සාපරාධී අපහාස නීතිය පිළිබඳව කැලණිය විශ්ව විද්යාලයේ ජනසන්නිවේදන අංශාධිපති ආචාර්ය ආරියරත්න ඇතුගල මහතාගේ අදහස් දැක්වීමක් “දිනමිණ” පුවත්පතේ පළ කොට තිබුණි.
ඒ මහතාගේ මතය අනුව සාපරාධී අපහාස නීතිය අහෝසි කිරීම අපරාධයකි. ඒ නීතියෙන් තොරව වගකීමකින් යුතුව පෑන හැසිරවීමේ හැකියාවක් ඇති ජනමාධ්යවේදින් ලංකාවේ නැත.
විශ්ව විද්යාලයක ජනසන්නිවේදන අංශයේ ප්රධානියෙකු පළ කර තිබෙන අදහස් අපූරුය. අදහස් ප්රකාශ කිරිමේ නිදහස පිළිබඳ උනන්දුවක් දක්වන සියලුම ජාත්යන්තර මට්ටමේ සංවිධාන සාපරාධී අපහාස නීතිය ඉවත් කරන ලෙස දිගින් දිගට ඉල්ලා සිටින්නේත්, ඒ නීතිය පවත්වාගෙන ගිය බොහෝ රටවල් මේ වනවිට එම නීතිය ඉවත් කරගෙන ඇත්තේත් එම නීතිය ජනමාධ්යවේදින්ට එරෙහිව පාවිච්චි නොකරන ප්රතිපත්තියට පැමිණ ඇත්තේත් ඇයිද යන්න ගැන මේ ආචාර්යවරයාට වැටහීමක් නැත. එහෙත් පුදුමයකට මෙන් මේ ආචාර්යවරයා විශ්ව විද්යාල ශිෂ්යයන්ට උගන්වන විෂය වී ඇත්තේ ද ජනමාධ්ය විෂයයයි.
මේ විශේෂ නීතිය සාමාන්ය ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් පරිහරණය නොකෙරන බව, එය පරිහරණය කෙරෙන්නේ ආණ්ඩු කරවන දේශපාලනඥයන්ගේ, ඔවුන්ට සමීප රාජ්ය නිලධාරින්ගේ ආරක්ෂාව පිණිස පමණක් බව හා සාපරාධී අපහාස නීතියෙන් තොරව පුද්ගලයෙකුට අපහාසයක් ඇති කිරීමට හේතුවන ආකාරයට පෑන හසුරුවන ජනමාධ්යවේදින්ට එරෙහිව දඬුවම් කළ හැකි වෙනත් නීති රටේ ඇති බව මේ ආචාර්යවරයා දන්නා බවක් පෙනෙන්නේ නැත.
ඔහු සාපරාධී අපහාස නීතියේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීමෙන් නොනැවතී, රූකාන්ත-චන්ද්රලේඛා හා අනෝජා වීරසිංහ ගැන ජනමාධ්ය පුන පුනා කතා කිරීම ගැන ද සිය විරෝධය පළ කර තිබේ.
මේ රටේ ජනතාවට බලපාන දහසක් ගැටලු තිබියදි, ජනමාධ්යවේදින් පුන පුනා කතා කරන්නේ ඔවුන් ගැන බව ද ඔහු ප්රකාශ කර තිබේ.
ආචාර්ය ඇතුගල මහතා සිදුවූ දේවල් දකින ආකාරයට ඒවා ඇත්තටම සිදුවූ සිදුවීම් විය හැකි වුවත්, ඒවා එතරම් ගණන් ගත යුතු නැත. පීඑස්ඩීය රූකාන්තගේ හා චන්ද්රලේඛාගේ කොණ්ඩය නොමිලේ කපා දුන්නා පමණය. ඔලුවට පෙට්රල් වක්කරන්නට ඇත්තේ ද ඔවුන්ගේ ඔලුවල උකුණන් සිටි නිසා විය හැකිය. අනෝජා වීරසිංහට නැතිවූයේ ද ඇගේ නිවසත්, ඇගේ සිනමා ජීවිතයට අදාළ එකතුවකුත් පමණය.
මේ හා සමාන අදහස් පළකිරීමක් කොළඹ විශ්ව විද්යාලයේ ජනමාධ්ය විෂයය උගන්වන ගුරුවරයෙකු ද වයඹ පළාත් සභා මැතිවරණයේදි ප්රකාශ කළේය. එම ඡන්ද මංකොල්ලය පිළිබඳව ජනමාධ්ය විසින් කරන ලද හෙළිදරව්ව ප්රශංසා කරනවා වෙනුවට එම ගුරුවරයා ආණ්ඩුවේ රූපවාහිනිය ඉදිරියට පැමිණ ලංකාවේ ජනමාධ්ය ඕනෑවට වඩා වැඩි බව ප්රකාශ කළේය.
විශ්ව විද්යාලවල ජනමාධ්ය විෂයය උගන්වන්නේ මෙවැනි ගුරුවරුන් නම්, ඒ ශිෂ්යයන්ට දෙවියන්ගේම පිහිටයි.