එජා පෙරමුණු ආණ්ඩුවක් බලයට පත්ව තිබෙන තත්ත්වයක් ඉදිරියේ “රාවයේ” මාධ්ය භාවිතය ගැන සමහර අය අතර ව්යාකූල තත්ත්වයක් ඇතිවී තිබෙන බව පෙනෙන්නට තිබේ. පොදු පෙරමුණේ නායිකාව සමග ඇති කරගෙන තිබෙන වෛර සහගත ආකල්පය නිසා හෝ බලයේ සිටින ආණ්ඩුවෙන් වාසි ලබාගැනීමේ අරමුණින් හෝ මීට පෙර “රාවය” බලයේ සිටින ආණ්ඩු සම්බන්ධයෙන් පවත්වා ගෙන ගිය විවේචනාත්මක ප්රතිපත්තිය අත්හැර තිබේද යන ප්රශ්නයක් ඔවුන් අතර තිබෙන බව පෙනේ. පොදු පෙරමුණ හා ජවිපෙ ඇතුළත් විපක්ෂ සන්ධානය විසින් පළ කරනු ලබන පුවත්පත් විසින් ද “රාවයේ” මාධ්ය භාවිතයට අදාළව සෘජු ලෙසත්, වක්ර ලෙසත් විවිධ ප්රශ්න කිරිම් කරමින් තිබෙන බව ද දැකිය හැකිය.
විපක්ෂ සන්ධානය විසින් ප්රකාශයට පත්කර තිබෙන පත්තර බිස්ස විසින් පළ කරනු ලබන විවේචන පිළිබඳව කලබලවීමට තරම් බරපතල හේතුවක් අපට නැත. එම පුවත්පත් මෙහෙයවන ලියනඅප්පුලාගේ (මහින්ද අබේසුන්දර, ලුෂන් රාජකරුණානායක, ජනදාස පිරිස් වැනි) අපකීර්තිමත් මාධ්ය භාවිත ඉතිහාසය මහජනතාවට අමතක වී ඇතැයි සිතිය නොහැකිය. පොදු පෙරමුණු ආණ්ඩුව යටතේ ඔවුන්ගේ හැසිරිම කුණුවී සැරව ගලන තුවාලයකින් ගලා යන මජර උරා බොන ඉහඳ පණුවන් රැලකගේ ජීවිතයට වෙනස් නොවීය. ඔවුන් එදා රූපවාහිනිය, ගුවන් විදුලිය හෝ පුවත්පත් යොදා ගත්තේ තමන්ගේ සාක්කු පුරවා ගැනීමට මිස, මහජන අයිතිවාසිකම් රැකීමට නොවේ. ඔවුන් පොදු පෙරමුණු පාලනය යටතේ සිදුවූ සියලු අමනකම් ආරක්ෂා කරන පිළිවෙතක පිහිටා ක්රියා කළහ. වයඹ පළාත් සභා මැතිවරණය වැනි දැවැන්ත ඡන්ද මංකොල්ලවලදි එම ඡන්ද ඉතාමත් සාධාරණ ඡන්ද බවට රටට බණ කියන්නට ඉදිරිපත් වූවෝ ඔවුහුය. ආණ්ඩුවේ නායකයන් විසින් කරන ලද කෙළවරක් නැති තක්කඩිකම් ආරක්ෂා කිරීමට ඉදිරිපත් වූවෝ ඔවුහුය. රෝහණ කුමාර ඝාතනය ඇතුළු ජනාධිපතිනියගේ පීඑස්ඩීය නමින් හැඳින්වෙන රස්තියාදුකාර හමුදාව කරන ලද අලුගෝසුකම් ආරක්ෂා කළෝ ඔවුහුය. ඔවුන් කරන ලද එම කාර්යභාරය වෙනුවෙන් ඔවුන්ට සංතෝෂ විය හැකි තරමට මුදල් ලැබුණේය. යාන වාහන ලැබුණේය. මහජන මුදලින් ඉදි කළ හොඳ නිවාස ලැබුණේය.
උන්ගේ ස්වාමි දුවගේ හඬ ලෙස ක්රියා කළ මේ පිරිස, ආණ්ඩු බලය අහිමි වී තිබෙන තත්ත්වයක් තුළ නැවත ඉක්මණින් ආණ්ඩු බලය ලබාගැනීමේ අරමුණ ඇතිව ආණ්ඩු බලයේ සිටි කාලය තුළ දේශපාලකයන් අයථා ලෙස හරිහම්බ කළ ධනයෙන් පළ කරන පුවත්පත්වල සේවය කරන ජනමාධ්යවේදින් බවට පත්ව සිටිති. ඔවුන්ගේ එකම අරමුණ හැකි ඉක්මණන් තමන්ගේ පැරණ ස්වාමිදුව ප්රමුඛ පිරිස බලයට පත් කර රිසි ලෙස මජර බී ජීවත්විය හැකි තත්ත්වයක් නැවත උදාකර ගැනීමය.
