පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් මහජනයා බලයට පත් කළේ එජා පෙරමුණ වුවත් ව්යවස්ථානුකූල අර්ථයෙන් ගත් විට තවමත් රාජ්ය බලය තීරණාත්මක ලෙස හැසිරවීමේ බලය ඇත්තේ පොදු පෙරමුණේ නායිකා ජනාධිපතිනිය අතේය. ප්රධාන පෙළේ සමහර තනතුරු දරන පුද්ගලයින් ඉවත් කොට ඒ තනතුරුවලට වෙනත් පුද්ගලයින් පත් කිරීමට අග්රාමාත්යවරයාට අවශ්ය වී ඇතත් ඒ සඳහා ජනාධිපතිනියගේ එකගත්වය ලබා ගත නොහැකි තත්ත්වයක් ඉදිරියේ එම පත්කිරිම් කළ නොහැකි තත්ත්වයකට ආණ්ඩුව මුහුණ දි සිටී. ආණ්ඩුවට මුහුණ දෙන්නට සිදුවී තිබෙන ලොකුම තර්ජනය වී ඇත්තේ පාර්ලිමේන්තුවට අවුරුද්දක් සම්පූර්ණ වීමෙන් පසුව අවශ්ය නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ජනාධිපතිනියට ලැබී තිබෙන බලයයි. මීට අතිරේකව පාර්ලිමේන්තු සැසිවාර අවශ්ය නම් හිතුවක්කාරි ලෙස කල් දැමීමේ බලයද ජනාධිපතිනිය සතුය. උතුරු නැගෙනහිර සඳහා තාවකාලික අන්තර්පාලනයකට සැලසුම් සකස් කරමින් තිබුණත් ජනාධිපතිනියට ව්යවස්ථාවෙන් ලැබී තිබෙන බලතල අනුව අන්තර්පාලනයට පුද්ගලයින් නම් කිරිමේදි අවශ්ය නම් ජනාධිපතිනියට එය අවුල් ජාලාවක් බවට පත් කළ හැකිය.
මේ අවුලට මූලික හේතුව වී තිබෙන ආණ්ඩුක්රම ව්යවස්ථාව, දැන් ඇති වී තිබෙන ද්වන්ධ දේශපාලන බලයට තිබෙන නොගැලපීමය. මේ ආණ්ඩුක්රම ව්යවස්ථාව නිර්මාණය කර ඇත්තේ ජනාධිපති බලයත් පාර්ලිමේන්තු බලයක් එකම පක්ෂෂයක් අත තිබෙන තත්ත්වයක් සඳහාය. එහෙත් දැන් මේ බල දෙක තිබෙන්නේ එකම පක්ෂෂයක් අත නොව පක්ෂෂ දෙකක් අතය.
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ ස්වභාවය අනුව ඇති විය හැකි මේ ආරවුල ආචාර්ය ඇන් එම් පෙරේරා මහතා 78 ආණ්ඩුක්රම ව්යවස්ථාව කරලියට ගත් අවස්ථාවේම ප්රකාශ කර තිබුණත් ඒ තත්ත්වය නිවැරදි කිරීමට මේ දක්වා කිසිවෙක් ක්රියා කළේ නැත. ප්රජාතන්ත්රවාදය සඳහා වූ සන්ධානය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ඇති විය හැකි මෙම පරස්පර විරෝධී තත්ත්වය පෙන්වා දෙමින් මැතිවරණයට යන්නට පෙර එම තත්ත්වය නිවැරදි කර ගන්නා ලෙස සියලු දේශපාලන පක්ෂෂවලින් ඉල්ලා සිටියත් ඒ ඉල්ලීම ද රටේ දේශපාලන පක්ෂෂවල වැඩි අවධානයකට යොමු වූයේ නැත.
