ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්රමයක් උසුලාගෙන සිටින මුල් කුළුණු හතරෙන් එකක් ලෙස සැලකිය හැක්කේ ශ්රේෂ්ඨාධිකරණයයි. පුද්ගලයන් හා ජන කණ්ඩායම් අතර ඇතිවන ආරාවුල් වලදි පමණක් නොව, ජනතාව හා පාලකයන් අතර ඇතිවන ආරාවුල් වලදි ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්රමය ආරක්ෂා කෙරෙන ආකාරයට යුක්තිය පසිඳලන ආයතනය ලෙස ක්රියා කරන්නේ ශ්රේෂ්ඨාධිකරණයයි. ඒ ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්රමයක් තුළ ශ්රේෂ්ඨාධිකරණයට පැවරි තිබෙන කාර්ය භාරය හොඳින් ඉටු කිරීම සඳහා එය ස්වාධීන තත්ත්වයක තිබිය යුතුය.
හැම ආණ්ඩු පාලනයක් යටතේම අධිකරණයේ ස්වාධීනත්වයට කෙරෙන ඇගිලි ගැසීම් තිබුණ. නැවත ඒ ඇගිලි ගැසීම්වලට එරෙහිව අධිකරණය තුළ කෙරෙන අරගලයක් ද තිබුණ. අධිකරණය සිය ගෞරවය හා ස්වාධීනත්වය ස්ථාපිත කරගන්නේ අධිකරණයේ ස්වාධීනත්වයට එරෙහිව කෙරෙන ඇගිලි ගැසීම් වලදි ඊට එරෙහිව කරන අරගල ඔස්සේය.
ශ්රී ලංකාවේ සමස්ත ශ්රේෂ්ඨාධිකරණ ඉතිහාසය තුළම ශ්රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වය ඉතාමත්ම නිර්ලජ්ජිත ආකාරයකින් අතික්රමණය කළ යුගය ලෙස සැලකිය හැක්කේ චන්ද්රිකා යුගයයි.
නීතිමය වශයෙන් එල්ලවන අභියෝගයකින් තොරව ඡන්ද මංකොල්ලකෑම සඳහාත්, විරුද්ධවාදින්ට එරෙහිව හිංසාව ආයුධයක් කරගැනීම සඳහාත්, පොදු දේපළ සිත් සේ ගජ මිතුරුන්ට බෙදා දෙන ක්රමයක් පවත්වාගෙන යාම සඳහාත්, තමාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් වේ නම් එය නිෂ්ප්රභා කිරීම සඳහා ශ්රේෂ්ඨාධිකරණය සිය සිතැගියාවන්ට ගැලපෙන තත්ත්වයකින් ක්රියාකරන තත්ත්වයක තබාගැනීම අත්යවශ්ය බව චන්ද්රිකා කුමාරතුංග මහත්මිය නිවැරදි ලෙස දැනගත්තාය. ඒ සඳහා ඇය ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියේ චෝදනාලාභී තත්ත්වයක සිටි පුද්ගලයෙකු අගවිනිසුරු ධුරයට ගෙනාවාය.
ඉන්පසු දේවල් සිදුවූ නින්දාසහගත ආකාරය මහජනතාවට රහසක්වන්නේ නැත. ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියට එන දේශපාලන වැදගත්කමක් ඇති හැම නඩුවක්ම තමා ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් මගින් විනිශ්චය කෙරෙන නවතම ක්රමයක් අගවිනිසුරුවරයා විසින් ස්ථාපිත කරන ලද අතර, තමන්ගේ දේශපාලන අරමුණු වලට අනුකූලව ක්රියා නොකරන විනිසුරුවරුන් අධිකරණයෙන් පළවා හරින ක්රමයක් ද ඇති කළේය.
අගවිනිසුරුවරයා විසින් අධිකරණය ඇද දමා තිබූ ඛේදජනක තත්ත්වය සලකා අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට එකල ප්රධාන විපක්ෂය ලෙස ක්රියාකළ එජාපයට සිදුවිය. ඉන්පසු එම දෝෂාභියෝගය ව්යර්ථ කිරීම සඳහා අගවිනිසුරුවරයා කෙරෙන් ප්රකාශ වූ නොමනා හා අශෝභන හැසිරිම පමණක් වුවත් මේ පුද්ගලයා අගවිනිසුරුධුරය වැනි ගරු කටයුතු තනතුරක තබාගත යුතු තරමේ පුද්ගලයකු නොවන බව මනා ලෙස රටට සනාථ කළේය.