“රාවයේ” පැවත්ම ඔවුන්ගේ පැවැත්මට වඩා වෙනස්ය. “රාවය”ට ආරම්භයේදි පොදු පෙරමුණු ආණ්ඩුවේ නායකයන් සමග ඔවුන්ට නොතිබුණු තරම් ළග සම්බන්ධයක් තිබුණේය. “රාවය” 1994දි පොදු පෙරමුණු ආණ්ඩුවක් බලයට පත් කිරීම සඳහා විවෘතවම ආධාර කරන පිළිවෙතක් අනුගමනය කළේ තමන් දන්නා හඳුනන ළග සම්බන්ධකම් ඇති පිරිසක් බලයට පත්කරවා ඔවුන් සමග කල්ලි ගැසී රටේ සාරය උරාබීමට අවශ්ය වූ නිසා නොව, ඔවුන් යහපත් පාලකයන් ඇති කරනු ඇතැයි යන අපේක්ෂාව මතය. පොදු පෙරමුණු ආණ්ඩුව එම අපේක්ෂාවන්ට පටහැනිව ක්රියා කරන විට “රාවය” කළේ ඔවුන්ට තිබුණු ළග සම්බන්ධකම් අතහරිමින් පොදු පෙරමුණු ආණ්ඩුවට එරෙහිව නිරන්තරයෙන්ම අරගල කරන තැනකට යොමුවීමය. එය සරල හෝ මටසිලුටු අරගලයක් නොවීය. ජීවිතයත්, මරණයත් අතර කෙරෙන අරගලයක් විය. පොදු පෙරමුණු ආණ්ඩු පාලනය තුළ “රාවය”ට මැරුම් කන්නට සිදු නොවූයේ “රාවයේ” වාසනාව නිසා මිස, ආණ්ඩුවේ හිත හොඳකම නිසා නොවන බව ද කිව යුතුය. පොදු පෙරමුණු ආණ්ඩුවෙන් එල්ල වන හා තාඩන, පීඩන නොසලකා “රාවය” ආරම්භ කළ අරගලය තර්කානුකූලව අවසානයකට යන තෙක් අධිෂ්ඨානශීලීව ඉදිරියට ගෙන ගියේය.
එය “රාවය” උරගා බැලීමකට ලක්වූ ප්රථම අවස්ථාව වන්නේ නැත. ඊට පෙර පැවති එජාප ආණ්ඩු යටතේ ද “රාවය” ඊට සමාන ආකාරයේ උරගා බැලීමකට ලක්වූවේය.
94ට පෙර බලයේ සිටි එජාප ආණ්ඩු පාලන කාලය තුළ “රාවය” එම ආණ්ඩුවට එරෙහිව දුෂ්කර හා නිරන්තර අරගලයක යෙදෙන විට එජාපයට හිතවත් ජනතාව කල්පනා කළේ “රාවය” යූඑන්පී විරෝධී පුවත්පතක් වශයෙන් හා පොදු පෙරමුණට පක්ෂපාත පුවත්පතක් වශයෙන් එසේ කරන බවය. ඉන්පසු පොදු පෙරමුණ බලයට පත්වීමෙන් පසු ඔවුන් කල්පනා කළේ ද පොදු පෙරමුණ බලයට පත් කිරීම සඳහා ඇප කැපවීමකින් ක්රියාකළ පුවත් පතක් වශයෙන් පොදු පෙරමුණු ආණ්ඩුව සමග දිගකන පිළිවෙතක් පුවත්පත විසින් පවත්වාගෙන යනු ඇති බවය. එහෙත් ඒ තක්සේරුව නිවැරදි වූයේ නැත. පොදු පෙරමුණු ආණ්ඩුව පිළිගත් ප්රජාතන්ත්රවාදි පිළිවෙත්වලින් බැහැර වී ක්රියා කරන විට පොදු පෙරමුණු ආණ්ඩුව සමග තිබෙන ඇයි හොඳයිකම් අත්හරිමින් එම ආණ්ඩුවේ ප්රජාතන්ත්ර විරෝධී වත් පිළිවෙත්වලට එරෙහිව දුෂ්කර හා නිරන්තර අරගලයක යෙදෙන විට නැවත පොදු පෙරමුණේ අනුගාමිකයන් “රාවය” දැක්කේ “රාවය” එජාපයට හිතවත් පුවත්පතක් ලෙසය. තවමත් එය දකිනු ඇත්තේ ද ඒ ලෙසටය. එහෙත් “රාවය” දේවල් දකින්නේ පටු පක්ෂ කෝණයකින් නොවේ.
ආණ්ඩුවක් බලයට පත්වූ මොහොතේ සිට ඒ ආණ්ඩුවට එරෙහිව අරගල කිරිමේ කඩිකුලප්පුවක් “රාවය”ට නැත. 1989 දි ද “රාවය” කෙරෙන් එවැනි කඩිකුලප්පුවක් ප්රකාශ නොවූ අතර, 1994දි කටයුතු සිදුවූයේ ද ඊට සමාන ආකාරයකටය.
“රාවය” රටේත්, සමාජයේත් සුභ සිද්ධිය හා මහජනතාවගේ ප්රජාතන්ත්රවාදි අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටින පුවත්පතකි. “රාවය” යූඑන්පීයේ හෝ පොදු පෙරමුණේ පුවත්පතක් නොවේ. පක්ෂයකට අයත් පුවත්පතක් හැසිරෙන ආකාරයට හැසිරිමේ හැකියාවක් “රාවය”ට නැත. එය මහජනයා බලයට පත් කළ ආණ්ඩුවකට එරෙහිව බලවත් ලෙස පෑන හසුරුවන තත්ත්වයකට යන්නේ එම ආණ්ඩුව මහජන අභිලාෂයන්ට පටහැනිව ක්රියාකරන තත්ත්වයකට ගමන් ගන්නා අවස්ථාවලදිය.
අනෙක් අතට දුෂ්කර අරගලයකට පසුව ගිමන් හැරිමේ ස්වාභාවික වුවමනාව “රාවය”ට ද ඇත්තේය. මහජනයා බලයට පත් කරන කිසිම ආණ්ඩුවක් බලයට පත්වූ වහාම බරපතල වැරදි කරන තත්ත්වයකට යන්නේ නැත. “රාවය” සිය ගිමන් හැරිමේ කාලය සඳහා යොදා ගන්නේ එම කාලයයි.
“රාවය” ඕනෑම අරගලයකට ප්රවිෂ්ට වන්නේ ඒ ගැන කරන යම් තක්සේරුවකින් අනතුරුවය. මේ මොහොතේදි රටේ දේශපාලනය ගැන තක්සේරුවකදි පොදු පෙරමුණු ආණ්ඩුව පරාජය වීමෙන් පසුව ඇතිවී තිබෙන ද්වන්ධ බලය පිළිබඳ සාධකයත්, ජනවාර්ගික අර්බුදයට සාමකාමී විසඳුමක් ඇති කරගැනීමට ආණ්ඩුව දරමින් තිබෙන උත්සාහයත් ප්රධාන සාධක දෙකක් ලෙස සැලකිල්ලට ගැනීමට සිදුවේ.
