කමිටුව මේ පරීක්ෂෂණයේදි මහේස්ත්‍රාත්වරයා චෝදනා හතරටම වරදකරු කළේය.

ඉන්පසු අධිකරණ සේවා කොමිසම රැස්වී පරික්ෂෂණ කමිටුවේ තීන්දුව පිළිබඳ ගනු ලැබුණු නියමයන් කොමිෂන් රැස්වීම් වාර්තාවේ සඳහන් වී ඇත්තේ මෙසේය.

්ගරු එල්.එච්.ඩී. වීරසේකර මහතා විනය පරික්ෂෂණ කමිටුව විසින් සොයා ගත් කරුණු පිළිබඳව සිය එකගතාව පල කරමින් එල්.ආර්. බණ්ඩාර මහතා වැඩ තහනමකට ලක් කළ යුතු යැයි ද ශ්‍රී ලංකා රක්ෂෂණ සංස්ථාවේ ඔහු පෙර නියුතුව සිටි රැකියාව හෙළි නොකිරීම පිළිබඳව චෝදනා පත්‍රයකුත් ස්ත්‍රී දූෂණයට අදාළ චෝදනා පත්‍රයකුත් නීතිපති මගින් ගොනුකළ යුතු යැයි ද ප්‍රකාශ කර සිටියේය.

30-07-99 වැනි දින සිට බණ්ඩාර මහතා අනිවාර්ය නිවාඩු යැවිය යුතු යැයි කොමිසමේ බහුතරයකගේ තීන්දුව වූ අතර කමිටුවේ සොයා ගැනීම් සමග අනිකුත් කරුණු චෝදනා ගොනු කිරීම සඳහා නීතිපති වෙත යොමු කළ යුතු යැයි තීරණය විය.

නීතිපතිවරයා වෙත ආවරණ ලිපියක් රහස් කවරයක බහා යවන ලෙස වැඩ බලන ලේකම්වරයාට උපදෙස් දෙන ලද අතර මෙම කරුණ කෙරෙහි දෑඩි අවධානය යොමු කරන ලෙස කොමිසම කෘතඥ පූර්වකව ඉල්ලා සිටින බව එහි සඳහන් කිරීමටත් තීරණය විය.

එකල අධිකරණ සේවා කොමිසම සමන්විත වූයේ අගවිනිසුරු ජී.පී.එස් ද සිල්වා, ප්‍රියන්ත පෙරේරා හා එල්.එච්.ඩී. වීරසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙනි. වර්තමානයේ එල්.එච්.ඩී. වීරසේකර මහතා ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෙකි.

ලෙනින් රත්නායක මහේස්ත්‍රාත්වරයා සම්බන්ධයෙන් කොමිසම අනුගමනය කෙරුණු ලිහිල් පිළිවෙත (චෝදනා ගොනු කරන තෙක් සම්පූර්ණ වැටුප් ලබා ගත හැකි ආකාරයට අනිවාර්ය නිවාඩු යැවීම) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නිත්‍ය නියෝජිත ජනාධිපති නීතීඥ එච්.එල්.ද සිල්වා මහතාගේද විශ්‍රාම ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.එම්.එම්.බී. කුලතුංග මහතාගේ ද විවේචනයට හේතු විය.

කොට තිබුණේ මෙසේය.

“සුරක්ෂෂිතව පැවැති අධිකරණ ස්වාධීනත්වයත්, විනිශ්චයකාරවරුන් අතර පැවැති සදාචාරාත්මක අවංක භාවයත් දරුණු මුල් පුවත හා සම්බන්ධයි මුල් පුවත හා සම්බන්ධයි