දෝෂාභියෝග යෝජනාවට අදාළ පාර්ලිමේන්තු පරික්ෂණයකට යන්නට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට සිදුවීම නිසා ඒ දෝෂාභියෝගය සඳහා පරික්ෂණයක් සිදු නොවීය. එහෙත් මැතිවරණයෙන් පොදු පෙරමුණ පරජාය වී එජා පෙරමුණු ආණ්ඩුවක් බලයට පත්වුවත් තවමත් අගවිනිසුරු ධුරය දරන්නේ එජාප අතින්ම දෝෂාභියෝගයට ලක්වූ අගවිනිසුරුවරයාමය. අගවිනිසුරුවරයා ඉවත් කරනවා තබා යටත් පිරිසෙයින් අගවිනිසුරුවරයාගෙන් අගතියට පත් නඩු කියන්නන්ට හෝ ඔහුගේ අත්තනෝමතික පාලනයෙන් බැටකෑ විනිසුරුවරුන්ට තවමත් යුක්තිය ඉටු කිරීමක්වත් සිදුවී නැත.
ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියේ චෝදනාලාභී තත්ත්වයක සිටි මේ පුද්ගලයා අගවිනිසුරු ධුරයට පත් කළ අවස්ථාවේදි අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ විෂය භාර එක්සත් ජාතීන්ගේ නියෝජිතයා ලෙස ක්රියා කළ මැලේසියානු ජාතික ඩාටෝ පරම්කුමාරස්වාමි මහතා එම පත්වීමට විරෝධය පළ කරමින් එය හෙළා දැක්කේය. ඉන්පසු අගවිනිසුරුවරයාගේ පාලනය තුළ ශ්රී ලංකාවේ අධිකරණ ස්වාධීනත්වය බිඳ වැටී තිබෙන ආකාරය සොයා බැලීම පිණිස ඩාටෝ පරම්කුමාරස්වාමි ප්රමුඛ දූත මණ්ඩලයකට ශ්රී ලංකාවට ඒමට අවසර දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස්වරිය ලෙස ක්රියා කරන මේරි රොබින්සන් මහත්මිය දෙවතාවත් ලංකාණ්ඩුවෙන් ලිඛිතව ඉල්ලා සිටියත්, පොදු පෙරමුණු ආණ්ඩුව ඊට ඉඩ දුන්නේ නැත. ඉන්පසු ජීනීවා හි සිට ක්රියාත්මක වන අන්තර්ජාතික ජූරී සංගමය අගවිනිසුරුවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කර තිබෙන තත්ත්වයක් ඉදිරියේ එම පරික්ෂණයේ කටයුතු අවසන් කෙරෙන තෙක් ඔහු නඩු විමසන තත්ත්වයෙන් පිටස්තරව තබන ලෙස ජනාධිපතිනියගෙන් ලිඛිතව ඉල්ලා සිටියාය. ඒ ඉල්ලීම ද ක්රියාත්මක නොවීය. ඉන්පසුව ශ්රී ලංකාවේ නීතියේ පාලනයට අදාළව පවත්නා තත්ත්වය සොයා බලා වාර්තා කිරීම පිණිස අන්තර්ජාතික නීතිඥ සංගමය විසින් එවන ලද දූත මණ්ඩලයක් ශ්රී ලංකාව පිළිබඳව පළ කරන ලද සිය වාර්තාව මගින් අගවිනිසුරුවරයාගේ පාලනය තුළ ශ්රී ලංකාවේ අධිකරණය ඇද වැටී තිබෙන ශෝචනීය තත්ත්වය ලෝකයාට පෙන්වා දුන්නේය. නව ආණ්ඩුවක් බලයට පත්වීමෙන් පසුවත් මෙම කේන්ද්රීය ප්රශ්නය නිරාකරණය කරගැනීම තවමත් ප්රමාද කොට ඇත්තේ ඇයි ද යන කුහුල අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ විෂය ගැන උනන්දුවක් දක්වන ජාත්යන්තර ආයතන අතර ගොඩ නැගී තිබේ.
නව ආණ්ඩුවට අවශ්ය නම් තමන් විසින්ම දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීම මගින් නීච තත්ත්වයක ලා සලකනු ලැබූ මේ පුද්ගලයා තවදුරටත් මේ ගරු කටයුතු තනතුරේ තබාගනිමින් ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග ඔහු ලවා කරවා ගන්නා ලද දේශපාලන වැඩ කොටස ඒ ආකාරයෙන්ම කරවා ගත හැකිය. එහෙත් එය ආණ්ඩුව කෙරෙහි නින්දා සහගත ආකල්පයක් මිස ගෞරවයක් ඇති කිරීමට නම් හේතුවන්නේ නැත.