පොදු පෙරමුණට තිබූ පාර්ලිමේන්තු ආණ්ඩු බලය පරාජය කොට, එම බලය සියතට ගැනීමට එජා පෙරමුණු ආණ්ඩුව සමත් වී ඇතත්, විධායක ජනාධිපති බලය ඇත්තේ පොදු පෙරමුණු නායිකාවගේ අතේය. මේ තත්ත්වය දේශපාලන බලය තුළ ද්වන්ධ බලයක් ඇති කිරීමට හේතුවී තිබෙන අතර, මේ බල දෙක අතර ප්රතිපක්ෂ බලය යටපත් කොට ඉස්මතුවීම සඳහා කෙරෙන පොරයක් පවතී. මේ අරගලයේදි ක්රමානුකූලව ජනාධිපතිනිය වට කොට හිර කොට අවසානයේ ඇය චෙක්මේට් කිරීම අගමැති රනිල් වික්රමසිංහගේ උපාය මාර්ගය වී තිබෙන අතර, තමන්ට ලැබී තිබෙන විධායක බලය යොදාගනිමින් එජා පෙරමුණු ආණ්ඩුව අස්ථාවර කොට තමන්ට අවනත පාර්ලිමේන්තු ආණ්ඩුවක් කරළියට ගැනීම ජනාධිපතිනියගේ උපාය මාර්ගය වී තිබේ.
මේ ද්වන්ධ අරගලයේදි “රාවය” ඉන්නේ ජනාධිපතිනියට පක්ෂ තැනක නොව, විපක්ෂ තැනකය. 2002 පැවති මැතිවරණය ජනාධිපතිවරණයක් නොවූවත්, එහිදි මහජනතාව පොදු පෙරමුණේ පාර්ලිමේන්තු ආණ්ඩුව පමණක් නොව ජනාධිපතිනිය ද පරාජය කළේය. ජනාධිපතිනිය ප්රජාතන්ත්රවාදි ගුණධර්ම පිළිගන්නා නායිකාවක් වී නම් එක්කෝ සිය පදවියෙන් ඉල්ලා අස්විය යුතුව තිබුණ. නැත්නම් තිබෙන ක්රමය සංශෝධනය කරගැනීම සඳහා වන ව්යවස්ථා සංශෝධනයකට මුල පිරිය යුතුව තිබුණේය. එහෙත් ජනාධිපතිනිය ඒ දෙකෙන් එකක්වත් නොකොට පැරණි ක්රමය යටතේ තමන්ට තිබෙන ව්යවස්ථාදායක බලය උපරිම ලෙස භුක්ති විඳිමින් මහජනයා බලයට පත් කර තිබෙන ආණ්ඩුවට නිදහසේ සිය කටයුතු කරගෙන යාමට ඉඩ නොදෙන පිළිවෙතක් අනුගමනය කිරීම මගින් ව්යවස්ථා අර්බුදයක් ඇති කිරීමට දායක වී සිටී.
මේ අර්බුදයේ දි ජනාධිපතිනිය බල රහිත නොකොට ඉදිරියට යාමේ හැකියාවක් එජා පෙරමුණු ආණ්ඩුවට නැත. පළාත් ආණ්ඩුකාරයන් පත්කිරිම්, හමුදා ප්රධානීන් පත් කිරිම් හා තානාපති නිලධාරින් පත්කිරිමේ බලය තවමත් ජනාධිපතිනිය භුක්ති විඳී. සාමාන්යයෙන් මෙවැනි අවස්ථාවකදි සිදුවිය යුත්තේ අගමැති නිර්දේශ අනුමත කරන පිළිවෙතක් ජනාධිපතිනිය විසින් අනුගමනය කිරීමය. එහෙත් දැනට සිදුවෙමින් පවතින්නේ අගමැතිගේ නිර්දේශ නොසලකා සිය අභිමතය අනුව ක්රියා කරන පිළිවෙතක් ජනාධිපතිනිය විසින් අනුගමනය කිරීමයි. මේ පිළිවෙතේ ඇති විනාශකාරි බව වඩා හොඳින් විද්යාමන වනු ඇත්තේ උතුරු නැගෙනහිර සඳහා අන්තර්වාර පාලනයක් ඇති කෙරෙන අවස්ථාවකදිය. එහිදි පළාත් ආණ්ඩුකාරවරයා මගින් අන්තර්පාලනය සඳහා සාමාජිකයන් නම් කිරිමේ බලය ලැබෙන්නේ ජනාධිපතිනියටය. ඉතාමත් සංවේදි අවස්ථාවක් ලෙස සැලකිය හැකි එම අවස්ථාවේදි අන්තර්වාර පාලනය සඳහා අනුමත කළ නම් ලැයිස්තුව වෙනුවට ජනාධිපතිනිය ඊට තමන් කැමති පුද්ගලයන් කිහිප දෙනෙකුගේ නම් ඇතුළත් කරන පිළිවෙතක් අනුගමනය කළහොත් සමස්ත සාම වැඩපිළිවෙලම බිඳ වැටී නැවත රට විශාල වශයෙන් ලේ වැගිරෙන තත්ත්වයකට පත්විය හැකිය.
මෙම ද්වන්ධ බලය ජයගැනීමට එජා පෙරමුණු ආණ්ඩුවට තිබුණු එක් මාර්ගයක් වූයේ පාර්ලිමේන්තු මැතිවරණය ජයගැනීමෙන් විකසිත වී තිබූ මහජන උද්යෝගය ජනාධිපතිනියට එරෙහිව වීථි බසින තත්ත්වයකට යොමු කිරීමය. එහෙත් එය ඇය එම පදවියෙන් ඉවත් කිරීම සඳහා යොදා ගත හැකි ව්යවස්ථාමය මාර්ගයට වඩා අවදානම් සහගත මාවතකි. අගමැති රනිල් වික්රමසිංහ එවැනි මාවතකට නොගියේය. එහෙයින් දැන් ඉතිරිවී තිබෙන එකම මාර්ගය ව්යවස්ථාමය මාර්ගයයි.