ලෙනින් රත්නායක මහේස්ත්‍රාත්වරයාට එරෙහිව සිදු කෙරුණු පරීක්ෂණයේදි දූෂණයට ලක්වූ කාන්තාවන් දෙදෙනා ද, ඔවුන්ගේ ස්වාමි පුරුෂයන් දෙදෙනා ද සාක්ෂි දුන්නේය. දෙවැනි ස්ත්‍රී දූෂණ සිද්ධියට අදාළ නඩුවේ පාර්ශ්ව දෙක වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තිස්ස ආර්. බලල්ල මහතා හා පරීෂ් මොහොමඩ් හුසෙයිර් මහතා ද සාක්ෂි දුන්නේය. ඔවුන් මහේස්ත්‍රාත්වරයාගේ නිල කාමරයට යන අවස්ථාව වනවිට නිල කාමරය ඇතුළත සිටියේ මහේස්ත්‍රාත්වරයා හා දූෂණයට ලක්වූවේ යයි කියන කාන්තාව පමණක් බවත්, ඇය වෙනුවෙන් පෙනී සිටි සිරිපාල හපුආරච්චි මහතා සිටියේ නිල කාමරයේ පිටත බවත් කියා සිටියේය. කාන්තාවගේ සාක්ෂියෙන් කියවුණේ තම නිල කාමරයේදි මහේස්ත්‍රාත්වරයා විසින් දුෂණය කරන ලද අවස්ථාවේදි කාමරයෙන් පිටත සිටිමින් කාමරය මුර කරන ලද්දේ තමා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සිරිපාල හපුආරච්චි මහතා බවය. රක්ෂණ සංස්ථාවේ සිදුවු තුන්වැන් පාර්ශ්වයේ හිමිකම් වංචාවට අදාළව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ විධායක නිලධාරී ශ්‍රී නාග විල්ෆ්‍රඩ් මිහිඳුකුලසූරිය මහතා ද, සංස්ථාවේ ගණකාධිකාරි නිමල් විජේසුරිය මහතා ද සාක්ෂි දුන්නේය. ලෙනින් රත්නායක විසින් වංචාවෙන් ලබාගන්නා ලද තුන්වැනි පාර්ශ්වයේ හිමිකමට අදාළ චෙක්පත ලෙනින් රත්නායක විසින් සිය නමට මහජන බැංකුවේ මරදාන ශාඛාවේ පවත්වාගෙන ගිය අංක 1613 දරන ගිණුමට බැරකර තිබීම පිළිබඳව පරික්ෂණයක් කළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරික්ෂක විමලරත්න ද සිල්වා සපුකොටන මහතා ද පරික්ෂණ කමිටුව හමුවේ සාක්ෂි දුන්නේය. මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක ද පරික්ෂණ කමිටුව ඉදිරියේ සාක්ෂි දුන්නත්, හරස් ප්‍රශ්නවලට මුහුණ නොදි පරික්ෂණ විභාගයෙන් ඉවත්ව ගියේය.

මේ පරික්ෂණයේදි සාක්ෂිවලින් හෙළිදරව් වූ කරුණු ඉතා වැදගත් වුවත්, සාක්ෂි වාර්තාවලට ඇතුළත් පිටු ගණන ඉතා දිර්ඝ බැවින් ඒවා මුළුමණන් උපුටා දෑක්වීමේ හැකියාවක් නැත. මෙහි පළවනුයේ දූෂණයට ලක්වූ එක් කාන්තාවක් විසින් දෙන ලද සාක්ෂියකින් උපුටා ගන්නා ලද කොටසකි.

ප්‍ර: ඊට පස්සෙ මොනවද වුණේ? තමන් කිව්වා දූෂණය කළා කියලා?

උ: ඔව්.

විනිසුරු අසෝක සිල්වා මහතා

ඒකෙන් අදහස් කරන්නේ කුමක්ද?

සභාපති විනිසුරු යාපා මහතා

ඒ කියන්නේ තමා කැමැත්ත දුන්නේ නෑ, තමා සමග අඹු සැමියන් වශයෙන් හැසිරෙන්න?

උ: නෑ.

විනිසුරු අසෝක සිල්වා මැතිතුමා

අඹු සැමියන් වශයෙන් හැසුරුණාද?

උ: ඔව්.

සභාපති විනිසුරු යාපා මහතා

උ: අඹු සැමියන් වශයෙන් හැසිරුණා. තමන් කැමැත්ත දුන්නේ නෑ?

උ: නෑ.

සභාපති විනිසුරු යාපා මහතා

තමාට ඒ වෙලාවේ භය ඇති වුණාද?

උ: ඔව්.

