ජනාධිපතිනිය, ජනාධිපති ආරක්ෂක ඒකකයේ තෝරා ගත් පිරිසක් දක්වා ලබාදි ඇති සැලකිලි පුදුම සහගතය. තමන් ආරක්ෂා කරනවාට අතිරේකව තමන්ගේ වුවමනාව මත තමන්ගේ විරුද්ධවාදින්ට හිංසා කිරීම සඳහා යොදාගත් මේ ඒකකයේ පුද්ගලයන්ට රජ සැලකිලි දක්වන ප්රතිපත්තියක් පවත්වාගෙන යාම අත්යවශ්ය වේ යැයි ඇය කල්පනා කළා විය යුතුය.
ජනාධිපති ආරක්ෂක අංශයේ අධ්යක්ෂ ලෙස ක්රියා කළ නිහාල් කරුණාරත්න සහකාර පොලිස් අධිකාරිවරයෙකි. සහකාර පොලිස් අධිකාරි තනතුරක සිටින පුද්ගලයෙකු පොලිස් අධිකාරි තනතුරකට පත් කළ හැක්කේ ඒ සඳහා පැවැත්වෙන EBE නමින් හැඳින්වෙන විභාගයකට පෙනී සිට ඉන් සමර්ථ වේ නම් පමණය.
එහෙත් ජනාධිපතිනිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ පත්රිකාවක් අනුව සිය ආරක්ෂක ප්රධානියා එම EBE විභාගයෙන් තොරව 2000 මාර්තු 1 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි පොලිස් අධිකාරි තනතුරකට උසස් කළාය. එහෙත් උසස්වීම ලබාදිමෙන් පසුව EBE විභාගය අවුරුද්දක කාලයක් තුළ සම්පූර්ණ කළ යුතුයි කියන කොන්දේසියක් ද ඊට ඇතුළත්ව තිබුණි.
ඉන්පසු ජනාධිපතිනිය කළේ අප්රේල්වලදි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන තවත් පත්රිකාවක් මගින් මුල් පත්රිකාව නිශේධ කොට EBE විභාගයෙන් තොරවම නිහාල් කරුණාරත්න 2000 මාර්තු 1 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි පොලිස් අධිකාරි තනතුරට උසස් කළාය.
සීමාසහිත ඕෂන් වීව් ඩිවලොප්මන්ට් සමාගම නිවාස සංවර්ධන අධිකාරියට හා නාගරික සංවර්ධන අධිකාරියට අයත් සමූහ ව්යාපාරයකි.
බම්බලපිටියේ දුම්රීය පාරේ අංක 25 දරන ස්ථානයේ පිහිටි ටවර් ගොඩනැගිලි සංකීර්ණය කළමනාකරණය කිරීම එම සමාගම වෙත පැවරි තිබෙන ප්රධාන වගකීමය.
එම ගොඩනැගිල්ලේ ඇති සුඛෝපභෝගී නිවාස හතක් පී.එස්.ඩියේ තෝරාගත් හත් දෙනෙකුට නොමිලේ ලබාදි තිබීමේ පුවතක් බොහෝ සිංහල හා ඉංග්රීසි පුවත්පත්වල පළවී තිබුණි. ඒ කිසිම පුවත්පතක ඒ නිවාසවල කුලිය සඳහන් නොවීය. ජනාධිපතිනිය සිය ආරක්ෂක බලකායේ තෝරා ගත් හෙංචයියන් හත්දෙනෙකුටම ලබාදි තිබුණු සුඛෝපභෝගී නිවසක මාසික කුලිය රුපියල් 32,000කි. ආරක්ෂක මාෆියාවේ හත්දෙනෙකු සතුටු කිරීම සඳහා ජනාධිපතිනිය කර තිබෙන මෙම අයථා ක්රියාවෙන් රජයට සිදුකර තිබෙන වාර්ෂික අලාභය ලක්ෂ 26කි. ජනාධිපතිනිය රජයේ දේපළ සිය මහමුදලි සීයාගෙන් ලැබුණු බූදලයක් ලෙස සලකා ක්රියා කර ඇති බව පෙනේ. මෙවැනි වැරදිත් අල්ලස් හෝ දූෂණ ගණයට අයත්ය.