ව්යවස්ථාමය මාර්ගය සඳහා තුනෙන් දෙකක බලයක් අවශ්යය. එහෙත් එජා පෙරමුණු ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් නැත. තුනෙන් දෙකක බලයක් ලබාගත යුතුව ඇත්තේ ආණ්ඩුවෙන් පිටස්තරව සිටින දෙමළ සන්ධානයේ සියලු දෙනාගේත්, පොදු පෙරමුණේ මන්ත්රීවරුන් 20 දෙනෙකුගේත් සහාය ලබාගන්නා ක්රියාමාර්ගයකිනි. එවැනි ක්රියාමාර්ගයකදි සහාය දිනාගැනීම සඳහා, සහාය දෙන්නන්ට ඔවුන් ඒ වෙනුවෙන් ඉල්ලා සිටින දේවල් ද දෙන්නට සිදුවන්නේය. ඒ වුවමනාව ව්යවස්ථා සංශෝධන ක්රියාවලිය පටු තැනකට ගෙනයාමට හේතුවිය හැකිය. ඇති කරන ව්යවස්ථාමය වෙනස්කම් ඒ සියලුදෙනාගේ සංතෝෂයට හේතුවන තැනක හා ඇතිවී තිබෙන ද්වන්ධ බලය ජයගැනීමේ අරමුණට සීමාවන තැනක තබාගැනීමට සිදුවන්නේය. ඒ අර්ථයෙන් මේ මොහොතේ මතුවී තිබෙන වුවමනාවන්ට බර තබන ව්යවස්ථා සංශෝධනයන් දිර්ඝකාලීන අර්ථයෙන් ව්යවස්ථාමය රාමුව තුළ බරපතල විකෘතියක් ඇති කිරීමට හේතුවිය හැකිය.
එහෙත් ඒ හැර මේ ප්රශ්නය ජයගැනීමේ වෙනත් මාර්ගයක් ද නැත. ව්යවස්ථාමය රාමුව තුළ විකෘතියක් ඇති කිරීමට හේතුවිය හැකි ව්යවස්ථා සංශෝධනයකට හෝ යමින් ජනාධිපතිනිය බලරහිත නොකරන්නේ නම්, සාමය දිනාගැනීම සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙල මුළුමණන් බිඳ වැටෙන තත්ත්වයක් ඇතිවීම නොවැළැක්විය හැකිය. මෙය එජා පෙරමුණු ආණ්ඩුව මුහුණ දි තිබෙන උභතෝකෝටික තත්ත්වයක් ලෙස සැලකිය හැකි අතර, මේ සඳහා යොදාගත හැකි හොඳම ක්රමය ලෙස “රාවය” සලකනුයේ ව්යවස්ථා සංශෝධනයක අවශ්යතාව ද, එය ජයගැනීමට මේ අවස්ථාවේ දරන ඕනෑම උත්සාහයක් ව්යවස්ථාමය ක්රියාවලිය තුළ අනාගතය කෙරෙහි බලපාන විකෘතියක් ඇති කිරීමට හේතුවිය හැකි බව ද පිළිගනිමින්, එම විකෘතිය අහෝසි කිරීමට හේතුවන දෙවැනි ව්යවස්ථා සංශෝධනයක අවශ්යතාව පිළිගනිමින් ඊට ගැලපෙන ප්රතිපත්තියක පිහිටා ක්රියාකිරීමය.
විපක්ෂයේ සමහර මන්ත්රීවරුන්ට හා ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්තව සිටි අයට අදාළව දැනට සිදුවෙමින් තිබෙන අත්අඩංගුවට ගැනීම් හා ප්රශ්න කිරිම් විපක්ෂයේ ක්රියාකාරිත්වය දුර්වල කිරීමට හේතුවිය හැකි වුවත්, පොදු පෙරමුණු පාලන යුගය තුළ සිදුවූ බිහිසුණු අපරාධවලට වගකිවයුතු සියලු දෙනා, ඒ නිසා විපක්ෂය බෙලහීන කිරීමට හේතුවේ යයි කියන කාරණය නොසලකා නීතිය ඉදිරියට පමුණුවාලිය යුතුය යන්න “රාවයේ” මතයයි.
පොදු පෙරමුණේ පාලනය රස්තියාදුකාර හා කොල්ලකාරී පාලනයකට සමානය. මහජනයා තමන් සතු පරමාධිපත්යය බලය අභ්යාස කරන ප්රධාන අවස්ථාව ලෙස සැලකිය හැකි මැතිවරණවලදි ඔවුන් ක්රියාකළ ආකාරය ඉතාමත් නින්දා සහගතය. පොදු පෙරමුණු ආණ්ඩුව මැතිවරණවලදි තමන් කැමති ආණ්ඩුවක් තෝරා ගැනීමට ඉඩ නොදෙන දැඩි ප්රතිපත්තියක් අනුගමනය කළේය. මැතිවරණ කොමසාරිස්වරයාට බලතල ලබාදෙන 17 වැනි සංශෝධනය සම්මත කරගැනීමෙන් පසුවත්, ජනාධිපතිනිය ඇතුළුව පොදු පෙරමුණේ නායකයන් ක්රියා කළේ එම මූලික නීතිය තුට්ටුවකටවත් ගණන් නොගන්නා සාහසික ආකාරයකටය. එම රස්තියාදුකාර ක්රියාදාමයට සම්බන්ධ හා වගකිවයුතු සියලු දෙනා නීතිය ඉදිරියට පමුණුවන ප්රතිපත්තියකට “රාවය” පක්ෂපාතය.