සභාපති විනිසුරු යාපා මහතා

උ: මට වෙඩි තියයිද කියලා භයක් ඇති වුණා

විනිසුරු වීරසූරිය මහතා

ඔය නාන කාමරයට ගිය අවස්ථාවකදි තමාට කිව්වාද ඇගපත එහෙම හෝදා ගන්න කියලා?

උ: ඔව්..

විනිසුරු වීරසූරිය මහතා

තමා නාන කාමරයේදි ඇගපත හෝදා ගත්තා ද?

උ: නෑ

විනිසුරු වීරසූරිය මැතිතුමා

ඔය ඇත්තමද කියන්නේ? මහේස්ත්‍රාත්වරයා තමාට ඇගපත හෝදා ගන්න කිව්වට තමා ඇගපත හෝදා ගත්තෙ නෑ?

උ: නෑ.

නීතීඥ සුරංජිත් මහතා

ප්‍ර: දැන් තමා ඔය අවස්ථාවේදි ඔය නාන කාමරය පාවිච්චි කළාද තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවක් සඳහා? ඒ කියන්නේ මුත්‍රා කිරීම වගේ සඳහා? තමා ඒ නාන කාමරය පාවිච්චි කළා ද ඒ දිනයේදි මුත්‍රා කරන්න

උ: ඔව්.

සභාපති විනිසුරු යාපා මහතා

දැන් තමා ඔය විධියට දූෂණය කළා කීව්වා නේ? එතකොට මහේස්ත්‍රාත්වරයා කෑම කාලද හිටියේ?

උ: දිසිවල කෑම තිබුණා. මහේස්ත්‍රාත්තුමා කෑම කෑවා.

සභාපති විනිසුරු යාපා මහතා

කෑම කෑවට පස්සෙ ද ඔහොම වුණේ?

උ: ඔව්.

නීතීඥ සුරංජිත් මහතා

ප්‍ර: දැන් එහෙම කී වතාවක් වුණාද?

උ: හතර වතාවක් වුණා.

සභාපති විනිසුරු යාපා මහතා

දැන් මේ පළවෙනි සිද්ධිය වෙලා ඊට පස්සෙ කොච්චර වෙලාවකින් ද හතර වතාවක් වුණේ? දිගටම හතර වතාවක් වුණා ද?

උ: දිගටම නොවේ.

සභාපති විනිසුරු යාපා මහතා

හතර වතාවක් කිව්වෙ මුළු රාත්‍රී කාලයේදිමද?

උ: ඔව්.

සභාපති විනිසුරු යාපා මහතා

කොහොමද එක සිද්ධියක් වෙලා අනෙකට කොච්චර වෙලාවක් තිබුණාද?

උ: එක සිද්ධියක් වෙලා පැය 1/2ක් වාගේ වෙලාවකින් දෙවෙනි සිද්ධිය. එහෙම හතර වතාවක් වුණා.

සභාපති විනිසුරු යාපා මහතා

තමාට ඔය සිද්ධිය හතර වතාවක් වෙන අතරතුර නිදා ගන්න එහෙම අවස්ථාවක් ලැබුණාද?

උ: නෑ, මම නිදා ගත්තේ නෑ.

සභාපති විනිසුරු යාපා මහතා

තමා ඇඬුවාද?

උ: ඔව්.

නීතීඥ සුරංජිත් මහතා

ප්‍ර: දැන් පිස්තෝලයක් තියෙනවා කිව්වා මීට ඉහතදි?

උ: ඔව්.

ප්‍ර: මේ දිනයේදි තමා ස්ත්‍රියක් වශයෙන් ශාරිරීක වශයෙන් යම් විශේෂ සිද්ධියකට ලක් වෙලා හිටිය දවසක් ද? දැන් තමා විවාහක කාන්තාවක්. ඒ වගේම තමා දන්නවා මාස් ශුද්ධිය කියන එක, ඒ වගේම දැන් මේ දිනයේදි යම්කිසි එවැනි සිද්ධියක් සිද්ධ වෙච්ච දිනයක් ද?

උ: ඔව්.