ජනාධිපති බලය එක් පක්ෂෂයක් අත තිබෙන විට පාර්ලිමේන්තු බලය තවත් පක්ෂෂයක් අතට පත්වන තත්ත්වයක් ශ්රී ලංකාවට නව අත්දැකීමකි. ඒ සමග ඇති විය හැකි පරස්පර විරෝධී තත්ත්වය ජනාධිපතිනිය කල් තියා තේරුම් ගනිමින් එක්කෝ ඇය සිය කැමැත්තෙන් සිය ධූරය අත් හැර ගියේ නම් හෝ සහජීවනයක් පවත්වාගෙන යාමට අවශ්ය තත්ත්වයක් ඇති කර ගත හැකි ව්යවස්ථා සංශෝධනයක් ඉල්ලා සිටියේ නම් නීච තත්ත්වයකට පත් නොවන ආකාරයකට ගනුදෙනු බේරා ගැනීමේ හැකියාවක් ඇයට ලැබෙන්නට ඉඩ තිබුණ. එහෙත් ඇය ඒ වෙනුවට කළේ තමන්ට ලැබී තිබුණු අසීමිත බලය අනවශ්ය ලෙස ප්රදර්ශනය කරන තැනකට යාමය. ඒ නිසාම ආණ්ඩුවේ පැවැත්ම ආරක්ෂෂා කර ගැනීමට අවශ්ය නම් ජනාධිපතිනිය එලවා දමා හෝ ඇය භූක්ති විඳිමින් සිටින අසීමිත බලතල සීමා කරන තැනකට අවශ්යයෙන්ම යා යුතු යැයි සිතන තැනකට නව ආණ්ඩුව තල්ලුවී ගියේය.
ඒ නිසා ආණ්ඩුව දැන් නව ව්යවස්ථා සංශෝධනයක් සඳහා ක්රියා කරමින් සිටින්නේය. හිතුවක්කාරි ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට විධායක ජනාධිපතිට තිබෙන බලය අහෝසි කරන අතර ආණ්ඩුවේ ඉදිරි ගමනට බාධා කිරීම සඳහා යොදා ගත හැකි සියලු බලතල ඒ මගින් ඉවත් කිරීමක් හෝ සීමා කිරීමක් සිදුවනු ඇතැයි උපකල්පනය කළ හැකිය.
එහෙත් ආණ්ඩු පක්ෂෂයට ව්යවස්ථා සංශෝධනයකට අවශ්ය 2/3 ක බලයක් නැති තත්ත්වයක් තුළ අවශ්යයෙන්ම ජය ගත යුතුව තිබෙන ඒ අරමුණ ජයගැනීමට සිදුවී තිබෙන්නේ 2/3 ක බලයක් සඳහා අවශ්ය අතිරේක බලය පොදු පෙරමුණෙන්ම ලබා ගන්නා උපාය මාර්ගික ක්රියාමාර්ගයක් ඔස්සේය ඒ සඳහා පොදු පෙරමුණෙන් තමන්ට සහාය දෙන පිරිස සතුටු කිරීම සඳහා විවිධ පියවරයන්ද ඉදිරියට ගැනීමට ආණ්ඩුවට සිදුවන්නේය.
ජනාධිපතිනියගේ බලතල සීමා කරන ව්යවස්ථා සංශෝධනයක් සඳහා 2/3 බලයක් සඳහා අවශ්ය අතිරේක පිරිස් ආණ්ඩුවට පොදු පෙරමුණෙන් සොයා ගත හැකි වෙතොත් ඒ නිසා පොදු පෙරමුණ තුළ ඇතිවන බෙදිම හා ඒ ආශ්රයෙන් ඇති වන වාද විවාද ජනාධිපතිනියට එරෙහිව ඉදිරිපත් කෙරෙන දෝෂාභියෝගයකින් කෙළවර විය හැකිය.
දෑන් ජනාධිපතිනිය ඉන්නේ ශක්තිමත් තැනක නොව දුර්වල තැනකය. ඇය පාර්ලිමේන්තු මැතිවරණය පරාජය වූ වහාම අපේක්ෂෂා කළේ මාස කිහිපයක් හෝ අල්ලා ගෙන සිටීමට සමත් වෙතොත් තමන් ශක්තිමත් වී ආණ්ඩුව දුර්වල තැනකට ඇද වැටෙනු ඇති බවය. එහෙත් ඒ වෙනුවට සිදුවී ඇත්තේ ආණ්ඩුව ශක්තිමත් වී ජනාධිපතිනිය දුර්වල තැනකට ඇද වැටීමය.
රටේ ඉදිරි ගමන සඳහා මේ විශේෂ අවස්ථාවේදි ඇය පරාජය කළ යුතු බවට විවාදයක් තිබිය නොහැකිය. එපමණක් නොව ඇයගේ පාලන කාලය තුළ ඇගේ අනුදැනුම හා ආශීර්වාදය ඇතිව සිදුවී තිබෙන බිහිසුණු අපරාධ වෙනුවෙන් ඇය නීතිය ඉදිරියට පමුණුවාලීමද යුක්ති සහගතය.