ජනාධිපතිනියගේ පුද්ගලික මාෆියාව ලෙස සැලකිය හැකි පීඑස්ඩීය සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කරනවාට “රාවය” පක්ෂපාතය. ජනාධිපතිනිය වංශක්කාර පවුල් පසුබිමකින් පැවත එන හිටපු අගමැති යුවළකගේ දුවක් වුවත්, ඇය රස්තියාදුකාරපන්නයේ කාන්තාවක් බවත්, ඇගේ අත්වල ලේ තැවරි ඇති බවත් “රාවයේ” විශ්වාසයයි. ඇය මහජන මුදලින් තමන්ගේ ආරක්ෂාව සඳහා වන අතිවිශාල ආරක්ෂක ඒකකයක් නඩත්තු කළේය. එම ආරක්ෂක ඒකකයේ එක් පරමාර්ථයක් වූයේ දේශපාලන විරුද්ධවාදින් හිංසාවට හා පීඩාවට ලක් කිරීමය. “රාවය” පීඑස්ඩීය ගැන කතා කළේ පොදු පෙරමුණ බලයේ සිටියදිමය. “ලීඩර්” කර්තෘ යුවළට පහර දුන් අවස්ථාවේදිත්, රෝහණ කුමාර ඝාතනය කෙරුණු අවස්ථාවේදිත්, චිත්රපටි නිළි අනෝජා වීරසිංහගේ නිවස ගිනි තබන ලද අවස්ථාවේදි හා රූකාන්ත හා චන්ද්රලේඛා ගායක යුවළ හිංසාවට ලක් කෙරුණු අවස්ථාවේදිත් එම බිහිසුණු හා සාහසික සිද්ධීන්ට වගකිවයුත්තේ ජනාධිපතිගේ පීඑස්ඩී ය බව අප නොවලහා කීවෙමු. ජනාධිපතිනිය සිනමා නළු සනත් ගුණතිලක හා මංගල සමරවීර සමග එකතු වී තමන්ට ආධාර නොකළ කලාකරුවන් පීඑස්ඩීය යොදා හිංසාවට ලක්කිරිමෙන් තෘප්තියක් ලැබූ බව අපි දැන සිටියෙමු. ඇයගේ පීඑස්ඩී මාෆියාව “රාවය” පසුපස ලූහු බැන්ඳේය. 1999 ජනමතවිචාරණයෙන් පසුව “රාවය” කාර්යාලයට බෝම්බ ගසා විනාශ කිරීමටත්, “ලීඩර්” කර්තෘ සමග “රාවය” කර්තෘ ඝාතනය කිරීමටත් සැලැස්මත් ඇගේ පීඑස්ඩීයට තිබුණ. “රාවය” වාහනයට රසායන ද්රව්ය යෙදූ බිත්තරයකින් පහරදිමේ සිද්ධියට හා “රාවය” කාර්යාලයට දුම් බෝම්බයක් ගැසීමේ සිද්ධියට පීඑස්ඩීයේ සම්බන්ධයක් තිබෙන බව ද අපි දනිමු. දැන් පීඑස්ඩියේ ක්රියාකාරකම් ගැන ආරම්භ කර තිබෙන පරික්ෂණ එම සාහසික සිද්ධීන්ට සම්බන්ධ සොක්කන්ට දඬුවම් කිරිමේ පටු අරමුණින් කරන්නක් නොවිය යුතුයි. එම සාහසික සිද්ධීන්ට වගකිවයුතු සියලුදෙනා නීතිය ඉදිරියට පමුණුවාලීම අවශ්ය වන්නා සේ ම, ඒ සාහසික සිද්ධීන් සිදුකිරීමට ඔවුන් මෙහෙයවූ ජනාධිපතිනිය ද නීතිය ඉදිරියට පමුණුවාලීමේ අරමුණක් ඒ තුළ තිබිය යුතුය.
ජනාධිපතිනියට ව්යවස්ථාවෙන් ලැබී තිබෙන මුක්තිය නිසා ඇයට එරෙහිව නඩු පැවරිමේ හැකියාවක් නොපවතී. එහෙත් රාජ්ය නායකයකුට මුක්තිය පිළිබඳ ආරක්ෂාවක් ලබාදෙනුයේ අපරාධ කරන්නට නොවේ. ඒ ආරක්ෂාව පාවිච්චි කරමින් අපරාධකාරි ක්රියාවල යෙදිම සැලකිය යුත්තේ වඩා බරපතල අපරාධයක් ලෙසය. ඇය වගකිවයුතු අපරාධවලට දඬුවම් පැමිණවීමක් අවශ්ය වනුයේ ඒ මගින් වර්තමාන හා අනාගත නායකයන් සඳහා ද පාඩමක් ඉගැන්විය හැකි නිසාය. අපරාධකාරි වැරදිවලදි රාජ්ය නායකයන්ට එරෙහිව නඩු පැවරිමට හැකි තත්ත්වයක් බොහෝ රටවල පවතී. ඒ ක්රමය ශ්රී ලංකාවට ද ගෙනා යුතුය. ඉදිරි ව්යවස්ථා සංශෝධනයේදි ඒ අවශ්යතාව ද සම්පූර්ණ කරගත යුතුය.
ජනාධිපතිනිය ඇතුළුව අපරාධකාරි වැරදිවලට වගකිවයුතු දේශපාලනඥයන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කරවන තත්ත්වයක් තාවකාලික අර්ථයෙන් විපක්ෂ ව්යාපාරය බෙලහීන කිරීමට හේතුවනු ඇතත්, යහපත් පාලන සම්ප්රදායක් තහවුරු කිරීම සඳහා එයින් විපක්ෂයට තාවකාලික වශයෙන් විය හැකි හානිය නොසලකා එවැනි පිළිවෙතක් අනුගමනය කිරීම අත්යවශ්ය වේ යැයි “රාවය” විශ්වාස කරයි. එවැනි සම්ප්රදායක් ඇති කිරීම මගින් වත්මන් පාලකයන් හා අනාගත පාලකයන් ද එවැනි තත්ත්වයකට පත්වීම වැළැක්විය හැකිය. අනෙක් අතට එවැනි ක්රියාමාර්ගයක් නිසා විපක්ෂ ව්යාපාරයේ ද, පිරිසිදු වීමක් ඇතිවන නිසා එම තත්ත්වය පෙරළා විපක්ෂ ව්යාපාරය ශක්තිමත් කිරීමට හේතුවනු නොවැළැක්විය හැකිය.