ප්‍ර: ඒ මොකක්ද කියල තමාගේ වචන වලින් කියන්න. මොනව වගේ දිනයක්ද? මා කිව්වොත් හරිද තමාට එදින මාස් ශුද්ධිය වෙච්ච දිනයක් කියලා?

උ: ඔව්.

විනිසුරු අසෝක සිල්වා මහතා

තමා ඒක මහේස්ත්‍රාත්තුමාට කිව්වේ නැද්ද?

උ: කිව්වා, අසනීප වෙලා ඉන්නෙ කියලා.

විනිසුරු වීරසූරිය මහතා

එතකොට මොකද කීවේ?

උ: මොකුත් කීවේ නෑ

ප්‍ර: තමා කිව්වා මාස් ශුද්ධිය වෙච්ච කාලයක් කියා. සාමාන්‍යයෙන් මාස් ශුද්ධිය වුණාට පසු දින කීයක් විතර ගතවනවාද නැවත ස්වාභාවික තත්ත්වයට පත්වෙන්න? සාමාන්‍යයෙන්

උ: දවස් 6ක් විතර යනවා.

විනිසුරු අසෝක සිල්වා මහතා

ප්‍ර: මාස් ශුද්ධිය වෙලා දවස් කීයකට පසුවද?

උ: දවස් 4 කට පසුව.

විනිසුරු යාපා මහතා

ප්‍ර: මේ වකවානුව වෙනකොටත් තමාගේ මේ රුධිරය පිටවෙන ගතියක් තිබුණද?

උ: ටික ටික තිබුණා.

ප්‍ර: තමා මේ දිනවලදි අඳිනවාද කඩවලින් ගන්න දේවල් හෝ රෙදි හෝ විශේෂ දේවල් සාමාන්‍යයෙන් ඕකට සිරිතක් වශයෙන් ස්වාභාවිකව ඒ ඒ ප්‍රදේශවල පාවිච්චි කරනවානේ, එක්කෝ සාප්පුවලින් මිලදි ගන්න දේවල් හරි නැත්නම් ගෙදර දි පාවිච්චි කරන රෙදි හරි පාවිච්චි කරනවා නේ?

උ: ඔව්.

ප්‍ර: තමා මේ අවස්ථාවේදිත් එහෙම දෙයක් පාවිච්චි කරලාද තිබුණේ?

උ: ඔව්.

ප්‍ර: ඒක සාප්පුවකින් ගනිපු දෙයක්ද?

උ: නැහැ.

විනිසුරු යාපා මහතා

ප්‍ර: මහේස්ත්‍රාත්වරයා තමා ආරක්ෂාවට ඇඳලා තිබිච්ච ඒවත් ගලවලා දැම්මා ද?

උ: ඔව්.

විනිසුරු ටී.බී. වීරසූරිය මහතා

ප්‍ර: ඒ අවස්ථාවේදිත් ඒවායේ ලේ තිබුණාද?

උ: ඔව්.

ප්‍ර: ඒ වුණත් ඒවත් ගලවල පැත්තක තිබ්බා?

උ: ඔව්.

ප්‍ර: ඉතින් තමාට කිව්වේ නැද්ද බාත්රූම් එකට ගිහිල්ලා ඇග සෝදාගෙන එන්න කියලා.

උ: නැහැ.

ප්‍ර: ඔය ඇත්තමද කියන්නේ?

උ: ඔව්.

නීතීඥ සුරංජිත් මහතා

ප්‍ර: ඊට පස්සෙ මොනවාද වුණේ? රාත්‍රියම ගත කළේ ඒ කාමරයේද?

උ: ඔව්.

ප්‍ර: එළිවෙනකම්?

උ: ඔව්.

ප්‍ර: කොයි වෙලාවේද ස්ථානයෙන් ගියේ?

උ: උදේ ගියේ.

ප්‍ර: කා එක්කද ගියේ?

උ: මේ ලෙනින් රත්නායක මහත්තයා එක්ක.

විනිසුරු යාපා මහතා

ප්‍ර: දැන් තමා ඔය කියන විදියට හැන්දෑවේ නේ ආවේ?

උ: ඔව්.

ප්‍ර: උදේ ගියේ?