එහෙත් ඒ අවශ්යතාව සම්පූර්ණ කිරීමට දරන ප්රයත්නයන් විපක්ෂෂ ව්යාපාරය බෙලහීන කිරීමටත් ව්යවස්ථා සංශෝධන ක්රියාවලිය විකෘති කිරීමටත් හේතු විය හැකිය. 2/3 බලයක් සඳහා පොදු පෙරමුණේ මන්ත්රීන් පිරිසකගේ සහාය ලබා ගැනීමට ආණ්ඩුවට සිදුවේ. එසේ ඉදිරි ව්යවස්ථා සම්පාදනයේදි ඇයගේ බලතල සීමා කිරිමේ අරමුණද ප්රමුඛ අංගයක් ලෙස සළකා ක්රියා කරන්නට ආණ්ඩුවට සිදුවිය. එය සමස්ත ක්රියාවලිය එක් අතකින් විපක්ෂෂ ව්යාපාරය තාවකාලික ලෙස බෙලහීන කිරීමට හේතුවනු ඇතිවා සේම ව්යවස්ථා සම්පාදන ක්රියාවලියද විකෘති කිරීමට හේතු විය හැකිය.
අනික් අතට එයින් විපක්ෂෂ ව්යාපාරයටත්, ව්යවස්ථා සම්පාදන ක්රියාවලියටත් ඇති විය හැකි හානිය සළකා ජනාධිපතිනියට ලැබී තිබෙන අත්තනෝමතික බලතල පවතින්නට ඉඩහැරිය හොත් එයින් රටට ඇති විය හැකි හානිය ද විශාලය. ඇය බල රහිත කිරිමේ අරමුණ ජය ගැනීම අත්යවශ්ය වුවත් ඒ නිසා ඇති විය හැකි විකෘති වීම් ගල් ගැසෙන්නට ඉඩ නොදි ඊට පිළියම් යොදන්නේ කෙසේද යන ප්රශ්නය කෙරෙහිද දැන් සිටම සමාජ අවධානය යොමු විය යුතුය.
විශේෂයෙන්ම ආණ්ඩුක්රම ව්යවස්ථාවක් දිර්ඝකාලීන අරමුණු වෙනුවෙන් ඇති කරගත්තක් මිස එවේලේ ඇති වන තාවකාලික ප්රශ්න විසඳ ගැනීම පිණිස ඇති කර ගත්තක් නොවේ. මෙම කේන්ද්රීය ප්රශ්නය ව්යවස්ථාවට බද්ධ ප්රශ්නයක් වන නිසාම එය ජය ගත යුතුව තිබෙන්නේ ද ව්යවස්ථානුකූලව ය. එහෙත් ඒ සඳහා අවශ්ය ඡන්ද සොයා යන ක්රියාමාර්ගයක් තුළ පුද්ගලයන් තාවකාලික අර්ථයකින් සංතෝෂ කරන විධිවිධාන ද ව්යවස්ථා සම්පාදන ක්රියාවලියට ඇතුළත් කර ගැනීමට සිදු වේ. ව්යවස්ථා සම්පාදන ක්රියාවලිය තුළ විකෘතියක් ඇති කිරීමට හේතුවනු ඇත්තේ තාවකාලික වුවමනාවන් වෙනුවෙන් ඇති කරන විධිවිධානයන් ය.
ජනාධිපතිනියට පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට තිබෙන ඉඩකඩ හා ආණ්ඩුවේ පාලන කටයුතුවලට හිතුවක්කාරි ලෙස ඇගිලි ගැසීමට තිබෙන ඉඩකඩ අහෝසි කොට ඉන් එහා නොගොස් රටේ වර්තමාන හා අනාගත වුවමනාවන් සැලකිල්ලට ගෙන රටට ගැළපෙන ආණ්ඩු ක්රමයක් සඳහා වන නව ව්යවස්ථාවක් නිර්මාණය කර ගැනීම සඳහා වන පුළුල් සංවාදයකට යා හැකි නම් හා එවැනි සංවාදයක් ඔස්සේ පොදු එකගතාවකින් යුතුව නව ව්යවස්ථාවක් ඇතිකරගන්නා උපාය මාර්ගයක් වෙත යොමුවිය හැකි වේ නම් විකෘතියක් ඇතිවීමෙන් තොරවම අවශ්ය අරමුණ ජයගත හැකි ය.