ජනවාර්ගික අර්බුදයට සාමකාමී විසඳුමක් ඇති කරගැනීම සඳහා ආණ්ඩුව දරන උත්සාහයේදි “රාවය” අවශ්යයෙන්ම ඊට ආධාර කරන පිළිවෙතක් මිස, ඊට අවහිර කරන පිළිවෙතක් අනුගමනය නොකරනු ඇත්තේය. “රාවය” හැමදාමත් දරන ලද මතය වූයේ ජනවාර්ගික අර්බුදය ශ්රී ලංකාව මුහුණ දි තිබෙන ප්රධානම ප්රශ්නය වන බවත්, එම ප්රශ්නය රටේ අනෙකුත් සියලු ප්රධාන ප්රශ්න අධිනිශ්චය කරන සාධකය ලෙස ක්රියා කරන බවත්ය. එය මිනිසුන් තොග ගණනින් මරණයට හා අනාථ භාවයට පත් කරන සාධකයක් හා රටේ ආර්ථික ක්රියාකාරිත්වය බෙලහීන කරන සාධකයක් ලෙස ක්රියාකිරිමෙන් නොනැවතී ප්රජාතන්ත්රවාදි දේශපාලන ආයතන ක්රමය විකෘති කරන සාධකයක් ලෙස ද ක්රියාකරමින් පවතී. මේ ප්රශ්නය ජයගැනීමෙන් තොරව එක අඩියක්වත් ඉදිරියට යාමේ හැකියාවක් රටට නැත. රාජ්ය පාලනයේදි ශ්රී ලාංකික නායකයන් වැඩිම අසමත්භාවයක් පෙන්නුම් කර ඇත්තේ ද මේ විෂයේදිය. එනම් වාර්ගික ආවේගයන් කළමනාකරණයේදිය.
එසේම මේ ප්රශ්නය විසඳන්නේ වාමාංශිකයන් ද, දක්ෂිණාංශිකයන් ද කියන ප්රශ්නයක් ද “රාවය” ට නැත. “රාවය” මේ ප්රශ්නයේදි පොදු පෙරමුණු ආණ්ඩුවට ද ආධාර කරන පිළිවෙතක් අනුගමනය කළේය. එහෙත් ඒ සඳහා වන ඔවුන්ගේ ප්රවේශය තක්කඩි ස්වරූපයක් ගැනීමත් සමග ඔවුන්ගේ එම තක්කඩි ප්රවේශය විවේචනය කරන තැනකට යොමුවීමට “රාවය” ට සිදුවිය.
හැමදාමත් “රාවයේ” ස්ථාවරය වූයේ ප්රභාකරන් පරාජය කිරීම අවශ්ය ද නැද්ද යන්න තීන්දු කිරීම සිංහල අප විසින් කළයුත්තක් නොව, දෙමළ ඔවුන් විසින් කළයුත්තක් බවය. ප්රභාකරන්ට එරෙහිව කරන යුද්ධයක් සඳහා සියයට සියයක් සිංහල හමුදාවක් යොදාගන්නා තාක් එවැනි යුද්ධයක් දෙමළ ජනයා, දෙමළ ජනතාවට එරෙහිව කරන යුද්ධයක් ලෙස සැලකීම නොවැළැක්විය හැකිය. යුද හමුදාව තුළ බලවත් දෙමළ අංශයත් ගොඩ නැගීමේ හැකියාවක් රටට නැත. ඒ තත්ත්වය ඉදිරියේ යුද්ධ කිරීමට රටට ආර්ථික හැකියාවක් තිබුණත්, එවැනි යුද්ධයක් දෙමළ ජනයාගේ විරෝධයට හේතුවීම නොවැළැක්විය හැකි වනු ඇත. යුද්ධ කිරීමට වුවමනාවක් තිබුණ ද, ඒ සඳහා ආර්ථික හැකියාවක් ද නැති තත්ත්වයක් ඉදිරියේ ඔවුන් අතින් සිදුවී ඇති වැරදි ගැන පමණක් කල්පනා නොකොට, ඔවුන් අතින් වැරදි සිදුවන්නට පෙර අප අතින් ද ඔවුන්ට බරපතල වැරදි සිදුවී ඇති බව තේරුම් ගනිමින් රටේ පැවැත්මට දෑවැන්ත අභියෝගයක් වී තිබෙන ජනවාර්ගික අර්බුදයට සාමකාමී විසඳුමක් ඇති කරගැනීමේ වැදගත්කම තේරුම් ගනිමින් එය සපුරා ගැනීම සඳහා වන ඵලදායක ක්රියාමාර්ගයක් වෙත යොමුවීමට කාලය පැමිණ තිබේය යන්න “රාවයේ” විශ්වාසයයි.
ආණ්ඩුව ඒ සඳහා දරමින් තිබෙන උත්සාහය පොදු පෙරමුණු ආණ්ඩුව ඒ සඳහා දරන ලද උත්සාහය සමග තුලනය කරන විට, නව ආණ්ඩුවේ උත්සාහය වඩා ප්රශස්ථ තත්ත්වයක පවත්නා බව ද කිව යුතුය. එහෙත් ඒ සඳහා දරන උත්සාහයන් ඉතාමත් පහසුවෙන් ජයගැනීමේ හැකියාවක් තිබිය නොහැකිය. ඒ ක්රියාවලිය ඉදිරියට යනු ඇත්තේ කොතෙකුත් බාධා, කම්කටොලු හා පසුබැසීම් මධ්යයේය.
වඩා වැදගත් දේ ඔවුන් යුද්ධ කරන තත්ත්වයෙන් ඉවත් කොට පාලනයට සම්බන්ධ වී ක්රියාකරන තත්ත්වයකට ගැනීමය. ඒ සමග ඔවුන්ගේ පාලනය යටතට වැටෙන ප්රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම පිණිස ක්රියාකිරිමේ නව අභියෝගයකට මුහුණ දිමට ඔවුන්ට සිදුවනු ඇත්තේය. යුද්ධයට බද්ධ වී තිබෙන පුරුද්දෙන් ඔවුන් ඉවත් වනු ඇත්තේ එවිටය.