උ: ඔව්.

ප්‍ර: තමා කාමරයේ ඉන්න වෙලාවේ නිදා ගත්තාද?

උ: නැහැ.

ප්‍ර: එතකොට මහේස්ත්‍රාත්වරයා නිදා ගත්තාද?

උ: ඔව් නිදා ගත්තා.

ප්‍ර: එයා නිදා ගත්තා?

උ: ඔව්.

ප්‍ර: තමන් ඇහැ ඇරිලා සිටියා?

ප්‍ර: තමන් ඇඳට වෙලා…

උ: නැහැ. එතන පුටුවක් තිබුණා ඒකට වෙලා සිටියා.

ප්‍ර: මහේස්ත්‍රාත් කිව්වේ නැද්ද නිදාගන්න කියා?

උ: කිව්වා.

ප්‍ර: ඇයි මොකද නිදා ගත්තේ නැත්තේ?

උ: මට වුණු සිද්ධිය, ආවේ කටඋත්තරයක් දෙන්න. මෙහෙම සිද්ධියක් වුණ නිසා මට දුකක් වගේ ඇති වුණා.

විනිසුරු සිල්වා මහතා

ප්‍ර: තමා කම්පාවට පත්වෙලා සිටියේ ඒ වෙලාවෛ්?

උ: ඔව්.

විනිසුරු යාපා මහතා

ප්‍ර: තමා කිව්වා තමාගේ සේරම ඇඳුම් ගලවලා දෑම්මා කියා?

උ: ඔව්.

ප්‍ර: ගලවලා දාලා 4 සැරයක් දූෂණය කලා කිව්වානේ?

උ: ඔව්.

ප්‍ර: 4 සැරයක් දූෂණය වනකම් තමාට කිසිම වස්ත්‍රයක් තිබුණේ නැහැ. එහෙමද යම් යම් අවස්ථාවල ඇඳ ගත්තාද?

තමාගේ ඇඳුම් ගලවලා දාලා 4 සැරයක් දූෂණය කරනකම් මොකවත් ඇඳුම් නැතිවද සිටියේ, නැතිනම් එක සිද්ධියක් වෙලා අනෙක් සිද්ධියට කලින් තමා ඇඳුම් ඇඳගෙන ඉඳලා ඒවා ගැලෙව්වාද? කොහොමද ඒක වුණේ?

උ: නැහැ. එතුමා මගේ ඇඳුම් ටික ගත්තා.

ප්‍ර: අරගෙන…,

උ: ඔක්කොම ගත්තා.

ප්‍ර: අරගෙන කොහෙද දැම්මේ?

උ: එතුමා තිබ්බේ ඒවා.

ප්‍ර: කොහේද තිබ්බේ දැක්කාද?

උ: නැහැ. පස්සේ අර ඇඳන්වලට දාල තිබුණු ෂීට් එකක් දුන්නා.

ප්‍ර: සීට් එකක් ඇඳගෙන සිටියේ?

උ: ඔව්.

ප්‍රා එතකොට එළිවෙනකම්ම සීට් එකක් ඇඳගෙනද සිටියේ?

උ: ඔව්. උදේ යන්න ලෑස්තිවෙලා තමයි උදේ 6.00 ට විතර මට ආපසු ඒවා දුන්නේ.

මහේස්ත්‍රාත්වරයා අතින් දූෂණයට ලක්වී සිටි කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ ස්වාමි පුරුෂයෙක් මහේස්ත්‍රාත්වරයාගේ බෙල්ල මිරිකා මරා දෑමීම පිණිස කලක් ඔහු පසුපස හඹායමින් සිටියේය. දිනක් තානායමේදි මහේස්ත්‍රාත්වරයාගේ බෙල්ල මිරිකා මරා දැමීම සඳහා දරන ලද උත්සාහයක් තානායමේ ඇල්ෂේසන් බල්ලා ඔවුන් වෙත කඩා පැනීම නිසා ව්‍යර්ථ වී තිබේ. ඔහු ඒ සියලු අත්දැකීම් පරික්ෂණ කමිටුව ඉදිරියේ විස්තර කරන අතර, අධිකරණය පිළිබඳව තමන්ගේ නිරික්ෂණයන් ද ඉදිරිපත් කළේය. මෙහි පළවනුයේ ඔහුගේ සාක්ෂියේ ඊට අදාළ කොටසයි.