මේ යන ගමන සාර්ථකව ඉදිරියට ගෙනයාම සඳහා කොටි සංවිධානයට එරෙහිව පනවා තිබෙන තහනම විලංගුවක් කරගත යුතු නැත. රජයකට විටෙක ප්රධාන ප්රවාහයේ ජීවත්වෙන දේශපාලන පක්ෂ තහනම් කිරීමට සිදුවන අතර, තවත් අවස්ථාවල තහනම් කර තිබෙන සංවිධානවල තහනම ඉවත් කිරීමට සිදුවේ. 1983දි එජාප ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරන ලද අතර, නැවත 1997දි බිහිසුණු ආයුධ සන්නද්ධ අරගලයක නිරත වී තිබියදිත්, එම තහනම ඉවත් කළේය. කොටි සංවිධානය තහනම් කළේ ද, එසේ කිරීම අවශ්ය වූ නිසා නොව, දළදා මාළිගාවට එල්ල කරන ලද ප්රහාරයත් සමග සිංහල ජනයා සතුටු කිරීම සඳහා එවැනි ප්රතිපත්තියක් අනුගමනය කිරීම අවශ්ය වේ යයි ඒ අවස්ථාවේදි ආණ්ඩුව කල්පනා කළ නිසාය. එහෙත් දේශීය වශයෙන් කොටි සංවිධානය තහනම් කිරිමෙන් හෝ නොකිරිමෙන් එම සංවිධානය විශේෂයෙන් ශක්තිමත්වීමක් හෝ දුර්වල වීමක් සිදුවූයේ නැත. තහනමක් නොතිබියදිත්, ඔවුන් සටන් කළ අතර, තහනම පැනවීමෙන් පසුත් සටන් කළේය. ජාත්යන්තර වශයෙන් පනවන ලද තහනම මිස දේශීය වශයෙන් පනවන ලද තහනම ඔවුන්ගේ ක්රියාකාරිත්වයට කවර මට්ටමකින්වත් දුර්වල කිරීමට හෝ අඩපණ කිරීමට හේතු වූයේ නැත.
තහනමට ලක් කර තිබෙන සන්නද්ධ ව්යාපාරයක් සමග ආණ්ඩුවත් සාම සාකච්ඡාවලට යන අවස්ථාවකදි සාකච්ඡා ආරම්භ කිරීමට නම්, තමන් කෙරෙහි පනවා තිබෙන තහනම ඉවත් කරන්නැයි කියන ඉල්ලීම බොහෝ විට ඉදිරියට ආ හැකි ඉල්ලීමකි. අප්රිකානු කොංග්රසය ද සුදු ආණ්ඩුව සමග කරන සාම කතාවලදි තම සංවිධානය කෙරෙහි පනවා තිබෙන තහනම ඉවත් කොට විදේශ ගතවී සිටින සිය සංවිධානයට අයත් සියලු නායකයන්ට ආපසු දකුණු අප්රිකාවට ඒමට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටියේය. මෙවැනි ක්රියාවලියකදි ආයුධ සන්නද්ධ ව්යාපාරයක් ආරම්භක වටයේදි ආයුධ බිම තබන ප්රතිපත්තියක් අනුගමනය කරන්නේ ද නැත. නිදර්ශනයක් වශයෙන් අයර්ලන්තයේ IRA ව්යාපාරය ආයුධ බාර දුන්නේ එකගත්වයකින් ඇති කරගත් විසඳුම බොහෝ දුරකට ක්රියාවට නැංවීමෙන් පසුවය. දැන් අවශ්ය වී ඇත්තේ ජාත්යන්තර වශයෙන් දෙපාර්ශ්වයට එල්ල වී තිබෙන බලපෑම ද සැලකිල්ලට ගනිමින් සියලු දෙනාගේ ගෞරවයට හේතුවන සාමකාමී විසඳුමක් ඇතිකර ගැනීමය. ඒ අරමුණ ජයගැනීම සඳහා පටු පක්ෂ ආකල්පවලින් තොරව ආධාර කිරීම රටේ යහපත ගැන උනන්දුවක් දක්වන හැම කෙනෙකුගේම වගකීමකි.
මේ සාධක දෙක ඇරුණු විට අනෙක් කාරණාවලදි මේ ආණ්ඩුව විවේචනය කිරීමට අවශ්ය හැම අවස්ථාවකදිම එසේ කිරීමට අප සූදානම්ය. එහෙත් එහිදි මොනම දේශපාලන පක්ෂයකවත් න්යාය පත්රයට අනුකූලව නටන්නට අප සූදානම් නැත. අපි ඕනෑම අරගලයකට යන්නේ අරගලය ආරම්භ කළ යුතු මොහොත පිළිබඳ යථා තක්සේරුවකින් යුතුවය. අරගලයක් ආරම්භ කළ පසු ඒ අරගලය මොනතරම් කටුක හෝ දුෂ්කර වුවත්, ඒ අරමුණ ජයගන්නා තෙක් අරගලයේ නිරතවීම “රාවයේ” ගතිය ලෙස සැලකිය හැකිය. ඒ නිසා “රාවය” ට අරගලයක් ආරම්භ කළ යුතු මොහොත හෝ එය පවත්වාගෙන යා යුතු ආකාරය කියාදිමේ අවශ්යතාවක් නැත. “රාවය” අරගලයකට ප්රවිෂ්ට වූ විට එය කරන්නේ බොරුවට නොව, සැබෑවටය. රාවයේ පැවැත්ම වුවත් පරදුවට තබාය.
“රාවය” සිය ක්රියාකාරිත්වය විවේචනයන්ට පමණක් සීමාකළ පුවත්පතක් නොවන බව ද කිව යුතුය. එය පසුගිය ආණ්ඩු පාලන කාලය තුළ යහපත් ආණ්ඩු පාලනයක් සඳහා අත්යවශ්ය ප්රතිසංස්කරණ රටට හඳුන්වා දෙමින් ඒ ප්රතිසංස්කරණ දිනාගැනීම සඳහා කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළේය.
යහපත් පාලනයක් සඳහා අත්යවශ්ය සමහර කොන්දේසි පිළිබඳ මහජන අවබෝධය පුළුල් කිරීම සඳහාත්, ඒ කොන්දේසි ක්රියාත්මක කරවා ගැනීම සඳහාත් සමහරවිට රාජ්ය පාලකයන්ගේ වෛරයට හේතුවන අරගල ගණනාවක නිරතවීමට “රාවය”ට සිදුවිය. ජනාධිපතිනිය ජනාධිපතිවරණයක් ප්රකාශ කර තිබියදි මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් පිටස්තර තමන්ට හිතවත් පුද්ගලයෙකු වැඩ බලන මැතිවරණ කොමසාරිස් ධුරයට ගෙනා අවස්ථාවේදි ඊට එරෙහිව “රාවය” අධිකරණය ඉදිරියට ගියේය. රාජ්ය නායකයාට රාජ්ය මට්ටමෙන් ලැබෙන ත්යාග රාජ්ය නායකයා විසින් පුද්ගලික මට්ටමෙන් පරිහරණය කිරීම වැළකීම පිණිස ජනාධිපතිනියට රාජ්ය මට්ටමෙන් ලැබී තිබෙන ත්යාග ගැන බරපතල ප්රශ්න කිරීමක් කිරීමට “රාවය”ට සිදුවූ අතර, එහි ප්රතිඵලයක් වශයෙන් ජනාධිපතිනියට තමන්ට ලැබී තිබුණු වටිනා ත්යාගවලින් කොටසක් හෝ ප්රසිද්ධියේ මහා භාණ්ඩාගාරයට බාරදෙන පිළිවෙතක් අනුගමනය කිරීමට සිදුවිය. වත්කම් හා බැරකම් නීතියට ඇතුළත් විධි විධාන ක්රියාත්මක කරවා ගැනීම සඳහා ද ඒ ප්රශ්නය කෙරෙහි මහජන අවධානය යොමු කිරීමට හේතුවන ලෙස ප්රසිද්ධ ප්රශ්න කිරිම් ගණනාවක යෙදෙන්නට “රාවය”ට සිදුවූ අතර, එහි ප්රතිඵලයක් වශයෙන් කිසියම් ප්රමාණයකට හෝ එම නීතිය ක්රියාත්මක කෙරෙන පසුබිමක් ඇති කිරීමට හේතුවිය. ජනාධිපතිනියගේ වත්කම් හා බැරකම් ප්රකාශ ලබාගැනීමට “රාවය” කරන තිබෙන ඉල්ලීම්වලට මේ දක්වා යහපත් ප්රතිචාරයක් ලැබී නැති අතර, “රාවය” ඒ වෙනුවෙන් ඉදිරියේදි අධිකරණය ඉදිරියට යාමට බලාපොරොත්තුවේ. පසුකලක 17 වැනි සංශෝධනය ලෙස කල එළිදුටු ප්රතිසංස්කරණ සඳහා මහජන මතයක් ඇති කිරීම සඳහා ද නැවත ආදර්ශ කෙටුම්පතක් කරලියට ගැනීම සඳහා ද “රාවය” ප්රමුඛ කාර්ය භාරයක් ඉටු කළේය. අධිකරණයේ ස්වාධීනත්වය හා ගෞරවය වෙනුවෙන් අගවිනිසුරු සරත් සිල්වා මුල් කොටගෙන “රාවය” ඉදිරියට ගෙන ගිය දුෂ්කර හා දිග්ගැස්සුණු අරගලය තර්කානුකූල අවසානයක අද්දරයට ගෙන ඒමට සමත් වුවත්, තවමත් එය පරිපූර්ණ කිරීමක් සිදුවී නැත. එම විෂය සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන්නට යන ප්රතිපත්තිය දෙස අප සීරුවෙන් බලා සිටිමු. ඒ අරබයා ආණ්ඩුව කුමන ප්රතිපත්තියක් අනුගමනය කළ ද එම අරගලයේ තර්කානුකූල අවසානයක් ඇති කිරීමට “රාවය” ක්රියාකරනු ඇත. ප්රතිසංස්කරණ දිනාගැනීම පිළිබඳ විෂයයේදි “රාවය” ඉදිරියේදි ඒ වෙනුවෙන් කරන මැදිහත්වීම වඩා බලවත් හා පුළුල් තලයකින් සිදු කිරීමට බලාපොරොත්තු වේ.
“රාවය” විපක්ෂයේ නිල පුවත් පතක් නොවූවත් “රාවය”ට ආවේණික ගතිය අනුව බලයේ සිටින පාලක පක්ෂයක් සමග සහයෝගයෙන් ක්රියාකිරීම දුෂ්කරය. “රාවය”ට වඩා ගැලපෙන්නේ බලයෙන් පිටස්තරව සිටින විපක්ෂ ව්යාපාර සමග කටයුතු කිරීමය. එහෙත් ආණ්ඩු බලයේ සිටියදි මස් වැද්දන් හා ගල් වැද්දන් ලෙස ක්රියාකළ පුද්ගල පිරිසක් විපක්ෂ ව්යාපාරයේ නායකත්වය උසුලන තෙක් ඔවුන් සමග සහයෝගයෙන් ක්රියාකිරිමේ හැකියාවක් “රාවය”ට නැත. ඒ අර්ථයෙන් “රාවය” විපක්ෂ ව්යාපාරය එවැනි අයගේ ආධිපත්යයෙන් මුදාගැනීම පිණිස හා රටේ යහපත වෙනුවෙන් පුළුල් දැක්මකින් හා හික්මීමකින් යුතුව ක්රියා කරන පිරිසක් විපක්ෂ ව්යාපාරයේ නායකත්වයට ගැනීම සඳහා සිය ශක්තිය යොදවන පිළිවෙතක් අනුගමනය කරනු ඇත.