විනිසුරු යාපා මහතා

ප්‍ර : තමන් දැනුත් ඔය විනිශ්චයකාරයා සොය සොයා යනවාද?

උ : දැන් වුනත් හම්බ වුණොත් මරණවා. මේ උසාවියෙදි වුණත් හම්බ වුණොත් මරණවා. මම මැරුවත් මරනවාමයි.

ප්‍ර : දැන් තමන්ට අවස්ථාව දිලා තියෙනවා, නීති මගින් එම කටයුතු කරගන්න. එම නිසා දැන් මින් ඉදිරියට ඒ සම්බන්ධයෙන් පන්නන එකේ තේරුමක් නැහැ. මොකද දන්නවද? අපි දැන් මේක අහලා තීරණයක් ගන්නවා, මොකද තමාට බිරිඳ ආරක්ෂෂා කරගන්න ඕනෑ නම් මිනීමරලා හරියන්නේ නැහැ. එහෙම වුණොත් තමන් හිරේ යාවි.

විනිසුරු වීරසූරිය මහතා

දැන් උන දේ වුනා. දැන් තියෙන්නේ ඉදිරියට කටයුතු කරගෙන යන්නයි.

නීතිඥ සුරංජිත් හේවාමාන්න මහතා

දැන් මේ මමත් පුද්ගලිකව කියන්නේ තමා නානාප්‍රකාර ප්‍රශ්නවලට මුහුණ දුන්නා. ශිෂ්ට සම්පන්න සමාජයේ ආයතන තියෙන්නේ මේ ප්‍රශ්න විසඳන්නයි. ඒ ආයතනයකටයි තමා දැන් මේ ඇවිත් ඉන්නේ. මේ ප්‍රශ්න විසඳීමේ දි ඒ ආයතන ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳව සලකා බලන්න ඕනෑ බවයි මම කියන්නේ.

පි : එහෙම ආයතනයකට ගිහින්නේ ස්වාමීනි, මේ දේ සිද්ධ වුණේ. ජනතාවගේ උත්තරිතර ආයතනය තමා අධිකරණය. හැම දෙයක්ම තියෙන්නේ අධිකරණය උඩ. අධිකරණයට ලාංඡනයක් තියෙනවා. එහි නොඉඳුල් කන්‍යාවියක් ඇස් දෙක බැඳලා තරාදියක් අල්ලාගෙන අනෙක් අතින් කඩුවක් අල්ලාගෙන ඉන්නවා. කිසිම විධියකින් අධිකරණය ඉඳුල් වෙන්න බෑ. ඇස් දෙක වහලා තියෙන්නේ ඔබ කලුිද, සුදුද, ඔබ ලස්සනද, ඔබ යූඑන්පී ද, ශ්‍රී ලංකාද, ඔබ සල්ලිකාර ද කියලා බලන්න බෑ. මම ඉගෙන ගත් විදියට ඉස්කෝලෙදි, තරාදිය කියන්නෙ කිරල බලල දඬුවම් දෙන්න. එහෙම වූ අධිකරණය මේ විධියට කෙලෙසිලා තියෙන කොට අධිකරණය අපට සවන් දෙනවාද කියලා මට හිතෙනවා ස්වාමීනි. මෙතැනට ඇවිත් කියන්නේ කාටද අපි. අපේ නිදහසට අපිට පුළුවන් දෙයක් කරලා ඒ මිනිහා මරලා හරි දාලා හිතේ තියෙන මානසික තත්ත්වය නැති කර ගන්නයි මම බලාපොරොත්තු වුණේ.

විනිසුරු වීරසූරිය මහතා

ප්‍ර : තමා සිංහල කීවෙනි පන්තිය දක්වා ඉගෙන ගෙන තියෙනවද?

උ : 8 වෙනි පන්තිය. මම ඉගෙන ගත්තේ මැදවච්චිය මහා විද්‍යාලයේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ.